Upasaka Rathnaya උපාසක රත්නය

උපාසක රත්නය

“පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හෝති, උපාසකපදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච. කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, අකොතුහලිකමංගලිකො හොති. කම්මං පච්චෙති නො මංගලං, න ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති, ඉධ ච පුබ්බකාරං කරොති, ඉමෙහි ඛො භික්ඛවේ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති, උපාසක පදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච”

මෙහි අදහස මෙසේ ය:-

මහණෙනි, ධර්ම පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වේ. උපාසක පද්මයක් ද වේ. උපාසක පුණ්ඩරිකයක් ද වේ. කවර ධර්ම පසකින් ද යත්?

01 ශ්‍ර‍ද්ධාව ඇත්තේ වෙයි.
02 සිල් ඇත්තේ වෙයි.
03 අසන දකින දේවල හොඳ නරකින් ශුභාශුභ සිද්ධි වෙතැයි නො ගන්නේ වෙයි.
04 කර්මය සලකයි. මංගල්‍යය නො සලකයි.
05 බුදුසස්නෙන් පිටත පිනට දීමට සුදුස්සන් නො සොයයි. පළමු කොට ශාසනයට ම දෙයි.

මහණෙනි, මේ ධර්ම පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වෙයි. උපාසක
පද්මයක් ද, උපාසක පුණ්ඩරිකයක් ද වෙයි.

මෙහි පද්ම ය යි කියනුයේ රත් නෙළුම් මලට ය. පුණ්ඩරික ය යි කියනුයේ සුදු නෙළුම් මලට ය. ඇතැම්හු උදෑසන අසන්නට දකින්නට ලැබෙන දේවලින් හා කටයුත්තකට යන කල්හි පෙර මග දක්නට ලැබෙන දේ වලින් ද මනුෂ්‍යයා හට ශුභාශුභ සිදු වෙතැයි ගනිති. කෝතුහල මංගලිකෝය යි කියනුයේ ඔවුන්ට ය. එය බෞද්ධයන් නො පිළිගත යුත්තකි.

උපාසක ගුණ දශය

“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමාන සුඛ දුක්ඛෙ, ධම්මාධිපතෙය්‍යො විහරති යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසන පරිහානිං දිස්වා අභිවුද්ධිං වායමති, සම්මා දිට්ඨිකෝ හොති. අපගත කොතුහල මංගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති. කායිකං වාචසිකං ච රක්ඛිතං හොති. සමග්ගාරාමො හොති සමග්ගරතො, අනුසුය්‍යකො හොති, න ච කුහක වසෙන සාසනෙ චරති, බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති. සංඝං සරණං ගතො හොති. ඉමෙ ඛො මහාරාජ, දස උපාසකස්ස උපාසක ගුණාති.”
මෙය, නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් මිළිඳු මහරජුට වදාරන ලද්දකි. එහි තේරුම මෙසේ ය.
මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය. කවර දශයක් ද යත්? මහරජ, මේ ශාසනයෙහි උපාසක තෙමේ:

01 සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපති කොට ඇත්තේ වෙයි.
02 දන්දීමෙහි ඇලුණේ වෙයි.
03 සර්වඥ ශාසනයාගේ පිරිහීම දැන එය නගා සිටවීමට උත්සාහ කරන්නේ වෙයි.
04 දුරු කරන ලද කෝතුහල මංගල ඇත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි.
05 ජීවිතය නිසාවත් සර්වඥයන් වහන්සේගෙන් අනෙකකු තමාගේ ශාස්තෘවරයා වශයෙන් නො දක්වන්නේ වෙයි.
06 කායකර්ම වාක්කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි.
07 සමගියෙහි ඇලුණේ වෙයි.
08 ඊර්ෂ්‍යා නො කරන්නේ වෙයි.
09 අන්‍යයන් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නො වෙයි.
10 බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සංඝයා සරණ ගියේ වෙයි.

මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය.

