සාන්දෘෂ්ටික දානානිසංස සතරක් පෙන්වා ඇත,
– දායක තෙමේ බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වේ.
– දායකතුමා පිළිබඳව යහපත් කීර්ති රාවයක් පැතිරේ.
– ඕනෑම පිරිසක් කරා විශාරදව එළඹීමේ ශක්තියක් ලැබේ. මකුවීමකට තෙද රහිත වීමකට පත් නො වේ.
– යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේ.
එසේම දානානිසංස සූත්‍රයට අනුව
– ගිහි ධර්මයන්ගෙන් නො පිරිහුන කෙනෙක් වන බව දක්වා ඇත. අඛණ්ඩව සිල් ආදී ගුණ, පන්සිල් ආදී ගුණ රකින්නෙකු යන අර්ථය යි.තව ද මරණින් මතු සුගති ලෝකයක ඉපදීමට ද මෙම දානමය පිංකම හේතුවන බව පෙන්වා දී ඇත.
– පින්වතුනි, තව ද සත්පුරුෂ දාන පහක් ඇති අතර එහි විශේෂ විපාක සප්පුරිස දාන සූත්‍රයට අනුව මෙසේ
සත්පුරුෂ දාන ආනිසංස පහ
01 ශ්‍රද්ධාවෙන් දන්දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ. එබැවින් ශ්‍රද්ධාවෙන් ම දන් දෙත්වා !
02 සකස්කොට දන්දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹුදරුවන් ස්වාමිපුත්රයන් දැසි දස්සන් ලැබේ. (එබැවින් දෙන දෑ සකස් කොට දීමට පුරුදු වන්න)
03 ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේ දී බොහෝ සැප සම්පත් ලැබේ.
04 ලෝභයකින් තොරව දන්දීම හේතුවෙන් හොඳ ආහාරපාන, යානවාහන, ගේදොර ආදිය පරිභෝජනය කිරිමට සිත් නැමෙනු ඇත. ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
05 තමා ද අන් අය ද වෙහෙසට පත් නො කොට ධාර්මික වස්තුවෙන් දන්දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන්, ජලයෙන්, සොර සතුරන්ගෙන්, අකීකරු දූ දරුවන්ගෙන්
විනාශ වී තමාට අහිමි නො වේ. ලැබෙන සම්පත් සුරක්ෂිත වේ කියා ය
සත්පුරුෂ පින්වතුනි! තවත් දාන හතරක ආනිසංස ධර්මයෙහි සදහන් වේ
01 තමා ගේ ධනයෙන් දන්දෙන අතර අන්‍යයන් ඊට සහභාගී කර නො ගනී. ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නො ලැබී යයි.
02 තම ධනය වියදම් නො කොට බොහෝ පිරිස් එකතු කොට ඒ අයගේ ධනයෙන් දන්දීම හේතුවෙන් මතු ධන සම්පත් නො ලැබෙන අතර පිරිවර සම්පත් ලැබෙනු ඇත.
03 තමා ද දන් නො දෙන අතර දෙන දානයකට ද සහභාගී නො වීම හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙක ම නො ලැබේ.
04 තම ධනය ද යොදා අන් අය ද ඊට සහභාගි කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් ද පිරිවර සම්පත් ද යන දෙකම ලැබෙනු ඇත.
ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්තව එකඟ වූ නො විසිරුන සිතින් දෙන පුංචි දෙයක් වුව ද මහත් ඵල වන බව පෙන්වීමට අපදාන පාලියට අනුව කරුණු පෙන්වා දෙමි.
(ධම්ම පදට්ඨ කථා 46 පිටුව)
පෞද්ගලික දානයේ විපාක
අහක දැමිය යුතු දෙයක් අහක දමනු වෙනුවට දීමත්, ප්‍රයෝජනය ලබන ගවාදි සතුන්ට ඒ නිසා දීමත්, සාගින්න නිවෙන්නට ප්‍රමාණ නො වන පරිද්දෙන් බත් පිඩක් දෙකක් දීමත් හැර, පින් කැමැත්තෙන් බලු කපුටු ආදි සතකුට කුස පුරා ආහාරයක් දීමෙන් ජාති සියයක දී ආයුෂය, වර්ණය ය, වර්ණය ය, සැපය ය, බලය ය, ප්‍රඥාවය යන ආනිසංසයෝ ලැබෙත්. පෘථග්ජන දුශ්ශීලයාට දන් දීමෙන් ජාති දහසක දී ද පෘථග්ජන සිල්වතාට දන් දීමෙන් ජාති ලක්ෂයකදී ද සර්වඥ ශාසනයෙන් බැහැර ධ්‍යානලාභීන්ට දන්දීමෙන් ජාති කෝටි ලක්ෂයක දී ද ආයුෂාදි සම්පත් ලැබෙන්නේ ය. සෝවාන් ඵලය පිණිස පිළිපදින තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙහි ආනිසංසය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන්නේ ය.
