12. Athma Waggaya ආත්ම වර්‍ගය

12-1 බෝධිරාජ කුමාරයන්ට දූ පුතුන් නො ලැබීමේ හේතුව

අත්තානං චෙ පියං ජඤ්ඤා රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං පටිජග්ගෙය්‍ය පණ්ඩිතො.

ඉදින් තමා තමහට ප්‍රිය යැයි දන්නේ වී නම්, එය සුරක්‍ෂිත කොට රක්නේ ය. (යමෙක් තමා රකිමි යී වැසූ දොරකවුළු ඇති ගෙයකට වැද රකවළ ඇති වැ වසන්නේ ද, අකුසල් කෙරේ නම්, හේ තමා රක්නේ නම් නො වේ. යමෙක් එළිමහනැ සිටින්නේ නුමුදු අකුසලින් දුරු වැ දානාදි සුචරිතයෙහි යෙදේ නම්, හේ තමා රක්නා නම් වේ. එහෙයින් නුවණැත්තේ තුන් වයසෙන් එක්තරා වයසෙක අකුසලින් දුරු කොට තමා රක්නේ ය.

12-2 උපනන්‍ද තෙරුන් සිවුපසය සැපයූ සැටි

අත්තානමෙව පඨමං පතිරූපෙ නිවෙසයෙ
අථඤ්ඤමනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතො.

පළමු කොට තමා ම සුදුසු ගුණයෙක්හි පිහිටුවන්නේ ය. (යමෙක් අපිස්බව් ආදි ගුණයෙකින් අනුනට ඔවා දෙනු කැමැත්තේ නම්, ඔහු විසින් පළමු කොට ඒ ගුණයෙහි පිහිටිය යුතු යි.) ඉක්බිත්තෙන් පරා හට (තමා පිහිටි ගුණයෙන්) අනුශාසන කරන්නේ ය. මෙසේ කරණ තැනැත්තේ නො කෙලෙසෙන්නේ ය (නො තැවෙන්නේ ය).

12-3 පධානික තෙරුන්ගේ බණ

අත්තානඤ්චෙ තථා කයිරා යථඤ්ඤමනුසාසති
සුදන්තො වත දම්මෙථ අත්තා හි කිර දුද්දමො.

අනෙකකුට යම්සේ අනුශාසන කෙරේ ද, එසේ ම තමා ප්‍රතිපත්තිසාරයකු කරන්නේ වී නම්, හේ තෙමේ මනා වැ දැමුනේ අනුන් දාන්ත කරන්නේ ය. යම් හෙයකින් තමා දමනය කිරීම දුෂ්කර ද (හෙවත් ආත්ම දමනය උගහට ද,) එ හෙයිනි. (යම් ලෙසෙකින් තමා දාන්ත කරණ ලද්දේ මොනවට දැමුනේ නම් වේ ද එ ලෙස දැමිය යුතු).

12-4 කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ

අත්තා හි අත්තනො නාථො කො හි නාථො පරො සියා
අත්තනා’ව සුදන්තෙන නාථං ලභති දුල්ලභං.

තමාහට තමා ම පිහිට වන්නේ ය. තමා හැර අන් කවරෙක් තමහට පිහිට වන්නේ ද? ඉන්‍ද්‍රියදමනයෙන් මනා කොට දැමුනාවූ තමා කරණ කොට ගෙණ ම පරමදුර්‍ලභ වූ (රහත්පල යැ යි කියන ලද) ප්‍රතිෂ්ඨාව ලබන්නේ ය.

12-5 මහාකාලයාට වූ විපත

අත්තනා’ව කතං පාපං අත්තජං අත්තසම්භවං
අභිමත්‍ථති දුම්මෙධං වජිරං’වස්මමයං මණිං.

තමා කෙරෙන් ම ජනිත වූ, තමා කෙරෙන් ම උපන්නා වූ, තමා විසින් ම කරණ ලද්දා වූ අකුශල කර්‍මය තෙම (අකුශලකාරී වූ ඒ) අනුවණයා මඩනේ ය. (සිවු අවාහි ගලා දුක් දෙන්නේ ය.) (පාෂාණමය වූ පාෂාණයෙන් ම උපන්) විදුර තමහට උත්පත්තිස්ථාන වූ පාෂාණය (කා, සිදුරු විසිදුරු කොට, කඩ කොට) අපරිභෝගාර්‍හ කරන්නාක් මෙනි.

