Sanga Rathnaya සංඝ රත්නය

නවදහස් හත්සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, සැරියුත් මුගලන් ආනන්ද රාහුල ආදි පුද්ගල සමූහය ආර්ය සංඝරත්නය ය .

පුද්ගලයන් අදෙනෙකු ඇති බැවින් එයට අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයයි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් අාර්ය පුද්ගලයෝ අට දෙන නම් –

  • 01 සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය.
    02 සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය.
    03 සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයාය.
    04 සකෘදාගාමී ඵලස්ථ පුද්ගලයාය,
    05 අනාගාමී මාර්ගස්ථ පුද්ගලයාය,
    06 අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය,
    07 අරහත් මාර්ගස්ථ පුද්ගලයා ය ,
    08 අරහත් ඵලස්ථ පුද්ගලයා ය,

යන මොහු ය.
ආර්ය පුද්ගලයන් අට දෙනා අතුරින් සෝවාන් පුද්ගලයා හට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය යන සංයෝජන තුන නැත්තේ ය. ඔහුට කාම රාගා දී අවශේෂ සංයෝජන ඇත ද ,ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි. ස්වල්ප වශයෙන්. එබැවින් සෝවාන් වූ ආර්යශ්‍රාවකයන් වහන්සේ අපායොත්පත්තියට හේතුවන තරම් ඖදාරික පාපයන් නොකරන්න හ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේ දී ම රහත් නොවී සසර උපාධි තත් උපදින්නේ සුගති භාවයෙහි සත් වරක් පමණකි.

සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත තිලක්ෂණ භාවනාවෙහි යෙදෙන සකෘදාගාමී මාර්ගය ඥානයට පැමිණ කාම රාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජන තවත් තුනී කොට සකෘදාගාමී ඵලයට පැමිණෙන්නාහ.

සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවතද විදර්ශනා කරන සේක, අනාගාමී මාර්ගය ලබා, කාම රාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජන නිරවශේෂයෙන් ප්‍රහාරණය කොට අනාගාමී ඵලයට පැමිණ සේක.

අනාගාමි භික්ෂූන්වහන්සේ නැවත භාවනාවෙහි යෙදුණු වූ අර්හත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක. ඉන්පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක.

ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආර්ය පුද්ගලයා ඇත ද, ඔවුහු අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටි යවුන් නොවන්න බැවින් සංඝරත්නයට අයත් නො වෙති. මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්යන් නොවන නමුත් නව දහස් එක්සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවරය ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්ය ශීලස්කන්ධ යෙන් යුක්තව , ආර්යන් වහන්සේලා අනුව පිළිපදින බැවින් සංඝරත්නයට අයත් වන සේක. පරිජි ඇවතට පැමිණියෝද ,උපසම්පදාව පිහිටිය හැකි සේ විනයගත පරිද්දෙන් උපසම්පදාව නොලබා, උපසම්පන්නයන් හැටියට පෙනී සිටින්නෝ ද සංඝරත්නයට ඇතුළත් නො වෙති.

