Tisaranaya තිසරණය

සරණ ගමනය

බුද්ධාදි රත්නත්‍ර‍ය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත්‍ර‍ය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති. මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙන රත්නත්‍ර‍ය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත්‍ර‍ය හැඳින ගත්තෝ ම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදි රත්නත්‍ර‍ය උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණ ගමන යයි කියනු ලැබේ. බුද්ධාදි රත්නත්‍ර‍ය උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණයෙහි පිහිටියේ ය යි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදි රත්නත්‍ර‍ය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ. බෞද්ධයා යනු ද ඔහුට නමෙකි

01 ලෝකෝත්තර සරණ ගමනය

බුද්ධාදි රත්නත්‍ර‍ය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නූපදනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේදී එහි බලයෙන් ඒ පුද්ගලයාට ප්‍ර‍හීණ වේ. ඉන් පසු රත්නත්‍ර‍ය පිළිබඳ මඳ සැකයකුදු ඒ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ඇති නොවේ. ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැතිව ම ඒ අවස්ථාවේ දී සරණ ගමනය සිද්ධ වේ. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වන්නා වූ ඒ සරණ ගමනය ලෝකෝත්තර සරණ ගමනය ය. එහි බිඳීමක් හෝ කිලිටි වීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයේ සරණ ගිය ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මතු භවයකදී වුව ද අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට නො සොයන්නේ ය. අන්‍ය ශාස්තෘවරයකු පිහිට සැටියට නො පිළිගන්නේ ය.

01 සෝවාන්
02 සකෘදාගාමි
03 අනාගාමි
04 අර්හත්

සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර ලෝකෝත්තර ඵලය, ලෝකෝත්තර සරණ ගමනයෙන් ලැබෙන ඵලය ය. සකල දුඃඛයා ගේ ක්ෂයය වූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංස ය. මනුෂ්‍යලෝක දිව්‍ය ලෝකයන්හි ලැබිය හැකි භවභෝග සම්පත්තීහු ලෞකික සරණ ගමනයා ගේ ඵලයෝ ය. සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිසංස වශයෙන් සැලකිය යුත්තාහු ය.

02 ලෞකික සරණ ගමනය

සද්ධර්ම ශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් රත්නත්‍ර‍ය හැඳින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිත්සාදි ක්ලේශයන් මැඩ රත්නත්‍ර‍ය උතුම් පිහිට සේ සලකා ගන්නා වූ පෘථග්ජනයාගේ ඒ සරණ ගමනය ලෞකික සරණ ගමන ය

මෙසේ සිදු වන්නා වූ සරණ ගමනය ආත්මසන්නිර්‍ය්‍යාතන සරණගමනය, තත්පරායණතා සරණ ගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනය, ප්‍ර‍ණීපාත සරණ ගමනය යි සතර ආකාර වේ

01ආත්මසන්නිර්‍ය්‍යාතන සරණගමනය

ආත්මසන්නිර්‍ය්‍යාතන සරණ ගමනය යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිස ද බුද්ධාදි රත්නත්‍ර‍යට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීම ය.

02 තත්පරායණතා සරණ ගමනය

තත්පරායණතා සරණ ගමනය යනු “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යනාදීන් භික්ෂු සාමණේරාදීන් අතුරෙන් යම් කිසිවකු ඉදිරියේ කීමෙන් හෝ තමා ම ඉටා ගැනීමෙන් හෝ රත්නත්‍ර‍ය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණ ගමනය ය.

03 ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනය

ශිෂ්‍යභාවෝපගමන සරණ ගමනය යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හෙවත් අතවැසියෙක් වෙමි. ධර්මයේ අතවැසියෙක් වෙමි, සංඝයාගේ අතවැසියෙක් වෙමි ය යි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් හෝ සිදුවන සරණ ගමනය ය.

04 ප්‍ර‍ණීපාත සරණ ගමනය

ප්‍ර‍ණීපාත සරණ ගමනය යනු තමා විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය කිරීම් වශයෙන් සිදු වන සරණ ගමනය ය. යමකු විසින් අන්‍යයන්ට කරන උසස් ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමට ම වඩා උසස් කොට සලකන තැනට ය. එ බැවින් ඒ ගෞරවය කිරීම සරණ ගමනය වේ.

