19. Dharmastha Waggaya ධර්‍මස්ථ වර්‍ගය

19-1 ධර්‍මයෙහි පිහිටියෝ

න තෙන හොති ධම්මට්ඨො යෙනත්‍ථං සාහසා නයෙ
යො ච අත්‍ථං අනත්‍ථඤ්ච උභො නිච්ඡෙය්‍ය පණ්ඩිතො.

යම් කරුණෙකින් විනිශ්චය කටයුතු වූ අර්‍ත්‍ථය (විනිශ්චය කොට දත යුතු ජයපරාජය) (ඡන්‍දාගති ආදියෙහි පිහිටා) සාහසනයෙන් (බොරු කීමෙන්) දිනුම පරැදුමටට පමුණුවා ද, එයින් විනිශ්චය ධර්‍මයෙහි පිහිටියේ නම් නො වෙයි. නුවණැති යමෙක් විනිශ්චය කටයුතු වූ භූත වූ කාරණය ද අභූත වූ කාරණය ද යන දෙක විනිශ්චය කෙරේ ද (නියම කොට කියා ද),

අසාහසෙන ධම්මෙන සමෙන නයතී පරෙ
ධම්මස්ස ගුත්තො මෙධාවී ධම්මට්ඨො’ති පවුච්චති.

අසාහයෙන් (නිබොරු තෙපුලෙන්), විනිශ්චය ධර්‍මයෙන්, අනුන් ජයපරාජයට පමුණුවා ද, විනිශ්චය ධර්‍මය විසින් රක්නා ලද නුවණැති පුරුෂ තෙම ධර්‍මස්ථ යැ යි (විනිශ්චය ධර්‍මයෙහි පිහිටියේ යැ යි) කියනු ලැබේ.

19-2 සවග මහණෝ

න තෙන පණ්ඩිතො හොති යාවතා බහු භාසති
ඛෙමී අවෙරී අභයො පණ්ඩිතො’ති පවුච්චති.

යම් පමණ කාරණයෙකින් සඟ මැද ආදියෙහි (අත්තුක්කංසන පරවම්භන වශයෙන්) බොහෝ කොට බෙණේ ද, එපමණ කාරණයෙකින් ධර්‍මධර නම් නො වෙයි. යමෙක් වනාහි තෙමේ ක්‍ෂේමී වේ ද, (පංචදුශ්චරිත වෛරයන් නැති හෙයින්) වෛර නැත්තේ ද, (පංච වෛරයන් කෙරෙන්) භය නැත්තේ ද (නොහොත් අනුන් නො බවා ද) හෙතෙම පණ්ඩිත යැ කියනු ලැබේ.

19-3 එකුදාන ස්ථවිරයන් වහන්සේ

න තාවතා ධම්මධරො යාවතා බහු භාසති
යො ච අප්පම්පි සුත්‍වාන ධම්මං කායෙන පස්සති
ස වෙ ධම්මධරො හොති යො ධම්මං නප්පමජ්ජති.

(බණ හැදෑරීම් ආදී) යම් පමණ කාරණයෙකින් බොහෝ කොට බෙණේ ද, එ පමණෙකින් ධර්‍මධර නම් නො වෙයි. යමෙක් වනාහි මඳ දැයකුදු අසා (ධර්‍මය දැන, අර්‍ත්‍ථය දැන, ධර්‍මානුධර්‍මයට පැමිණ) නාම කයින් (දුක් ආදීන් පිරිසිඳ දත්තේ) සිවු සස්දහම් දක්නේ ද, යමෙක් වඩන ලද වැර ඇති ව (අද අද ම රහත්පල ගණිමි යි) ප්‍රතිවේධය කැමැති වෙමින් වෙසේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් ධර්‍මධර නම් වෙයි.

19-4 ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ

න තෙන ථෙරො සො හොති යෙනස්ස පලිතං සිරො
පරිපක්කො වයො තස්ස මොඝජිණ්ණො’ති වුච්චති.

යම් වයෝවෘද්ධ කාරණයෙකින් ඔහුගේ හිස පලිත වේ ද (හිස නර ව යේ ද) (ඒ නර නැගි) කරුණින් හේ ස්ථවිර නම් නො වෙයි. ඔහුගේ වයස මුහුකළ බවට පැමිණියේ වෙයි. හේ (ඇතුළත ශීලාදී ස්ථවිර කරණ ධර්‍ම නැති හෙයින්) තුච්ඡ ජීර්‍ණ යැ යි කියනු ලැබේ.

