ඈත අතීතයේ අටමස්ථානය භාරකාරත්වය ලැබුණු ආකාරය
අටමස්ථානාධිපති හිමියන් පත් කිරීමේ බලය සහ ඉවත් කිරීමේ බලය අටමස්ථාන කමිටුව වෙත පැවරී ඇති අතර එහි ගිහි නියෝජනය වශයෙන් නුවරවැව පවුලේ ප්‍රධානියාට වැඩි බලතල තිබෙන බව පෙනෙයි.
මෑත අඩසියසකට ආසන්න කාලයේ දී අටමස්ථානාධිපති හිමියන් තෝරා පත් කර ගනු ලබන පිළිවෙලෙහි යම් වෙනස්කම් කිහිපයක් සිදු වී තිබේ. ඒ අනුව යම් අවස්ථාවක එම පදවිය හිස් වූ විට නුවරවැව පවුලේ ප්‍රධානියාගේ මුලිකත්වයෙන් රැස් වන අටමස්ථාන කමිටුව මගින් සුදුසකම් සපුරා තිබෙන භික්ෂුන් වහන්සේලා පිළිබඳ ව සහ පෙර අටමස්ථානාධිපති හිමියන් වැඩ සිටිය දී නම් කළ ලැබූ භික්ෂූන් වහන්සේ පිළිබඳ ව අවධානය යොමු කොට සුදුසු අයකු පිළිබඳව වන කමිටුවේ නිර්දේශය මල්වතු මහනාහිමියන්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දෙයි.
අනතුරුව එය අනුමත කොට ස්ථීර කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වන අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ධූරයට අදාළ අක්ත පත්‍රය අත්සන් තබා අභිනව අටමස්ථානාධිපති හිමියන්ට පිළිගන්වයි.
බෝ මළුවේ දේවාලය සහ කපුමහත්වරුන් පත්කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමට පැමිණෙන ප්‍රභූවරුන් පිළිගෙන උඩමළුවට කැදවාගෙන යාම, ශ්‍රි මහා බෝධියේ පරණ අවුරුදු මංගල්‍යය පැවැත්වීම යනාදිය ද නුවරවැව පවුලේ ප්‍රධානියාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බව පෙනෙයි
අටමස්ථානයේ ගිහි භාරකාරීත්වය කාන්තාවකට ලැබීම
1870 වසරේ දී එවකට අටමස්ථානාධිපති පදවිය දැරෑ කලුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් අපවත් වීමත් සමඟ නව අටමස්ථානාධිපති හිමියන් තෝරා පත් කර ගැනීම සදහා නුවරවැව පවුලේ ප්‍රධානියකු නොවීමෙන් එය ගැටලුකාරී තත්වයක් බවට පත් විය. එක් පාර්ශවයකින් නුවරවැව බණ්ඩාගේ බිරිය වූ ඕවිල්ලේ කුමාරිහාමි මෙහි අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටි අතර අනික් පසින් පුංචි මැණිකාගේ පුත්‍රයා වූ ගලගොඩ බණ්ඩාත් මේ සදහා ඉදිරිපත් විය. පසුව ඉංග්‍රිසි ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මෙය විසඳූ අතර ඒ අනුව 1872 වසරේ ජූලි මස 13 දින ඕවිල්ලේ කුමාරිහාමි මෙම පවුලේ ප්‍රධානියා බව පිළිගැනිණි.