සරණා ගමනයා ගේ කිලිටිවීම හා බිඳීම

රත්නත්‍ර‍ය ගැන දැනීම මඳ වීමෙන් ද, රත්නත්‍ර‍ය කෙරෙහි සැක ඇති වීමෙන් ද, රත්නත්‍ර‍ය පිළිබඳව දුර්මත ඇති වීමෙන් ද, ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුශලය ස්වල්ප ඵල ඇත්තේ ය. සුපරිසුද්ධ සරණාගමන කුශලය මහත් ඵල මහානිසංස වන්නේ ය. ලෝකෝත්තර සරණ ගමනයේ කිලිටි වීමක් නැත්තේ ය. කෙික සරණ ගමනයාගේ භේදය (බිඳීම) බුද්ධාගම ප්‍ර‍තික්ෂේප කිරීමෙන් හා අන්‍යාගමක පිළිගැනීමෙන් ද මරණයෙන් ද වේ. බුද්ධාගමය ප්‍ර‍තික්ෂේප කිරීමෙන් හෝ අන්‍යාගමක් පිළිගැනීමෙන් හෝ වන සරණ ගමන භේදය සාවද්‍යය ය. මරණයෙන් වන භේදය නිරවද්‍යය ය. ආර්‍ය්‍යශ්‍රාවකයන් ඒ භවයේ දී තබා අන්‍ය භවයකදී වත් අන්‍යාගමක් නො පිළිගන්නා බැවින් ලෝකෝත්තර සරණගමනයා ගේ භේදයක් නැත්තේ ය.

