Mal pooja මල් පූජාවේ අනුසස්

මල් පූජාවේ අනුසස්

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාව අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ උතුම් පූජාවක්. නිවන් දකිනා තුරු සැප විපාක ලැබෙන්නේ ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන, වැඩෙන සේ පින්කම සිදු කිරීමෙන් පමණ යි. ඕනෑවට එපාවට යමක් කළොත් ලැබෙන්නේ අපා දුක් විඳීම යි.
Mal pooja මල් පූජාවේ අනුසස්ගුණ සම්පත්, ඉන්ද්‍රිය සම්පත් දියුණුවෙන් සෝමනස්ස සහගත ව සන්තෝෂයෙන් යුක්තව පින්කම කළ යුතු යි. ඥාන සම්ප්‍රයුක්ත ව, මේ පූජාවෙන් මෙවැනි ඵල විපාක ලැබෙනවා යනුවෙන් කර්ම ඵල විශ්වාසයෙන්, නිවන් සම්පත් ලැබේවා යන පැතුමෙන් පින්කම සිදු කළොත් නිවන් දකිනා තුරු සැප විපාක ලැබෙයි.
බුද්ධ ශාසනයේ උත්තර නමින් රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන් වහන්සේ මෙවැනි කතාවක් වදාළා. ‘මම සුමේධ බුදුරජාණන් වහන්සේගේ ශාසන කාලයේ ඍද්ධිවන්ත තාපසයෙක් මි. එක්තරා දවසක මා අහසින් වඩිද්දී ගසක් පාමුල වැඩ සිටි සුමේධ බුදුරජාණන් වහන්සේ දැක දේහ ලක්ෂණ අනුව මේ ලොව්තුරා බුදුකෙනෙක් බව සිතුවෙමි. එවැනි උතුමෙකුට යම් පූජාවක් කරනවා නම්, එය මහා පූජාවක් ය යන අදහසක් ඇති වුණි. නමුත් පූජා කරන්න අතෙහි කිසිවක් නොමැති බැවින් සමීපයේ ඇති කිනිහිරියා ගසින් මල් (මෙහි පුෂ්පයන්ගේ වර්ණය බුද්ධ දේහයේ වර්ණයට සමාන වෙයි) නෙළාගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් , ඕනෑකමින් මේ පූජාව ලොව්තුරා බුදු කෙනෙකුට පූජා කරනවා යැයි සැදැහැ සිතින්, දෝතින් ම ගෙන අසම සම ගුණැති බුදුරජාණන් වහන්සේට මල් පූජාව සිදු කළා. උතුම් ගුණ සිතෙහි දරාගෙන, ශ්‍රද්ධාදී ගුණ මතුකරගෙන, තමන් ද ශීලයක පිහිටාගෙන සිදු කළ මේ පූජාව මහත් ඵල වුණා.
තාපසතුමාගේ මරණාසන්න මොහොතේ ද මේ උතුම් පින්කම සිහියට නැඟුණා. මෙහි ආනිසංස සුමේධ බුද්ධ ශාසනයේ පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වා ම ඇති කල්ප තිස්දාහකම කවර ආත්මයකවත් සතර අපාගත වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොලුවෙක්, මන්දබුද්ධිකයෙක් , අවාසනාවන්තයෙක් , මිථ්‍යාවාදී කෙනෙක් වශයෙන් උපත ලැබුවේ නැහැ. මනුලොව මනුෂ්‍ය, රාජ, සක්විති සම්පත් ලැබුවා. දෙව්ලොව දිව්‍ය රාජ සම්පත්, බඹ ලොව ධ්‍යාන සම්පත් ලැබුවා. මෙලෙස සුගතිගාමී ව ගෞතම බුද්ධ ශාසනයේ දී දෙව් ලොවින් චුතවී මනු ලොව උපත ලබා තරුණ වියේ දී පැවිදි වී නොබෝ දිනකින් රහත් බව ලැබුවා. මෙලෙස කල්ප තිස්දාහකට පෙර කළ පින්කමේ අනුසස් වදාළ බව අපදාන පාලියේ සඳහන් වෙනවා.
එසේනම්, දිනපතා කරන පූජාවන් ආවාට ගියාට කරන්නට එපා. ශ්‍රද්ධා දී ගුණ මතුකරගනිමින් , පිරිසුදු දෑතින් නෙළාගත් මල් , නිසි පරිදි පැන් ඉස, ඉතිපි සෝ ගාථාව සජ්ඣායනා කර බුද්ධාසනය මතට රැගෙන යන්න. මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා යනුවෙන් සිත පහදවා ගෙන ලැබෙන පින මටත්, මිය ගිය ඥාතීන්ටත් , දෙවියන්ටත් නිවන් සැප ලැබේවා පැතුමෙන් දෙදණ නවා, නළලත බිම තබා පසඟ පිහිටුවා වැඳ නමස්කාර කරන්න. දෙව්ලොව පතා කරන පින්කමෙහි සැප විපාක මද බවත්, නිවන් සැප පතා කරන පින්කමෙහි අනුසස් බහුල බවත් කල්පනාවෙන් වැඩි වැඩියෙන් උදාර පින්දහම් කිරීමට අවකාශ , අධිෂ්ඨාන තබා ගත යුතු යි. එක්තරා රහතන් වහන්සේ නමක් , තමන් වහන්සේ ඉහත ආත්ම භාවයක පියුමතුරා බුදුරජාණන් වහන්සේට සිදු කළ වැටකෙයියා මල් පූජාවෙන් කල්ප ලක්ෂයක් සුගතියක ම සැප විපාක විඳ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී නිවනට පත් වුණ බව ද , එවැනි ම මල් පූජාවක් සෑ රදුන් වහන්සේට සිදු කර සැප විපාක ලද බව ද අපදාන පාලියේ සඳහන් වෙනවා.
