කරුවල රාත්‍රියක විදින ලද හී තලයක් යම් සේ නොපෙනේද එසේම පාපි පුද්ගලයා ලඟ සිටියත් බුදුනෙතට ඔහුව නොපෙනේ. ධර්මාවබෝධයක් ලැබීමට නොහැකි බැවිනුත් මෝහයෙන් මුලාවූවකු බැවිනුත්, ඔහු යහමගට ගැනීමට නොහැකි බැවිනුත් බුදුනුවණ ඔහු වෙත යොමු නොවන්නේමය. ජේතවනාරාමය පෙනී පෙනී සිටියද චුන්දසූකරික ලඟ බුදුමඟයාමට හේතු සම්පත් නැති බැවින්ද සසර පුරා ගෙන ආ පාපකර්මයන්ගෙන් ඔහු යටපත් කර ඇති බැවින්ද බුදු නුවණට ඔහු හමුවූයේ නැත. අනන්ත වූ කරුණාවෙන් තුන්ලොවක් සනසා වදාළ මහා කාරුණිකයාණන් වහන්සේගේ බුදුනෙතටවත් පාපි පුද්ගලයා දිස්වන්නේ නැහැ. අපි කරනා කුසලා කුසලකර්ම දම්වැලේ පුරුක් මෙන් භවයෙන් භවය බැදීගෙන අප සමග පැමිණෙනවා. අප සසර පුරාගෙන යන්නේ අප කරන කුසල් අකුසල් පමණයි.
සසරපුරා කුසලධර්මපුරා අනන්ත බුදුවරයින් වහන්සේලා හමුවේ පාරමී පුරා සිටි චූල සුභද්‍රා ගව්සිය ගණනක් දුරින් සිටියද බුදු නුවණින් දුටුසේක. බුදුරජාණන් වහන්සේ චූලසුභද්‍රා අරභයා මාතෘකා කළ ගාථාව දේශනා කළ සේක.
උග්ගනුවර උග්ගසිටුතුමා අනේපිඬු සිටුතුමාගේ හිතවත්ම මිතුරෙක්. දිනක් අනේපිඬු සිටුතුමා ඔහු මහත් හරසරින් පිළිගත්තා. නවාතැන් දුන්නා. අනේපිඬු සිටුතුමාගේ දියණියක් වන චූල සුභද්‍රා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කෙරෙහි අසීමිත ගෞරවයක්. භක්තියක් ඇතිව ජේතවනාරාමය ඇසුරේම හැදී වැඩුන කාන්තාවක්. උග්ගසිටුතුමාට අවශ්‍ය සෑම උපස්ථානයක්ම කරන්න පියාණන් විසින් චූලසුභද්‍රාට භාර කළා. බත්, මාලු ආදි සැම දෙයක්ම තම අතින්ම සකස් කර ඇය උග්ගසිටුතුමාට අවශ්‍ය සියලු පහසුකම් සැලැස්සුවා. චූලසුභද්‍රාගේ ආචාරසමාපත්තියට සිටුතුමා පැහැදුනා. ඇය තම පුතාට සරණ කරවා ගැනීමට ඔහුට සිතක් පහලවුනා. උග්ගසිටුතුමා මේ බව අනේපිඬු සිටුතුමාට දැන්නුවා.
උග්ගසිටුතුමා අචේලක වාදි මිසදිටු අයෙක්. එහෙත් තමාගේ හොදම මිතුරා බැවින් මෙය පැහැර හැරීමට නොහැකි වුනා. අනේපිඬු සිටුතුමා මෙම පුවත බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. උග්ගසිටුවරයා අචේලක වාදියෙක් වුවද , ඔහු මහත් හේතු සම්පත් ඇතියකු බවත් චූලසුභද්‍රා නිසා උග්ගනුවර අසූහාරදාහකට ධර්මාවබෝධය ලැබෙන බවත් බුදු නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ එයට අනුමැතිය දී වදාළා. බුදුපාමොක් මහ සඟනට මහාදන්දී චූල සුභද්‍රා උග්ග සිටුපුතුට කරකාර බැඳ දුන්නා.