යම්හි සච්චං ච ධම්මො ච අහිංසා සංයමො දමො
ස වෙ වන්තමලො ධීරො ථෙරො ඉති පවුච්චති.

යම් පුඟුලක්හු කෙරෙහි වනාහි (සොළොස් අයුරින් පිළිවිදුනා ලද) සත්‍යය ද (ප්‍රඥායෙන් පිළිවිදුනා ලද) නව ලොවුතුරා දහම් ද, අහිංසාව ද (හෙවත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා ද), කායවාක් සංයමය ද (හෙවත් පාතිමොක්ඛ සීලය ද) යන මේ ගුණ ඇද්ද, (රහත් මං නැණින්) වැමෑරු රාගාදී මල ඇති, ධෘතිසම්පන්න වූ ඒ මහණ තෙම (සස්නෙහි ස්ථවිර භාවය කරණ මේ ගුණවලින් යුක්ත බැවින්) ස්ථවිර යැ යි කියනු ලැබේ.

19-5 පදබ්‍යඤ්ජනයෙහි දක්‍ෂ වූ ශ්‍රම‍ණයෝ

න වාක්කරණමත්තෙන වණ්ණපොක්ඛරතාය වා.
සාධුරූපො නරො හොති ඉස්සුකී මච්ඡරී සඨො.

(ඡින්නස්වර භින්නස්වර ගද්ගදස්වර කාකස්වර නො ව ගම්භීර ස්වරතාදි වශයෙන්) ලක්‍ෂණ සම්පන්න තෙපුල් ඇති පමණෙකින් හෝ ශරීර වර්‍ණය යහපත් බැවින් හෝ (පරලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා ඇති, (ආවාසමාත්සර්‍ය්‍යාදි පස් වැදෑරුම්) මසුරු බැවින් යුත්, (කෛරාටික පක්‍ෂය භජනය කිරීමෙන්) වංචක වූ මිනිස් තෙම සාධු වූ ස්වරූප ඇත්තේ නො වෙයි.

යස්ස චෙ තං සමුච්ඡින්නං මූලඝච්චං සමූහතං
ස වන්තදොසො මෙධාවී සාධුරූපො’ති වුච්චති.

යමක්හු විසින් වනාහි මේ (ඊර්‍ෂ්‍යාදි) දෝෂජාතය මුලින් සිඳිනා ලද ද, (අවිද්‍යාදි ක්ලේශමූලය හා සමග රහත්මඟනැණින්) නසන ලද ද, වැමෑරු කෙලෙස් දොස් ඇති, (ධර්මොජස් ප්‍රඥායෙන් යුක්ත වූ) ඒ පුද්ගල තෙම සාධුස්වරූප ඇත්තේ යැ යී කියනු ලැබේ.

19-6 වාදයෙන් පැන යන හත්‍ථක

න මුණ්ඩකෙන සමණො අබ්බතො අලිකං භණං
ඉච්ඡාලොභසමාපන්නො සමණො කිං භවිස්සති.

ව්‍රතරහිත (ශීලව්‍රත ධුතාංගව්‍රත විරහිත වූ), බොරු කියන පුඟුල් තෙම හිස මුඬු පමණෙකින් ශ්‍රමණ නම් නො වෙයි. (අසම්ප්‍රාප්ත අරමුණෙහි) ඉච්ඡායෙන් ද, (සම්ප්‍රාප්ත අරමුණෙහි) ගේධයෙන් ද සමන්‍විත වූයේ කෙසේ නම් ශ්‍රමණ වේ ද, (හේ ශ්‍රමණ නම් නො වෙයි සේ යි.)

යො ච සමෙති පාපානි අණුංථූලානි සබ්බසො
සමිතත්තා හි පාපානං සමණො’ති පවුච්චති.

යමෙක් වනාහි අණු වූ ද මහත් වූ ද, අකුසලයන් සර්‍වප්‍රකාරයෙන් (රහත්මඟ නැණින්) මුළු මනින් සංහිඳුවා ද, අකුසල් සංහිඳු වූ බැවින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ.