මෙම පත්වීම ඓතිහාසික පත් වීමක් වූ අතර ඉතිහාසයේ ප්‍රථම වතාවට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ගිහි භාරකාරීත්වයට කාන්තාවක් පත් වීම සිදු විය. ඒ අනුව නුවරවැව පවුලේ ප්‍රධානියා සතු බලතල අනුව ඇයගේ, නුවර කලාවියේ රටේ මහත්වරුන් තිදෙනාගේ, හා කෝරළේවරුන් උදුරුව හල්මිල්ලවැවේ රතනසාර හිමි අටමස්ථානාධිපති ලෙස නම් කළ අතර ආණ්ඩුව මගින් එම පත් වීම අනුමත කරමින් 1872 වසරේ අගෝස්තු මස 27 වැනි දින වැනි දින උන්වහන්සේ ට අක්ත පත්‍ර ප්රදානය කර ඇත. මෙම පත්වීම සිදු කිරීම රුවන්වැලිසෑය අසල බෙර වාදනයන් සහිතව ඕවිල්ලේ කුමාරිහාමිගේ මූලිකත්වයෙන් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
නුවරවැව පවුලේ ප්‍රධානත්වය ඕවිල්ලේ කුමාරිහාමිගෙන් පසුව පිය- පුතු පරපුරෙන් පැවත එන අතර එය විටෙක සොහොයුරන් අතර ද හුවමාරු වන බව පෙනෙයි. බොහේ විට පෙර එම ධූරය දැරූ අය විසින් අනුප්‍රාප්තිකයා නම් කළ අතර පසුව පවුලේ සියලු දෙනාගේ කැමැත්ත ද ඒ සඳහා ලබාගෙන බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත නුවරවැව පවුලේ නව ප්‍රධානියා පිළිබඳ ව දැනුම් දීමත්, ලිඛිත ලියවිල්ලකින් නුවරවැව පවුලේ ප්‍රධානියා ලෙස එකී පුද්ගලයා බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පිළිගැනීමත් වර්තමානයේ දී සිදු කරනු ලබයි.
ඕවිල්ලේ කුමාරිහාමිගේ දෙවැනි විවාහයෙන් ලැබුණු දරුවා වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද සූරියකුමාර වන්නිසිංහ මුදියන්සේ රාලහාමිලාගේ බුලන්කුලමේ ලොකු බණ්ඩා තම මව වූ කුමාරිහාමිගෙන් අනතුරුව 1880 වසරේ දී ගිහිභාරකාර පදවියට පත් වූ අතර ඔහු නුවරගම් පළාතේ රටේමහත්මයා හා ගම්සභාවේ සභාපති ලෙස ද කටයුතු කර තිබේ.
ඔහු නව නුවරවැව වලව්ව 1906 වසරේ දී නිමාවට පත් කොට එහි පදිංචි වූ අතර එතැන් පටන් අද දක්වා නුවරවැව පවුලේ ප්‍රධානීන් සියලු දෙනා සිය නිවස බවට පත් කර ගත්තේ එය යි. ඔහුගේ බිරිය මාතලේ කහඳ වලව්වේ වේරගම ටිකිරි කුමාරිහාමි වූ අතර ඇය ස්වකීය ධන පරිත්‍යාගයෙන් ශ්‍රී මහා බෝධිය මැද පන්සලේ ධර්මශාලාවක් කරවා තිබේ.
1936 දී ලොකුබණ්ඩා ගේ ඇවෑමෙන් ඔහු පුත් පුංචි බණ්ඩා බුලන්කුලම දිසාවේ අටමස්ථානයේ ගිහි භාරකාරත්වයට පත් කෙරුණු අතර ඉන් අනතුරුව ඒ සඳහා ඔහුගේ බාල සොයුරන් පත් කොට ඇත. ඒ අනුව 1944 වසරේ දී වෛද්‍ය අශෝක බුලන්කුලමත්, 1950 දී පුංචිබණ්ඩා බුලන්කුලමත් ඒ සඳහා පත් කෙරිණි.
ඉන් පසුව පුංචි බණ්ඩාගේ යෝජනාවෙන් 1968 වසරේ දී ඔවුන්ගේ බාල ම සහෝදරයාගේ පුතු වූ ප්‍රසිද්ධ නොතාරිස් මහින්ද බුලන්කුලම ඒ සඳහා පත්විය. ඔහු එම පදවිය දරන අවධියේ දී නුවරවැව පවුලේ සාමාජිකයන් ජය ශ්‍රී මහා බෝමලුවට පිවිසෙන ස්ථානයේ පිහිටා ඇති මකර තොරණ ඉදි කරවා ඇත. වර්තමානයේ මෙම තනතුර දරන්නේ මහින්ද බුලන්කුලම මහතාගේ පුත් වෛද්‍ය ජානක අනුරාධ බුලන්කුලම ය. ඔහු 2006 වසරේ දී එම තනතුර සදහා පත් විය.