රත්නත්‍ර‍ය සත්ත්වයන්ට පිහිට වන ආකාරය

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද එසේ ම ය. එසේ හෙයින් ඒ රත්නත්‍ර‍ය අපට පිහිට වන්නේ කෙසේ ද යන ප්‍ර‍ශ්නය මෙහි ඇති වේ. එබැවින් රත්නත්‍ර‍ය සත්ත්වයනට පිහිට වන ආකාරය සැකෙවින් දක්වනු ලැබේ.
එක් එක් පුද්ගලයකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නොව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ. රෝගයක් ඇති තැනැත්තාට එය දුරු කර ගැනීමට වෙද මහතකුගේ පිහිට වුවමනා ය. වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත් ගත යුතුය මේ මේ ආහාර ගත යුතුය, මේ මේ ආහාර නො ගත යුතුය යි අනුශාසනයක් කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේ ද නොවේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේ ද නො වේ. රෝගියා ඒ සියල්ල ම තමා විසින් කර ගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවා ගෙන හෝ රෝගය සුව කර ගනී. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝගය අසවල් වෙද මහතා සුව කෙළේ ය යයි කියයි. සියල්ලෝ ම එය අවිවාදයෙන් පිළිගනිති. එසේ කියන්නේ ද, ලෝකයා එය පිළිගන්නේ ද වෙද මහතාගේ අනුශාසනය රෝගය සුව කර ගැනීමේ ප්‍ර‍ධාන හේතුව වූ නිසාය. වෙද මහතා ගේ අනුශාසනය රෝග සුවය ලැබීමේ ප්‍ර‍ධාන හේතුව වන බැවින් වෙද මහතා රෝගය සුව කළේ ය යි ද රෝගය සුව කර ගැනීමට පිහිට වූයේ ය යි ද කිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ද සත්ත්වයනට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමේ ද ක්‍ර‍මය දක්වා අනුශාසනය කළ සේක. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ අනුශාසනය පරිදි ක්‍රියා කොට දුකෙන් මිදෙති. ඒ ඒ සම්පත් කැමැත්තෝ ද උන් වහන්සේගේ අනුශාසනය පරිදි ක්‍රියා කොට ඒවා ලබා ගනිති. ඒ අනුශාසනය නො ලැබිණි නම් සත්ත්වයනට ඒ දෙක සිදු කර ගත නො හෙන බැවින් ඒ දෙකරුණට තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය ම ප්‍ර‍ධාන වේ. එබැවින් සියලු දුකින් මිදීමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිට ව සේකැ යි කිය යුතු ය. එසේ ම පිළිගත යුතු ය.
කුඹුර ගොවියාට වී ලබා ගැනීමට උපකාරී වීම් වශයෙන් පිහිට වන්නකි. එහෙත් ගොවියා වී ලබා ගනුයේ ඔහුගේ මහත් වූ වීර්‍ය්‍යයෙනි. ගොවියා ගේ ප්‍රයෝජනය පිණිස අල්ප ව්‍යායාමයකුදු කුඹුර නො කරන්නේ ය. එහෙත් කුඹුර නැතිව කොතෙක් උත්සාහ කළත් ගොවියාට වී නො ලැබිය හැකි බැවින්, කුඹුර වී ලබා ගැනීමට ගොවියාට පිහිට වන්නක් සැටියට සැමදෙන ම පිළිගනිති. මනුෂ්‍යයන් විසින් කුඹුර වටිනා දෙයක් ලෙස පිළිගන්නේ ද ඒ නිසා ම ය. ව්‍යායාමයක් නැති බැවින් කුඹුර මනුෂ්‍යයන්ට පිහිටක් නැති දෙයක් නම්, මනුෂ්‍යයෝ එය වටිනා වස්තුවක් ලෙස නො පිළිගනිති. සකල පාපමලාපගමයෙන් සුපරිශුද්ධ වූ ද, අර්හත් සර්වඥත්වාදී අපරිමිත ගුණ සාරයෙන් සාරවත් වූ ද, සන්තාන ඇති තථාගතයන් වහන්සේ පින් නමැති උත්තම වස්තුව ලා දීමෙන් සත්ත්වයනට පිහිට වන්නා වූ කුඹුරෙකි. උන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍ර‍ය පවා නොයෙක් වර දෙව් මිනිස් සැප ලැබීමට හේතු වන කුශලයෙකි. පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුශලය ගැන කියනුම කිම? එය සියලු දුක් දුරු කර ගැනීමටත් සියලු සම්පත් ලැබීමටත් හේතු වන කුශලයෙකි. ඒ මහත් වූ කුශලය තමාගේ ම උත්සාහයෙන් ලබා ගන්නක් වන නමුත් බුදුන් වහන්සේ ඒ සඳහා කරන ව්‍යායාමයක් නැති නමුත්, තථාගතයන් වහන්සේ ලොව පහළ නො වී නම් සත්ත්වයනට ඒ කුශලය ලබා ගත නොහෙන බැවින් ගොවියාට කුඹුර පිහිට වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයනට පිහිට වන බව දත යුතු ය.
අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනීන්ද්‍ර‍යන් වහන්සේට මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ම නිවන් ලැබිය හැකි ව තිබුණේ ය. උන් වහන්සේ එදා ලැබිය හැකි ව තිබූ නිවන සත්ත්වානුකම්පාවෙන් හැර සසරට පිවිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කළ සේක. එය කරන ලදුයේ සත්ත්වයනට පිහිට වනු පිණිස ම ය. දැන් අපට පිහිට වන්නා වූ අපගේ මාපියාදි කිසිවෙක් අපට දුකක් පැමිණි කල ඉන් අප මුදවා ගනු පිණිස තමන් ගේ ශරීරවලින් ලේ කළඳකුදු මස් කළඳකුදු වියදම් නො කරන්නාහ. එහෙත් බුදුන් වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනය ද, අඹුදරුවන් ද, තමන් වහන්සේගේ ඇස් ඉස් ලේ මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක. එ බැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ අපට පිහිට වනු පිණිස කළ ක්‍රියා රාශිය ද ඉතා මහත් බව දත යුතු ය. එය මෙතෙකැයි ප්‍ර‍මාණ කරන්නට ද නුපුළුවන.
ධර්මරත්නය සත්ත්වයනට පිහිට වන ආකාරය මෙසේ ය: ලෝකෝත්තර ධර්ම නවය අතුරෙන් සෝවාන් මාර්ගය, එය ලබා ගත් තැනැත්තා සතර අපායෙන් හා ජාති සතකින් මත්තෙහි ඔහුට ලැබෙන්නට තිබෙන සංසාර දුඃඛයෙන් ද එතර කොට නිවනට පමුණුවයි. සෝවාන් මාර්ගයට පැමිණි ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට එහි ආනුභාවයෙන් නැති වූ දුඃඛස්කන්ධය මහ පොළොවේ පස් සමූහය මෙන් ද, ඔහුට ඉතිරි දුඃඛය කෙනකු විසින් මහපොළොවෙන් නිය පිටට ගත් පස් ස්වල්පය මෙන් ද දත යුතු ය. සකෘදාගාමී මාර්ගය එක් වරකින් මතු කාම ලෝකයේ ඉපද ලබන්නට වන දුඃඛ ස්කන්ධයෙන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අනාගාමි මාර්ගය, මතු කාමලෝකයේ ඉපිද ලැබිය හැකි දුඃඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අර්හත් මාර්ගය, මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුඃඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. නිර්වාණ ධර්මය වනාහි සකල සාංසාරිකාපායික දුඃඛස්කන්ධය නිවීම් වශයෙන් ඒ ඒ මාර්ග ඵලයන්ට පැමිණියවුන්ට පිහිට වේ. දුක් නැති කර ගැනීමට ඇත්තා වූ උසස් ම පිහිට ඒ නිවන ය. පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත පිටකත්‍ර‍ය ධර්මය වනාහි සියලු දුක් නැති කර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේ ද මාර්ගය දැක්වීම් වශයෙන් සත්ත්වයන්ට පිහිට වේ.
සංඝරත්නය වනාහි බුද්ධ රත්නය මෙන් ම ලෝකයාට ධර්මානුශාසනය කිරීමෙන් හා දානාදි පුණ්‍ය කර්මයන් කර ගැනීමට ස්ථානයක් වීමෙන් ද සත්ත්වයන්ට පිහිට වේ.