සාරිපුත්ත මහ රහතන් වහන්සේ අනෝම දස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ තාපසයෙක් ව එහි වාසය කළා. වනාන්තරයේ කුටි සකසාගෙන තාපසවරු හැත්තෑ හතර දහසක් සමඟ වාසය කළා. මේ ආරාමයට අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන , වතාවත් සම්පූර්ණ කර, දවල් දානයට පලතුරු වර්ග පූජා කර, අනතුරුව ගෝල බාල තාපසවරු හැත්තෑ හතර දාහස ලවා ම වනාන්තරයෙන් මල් නෙළාගෙන විත්, බුද්ධාසනය මත තැම්පත් කර විශාල මල් පූජාවක් සිදු කළා. එහි අනුහසින් ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් වීමට පැතූ පැතුම ඉටු වූ සැරියුත් තෙරුන් වහන්සේ මල් පූජාවේ ආනිශංස වදාළා. තාපස ජීවිතයේ පටන් ගෞතම බුදු සසුන දක්වාම මල් පූජාවේ අනුහසින් සතර අපාගාමී නොවූ උන් වහන්සේ මනුලොව, දෙව්ලොව උපත ලබමින් සියලු සම්පත් ලබාගෙන , පාරමී ගුණ ද දියුණුවෙන් ගෞතම මහ බෝසතාණන් වහන්සේ සමීපයේ ම වාසය කළා. උන්වහන්සේගේ බෝධිකාරක ධර්මයන්ට උදව් පදව් කළා. ආරක්ෂකයකු වශයෙන් ද වාසය කර පැවිදි ව ගෞතම බුද්ධ ශාසනයේ ඉර හඳ මෙන් බැබළෙමින් සාරිපුත්ත නමින් ප්‍රකට වුණා.
මේ අනුව ලොව්තුරා බුදු රදුන් උදෙසා කරන පූජාවන් අනර්ඝ යි. ඒ පින මෙපමණයි යනුවෙන් සඳහන් කරන්නට බැහැ. ඒ නිසා දිනපතාම උදේ , සවස මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න. එලෙස ධර්ම රත්නයට, සංඝ රත්නයට, පූජා වේවා යනුවෙන් සිතන්න. සියලු වෙහෙර විහාරස්ථානවල වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලාටත්, අනන්ත බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාටත්, මේ මල් වට්ටිය මම පූජා කරමි, පූජා වේවා, මේ පිනෙන් මට නිවන් සම්පත් ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර ගන්න. මෙවැනි අදහසින් කරන පින්කමෙන් තමන් රහත් ඵල ලබන තුරුම විපාක දෙනවා. ඒ නිසා ශ්‍රද්ධා දී ගුණ සිතෙහි තබාගෙන ම බුදු ගුණ සජ්ඣායනාවෙන් ම බුදුරජාණන් වහන්සේ උදෙසා පින්කම් සිදු කිරීමෙන් නිවන් දකිනා ජාති දක්වාම සුගතිගාමී ව වාසය කළ හැකියි. ඒ නිසා එක් ජීවිතයක් පස් පවින් වැළකී , ගුණ දහම් දියුණුවෙන් කටයුතු කළොත් සංසාරෙටම අගනා වෙයි. කිසිවෙකින් අඩු පාඩු නො වෙයි. ඉතිපි සෝ ගාථාව නිතර මෙනෙහි කරමින් බුදු ගුණ වඩන්න, මෛත්‍රිය වැඩි කර ගන්න, ලොවටම සෙත් පතන්න. බණ පොත් කියවීම, බුදුසරණ පුවත්පත කියවීම ආදිය සිදු කළ යුතු යි. මෙලෙස තමන් ඉතා පිරිසුදු සිතෙන් පාරමී ගමන යන්න. නිවන් මඟට බැස නිවන් සුව පතාම පින්දහම් සිදු කර ගන්න.
ඇතැමෙක් මල් පූජා පින්කම වැඩක් නැතැ’යි පැවසුව ද එවැනි දුර්මත ඉවතලමින්, ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට ගොස් නිවන් සුව පතාම මේ ගමන අවසානය දක්වාම යන්නට අවශ්‍යයි. මේ කරුණු කාරණාවෝ කවුරුත් බොහොම හොඳින් සිතට ගතට ගෙන, දස පාරමිතාවෝ පිරෙන සේ , ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන සේ පූජා සත්කාර වන්දනා මාන කළ යුතු යි. සෑම නිවසක ම බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. එය ගෞරව සම්ප්‍රයුක්තව තබාගෙන වැඳුම් පිදුම් කළ යුතු යි. ඇතැමුන් බුදුරජාණන් වහන්සේ ට වෙනම කුටියක් සකසා තිබෙනවා. මේවා අනන්ත ජාතිවල මාලිගා ලැබෙන පින්කම්. එය සැමටම කළ නොහැකි නම්, තමන්ට හැකි සේ වතාවත් ඉෂ්ඨ සිද්ධ කර ගන්න. මරණින් මතු කොහේ යනවා ද, නැවත බුදු කෙනෙක් හමු වෙනවා ද යනුවෙන් සිතන්නට බැහැ. ඒ නිසා කවුරුත් ලබාගත් බුද්ධ ශාසනය රැකගෙන හැකිතාක් උදාර පින්දහම් සිදු කර, බුද්ධාදී උතුමන් නිවී සැනසුණු, නිවන් පසක් කරගන්නට ලැබේවා!
අති පූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි.