06 ප්රාප්ති දානය හෙවත් පින් දීම
තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට ය, පිළිගන්නටය යි වචනයෙන් කීමෙනි. තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමූහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා: ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමූහයේ නම කියා පින් දීම කළයුතු ය. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ.
පැන් වැඩීම
දායකයාගේ අතින් ගෙන ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි තබා නොදිය හැකි දෑ දෙන ක්‍රමය අතුරෙන් පැන් වත් කොට දීම ද පෙර පටන් මිනිසුන් අතර පැවත එන එක් දාන ක්‍රමයෙකි. බිම්සර රජතුමා වේළුවනාරාමය පැන් වත් කිරීමෙන් පූජා කළ බව මහාවග්ග පාලියේ දක්වා තිබේ. දෙවන පෑතිස් රජතුමා මහමෙවුනා උයන පූජා කිරීමේ දී ද පැන් වත් කොට පූජා කළ බව විනය අටුවාවේ දක්වා තිබේ. පින් දීමේ දී පැන් වත්කරනුයේ ඒ පෞරාණික චාරිත්‍රයට අනුව ය. පැරණියෝ ජලය වත් කොට දීම සාක්ෂියක් වශයෙන් සැලකූහ. මෙකල පැන් වත් කොට පින්දෙනු දක්නට ලැබෙන්නේ මළවුන්ට ය. කාහට පින්දීමට වුව ද පැන් වත්කළාට වරදක් නැත. මළවුන්ට පින්දීමේ දී වුව ද පැන් නො වත් කළාට වන හානියක් නැත. එහෙත් එය දීර්ඝ කාලයක් බෞද්ධයන් විසින් කර ගෙන ආ චාරිත්‍රයක් බැවින් පැන් නොවත් කළ හොත් පින් නො ලැබෙති යි සිතා මළවුන් පින් අනුමෝදන් නො වුවහොත් ඔවුනට හානියක් විය හැකි බැවින් පෞරාණික චාරිත්‍රය එසේ ම පවත්වා ගෙනයෑම යහපති.