සංඝ රත්නය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හි ම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය. සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාරකළයුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය. උන්වහන්සේලා හා කථා කරන කල්හි ගිහියන් හා කථා කරන්නාක් මෙන් කථා නො කොට, හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ යනාදි වචන වලින් ගෞරවයෙන් කථා කළ යුතු ය. නැති තැන්හි ද උන්වහන්සේලාට අගෞරව වන වචනවලින් කථා නො කළ යුතු ය. බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාදානුශාසනා ලබා ගත යුතුය. භික්ෂූන් වහන්සේලා ආශ්‍ර‍ය කිරීමේදී උන් වහන්සේලා හා අධික මිත්‍ර‍ත්වයට නො පැමිණ ගින්න ආශ්‍ර‍ය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍ර‍ය කළ යුතුය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍ර‍ත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය. නපුරු නො මනා අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවක ගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට ඒ භික්ෂුව සමඟ වැසිකිළි වළක ප්‍රේතව උපන්නී ය.
තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍ර‍ය නො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍ර‍ත්‍යුපකාර වශයෙන් උන් වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය.
භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. ඇතැම් අලජ්ජි භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නො දත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතු ය. භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ට ද ප්‍රයෝජනවත් බැවින් “එක්විසි අනේසනය” මෙහි දක්වනු ලැබේ.
01 ගිහියන් සතුටු කරවනු පිණිස සඟසතු වූ හෝ තමා සතු වූ හුණ ලී ඔවුනට දීම.
02 මංගලාවමංගලාදි කටයුතුවලට ගිහියන්ට මල් දීම,
03 පොල් අතු තල් අතු ආදි පත්‍ර වර්ග ගිහියන්ට දීම,
04 පොල් පුවක් ආදි ගෙඩි ජාති දීම,
05 දැහැටි දඬු දීම,
06 මුව දෝනා පැන් දීම,
07 නහන පැන් දීම,
08 ඇඟ ගල්වන සුණු වර්ග (සබන් වර්ග) දීම,
09 ගෙවල් සකස් කර ගැනීම් ආදියට මැටි දීම,
10 තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට, සිත් ගැනීම සඳහා කථා කිරීම.
11 ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම.
12 හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම.
13 ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යෑම.
14 වෙදකම් කිරීම.
15 ගෙන් ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම.
16 ගිහියන්ට වැඩ කරදීමට යෑම.
17 තමා ලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම.
18 ගිහියන්ට ලාභාශාවෙන් අල්ලස් දීම.
19 ගෙබිම් ආදිය දැක්වීම.
20 නැකත් කීම.
21 ශරීර ලක්ෂණ බලා පලාපල කීම.
මේ කරුණු එක් විස්ස අනේසන නම් වෙති. මේවායින් වැළකී සිටින සිල්වත් භික්ෂූන්ට, ගිහියනට ආමිෂයන් සංග්‍ර‍හ කිරීමට ඉඩක් නැත.
ගිහියන් විසින් සංඝ සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමෙන් හා කිලිටි කිරීම් ආදියෙන් ඒවාට හානි කිරීමෙන් ද වැළකිය යුතුය. පෙර එක් මිනිසෙක් සංඝ සන්තක තෙල් සංඝයාගේ අවසර නැති ව ඇඟ ගල්වා ගත් පවින් නරකයෙහි බොහෝ කල් දුක් විඳ, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ කටු මැටි බිත්තියක් බඳු රළු ශරීරය ඇති යක්ෂයෙක් වූයේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවිකේ කුඹුර සාමින් සිට නො නා බණ අසන්නට ගොස් ඇඟ තැවරී තුබූ මඩින් සඟ සතු බුමුතුරුණු අපවිත්‍ර‍ කොට ඒ පවින් බොහෝ කල් නරකයේ පැසී, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක්ව උපන්නේය. මෙයින් දෙ අනූ වන කප ඵුස්ස නම් වූ බුදුන් වහන්සේගේ කාලයේදී සඟ සතු දන් කෑ සුවාසු දහස් දෙනෙක් අප බුදුන් සමයේ ද ප්‍රේත ව විසුවෝ ය. සංඝ සන්තක වස්තු ගැනීමේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියන ලද කථාවලින් තේරුම් ගෙන එයින් පරෙස්සම් වෙත්වා!
භික්ෂූන් වහන්සේලා වනාහි තමනට වරද කළ අයගෙන් පළි ගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසොල් රජතුමාට මෙය වදාරන ලදි.
වනං යදග්ගි ඩහති – පාවකො කණ්හවත්තනි
ජායන්ති තත්ථ පාරොහා – අහො රත්තාන මච්චයෙ
යඤ්ච ඛො සීලසම්පන්නො – භික්ඛූ දහති තේජසා
න තස්ස පුත්තා පසවෝ – දායාදා වින්දරෙ ධනං
අනපච්චා අදායාදා – තාලවත්ථු භවන්ති තෙ
තස්මා හි පණ්ඩිතො පොසො – සම්පස්සං අත්ථමත්තනො
භූජඞ්ගමං පාවකඤ්ච – ඛත්තියඤ්ච යසස්සිනං
භික්ඛුඤ්ච සීලසම්පන්නං – සම්මදෙව සමාචරෙ.
ගාථාවල අදහස මෙසේ ය:
ගිය මග දවා හළු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවා ද, කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස් ඇති වන්නේය.
සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරදක කළ කෙනකු තමාගේ තේජසින් යම් කලෙක දවා ද, එ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝ ද ගව මහිසාදි සත්ත්වයෝ ද නස්නාහ. ඔහු ගේ ධනය උරුමක්කාරයෝ නො ලබන්නාහ.
සිල්වත් භික්ෂුන්ට වරද කිරීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක් සුන් තල් රුක් වැනි වන්නාහ. එ බැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහි ද, ගින්න කෙරෙහි ද, රාජ කුමාරයා කෙරෙහි ද, සිල්වත් භික්ෂුව කෙරෙහි ද මනා කොට හැසිරෙන්නේ ය යනුයි.
භික්ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යයන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බණින්නා හට පෙරළා නො බණින්නා වූ, කලහයට එන්නා හා කලහයට නො යන්නා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, ඉවසන්නා වූ කෙනෙකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත් කර ගැනීමෙන් තෙමේ ම දැවෙන්නේ ය. දුකට පත්වන්නේ ය. බුදුන් වහන්සේ “භික්ෂු තෙම අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ ය” යි වදාළේ භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. එ බඳු භික්ෂූන් ගැන ගිහියන් විසින් කළ යුත්තේ වර්ජනය කිරීම ය.
“අට්ඨහි භික්ඛවේ, ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං, කතමෙහි අට්ඨහි? ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති. ගිහීනං අක්කෝසති පරිහාසති, ගිහී ගිහීහි භේදේති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරේ ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවේදෙය්‍යුං”
යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද, භික්ෂූන්හට කැමති නම් අප්‍ර‍සාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍ර‍සාදය දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කළ හුනස්නෙන් නොනැඟී සිටීම, පෙර ගමන් නො කිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නො සතුට දැක්වීම ය.

තිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය  ඇසුරෙන් බොහෝ කරුණු පළ කර ඇත.
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

සංඝ රත්නය

සංඝ යනු සමුහය යන අර්ථය කියැවෙන වචනයෙකි. දේවසංඝ – බ්‍රහ්මසංඝ – ක්ෂත්‍රියසංඝ – තිර්ථක සංඝ යනාදින් බොහෝ සමූහයෝ ලෙව්හි ඇත්තාහ. අනේක සමහූහයන් අතුරෙන් සංඝරත්න යන නාමය ව්‍යවහාර කරනුයේ සංඝගුණපාඨයේ “භගවතා සාවකසංඝො” යනුවෙන් කියැවෙන භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සමුහයාටය. ශ්‍රාවක යන වචනයේ තේරුම අසන තැනැත්තාය යනුය. ලෝකයෙහි ඇසිය හැකි දෑ බොහෝ ය. කිනම් දෙයක් හෝ ඇසීමෙන් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත සුත්ත – ගෙය්‍ය – වෙය්‍යාකරණ – ගාථා – උදාන – ඉති – වුත්තක – ජාතක – අබ්භුතධම්ම – වේදල්ල යන මොවුන්ගේ වශයෙන් නව ප්‍රභේද වූ පර්‍ය්‍යාප්ත ධර්මය අසන්නා ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වේ. අසන තැනැත්තා “ශ්‍රාවකය” යි කියන නමුත් අසන සැම දෙනාම ශ්‍රාවකයෝ නො වෙති. තේරුමක් තැතිව අසන තිරශ්චීනාදීහු ද, තථාගත ධර්මය නො පිළිගන්නා මිත්‍යාදෘෂ්ටිකයෝ ද, සමහර විට ධර්මය අසති. එයින් ඔවුහු බුද්ධශ්‍රාවකයෝ නො වෙති. ඒ ධර්මය අසා ගෞරවයෙන් පිළිගෙන එය අනුව පිළිපැදිමට උත්සහ කරන සත්පුරුෂයෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙති.