සැවැත්නුවර සිට ගව් එකසිය විස්සක් පමණ දුරවූ උග්ගනුවරට චූල සුභද්‍රා පෙරහරින් කැඳවාගෙන ගියා. අනේපිඬුසිටු මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද ඇය පිටත්කර හැරී යාමෙන්, උග්ගසිටු මැදුරේද අචේලක පූජකයින් කැඳවා උත්සවය සංවිධානය කර තිබුණා. අචේලක පූජකයින්ට වැඳ නමස්කාර කරන ලෙස උග්ගසිටු හා බිරිය තම ලේලියට දන්වා සිටියා. නිර්වස්ත්‍ර පූජකයින්ට වැඳීම ඇය ප්‍රතික්ෂේප කළා. ඇය පිළිකුලින් ඉවත්ව ගියා. “අපගේ රහත් ශ්‍රමණයන් වහන්සේලා පිළිකුල් කරන්නේ ඔබගේ ශ්‍රමණයන්ගේ අමුතු ගුණ තියනවාද? නැන්දණිය තම ලේලියගෙන් ඇසුවා. “මාගේ ශ්‍රමණයන් වහන්සේලාගේ සන්සුන් ඉදුරන් ඇත. සන්සුන් ගමන් ඇත. බිමට හෙලූ දෙනෙතින්ම ගමන් ගන්නා සේක. දොඩමලු නැත. ලැබීමෙන් උඩගු නොවේ. නොලැබීමෙන් කම්පාද නොවේ. යසසින් , තුතියෙන් සැපෙන් උඩගු නොවේ. අයසසින්, ගැරහුමෙන්, දුකින් කම්පා නොවේ.” යනුවෙන් චූල සුභද්‍රා පැවසුවා. “එසේ නම් අපටත් බලාගන්න ඔබේ ශ්‍රමණයන් අපේ නිවසට කැදවන්න. නැන්දණිය කිව්වා. “හොඳයි, මා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පන්සියයක් නිවසට වඩමවන්නම්. ඒ සඳහා අවශ්‍ය දාන කටයුතු සූදානම් කරන්න. “ චූල සුභද්‍රා කීවා. ගව් එකසිය විස්සක් දුර සිටින බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කෙසේ කැදවන්නේදැයි මෙම අය තුල සැකයක් සහ මවිතයක් ඇති වුනා.
චූල සුභද්‍රා සමන්මල් අට මිටක් නෙලාගෙන ප්‍රාසාදයේ සත්වන මහලට ගියා. දෙව්රම් වෙහෙර දෙස බලා ගත් ඇය තුනුරුවන් ගුණ සිහි කරමින් තුනුරුවන් නමස්කාර කර මෙසේ ප්‍රාර්ථනා කළා. “ ස්වාමීනි , භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! ඔබ වහන්සේගේ කුලුපග දායිකාව වන මේ චූලසුභද්‍රාවගේ අහිංසක ආරාධනය පිළිගන්නා සේක්වා! මා දිනකට තෙවරක් දෙව්රම් වෙහෙරට පැමිණ ඔබ වහන්සේට නමස්කාර කළා. ඔබ වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට නොකඩවා දන්වැට පිළිගැන්නුවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පන්සියයක් හෙට උග්ගසිටු මැදුරට දානය සඳහා වඩින සේක්වා! මෙසේ ප්‍රාර්ථනා කළ චූලසුභද්‍රා සමන්මල් අටමිට අහසට විසි කළා. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ සිවු පිරිස්මැද දහම් දෙසමින් වැඩ සිටියා. චූලසුභද්‍රා අහසට විසි කළ සමන්මල් බුදුරජාණන් වහන්සේ මතුයෙහි වියනක් මෙන් සිටියා.
බණ ඇසීමට පැමිණ අනේපිඬු සිටුතුමා බණ අසා අවසානයේ පසුදින දානයට බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. “සිටුතුමා හෙට දින දානය මා පිළිගෙන අවසානයි” බුදුරජාණන් වහන්සේ වදාළා . “ස්වාමීනි , කිසිවෙක් දනට ආරාධනය කරනවා .
මා දුටුවේ නැතැ’යි සිටුතුමා ප්‍රකාශ කළ විට” සිටුතුමා ඔබගේ දියණිය චූල සුභද්‍රා හෙට දින දානය සඳහා ආරාධනා කළා. සත්පුරුෂයෝ දුර සිටියද, අභිමුඛව සිටින්නාක් මෙන් ප්‍රාර්ථනා මාත්‍රයෙන්ම පෙනේ”යයි බුදුරජාණන් වහන්සේ වදාළා.