19-7 බැහැරි සසුන්හි පැවිදි වූ බමුණෙක්

න තෙන භික්ඛු හොති යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය, භික්ඛු හොති න තාවතා.

යම් පමණෙකින් අනුන් සිඟා ද (හෙවත් යම් කාරණයෙකින් අනුන් ගේ දොර දොරැ සිට සිඟා ද) එ කරුණින් භික්‍ෂු නම් නො වෙයි. විෂම වූ පාපධර්‍ම සමාදන් වැ (නො හොත් දුගඳ වහනය කරණ කායකර්‍මාදිය සමාදන් ව) වසන්නේ ඒ (දොර දොරැ සිටැ සිඟන) පමණෙකින් භික්‍ෂු නම් නො වේ.

යො’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච බාහෙත්‍වා බ්‍රහ්මචරියවා
සඞ්ඛාය ලොකෙ චරති ස වෙ භික්ඛූ’ති වුච්චති.

මෙ සස්නෙහි යම් මහණෙක් කුසල් ද අකුසල් ද යන දෙකම (මඟබඹසරින්) දුරු කොට, මඟබඹසර ඇත්තේ (ස්කන්‍ධාදි) ලෝකයෙහි සර්‍ව ධර්‍මයන් නුවණින් සලකා හැසිරේ ද (හෙවත් මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධයහ මොහු බාහ්‍යස්කන්‍ධයහ යි සියලු ධර්‍මයන් දැන වෙසේ ද), හෙ තෙම ඒකාන්තයෙන් (මඟනුවණින් බුන් කෙලෙස් ඇති හෙයින්) භික්‍ෂු යැ යි කියනු ලැබේ.

19-9 බිලී වැද්දෙක්

න තෙන අරියො හොති යෙන පාණානි හිංසති
අහිංසා සබ්බපාණානං අරියො’ති පවුච්චති.

යම් කරුණෙකින් ප්‍රාණීන් නසා ද (ප්‍රාණීනට හිංසා කෙරේ ද), එ කරුණින් හේ ආර්‍ය නම් නො වෙයි. සියල් සත්නට (පණිප්‍රහාරාදියෙන්) හිංසා නොකිරීම හේතු කොට ගෙණ (මෛත්‍රීභාවනාදියෙහි පිහිටි බැවින්, හිංසායෙන් දුරු වැ සිටි බැවින්) ආර්‍ය යැ යි කියනු ලැබේ.

19-10 බුදුරජානන් කළ අවවාදයෙක්

න සීලබ්බතමත්තෙන බාහුසච්චෙන වා පන
අථ වා සමාධිලාභෙන විවිච්ච සයනෙන වා.

සිවුපිරිසිදු සිල් පමණෙකින් හෝ තෙළෙස් ධුත ගුණ පමණෙකින් හෝ, නැවැත බහුශ්‍රැතභාව (ත්‍රිපිටකධර භාව) මාත්‍රයෙකින් හෝ නොහොත් සවිතර්‍කසවිචාරසමාධි අවිතර්‍කවිචාරමාත්‍රසමාධි අවිතර්‍කඅවිචාරසමාධි යන ත්‍රිවිධ සමාධි ලාභයෙන් (හෙවත් රූපාරූප අෂ්ටසමාපත්ති ලද පමණින්) හෝ විවික්තශය්‍යායෙන් (හෙවත් ගණසඞ්ගණිකායේන් වෙන් වැ කායවිවේකයෙන් යුක්ත ව විසීම් පමණෙකින්) හෝ (සුඛිත යෙමි යි නො සිතිය යුතු.)

ඵුසාමි නෙක්ඛම්මසුඛං අපුථුජ්ජනසෙවිතං
භික්ඛු විස්සාසමාපාදි අප්පත්තො ආසවක්ඛයං.

මහණ, පුහුදුනන් විසින් නො සෙවුනා ලද නෙක්ඛම්ම සුඛය (හෙවත් අනාගාමිඵල සුඛය) නාමකයින් ස්පර්‍ශ කෙරෙමි යි හෝ ආස්‍රවක්‍ෂයයට (රහත් පලයට) නොපැමිණි තෝ භවයෙහි විශ්වාසයට නො පැමිණෙව.

Donations
You cannot copy content of this page