දෙවියන්ගේ පිහිට සෙවීම

දෙවියන්ගේ පිහිට සෙවීම.

බොහෝ බෞද්ධයෝ විෂ්ණු, කතරගම ආදි දෙවිවරුන්ට ද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ ය යි ද, බිඳේ යයි ද, ඇතැමුන් කියතත් එය එසේ ම ය යි නො පිළිගත හැකිය. ස්වශක්තියෙන් සිදු කර ගත නො හෙන දෙයක් එය සිදු කිරීම සමතකු ලවා කරවා ගැනීමේදී ඒ ඒ තැනැත්තාගේ තත්ත්වයේ සැටියට හා සිදු කරවා ගත යුතු කාරණයේ හැටියට ද ගරු බුහුමන් කරන්නට හා පුද පඬුරු ඔප්පු කරන්නට ද සිදුවේ. බොහෝ බෞද්ධයෝ ද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට වුවමනා වූ විට එය කරවා ගනු සඳහා ලබා ගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවෙකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණගමනය කිලිටි වෙතොත් බිඳෙතොත් රජුන්ට ඇමතියන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන් ද සරණ ගමනය කිලිටි විය යුතුය. බිඳිය යුතුය. නො බිඳෙන නො කිලිටි වන ලෝකෝත්තර සරණ ගමනය ඇත්තා වූ ආර්‍ය්‍යශ්‍රාවකයන් ද රජුන්ට වැඳීම, පුද පඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නො විය හැකි ය. යම් කිසිවක් ඉටු කර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුද පඬුරු දීමෙන් සරණගමනයට හානියක් නො වන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන් ද සරණ ගමනයට හානියක් නො විය හැකිය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන්, රත්නත්‍ර‍යට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙනි.