12-6 දේවදත්ත ස්ථවිරයන් වහන්සේ

යස්ස අච්චන්තදුස්සීල්‍යං මාලුවා සාලමිවොතතං
කරොති සො තථත්තානං යථා නං ඉච්ඡතී දිසො.

යමක්හුගේ ඒකාන්ත දුශ්ශීලභාවය, සල්රුකක් වැලැඳ ගෙන සිටි මාලුවා වැලක් මෙන්, ඒ දුග්ශීලයා වැලැඳ ගෙණ සිටියේ වේ ද, එක්තරා එකක්හුගේ සතුරෙක් ඒ තමාගේ සතුරාට යම්සේ අනර්‍ත්‍ථයක් කොට පියනු කැමැති වේ ද, ඒ දුශ්ශීල පුද්ගල ද තමහට එසේ ම අනර්‍ත්‍ථ කරන්නේ ය.

12-7 දේවදත්ත ස්ථවිරයන් කළ ප්‍රකාශයෙක්

සුකරානි අසාධූනි අත්තනො අහිතානි ච
යං වෙ හිතඤ්ච සාධුං ච තං වෙ පරමදුක්කරං.

යම් කර්‍ම කෙනෙක් සාවද්‍ය හෙයින් අසාධු ද, (අපාය සාධක බැවින්) තමහට අහිත ද, එසේ වූ (අකුශල) කර්‍මයෝ (වළ තැනට ගෙණ යන දිය සෙයින්) සුව සේ කටහැක්කාහු ය. යම් කර්‍මයෙක් කරණ ලද්දේ (සුගතිසාධක බැවින්) තමහට හිත ද, (නිරවද්‍ය බැවින්) සාධු ද, ඒ (කුශල) කර්‍මය (පැදුම් දෙසට නතු වූ ගඟක් පෙරළා පැළ දෙසට නතු කරණු සෙසින්) අතිදුෂ්කර යි (කරන්නට ඉතා ම නො පිළිවනි).

12-8 කාල ස්ථවිරයන් වහන්සේ

යො සාසනං අරහතං අරියානං ධම්මජීවිනං
පටික්කොසති දුම්මෙධො දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සෙව අත්තඝඤ්ඤාය ඵල්ලති.

යම් අඥාන පුද්ගලයෙක් (තමහට වන ලාභසත්කාරයට හානි වෙතැ යි බියෙන්) ලාමක වූ දෘෂ්ටිය නිසා නිකෙලෙස් වූ, දැහැමින් ජීවත් වන සුලු වූ, (බුද්ධාදි) ආර්‍ය්‍යයන්ගේ අනුශාසනය වළකා ද, (ඔහුගේ ඒ ප්‍රතික්‍රෝශනය ද ලාමක දෘෂ්ටිය ද) හුනගස්හුගේ පල ගැන්ම මෙන් ආත්මවධය පිණිස (තමහට විනාශය පිණිස) පල ගන්නේ ය (හෙවත් නිපදනේ ය).

12-9 චුලකාල උපාසක තැන

අත්තනා’ව කතං පාපං අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ.

තමා විසින් ම පව් කරණ ලද නම් (සිවුඅපාහි ඉපිද දුක් විඳින්නේ) තෙමේ ම කෙලෙසෙන්නේ ය (තැවෙන්නේ ය). තමා විසින් ම පව් නො කරණ ලද නම්, එයින් තෙමේ ම විශුද්ධ වන්නේ ය. ශුද්ධිය ද අශුද්ධිය ද තමා පිළිබඳ ය. අනෙකෙක් අනෙකකු ශුද්ධ නො කරන්නේ ය.

12-10 අත්තදත්ත ස්ථවිරයන් වහන්සේ

අත්තදත්‍ථං පරත්‍ථෙන බහුනාපි න හාපයෙ
අත්තදත්‍ථමභිඤ්ඤාය සදත්‍ථපසුතො සියා.

බොහෝ වූ ද පරාර්‍ත්‍ථය නිසා ආත්මාර්‍ත්‍ථය නො පිරිහෙළන්නේ ය. ආත්මාර්‍ත්‍ථය වෙසෙසා දැන, අර්‍හත්ත්‍වඵලාධිගම නම් වූ ස්වාර්‍ත්‍ථයෙහි නියැලියෙක් වන්නේ ය.

Donations
You cannot copy content of this page