බුද්ධ භූමි වන්දනාවේ අනුසස්

February 6, 2022
Published by: Dhamma Deepa

280 Views

 




භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා,
“ආනන්දය, ශ්‍රද්ධාවන්ත පුද්ගලයාහට දැකීමට සුදුසුවූ දැකීමෙන් සංවේගය උපදවන්නාවූ ස්ථාන සතරක් වෙත්. ඒ ස්ථාන සතර නම් කවරහුද?

1)‘තථාගතයන් වහන්සේ මෙලොව උපන් ස්ථානය.
2)‘තථාගතයන් වහන්සේ අනුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබෝධ කළ ස්ථානය.
3)තථාගතයන් වහන්සේ ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පැවැත්වූ ස්ථානය.
4)තථාගතයන් වහන්සේ අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ ස්ථානය.

ආනන්දය, ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයාහට දැකීමට සුදුසුවූ සංවේග උපදවන්නාවූ මේ සතර ස්ථාන නම් වන්නාහුය.
ආනන්දය, මෙහි තථාගතයන් වහන්සේ ලොව උපන්නේයයි කියාද, මෙහි තථාගතයන් වහන්සේ ඉතා උතුම්වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේයයි කියාද, මෙහි තථාගතයන් වහන්සේ විසින් ඉතා උතුම්වූ ධර්ම චක්‍රය පවත්වන ලද්දේයයි කියාද, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි කියාද, ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ඒ තැන් කරා පැමිණෙන්නාහුය.
ආනන්දය, බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත ගමන් කරමින් ඇවිදින්නාවූ යම්කිසි කෙනෙක් මැරෙන මොහොතේ ඒ ස්ථාන සිහියට නැගී, පැහැදි සිතින් කාලක්‍රියා කරන්නාහු වෙද්ද, හෙතෙම මරණින් පසු මනාප ගති ඇති සැපයෙන් යුත් දිව්‍යලෝකයෙහි උපදින්නේ ය” යැයි වදාළේය.
එබැවින් මෙම ස්ථාන සතර වන්දනා මාන කර ගැනීම සිය ජීවිතයේ දී එක් වරක් හෝ සිදු කිරීම බෞද්ධයකුට සුගතිය සලසන පුණ්‍යක්‍රියාවකි.
( දීඝ නිකාය – මහා පරිනිර්වාණ සූත්‍රය )

Dhamma Deepa