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය.
දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා නො පිවිසිය යුතු ය. ඒ ස්ථානයන්ට වහන් පය ලා නො පිවිසිය යුතු ය. ඒ ස්ථාන අපවිත්‍ර‍ වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතු ය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත්‍ර‍ නො කළ යුතු ය. සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසලවලින් අපවිත්‍ර‍ වී තිබෙනු දුටුව හොත් පවිත්‍ර‍ කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.
පෙර මේ ලක්දිව රුහුණු රට “දීඝාවුක” නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍ර‍යක් සුළඟින් කැඩී ගොස් එක් කුඹුරකට වැටුණේ ය. ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ද ලියා තිබුණේ ය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍ර‍ය දැක එය ගෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැන ම අකුරු ලියා තිබූ කොන ඉරා දමා පොරවා ගත්තේ ය. පසු කලෙක හේ කාලක්‍රියා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙළුණු ශරීරයක් ඇති ප්‍රේතයෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේ ය. ඔහුට හිඳගන්නට ද නිදන්නට ද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකි ය. එක් දවසක් මධ්‍යම රාත්‍රියේ දී ඒ ප්‍රේතයා භික්ෂූන් වහන්සේ කෙනකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේ ය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේ “තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙම්දැයි” විචාළහ. “දීඝාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුව හොත් මේ දුකින් මිදිය හැකි ය.” යි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ පසු දින ප්‍රේතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත්‍ර‍ සොයා කොඩි පනසක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණවූහ. එ දින රාත්‍රියේ ප්‍රේතයා පැමිණ හිසින් අටඟුලක් පමණ යපටින් මිදුණනු බව තෙරුන් වහන්සේට සැල කෙළේ ය. තෙරුන් වහන්සේ දෙවන දිනයෙහි කොඩි පනසක් පුදා ප්‍රේතයාට පින් පැමිණවූහ. එයින් තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය යපටින් මිදිණ. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත්‍ර‍ සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර්ණ වූ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කථාවෙන් තේරුම් ගෙන පරෙස්සම් වෙත්වා!
ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන් ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එ බැවින් ධර්මයට පුදනු කැමතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය. ධර්මය ලියා තිබෙන්නා වූ ද මුද්‍ර‍ණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකිය. ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය. ධර්මාචාර්‍ය්‍යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය, ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලී ය යන ආදිය යි.
සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හි ම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය. සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය. උන්වහන්සේලා හා කථා කරන කල්හි ගිහියන් හා කථා කරන්නාක් මෙන් කථා නො කොට, හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ යනාදි වචන වලින් ගෞරවයෙන් කථා කළ යුතු ය. නැති තැන්හි ද උන්වහන්සේලාට අගෞරව වන වචනවලින් කථා නො කළ යුතු ය.
බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාදානුශාසනා ලබා ගත යුතුය. භික්ෂූන් වහන්සේලා ආශ්‍ර‍ය කිරීමේදී උන් වහන්සේලා හා අධික මිත්‍ර‍ත්වයට නො පැමිණ ගින්න ආශ්‍ර‍ය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍ර‍ය කළ යුතුය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍ර‍ත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය. නපුරු නො මනා අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවක ගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට ඒ භික්ෂුව සමඟ වැසිකිළි වළක ප්‍රේතව උපන්නී ය.
තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍ර‍ය නො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍ර‍ත්‍යුපකාර වශයෙන් උන් වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය.
භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. ඇතැම් අලජ්ජි භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නො දත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතු ය. භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ට ද ප්‍රයෝජනවත් බැවින් “එක්විසි අනේසනය” මෙහි දක්වනු ලැබේ.
01 ගිහියන් සතුටු කරවනු පිණිස සඟසතු වූ හෝ තමා සතු වූ හුණ ලී ඔවුනට දීම.