දානය වෘත්තනිඃශ්‍රිත දානය ය, විවෘත්ත නිඃශ්‍රිත දානය ය, උභය නිඃශ්‍රිත දානය ය යි, තුන් ආකාර වේ. මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලබනු සඳහා දෙන දානය වෘත්ත නිඃශ්‍රිත දානය ය. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගය ම පතා දෙන දානය උභය නිඃශ්‍රිත දානය ය. කොපමණ මහත් දානයක් වුව ද ලෞකික සම්පත් පතා දුන හොත් ඒ හේතුවෙන් ලෞකික සම්පත් ම මිස ලෝකෝත්තර සම්පත් නො ලැබෙන්නේ ය. “සචෙ වට්ට සම්පත්තිං පත්ථෙත්වා වට්ට නිස්සිත වසෙන මිච්ඡා ඨපිතං හොති, වට්ට මෙව ආහරිතුං සක්කොති, නො විවට්ටං” යන අටුවා පාඨයෙන් ඒ බව දැක්විණ. “ඉදං මේ දානං ආසවක්ඛ්යාවහං හොතුති එවං විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන සම්මා ඨපිතං අරහත්තම්පි පච්චෙකබොධි ඤාණම්පි සබ්බඤ්ඤුත ඤාණම්පි දාතුං සක්කොති එව” යන අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි, මාගේ මේ දානය ආශ්රවක්ෂය සංඛ්‍යාත අර්හත්වය ගෙන දෙන්නෙක් වේ වා” යි විවෘත්තය පතන්නහු විසින් විවෘත්ත නිඃශ්‍රිත කොට මනා කොට තබන ලද්දේ එයින් අර්හත්වය ද ප්රත්යෙක බෝධිඥානය ද සර්වතාඥානය ද යන සියල්ල ම ලබා දෙන බව දත යුතුය. අර්හත්වය හෝ නිවන පතා දෙන්නවුන්ට නො පැතුයේ ද, ඒ කුශලයෙන් නිවනට පැමිණෙන තුරු දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද ලබා දෙන්නේ ය. දාන පාරමිතාව වනුයේ ද විවෘත්ත නිඃශ්‍රිත දානය ය. වෘත්ත නිඃශ්‍රිත දානය දාන පාරමිතාවට ඇතුළත් නොවේ. මෙකල දන් දෙන බොහෝ දෙනා දන් දී දිව්‍යමනුෂ්‍ය සම්පත් ලබා අන්තිමේ දී නිර්වාණ සම්පත්තිය ලැබේවා යි පතති. එසේ පතන්නවුනට නිවන් ලැබීමට බොහෝ කල් ගත වේ. එබැවින් දන් දී අනෙකක් නො පතා අර්හත්වය හෝ නිවන ලැබේවා යි පැතීම ම යහපති. පෙර පසේ බුදුවරයකුට එක දා උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගෙන් නිවන් පමණක් පැතූ තැනැත්තා විපස්සී බුදුන් වහන්සේ ගේ සස්නෙහි දී නිවනට පැමිණියේ ය. භවභෝග සම්පත් ද සමඟ නිවන් සම්පත් පැතූ සහෝදරයාට නිවනට පැමිණිය හැකි වූයේ ඊට කල්ප අනූ එකකට පසු අප බුදුන්ගේ සස්නෙහිදී ය. විස්තර දම්පියාටුවාවේ ජෝතිය සිටාණන්ගේ කථාව බලා දත යුතුය.
සාංඝික දානයේ අනුසස්
“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්යං අප්පමෙය්යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”
යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.
සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍රමාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍රමාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍රමාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.
(බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහනාහිමි)
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062