අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ
බෝසතුන් උතුම් බුද්ධ රාජ්‍යයට පත් වීමෙන් අනතුරුව තමා අවබෝධකොට ගත් ධර්මය පළමුව දේශනා කිරීම සඳහා බරණැස ඉසිපතනාරාමයෙහි එවකට වැඩ සිටිය පස්වග තවුසන් වෙත වැඩම වූ බව සෑම දෙනාම දන්නවා. දුෂ්කර ක්‍රියා සමයෙහි තමන්ට මහත්සේ උපකාර කළ බව සිහිපත් වී කෘතගුණ දැක්වීමට මෙසේ වැඩම කළ බව පැහැදිලියි.
එදා ප්‍රථම වරට දේශනා කොට වදාළ දම්සක් පැවතුම් සූත්‍රය ඇසීමට අපමණ දෙවි බඹුන් සිටියත් මනුෂ්‍යයන් වශයෙන් සිටියේ මේ පස්වග තවුසන් පමණයි. ධර්ම දේශනාව අවසාන වීමත් සමග කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූවා. ඒ අවබෝධය ලබා ගැනීම නිසා එදා බුදුරදුන් “අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝ” යනුවෙන් ‘කොණ්ඩඤ්ඤ තවුසාණන් ධර්මය දැනගත්තා ‘ කියා සතුට ප්‍රකාශ කළා. කොණ්ඩඤ්ඤ හිමියන් එදා පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නමින් හැමදෙනාම හඳුන්වන්න පටන් ගත්තා.
බුදු සසුනේ පළමුව “ ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං චිර රත්තඤචුතං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤො’ යනුවෙන් ශ්‍රාවකයන් අතර දහම් අවබෝධ කොට ගත් පළමුවන භික්ෂු නම වී අගතනතුර ලැබීමේ භාග්‍යය කොණ්ඩඤ්ඤ හිමියන්ට උදාවුයේ සසර කල්ප ලක්ෂණයක් පමණ කාලයක් මෙවැනි තනතුරක් ලැබේවායි යන පැතුමෙන් ඉතා උසස් ගුණධර්ම ක්‍රියාත්මක කළ නිසාය.
කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වී සිටිය පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පොළවෙහි පා තබන වාරයක් පාසා පියුම් පහළ වන නිසා ‘පදුමුත්තර’ නමින් හැදින්නුවා. එක් අවස්ථාවක ලක්ෂයක් පමණ ශ්‍රාවක භික්ෂූන් පිරිවරාගෙන හංසවතී නම් පියරජුගේ නුවරට වැඩි අවස්ථාවෙහි රජතුමාත් වැසියෝත් බොහෝ සැදැහැවත් සිතින් දන් පූජා කොට ධර්ම ශ්‍රවණය කළා. එහි දී එක් භික්ෂු නමකට ධර්මය අවබෝධ කරගන්නවුත් අතර අග්‍රස්ථානය පිරිනැමුවා. හංසවති නුවර ගෘහපති නිවසක එකල උපත ලබා සිටි අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියන් ඒ අවස්ථාවේ ධර්මය ශ්‍රවණය කරමින් හිටියා. ඒ අගතනතුර පිරිණමද්දී මටත් කවදා හෝ දවසක මේ සමාන තනතුරක් ලබා ගන්නට ලැබේවායි සිතුවා.
ජීවත් වන ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකි වේවා යි කියල හිතන්න පුළුවන්. ඒත් ඒ හිතපු දේ ලබා ගන්නට අවශ්‍ය වන ප්‍රඥාවත්, වාසනාවත්, උනන්දුවත් නොතිබුණොත් හිතපු සම්පත් ලබා ගත්ත අමාරුයි. අපේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් එදා අගතනතුර ලබන්නට සිතු සිතුවිල්ල සාර්ථක කර ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදුනා.
එදා පැතු දිනයේම බුදුපාමොක් මහ සගනට ආරාධනය කොට පළමු දිනයේ දන් දී වංග රටෙත් ලබා ගත් අගනා උතුම් සළුවක් තම පැතුම සපුරා ගැනීමේ අරමුණින් බුදුන්ට පූජා කළා. එයින් නොනැවතී සත් දිනක් මහ දන් පවත්වා අවසානයේ දී පදුමුත්තර බුදුරදුන් සිරිපා පාමුල වැඳ වැටී තමාගේ ප්‍රාර්ථනය සැළකර සිටියා. දිවැස් යොමු කළ උන්වහන්සේ කල්ප ලක්ෂණයක් ඇවෑමෙන් අප බුදුරදුන් කල ඒ ප්‍රාර්ථනය අනුව අගතනතුර ලැබෙන බවට විවරණ දී වදාළා.මේ පදුමුත්තර බුදුන් පිරිනිවන් පෑ පසු එම ධාතු තැන්පත් කරීමට රුවන් ගෙයක් සාදා පූජා කළේත්, සෑය වටා රුවන් තොරණ ඉදි කළේත්, ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට.