02 මංගලාවමංගලාදි කටයුතුවලට ගිහියන්ට මල් දීම,
03 පොල් අතු තල් අතු ආදි පත්‍ර වර්ග ගිහියන්ට දීම,
04 පොල් පුවක් ආදි ගෙඩි ජාති දීම,
05 දැහැටි දඬු දීම,
06 මුව දෝනා පැන් දීම,
07 නහන පැන් දීම,
08 ඇඟ ගල්වන සුණු වර්ග (සබන් වර්ග) දීම,
09 ගෙවල් සකස් කර ගැනීම් ආදියට මැටි දීම,
10 තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට, සිත් ගැනීම සඳහා කථා කිරීම.
11 ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම.
12 හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම.
13 ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යෑම.
14 වෙදකම් කිරීම.
15 ගෙන් ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම.
16 ගිහියන්ට වැඩ කරදීමට යෑම.
17 තමා ලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම.
18 ගිහියන්ට ලාභාශාවෙන් අල්ලස් දීම.
19 ගෙබිම් ආදිය දැක්වීම.
20 නැකත් කීම.
21 ශරීර ලක්ෂණ බලා පලාපල කීම.
මේ කරුණු එක් විස්ස අනේසන නම් වෙති. මේවායින් වැළකී සිටින සිල්වත් භික්ෂූන්ට, ගිහියනට ආමිෂයන් සංග්‍ර‍හ කිරීමට ඉඩක් නැත.
ගිහියන් විසින් සංඝ සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමෙන් හා කිලිටි කිරීම් ආදියෙන් ඒවාට හානි කිරීමෙන් ද වැළකිය යුතුය. පෙර එක් මිනිසෙක් සංඝ සන්තක තෙල් සංඝයාගේ අවසර නැති ව ඇඟ ගල්වා ගත් පවින් නරකයෙහි බොහෝ කල් දුක් විඳ, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ කටු මැටි බිත්තියක් බඳු රළු ශරීරය ඇති යක්ෂයෙක් වූයේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවිකේ කුඹුර සාමින් සිට නො නා බණ අසන්නට ගොස් ඇඟ තැවරී තුබූ මඩින් සඟ සතු බුමුතුරුණු අපවිත්‍ර‍ කොට ඒ පවින් බොහෝ කල් නරකයේ පැසී, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක්ව උපන්නේය. මෙයින් දෙ අනූ වන කප ඵුස්ස නම් වූ බුදුන් වහන්සේගේ කාලයේදී සඟ සතු දන් කෑ සුවාසු දහස් දෙනෙක් අප බුදුන් සමයේ ද ප්‍රේත ව විසුවෝ ය. සංඝ සන්තක වස්තු ගැනීමේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියන ලද කථාවලින් තේරුම් ගෙන එයින් පරෙස්සම් වෙත්වා!
භික්ෂූන් වහන්සේලා වනාහි තමනට වරද කළ අයගෙන් පළි ගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසොල් රජතුමාට මෙය වදාරන ලදි.
වනං යදග්ගි ඩහති – පාවකො කණ්හවත්තනි
ජායන්ති තත්ථ පාරොහා – අහො රත්තාන මච්චයෙ
යඤ්ච ඛො සීලසම්පන්නො – භික්ඛූ දහති තේජසා
න තස්ස පුත්තා පසවෝ – දායාදා වින්දරෙ ධනං
අනපච්චා අදායාදා – තාලවත්ථු භවන්ති තෙ
තස්මා හි පණ්ඩිතො පොසො – සම්පස්සං අත්ථමත්තනො
භූජඞ්ගමං පාවකඤ්ච – ඛත්තියඤ්ච යසස්සිනං
භික්ඛුඤ්ච සීලසම්පන්නං – සම්මදෙව සමාචරෙ.
ගාථාවල අදහස මෙසේ ය:
ගිය මග දවා හළු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවා ද, කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස් ඇති වන්නේය.
සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරදක කළ කෙනකු තමාගේ තේජසින් යම් කලෙක දවා ද, එ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝ ද ගව මහිසාදි සත්ත්වයෝ ද නස්නාහ. ඔහු ගේ ධනය උරුමක්කාරයෝ නො ලබන්නාහ.
සිල්වත් භික්ෂුන්ට වරද කිරීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක් සුන් තල් රුක් වැනි වන්නාහ. එ බැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහි ද, ගින්න කෙරෙහි ද, රාජ කුමාරයා කෙරෙහි ද, සිල්වත් භික්ෂුව කෙරෙහි ද මනා කොට හැසිරෙන්නේ ය යනුයි.
භික්ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යයන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බණින්නා හට පෙරළා නො බණින්නා වූ, කලහයට එන්නා හා කලහයට නො යන්නා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, ඉවසන්නා වූ කෙනෙකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත් කර ගැනීමෙන් තෙමේ ම දැවෙන්නේ ය. දුකට පත්වන්නේ ය. බුදුන් වහන්සේ “භික්ෂු තෙම අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ ය” යි වදාළේ භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. එ බඳු භික්ෂූන් ගැන ගිහියන් විසින් කළ යුත්තේ වර්ජනය කිරීම ය.
“අට්ඨහි භික්ඛවේ, ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං, කතමෙහි අට්ඨහි? ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති. ගිහීනං අක්කෝසති පරිහාසති, ගිහී ගිහීහි භේදේති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරේ ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවේදෙය්‍යුං”
යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද, භික්ෂූන්හට කැමති නම් අප්‍ර‍සාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍ර‍සාදය දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කළ හුනස්නෙන් නොනැඟී සිටීම, පෙර ගමන් නො කිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නො සතුට දැක්වීම ය.