ඇසිය යුතු දෙය යන අර්ථයෙන් පර්‍ය්‍යාප්ති ධර්මය සුත නම් වේ. බොහෝ ධර්මයන් අසා ඇත්තේ බහුශ්‍රැත නම් වේ. මඳක් අසා ඇත්තේ අල්පශ්‍රැති නම් වේ. බහුශ්‍රැත වුවද ධර්මානුධර්මප්‍රතිපත්තිය නැත්තේ බුද්ධශ්‍රාවක නො වේ. එක දහම් පදයකුදු අසා පිළිපදින්නෙ බුද්ධශ්‍රාවක වේ. ධර්මානුකුල ප්‍රතිපත්තියක් නැති අල්පශ්‍රැතයා ය, ධර්මානුකුල ප්‍රතිපත්තියක් ඇති අල්පශ්‍රැතයා ය යි අල්පශ්‍රැතයෝ දෙදෙනෙක් වෙති. බහුශ්‍රැතයෝ ද එසේ ම දෙදෙනෙක් වෙති.

“අප්පස්සුතො පි චෙ හොති – සීලෙසු අසමාහිතො,
උභයෙන නං ගරහන්ති – සීලතො ච සුතෙන ච”

“ඉදින් අල්පශ්‍රැත ද වේ නම්, ශීලයෙනුත් යුක්ත නො වේ නම්, ශීලයෙන් ද ශ්‍රැතයෙන් ද යන දෙකින් ම ඔහුට ගර්භා කෙරෙත්ය” යනු තේරුමය. ඒ පුද්ගලයා බුද්ධශ්‍රාවක නො වේ.

“අප්පස්සුතො පි චෙ හොති – සීලෙසු සුසමාහිතො,
සිලතො නං පසංසන්ති – තස්ස සම්පජ්ජතෙ සුතං”

“ඉදින් අල්පශ්‍රැත වුව ද ශිලයෙන් යුක්ත වේ නම් ඔහුට ශිලය නිසා ප්‍රශංසා කෙරෙත්. ඔහුගේ ශ්‍රැතය සමෘද්ධ වේය” යනු එහි තේරුමය. මඳ වූ ද ශ්‍රැතය සමෘද්ධ වන බැවින් ඔහු බුද්ධශ්‍රාවකයෙක් වේ.

“බහුස්සුතො පි චෙ හොති – සීලෙසු අසමාහිතො,
සිලතො නං ගරහන්ති – නාස්ස සම්පජ්ජතෙ සුතං”

“ඉදින් බහුශ්‍රැත වූයේ ද සිල් නැත්තේ නම් එහුට ශීලය නැති නිසා ගර්භා කෙරෙත්. ඔහුගේ ශ්‍රැතය සමෘද්ධ නොවේය” යනු එහි තේරුමය. ශ්‍රැතය සමෘද්ධ නොවන බැවින් බහුශ්‍රැත වූ ද ඒ පුද්ගලයා බුද්ධශ්‍රාවක සංඛ්‍යාවට නො ගැනේ.

“බහුස්සුතො පි ච හොති – සීලෙසු සුසමාභිතො,
උභයෙන නං පසංසනිති – සීලතො ච සුතෙන ච”

ඉදින් බහුශ්‍රැත ද වේ නම්, ශිලයෙන් ද යුක්ත වේ නම් ඔහුට ශිලය ශ්‍රැතය යන දෙකින්ම පසසත්ය” යනු එහි තේරුමය. එබඳු පුද්ගලයා විශේෂයෙන් පැසසිය යුතු බුද්ධශ්‍රාවකයෙක් වේ.