රහතන් වහන්සේලා පන්සියයක් සමග බුදුරජාණන් වහන්සේ උග්ග සිටුමැදුරට වැඩම කළා. බුද්ධ තේජසින් බබලමින් වඩින බුදුරජාණන් වහන්සේ දුටු උග්ගසිටුහට ප්‍රසන්න සිතක් එක්වරටම පහළ වුනා. බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද වැඩී ගිය උග්ගසිටු සතියක් පුරා මහා දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ සිටුවරයාගේ අදහස්වලට අනුරූපව ධර්මදේශනා කළා. උග්ගසිටු ඇතුලු සුවාසු දහසක් දෙන ධර්මාවබෝධය ලබා තෙරුවන් සරණ ගිය උපාසක පිරිසක් බවට පත්වුනා.
මාතෘකා කළ ගාථාවේ සත්පුරුෂයන් යනුවෙන් හඳුන්වන්නේ පෙර සසර පුරා මහත්වූ පුන්‍යක්‍රියා කරමින් ප්‍රාර්ථනා සිද්ධි ඇතිකරගෙන රාගාදී කෙලෙස් සංසිදුවා කුසල් පුරවාගෙන පැමිණි උතුමන්ය. මෙම උතුමන් ගව් සිය දහසක් දුර සිටියද, බුදු නුවණට පෙනේ. ගව් එකසිය විස්සක් දුර සිටි චූල සුභද්‍රවගේ ප්‍රාර්ථනය බුදුනෙතට දිස්වූයේ ඇය සසරපුරා වර්ධනය කරගෙන ආ සත්පුරුෂ ගුණ නිසාය. පරලොවක් ගැන නොසිතන ගිහියාද, ආමිෂයෙහි ගිජුව මහණ ධම් නොපුරන්නාවූද, ගෙදර දොර කෑම් බීම් ඇදුම් පැලදුම් නැතිව අගහිකකම් නිසා පැවිදිවන්නා වූ පැවිද්දාද අසත්පුරුෂ යනුවෙන් හැඳීන්වේ. කරුවල රාත්‍රියක විදින ලද හීතලයක් යම් සේ නොපෙනේද එසේම පාපි පුද්ගලයා ලඟ සිටියත් බුදුනෙතට ඔහුව නොපෙනේ. ධර්මාවබෝධයක් ලැබීමට නොහැකි බැවිනුත් මෝහයෙන් මුලාවූවකු බැවිනුත්, ඔහු යහමගට ගැනීමට නොහැකි බැවිනුත් බුදුනුවණ ඔහු වෙත යොමු නොවන්නේමය. ජේතවනාරාමය පෙනී පෙනී සිටියද චුන්දසූකරිය ලඟ බුදුමඟයාමට හේතු සම්පත් නැති බැවින්ද සසර පුරා ගෙන ආ පාපකර්මයන්ගෙන් ඔහු යටපත් කර ඇති බැවින්ද බුදු නුවණට ඔහු හමුවූයේ නැත. අනන්ත වූ කරුණාවෙන් තුන්ලොවක් සනසා වදාළ මහා කාරුණිකයාණන් වහන්සේගේ බුදුනෙතටවත් පාපි පුද්ගලයා දිස්වන්නේ නැහැ. අපි කරනා කුසලා කුසලකර්ම දම්වැලේ පුරුක් මෙන් භවයෙන් භවය බැදීගෙන අප සමග පැමිණෙනවා. අප සසර පුරාගෙන යන්නේ අප කරනා කුසල් අකුසල් පමණයි. කරනා කුසලකර්ම තම සෙවනැල්ල මෙන්ද, අකුසලකර්ම ගැල අදින ගොනා පිටුපස පැමිණෙන ගැල් සකමෙන් පසුපසම ලුහුබඳින බවද ධම්මපදය යමකවග්ගයේ පළමු ගාථා දෙකින් පැහැදිලිවෙනව. ක්‍ෂණසම්පත්තිය සහිත මනුස්ස ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසර දුකින් අත්මිදීමට අධිෂ්ඨාන කර ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.