තමාගේ හා අන්‍යයන්ගේ ද යහපත පිණිස පිළිපන් උපාසකතුමා

“යතො ඛො මහානාම උපාසකො අත්තනාව සද්ධා සම්පන්නෝ හොති. පරඤ්ච සද්ධා සම්පදාය සමාදපෙති. අත්තනාව සීලසම්පන්නො හොති පරඤ්ච සීල සම්පදාය සමාදපෙති. අත්තනාව චාගසම්පන්නො හොති. පරඤ්ච චාගසම්පදාය සමාදපෙති. අත්තනාව භික්ඛුනං දස්සනකාමො හොති, පරඤ්ච භික්ඛුදස්සනෙ සමාදපෙති. අත්තනාව සද්ධම්මං සොතුකාමො හොති, පරඤ්ච ධම්මස්සවනෙ සමාදපෙති. අත්තනාව සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, පරඤ්ච ධම්මධාරණාය සමාදපෙති, අත්තනාව ධතානං ධම්මානං අත්ථුපපරික්ඛී හොති, පරඤ්ච අත්ථුපපරික්කාය සමාදපෙති, අත්තනාව අත්ථ මඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නො හොති, පරඤ්ච ධම්මානුධම්ම පටිපත්තියා සමාදපෙති. එත්තාවතා ඛො මහානාම උපාසකො අත්තහිතාය ච පටිපන්නෝ පරහිතාය චා ති.”

මෙහි අදහස මෙසේ ය:
01 මහානාමය! මේ සස්නෙහි උපාසක තෙමේ ශ්‍ර‍ද්ධාවෙන් යුක්ත වූයේ අනුන් ශ්‍ර‍ද්ධා සම්පත්තියෙහි පිහිටවා ද,
02 තෙමේ ද, සිල් ඇත්තේ අනුන් ද සීලසම්පත්තියෙහි පිහිටවා ද,
03 තෙමේ ද දෙන ස්වභාවයෙන් යුක්ත වූයේ අනුන් ද දෙන ස්වභාවයෙහි පිහිටවා ද,
04 තෙමේ ද භික්ෂූන් දකිනු කැමැත්ත ඇත්තේ අනුන් ද භික්ෂූන් දැකීමෙහි යොදවා ද,
05 තෙමේ ද සදහම් අසනු කැමැත්තේ අනුන් ද දහම් ඇසීමෙහි යොදවා ද,
06 තෙමේ ද ඇසූ ධර්මයන් දරන ස්වභාවය ඇත්තේ අනුන් ද දහම් දැරීමෙහි යොදවා ද,
07 තෙමේ ද දරන ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නේ අනුන් ද ධර්මයේ අර්ථ පරීක්ෂාවෙහි යොදවා ද,
08 තෙමේ ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යෙදුණේ අනුන් ද ධර්මයට අනුකූල පිළිවෙත්හි යොදවා ද,

මහානාමය, මෙතෙකින් උපාසක තෙමේ තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. මෙරමාගේ යහපත පිණිස ද පිළිපන්නේ වෙයි.

භික්ෂූන් වහන්සේ විසින් නො යා යුතු කුලය.

“නවහි භික්ඛවේ අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං. උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමෙහි නවහි? න මනාපේන පච්චුට්ඨෙන්ති. න මනාපේන අභිවාදෙන්ති. න මනාපේන ආසනං දෙන්ති. සන්තමස්ස පතිගූහන්ති. බහුකම්පි ථෝකං දෙන්ති. පණිතම්පි ලූඛං දෙන්ති. අසක්කච්චං දෙන්ති නො සක්කච්චං. න උපනිසීදන්ති ධම්මසවනාය, භාසිතස්ස න රසීයන්ති ඉමෙහි ඛෝ භික්ඛවේ නවහි අඞ්ගෙහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා. නාලං උපගන්තුං වා උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”

මෙහි අදහස මෙසේ ය.

මහණෙනි, අංග නවයකින් යුක්ත වූ කුලය (පවුල) නො එළඹියේ නම් එළඹීමට ද, එළඹියේ නම් වැද හිඳීමට ද නුසුදුසු ය. කවර අඞ්ග නවයකින් ද යත්?