බුදුරදුන්ගේ ධර්මය අසා එය ගෞරවයෙන් පීළිගෙන එය අනුව පිළිපදින පිළිපැදිමට උත්සහ කරන බුද්ධශ්‍රාවකයෝ මනුෂ්‍ය – දේව – බ්‍රහ්ම වශයෙන් තුන් කොටසක් වෙති. ගෘහස්ත – ප්‍රව්‍රජිත වශයෙන් දෙකොටසක් වෙති. පෘතග්ජන – ආර්‍ය්‍ය වශයෙන් දෙකොටසක් වෙති. උපසම්පන්න – අනුපසම්පන්න වශයෙන් දෙකොටසක් වෙති. සංඝගුණ පාඨයෙහි “යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො” යනුවෙන් “යුග්ම වශයෙන් සතරක් වන, පුද්ගලයන් වශයෙන් අට දෙනෙකුන් වන මේ පිරිස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාය’යි වදාරා තිබේ. විශුද්ධිමාර්ගයෙහි අෂ්ටපුරිස පුද්ගලයන් දක්වා තිබෙන්නේ “පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො ඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨෙව පුරිසපුග්ගලා හොන්ති” යනුවෙන් ප්‍රථම මාර්ගස්ථ පුද්ගලයාය, ප්‍රථම ඵලස්ථ පුද්ගලයාය, ද්විතීය මාර්ගස්ථ පුද්ගලයාය, ද්විතීය ඵලස්ථ පුද්ගලයාය, තෘතිය මාර්ගස්ථ පුද්ගලයාය, තෘතිය ඵලස්ථ පුද්ගලයාය, චතුර්මාර්ගස්ථ පුද්ගලයාය, චතුර්ථ ඵලස්ත පුද්ගලයා කියා ය. කල්‍යාණ පෘථග්ජන භික්ෂුව එහි සඳහන් කර නැත. තථාගතයන් වහන්සේ විසින් දේශිත සූත්‍රධර්මයන්හි සංඝරත්නයට අයත් පුද්ගල විභාගය වදාරා ඇත්තේ අන් ක්‍රමයකට ය. මෙහි එක් සුත්‍ර දේශනාවක් දක්වනු ලැබේ.

අට්ඨීමෙ පුද්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ අට්ඨ? සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමි ඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අනාගාමි, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨපුග්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා ති.

චත්තාරො ච පටිපන්නා
චත්තාරො ච ඵලෙ ඨිතා
එස සංඝො උජුභුතො
පඤ්ඤා සීල සමාහිතො,

යජමානානං මනුස්සානං
පුඤ්ඤපෙක්ඛාන පාණිනං
කාරොතං ඔපධිකං පුඤ්ඤං
සංඝෙ දින්නං මහප්ඵලං.

(අංගුත්තර අට්ඨකනිපාත)