පසු කාලයේ ලොව පහල වූ විපස්සි බුදුරදුන් අවධියේදි කොණ්ඩඤ්ඤ හාමුදුරුවන් බන්දුමති නම් නගරයෙහි කෙළෙඹී පවුලක මහා කාල නමින් උපත ලබා එනම් ශස්‍ය කාලයක දී තව වරක් එසේ දානය පූජා කළා. සසර දිගු කාලයක් මෙසේ අපමණ පින් කොට අවුත් ගෞතම බුද්ධෝත්පාද අවධියේ කිඹුල්වත් නුවරට නුදුරු දෝණවත්ථූ නම් වු ගමෙහි උසස් වූ බමුණූ කුලයක කොණ්ඩඤ්ඤ නමින් උපත ලැබුවා.සසර කළ මහා පින්වල මහිමයෙන් උසස් ගුණ හා නැණ ලැබීම නිසා කුඩා අවධියේම සුදොවුන් රජතුමාගේ පුරෝහිත පදවිය ලබා ගන්න සමත් වුනා. සිදුහත් බෝසතුන් උපන් අවස්ථාවෙහි එකසිය අටක් වූ බමුණන් අතරින් වඩාත් දේහ ලක්ෂණ පිළිබඳව අවබෝධයක් තිබූ බමුණන් අටදෙනාට සිදුහත් කුමාරයාගේ අනාගතය පිළිබඳ අනාවැකි පළ කරණ ලෙසත් සුදුසු නමක් තබන ලෙසත් සුදොවුන් පියා විසින් ඉල්ලා සිටියා.
මේ අවස්ථාවේ දී අන් සැම දෙනාම බුදු හෝ සක්විති හෝ වන බව පළ කළා. කොණ්ඩඤ්ඤ බමුණා පමණක් නලළෙහි දකුණු අතරට කරකැවී පිහිටා තිබූ සුදු පැහැති ඌර්ණරෝමය විමසිල්ලට ගනිමින් ඒකාන්තයෙන් බුදුවන බවට අනාවැකි පළ කළා. ඒ අනාවැකිය සිහියට ගනිමින් ලෝකයට අර්ථය සිද්ධ කරන්නේය යන අර්ථය ඇති “ සිද්ධාර්ථ” යන නම බෝසතුන්ට තැබුවා.
පසුව කොණ්ඩඤ්ඤ බමුණා එදා අනාවැකි පළ කළ බමුණන් අතුරෙන් සිව් දෙනෙකුගේ දරුවන් වූ වප්ප, භද්දිය, ,මහානාම, අස්සජි යන අය සමග තවුස් පැවිද්දෙන් පැවිද්ද ලබා ගත්තා. සිදුහත් බෝ සතුන් ගිහි ගෙයින් නික්ම දුෂ්කර ක්‍රියා කරණ අවධියේදි මේ පස්දෙනා දැඩි ලෙස උපස්ථාන කළත් එය අත්හැර දැමීම නිසා කලකිරී බෝසතුන් හැරදා බරණැසට ගොස් තවුස්දම්, පිරුවා.
බුද්ධත්වයට පත්ව ප්‍රථම ධර්ම දේශනාවට සවන් දුන් කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් භාවයට පත් වූ අතර පසුදින හතරෙහි පිළිවෙළින් අන්සිවු දෙනා ද සෝවාන් වුවා .මේ පස්දෙනාම ඒහි භික්ඛු භාවයෙන් පැවිද් ද ලැබූ අතර අවවිසේණිය දිනයේ දී හෙවත් කෘෂ්ණකක්ෂයේ පස්වනදා දේශනාකොට වදාළ අනන්ත ලක්ඛණ සූත්‍රය අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් ප්‍රධාන පස් නමම රහත් භාවයට පත්වුනා.
තෙරුවන් සරණයි!
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය දිවියාගහ යසස්සි නා හිමි – බුදුසරණ අන්තර්ජාල කලාපය.