01 භික්ෂූන් වහන්සේ දුටු කල්හි සතුටින් හුනස්නෙන් නො නැගී සිටිත් ද,
02 සතුටින් නො වඳිත් ද,
03 සතුටින් ආසනයක් නො දෙත් ද,
04 ඇත්තා වූ දෙය සඟවත් ද,
05 බොහෝ ඇත ද ස්වල්පයක් දෙත් ද,
06 ප්‍ර‍ණීත දෑ ඇත ද අප්‍ර‍ණීත දෙයක් දෙත් ද,
07 නො මනා කොට දෙත් ද,
08 ධර්මශ්‍ර‍වණයට එළඹ නො හිඳිත් ද,
09 දේශනය කරන ධර්මයට සතුටු නො වෙත් ද,

මහ‍ණෙනි! මේ නවයක් වූ අංගයන්ගෙන් යුක්ත වූ කුලය නො එළඹියේ නම් එළඹීමට ද එළඹියේ නම් වැද හිඳීමට ද සුදුසු නො වන්නේ ය.

පත්ත නික්කුජ්ජන කර්මය

පත්ත නික්කුජ්ජන කර්මය යනු නො හික්මුනා වූ ගිහියන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. එය පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්ථවිරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඪ නම් වූ ලිච්ඡවී පුත්‍ර‍යාට ය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද අටක් ඇත්තේ ය. ඒ මෙසේ ය.

“අට්ඨහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තො නික්කුජ්ජිතබ්බො, භික්ඛූනං අලාභාය පරිසක්කති. භික්ඛූනං අනත්ථාය පරිසක්කති. භික්ඛූනං අවාසාය පරිසක්කති. භික්ඛූනං අක්කෝසති පරිභාසති, භික්ඛු භික්ඛූහි භෙදෙති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති. සඞ්ඝස්ස අවණ්ණං භාසති. අනුජානාමි භික්ඛවේ ඉමෙහි අට්ඨහි අඞ්ගෙහි සමන්නාගතස්ස උපාසකස්ස පත්තං නික්කුජ්ජිතුං”
එහි තේරුම මෙසේ ය:

මහණෙනි! අංග අටකින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කළ යුත්තේ ය.

01 භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේ ද?
02 භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේ ද?
03 භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නො විසිය හැකි වනු පිණිස උත්සාහ කෙරේ ද?
04 භික්ෂූන්ට ආක්‍රෝශ පරිභව කෙරේ ද,
05 භික්ෂූන් භික්ෂූන් හා බිඳවා ද,
06 බුදුන්ගේ අගුණ කියා ද,
07 ධර්මයේ අගුණ කියා ද,
08 සංඝයාගේ අගුණ කියා ද,

මහණෙනි, මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්තනික්කුජ්ජනය කිරීමට අනුදනිමි.

පත්ත නික්කුජ්ජන යන වචනයේ තේරුම පාත්‍ර‍ය මුනින් නැවීමය යනු යි. යම්කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කෙළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍යය කියා ඒ කර්මය කළ යුතු ය. එය කළ පසු ඒ තැනැත්තා හට සියලු ම භික්ෂූන් විසින් පාත්‍ර‍ය මුනින් නවන ලද්දේ වේ. එකම භික්ෂුවකටවත් ඉන් පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නො හැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා සිටිය හොත් නැවත සංඝයා රැස් ව ඒ කර්මය සන්සිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පසය පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙ පමණ ය.

උපාසකවරුන් විසින් නො කළ යුතු වෙළඳාම් පස

“පඤ්චිමානි භික්ඛවේ වණිජ්ජානි උපාසකේන අකරණීයානි. කතමානි පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා, ඉමානි ඛෝ භික්ඛවෙ පඤ්ච වණිජ්ජානි උපාසකේන අකරණියානි”.
අදහස : මහණෙනි! වෙළඳාම් පසෙක් උපාසකයා විසින් නො කළ යුත්තේ ය. කවර පසෙක් ද යත්?

01 ආයුධ වෙළෙඳාම
02 වහල් වෙළඳාම
03 මස් වෙළඳාම
04 මත්පැන් වෙළඳාම
05 විෂ වෙළඳාම ය යන මොහු

මහණෙනි, මේ වෙළඳාම් පස උපාසකයා විසින් නො කළ යුත්තේ ය.