මේ සුත්‍රයේ හැටියට සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාද, සකෘදාගාමි පුද්ගලයාද, සකෘදාගාමිඵලයට පැමිණිම සඳහා පිළිවෙත් පුරන පුද්ගලයාය, අනාගාමි පුද්ගලයාය, අනාගාමි ඵලයට පැමිණිම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය, අර්හත් පුද්ගලයාය, අර්හත් ඵලයට පැමිණිම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය යන මේ පුද්ගලයන් අටදෙන සංඝරත්නයට අයත් පුද්ගලයන් අට දෙනාය. මේ පුද්ගලයන් අට දෙනා දක්ෂිණාවිහංග සුත්‍රයෙහි ද වදාරා ඇත්තේය. එහි අටුවාවෙහි “හෙට්ඨිම කොටියා තිසරණගතො උපාසකො පි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො නාම හොති” යනාදින් තිසරණගත උපසකයාගේ පටන් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා දක්වා ඇති ඒ ඒ තරාතිරම්වල පුද්ගලයන් සැමදෙන ම සෝවාන් මාර්ගය පිණිස පිළිවෙත් පුරන පුද්ගලයන් බව දන්වා තිබේ. එය අනුව අෂ්ට පුරුෂ පුද්ගලයන්ට සෝවාන් මාර්ගය පිළිපදින කල්‍යාණපෘථග්ජන භික්ෂුන් ද අයත් බව කිව යුතුය. අෂ්ටපුරුෂ පුද්ගලයන් අතර උපසම්පන්නයෝ ද, අනුසම්පන්නයෝ ද, වෙති. බුදුරදුන් ජිවමාන කාලයේ හා එයට සමීප කාලයේ ද මඟපල ලබා ආර්‍ය්‍යශ්‍රාවකත්වයට පැමිණ සිටි ගිහියෝ බොහෝ වූහ. මිනිස්ලොව කෙසේ වුව ද දිව්‍යලෝක බ්‍රහ්මලෝවල මඟපල ලබා ඇති බොහෝ බොහෝ දෙව බ්‍රහ්ම ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ දැනුදු අත්තාහ. ඔවුහු ආර්‍ය්‍යශ්‍රාවකයින් වුව ද තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පුර්ණයෙන් පිළිගත්තාහු නො වෙති. එබැවින් මඟපල ලබා ඇත්තාවූ ද ඔවුහූ සංඝරත්නයට අයත් නො වෙති. තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රය සම්පුර්ණයෙන් පිළිගන්නෝ උපසම්පන්න භික්ෂුහු ය. එබැව්න් ආර්‍ය්‍ය වූ ද, පෘථග්ජන වූ ද, උපසම්පන්නයෝ ම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට අයත් වෙති. අධිශීල – අධිචිත්ත – අධිප්‍රඥා යි ත්‍රික්ෂාවක් ඇත්තේය. ගිහි පැවිදි කාහටත් ඇත්තේ එක ම අධිචිත්ත ශික්ෂාවෙකි. එකම අධිප්‍රඥා ශීක්ෂාවකි. ඒ ශීක්ෂා දෙකින් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ වෙනසක් නැත්තේය. අධිශීල ශික්ෂාවෙන් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ විශාල වෙනසක් ඇත්තේය. සෝවාන් වූ ද ගිහියාගේ නිත්‍යශීලය පඤ්චශීලය ය. උපසම්පන්න භික්ෂුවගේ ශීලය ඉතා විශාල ශීලයෙකි.

“නවකොටිසහස්සානි – අසීතිං සතකොටියො,
පඤ්ඤාසං සතසහස්සානි – ඡත්තිංසා ච පුනාපරෙ.

එතෙ සංවරවිනයා – සම්බුද්ධෙන පකාසිතා,
පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා – සික්ඛා විනයසංවරෙ”

(විසුද්ධිමග්ග)

යනුවෙන් දැක්වෙන “නවදහස් එකසිය අසූකොටි පන්ලක්ෂ සතිස් දහස් ශික්ෂා ඇති මහා ශිලය උපසම්පන්න භික්ෂුන්ගේ ශිලය ය. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ සියලූ ම භික්ෂුන්ට ඇත්තේ ප්‍රතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත එක ම ශීලයෙකි. එකම දෘෂ්ටියකි. “දිටිඨිසිල සාමඤ්ඤෙන සංඝටිතොති සංඝො” යන වචනාර්ථය පරිදි ඒ භික්ෂු පිරිස ශරීරවලින් ඔවුනොවුන් කොතෙක් දුරිනු සිටිය ද, ශීල – දෘෂ්ටි දෙකින් ඔවුනොවුන් ගැටී අති බැවින් සම්බන්ධ වී ඇති බැවින් සංඝ නම් වේ. සර්වඥයන් වහන්සේගේ ආඥාව පරිදි පැවිද්ද ලබා බුද්ධ පුත්‍ර භාවයට පැමිණ සිටින සාමණේරයෝ විනයකර්මවලට සුදුසු වන පරිදි සංඝරත්නයට අයත් නො වතුදු දක්ෂිණාර්භ භාවයෙන් සංඝරත්නයට අයත් වෙති. එබැවින් ඔවුන්ට ද සඟසතු විහාරාරාම පරිභෝග කිරිමේ අයිතිය ඇත්තේය. ඔවුන් සංඝලාභ බෙදීමේදී කොටස ලැබිමට සුදුස්සෝද වෙති. සංඝයාට ලැබි ඇති සිවුරු බෙදීමේදි සාමණේරයන් ගැන පිළිපැදිය යුතු ආකාරය තථාගතයන් වහන්සේගෙන් විචාළ කල්හි “අනුජානාමි භික්ඛවෙ, සාමණෙරානං උපඞ්ඪ පටිවිංසං දාතුං” යනුවෙන් භික්ෂුන්ට ලැබෙන කොටසින් භාගයන් සාමණේරයන් ට දිමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළහ. වතින් සම්පුර්ණ සාමණේරයනට සම්පුර්ණ කොටස ම දියයුතු බව විනය අටුවාවෙහි කියා තිබේ. ශ්‍රමණ දුශ්ශීලයා ද, ශ්‍රමණ වේෂය දරමින් භික්ෂුවකැයි ප්‍රතිඥා කරමින් සිටිනාතාක් භික්ෂුවක් ලෙස සැලකිය යුතු බව ද “සංඝ සමය සමනුපවිට්ඨතොපි දක්ඛිණං විසොධෙති” යනුවෙන් ශ්‍රමණ දුශ්ශීලයා ද සංඝසමයට අයත් වන බව ද මිළින්දපඤ්හයෙහි කියා තිබේ. මෙසේ බලන කල්හි බුදු සස්නෙහි පැවිද්ද ලබා ඇති හැම දෙනා ම සංඝරත්නයට අයත් වන බව කිය යුතුය. සරණ සමාදානයෙහිදී හා වස්තුන් සඟසතු කිරිමේදි සංඝයා ලෙස සැලකෙන්නේ ඒ අපරිච්ඡින්නක පුද්ගල සමූහය ය. විනයකර්ම වලදී එක් තැනකට රුස් වූ උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා ලෙස සලකණු ලැබේ. චතුර්වර්ග සංඝයා ය, පඤ්චවර්ග සංඝයා ය, දශවර්ග සංඝයා ය, විංශතිවර්ග සංඝයා ය, අතිරේක විංශතිවර්ග සංඝයා යයි විනය ක්‍රමයෙන් සංඝයා පස් කොටසක් වශයෙන් කියනු ලැබේ.

“චතුවග්ගො පඤ්චවග්ගො – දසවීසති වග්ගිකො,
අතිරෙකවීසති වග්ගො – පඤ්ච සංඝා විභාවිතා

(ඛුද්දසික්ඛා)

සංඝ රත්නය    https://pitaka.lk/books/suvisi-gunaya/19.html

සංඝරත්නයේ ගුණ

සුපටිපටිපන්නො භගවතො සාවකසංඝො, උජුපටිපන්නො භගවතො සාවකසංඝො, ඤායපටිපන්නෝ භගවතො සාවකසංඝො, සාමීචිපටිපන්නෝ භගවතො සාවකසංඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසංඝො ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.

මේ සංඝගුණ පාඨය ය. එයින් කියැවෙන ගුණ නවයක් ඇත්තේ ය. ඒ මෙසේ ය,

1. සුපටිපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශිල – අධිචිත්ත – අධිප්‍රඥා සංඛයාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති සේක.

2. උජුපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල – අධිචිත්ත – අධිප්‍රඥා සංඛයාත ඍජු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

3. ඤායපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල – අධිචිත්ත – අධිප්‍රඥා සංඛයාත නිවනට හේතු වන ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

4. සාමීචිපටිපන්නො භගවතො සාවකසංඝො,

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ අධිශීල – අධිචිත්ත – අධිප්‍රඥා සංඛයාත ගරු කිරිමට සුදුසු ප්‍රතිපත්තියෙහි යෙදෙන සේක.

5. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසංඝො ආහුනෙය්‍යො,

යම් ඒ පුරුෂයුග්ම සතරක් වේ ද, පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද, භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසු වන සේක.

6. පාහුනෙය්‍යො,

දුර සිට පැමිණෙන ප්‍රියමනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පිළිගැනීමට සුදුසු වන සේක.

7. දක්ඛිණෙය්‍යො,

සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනිමට සුදුසු වන සේක.

8. අඤ්ජලි කරණීයො,

සකල ලෝකයා විසින් ම දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගැනීමට සුදුසු වන සේක.

9. අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.

ලෝකයා හට උතුම් පින් කෙතක් වන සේක.