Pohoya Wistaraya පොහොය විස්තරය

නවම් පොහොය
මැදින් පොහොය
බක් පොහොය
වෙසක් පොහොය
පොසොන් පොහොය
ඇසල පොහොය
නිකිණි පොහොය
බිනර පොහොය
වප් පොහොය
ඉල් පොහොය
උඳුවප් පොහොය

දුරුතු පොහොය
නවම් පොහොය
මැදින් පොහොය
බක් පොහොය
වෙසක් පොහොය
පොසොන් පොහොය
ඇසල පොහොය
නිකිණි පොහොය
බිනර පොහොය
වප් පොහොය
ඉල් පොහොය
උඳුවප් පොහොය

01 දුරුතු පොහොය

සර්වඥයන් වහන්සේ විසින් සියතින් ම දුන් කේශ ධාතූන් වහන්සේලා හා ග්‍රීවා ධාතූන් වහන්සේ ද වැඩ සිටිති

බුදුරදුන්ගේ පළමු ලංකා ගමනය සිදු වූ දුරුතු පුන් පොහෝදා

දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. සුමන සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවූයේ ද ඒ දින ම ය.

අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් මාස නමයක් ගත වූ පසු එළඹුණ දුරුතු පුන්පොහෝ දින උන්වහන්සේ ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍ය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදී සිදුවීම් රැසක් දුරුතු පුන් පොහෝදා සිදුවී තිබේ.

දුරුතු පුන් පොහොය උදාවෙමින් පැවතිණ. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිසගේ වාසනා ගුණය දිවැසින් දුටු සේක. බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත වැඩමවා, දහම් දෙසා, ඔවුන් පැවිදි කළ සේක. එහි දී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට ‘ආදිත්ත පරියාය’ සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත් වූ සේක.

ඒ සමඟ ම දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනය උදාවිය. මේ කාලයේ මෙම ලංකාද්වීපයේ වාසය කළේ යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයෝ ය. එදින අලුයම ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණ ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ මහානාග වනෝද්‍යානයේ කඳවුරු බැඳගෙන සිටි විශාල යක්ෂ ගෝත්‍රික පිරිසක් දුටු සේක. ඒ අය කෙරෙහිත්, අනාගත ලංකාවාසීන් කෙරෙහිත් අනුකම්පා සහගත වූ බුදුරජාණන් වහන්සේ සෘද්ධියෙන් මහියංගණයට වැඩම කොට මහියංගණ චෛත්‍ය පිහිටන ස්ථානයේ සම්කඩ අතුරා වැඩහිඳ සෘද්ධි ප්‍රාතිහාර්ය දැක්වූ සේක. මෙයින් බියට පත් යක්ෂයින්ට අනුකම්පා කර ඔවුන් ගිරි දිවයිනකට පළවා හැරි උන්වහන්සේ ඉන් අනතුරුව ලක්දිව සිව් දිගින් පැමිණි සුමන සමන් දෙවියන් ඇතුළු දෙව් පිරිස සරණ සීලයේ පිහිට වූ සේක.

එලෙස යක්ෂයින් දමනය කර ගිරි දිවයිනට පළවා හැර, ඒ අවස්ථාවේ දී රැස්වුණා වූ දේව හා නාග පිරිස් තිසරණ ගැන්වීමෙන් බුදුරජ ාණන් වහන්සේ ලංකාවේ බුදුසසුන පිහිටුවීම පිණිස සිදු කළ යුතු මූලික පසුබිම සකස් කළ සේක. ඒ අනුව මෙරට බුදු දහම පැතිරීමට ඉවහල් වූ මූලික අඩිතාලම මෙලෙස සකස් විය.

දුරුතු පුන් පොහොය දින බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූ ලක්වැසි පිරිස අතර සුමන සමන් දෙවියෝ ද වූහ. නිරාමිස සතුටකින් හා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔද වැඩී ගිය සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවැත්වීමට සුදුසු පූජා වස්තුවක් ඉල්ලා සිටියහ.ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතු මිටක් ගෙන සුමන සමන් දෙවියන්ට දුන් සේක. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම උන්වහන්සේ උදෙසා පුද සත්කාර කිරීම පිණිස පූජා වස්තු ලෙස කේශ ධාතූන් වහන්සේ ලබා දීම කිහිප අවස්ථාවක දී ම සිදු වී ඇති අතර, දුරුතු පුර පසළොස්වක පොහෝදා බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිඳුන්ට ලබා දුන්නේ ද එබඳු පූජා වස්තුවකි.

මහත් ගෞරවයෙන් යුක්තව එම කේශ ධාතූන් වහන්සේ භාරගත් සුමන සමන් දෙවියෝ ඒවා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සත්රියන් චෛත්‍යයක් කළෝ ය. ලක්දිව මුල් වරට ඉදිකරන ලද චෛත්‍යය ලෙස සැලකෙන්නේ මෙම චෛත්‍යයයි. දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක දී ඉදි කරන ලද ඒ චෛත්‍යය අද මහියංගන සෑ රදුන් ලෙස සිරිලක ප්‍රකට වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී ම ලක්දිව චෛත්‍යය වන්දනාව ආරම්භ වූ බවත්, ඒ අනුව මෙරට බෞද්ධයන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් බෞද්ධ ප්‍රතිපත්තිය එකල විසූ ගෝත්‍රික ජනතාව අතර ද පැතිරෙන්නට වූ බවත් ය.

බෞද්ධයා මුල් කාලයේ පටන් ලක්දිව බුදු සසුන සමඟ බැඳුණ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සලකා තිබෙන බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබාගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි. ඉන් අනතුරුව චූලාභය රජතුමා මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ තිස් රියන් කොට බැඳවී ය. තව ද ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය පිණිස සටනට ගිය දුටුගැමුණු රජතුමා තම සටන් ව්‍යාපාරය ආරම්භ කළේ මහියංගණ චෛත්‍යය අසූ රියන් කොට බඳවා බුදුසසුන සුරැකීමට කළ අධිෂ්ඨානයත් සමඟම ය.

උදාවූ දුරුතු පුන් පොහෝදා මෙලෙස ලක්දිව බුදුසසුන ස්ථාපිත කිරීම පිණිස මූලික කටයුතු රාශියක් සැකසීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ එදින සෘද්ධි බලයෙන් උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ දහසක් පමණ වූ පුරාණ ජටිල භික්ෂූන් වහන්සේ සමඟ රජගහනුවරට වැඩම කිරීම ආරම්භ කළේ ද එදිනම ය. මේ පිරිස එකල දඹදිව කීර්තිමත් ජටිල පිරිසක් වූ අතර, බුදු සසුනේ පැහැදී, පැවිදිවීමෙන් අනතුරුව එතෙක් කලක් මිනිසුන් අතර පැවැති මිත්‍යා විශ්වාස දුරුකර ඔවුන් බුදු සව්වන් කිරීමේ මූලික අදහස අනුව මෙම යාත්‍රාව දුරුතු පුන් පොහෝදා ඇරඹිණි. බිම්බිසාර රජතුමා ඇතුළු විශාල පිරිසක් සෝවාන් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කොට බුදු දහමේ අචල ශ්‍රද්ධාවක් ඇති පිරිසක් බවට පත් වූයේ ද එදා උන්වහන්සේ ආරම්භ කරන ලද මෙම ධර්ම යාත්‍රාව නිසා ය. තවද මුල් ම ආරාම පූජාව සිදු වූයේ ද මෙම චාරිකාව නිසා ය.

ලක්දිව අගනා පින්බිමක් වූ කැලණි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ව පවත්වනු ලබන දුරුතු පෙරහර සිදු කරනු ලබන්නේ ද දුරුතු පුර පසළොස්වක පොහෝ දා ය. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාවට වැඩම කළ ස්ථානයකි කැලණිය. එහිදී උන්වහන්සේ කැලණි ගඟෙන් දිය නා පරිභෝග කළ මැණික් පුටුව ද කැලණි චෛත්‍යය තුළ නිදන් කර ඇති බවත්, ඒ උතුම් වැඩම වීම සිදුවූයේ වෙසක් පොහෝ දිනක බවත් සඳහන් වී ඇත. කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මුල් අවස්ථාව සිහිපත් කරමින් කැලණි රජමහා විහාරස්ථානයේ දුරුතු පින්කම පවත්වනු ලැබේ.

දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ.

ලක්දිව බුදුසසුන ස්ථාපිත කිරීමට මූලික පදනම සකස් වුණ දුරුතු පුර පසළොස්වක පොහෝ දින ආගමික වටිනාකම් වටහාගෙන අපි මෙවර දාන ශීල හා භාවනා දී ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමු. ඒ අනුව කටයුතු කර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නියම අනුගාමිකයන් ලෙස නිවන් මග පසක් කිරීමට සියලුදෙනා පිළිවෙතින් පෙළ ගැසෙමු

අලුතෑපොල ගණේකන්ද පූරාණ රාජමහා විහාරාධිපති
කැලණිය විශ්වවිද්‍යාලයේ
නූතන භාෂා අංශයේ (චීන) මහාචාර්ය
ආචාර්ය රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

01 සුපින්වතුනි, අද දුරුතු පෝ දිනයයි. දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි.
02 බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම

ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය, කැලණිය ඒ අතර වෙත්.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට පත්ව මාස නවයක් ගිය තැන ලක්දිව මහියංගණ (බින්තැන්න) පිහිටි මහානාග වන උයනට වැඩම කළහ. එ දවස දුරුතු පොහෝ දිනයකි. ඒ අනුව බුදුපියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන සිහි කැඳවන්නේ දුරුතු පෝය දිනයේ දී ය. එනම්,

“බෝධිතෝ නවමේ මාසේ
ඵුස්ස පුණ්ණමියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීපං උපාගාමි”
ඉහත සඳහන් කළ අයුරු, බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළේ කුමන අරමුණක් පිණිස ද යන්න මහාවංසය, මහා වංස ටීකාව ඇතුළු මූලාශ්‍රයවලින් හෙළි වේ.
ඒ අනුව උන්වහන්සේ සිතන්නේ මෙබන්ඳකි.” ලංකාදීපයේ යක්ෂ ගණයා වාසය කරති. එසේ හෙයින් මේ දිවයින යක්ෂ නිවාසස්ථානයක් යැයි දැක, ඉක්බිති මවිසින් එහි ගොස් යකුන් නෙරපීම කළ කල්හි මතු කල මාගේ ශාසනය බැබළීමට යෝග්‍ය ස්ථානයක් වන්නේ ය.”
අනාගතයේ තමන් වහන්සේගේ ශාසනය බැබළෙන රට ලංකාදීපය යැයි බුදුහු දත් සේක. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම පිණිස හේතු, සිද්ධි, කාල, ප්‍රයෝජන දිවැසින් බැලූ සේක. එසේ බලන බුදුරජාණන් වහන්සේට යකුන්ගේ සමාගමය පෙනේ. එ දවස සිටි යකුන්ගේ සිරිතක් වූයේ සෑම පොහෝ දිනක ම රැස්වීමක් පැවැත්වීමයි. එම රැස්වීමට සෑම යක්ෂ ප්‍රධානියෙකු ම සහභාගි විය යුතු ය. මෙම රැස්වීම පවත්වන අවස්ථාවට වැඩම කොට, යකුන් දමනය කොට ලංකාව පවිත්‍ර කරන්නේ, යැයි සිතූ බුදුපියාණන් වහන්සේ එහි වැඩම කළහ.
“මම එහි ගොස් ඍද්ධි ප්‍රාතිහාර්යයන් මගින් යකුන් නෙරපීම කොට, අණ පවත්වා, රැස්වූ දේව, ගාන්ධර්ව ආදීන්හට දහම් දෙසා නිවන් අමා පැන් පොවා අදම එන්නෙමි.”
බුදුරජාණන් වහන්සේ මහවැලි ගංගා තීරය සමීපයේ පිහිටා ඇති යොදුන් තුනක් දිග යොදුනක් පළල ඇති මහානාග නම් වනෝද්‍යානයට වැඩම කොට යක්ෂ සමාගමය මැද වැඩහිඳ, විවිධ ප්‍රාතිහාර්යයන් දක්වා පළමුව යකුන් බිය වද්දා, පසුව සමනය කොට, දම් දෙසා, එම භූමිය පවිත්‍ර කළ සේක. පසුව ඔවුන්ගේ භීතිය පහකොට බුදුපහස ලබාදී යකුන්ට සුදුසු වාස භූමියක් වු ගිරි දිවයිනට යැවූ බව සඳහන් වේ. බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමන නිසා මේ දිවයින මනුෂ්‍යයන්ට සුදුසු වාස භූමියක් බවට පත්වූයේ එපරිද්දෙනි.
බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන සිහිවීම පිණිස මියුගුණ මහ සෑය ඉදිකර ඇත. යකුන්ට දෙසූ බණ අසා සුමනසමන් දෙවියන් සෝවාන් ඵලයට පත්ව සිටියේ ය. එම දෙවියන් විසින් බුදුරදුන් පිදීම පිණිස පූජාර්හ වස්තුවක් ඉල්ලා සිටියේ ය. එම අවස්ථාවේ බුදුරදුන් හිස පිරිමැද සර්වඥ කේශධාතු ලබා දුන්හ. සුමනසමන් දෙවියන් විසින් එම කේශ ධාතු නිධන් කොට සත් රියනක් උසැති සෑයක් ඉදිකළේ ය. ඉන් අනතුරුව ශාරිපුත්‍ර තෙරුන්ගේ ශිෂ්‍ය සරභු මහරහතන් වහන්සේගේ මැදිහත්වීම මත එහි බුදුරදුන්ගේ ග්‍රීවා ධාතුව නිධන් කොට දොළොස් රියන් සෑයක් බඳවන ලදී. පසුකාලීන ව දේවානම්පියතිස්ස රජුගේ සොයුරු උද්ධචූලාභය කුමරු නැවතත් රියන් තිහක් උසට මේ සෑය නිමවන ලදී. ඉන් අනතුරුව මහියංගණ සෑය විශාල කොට නිමවන ලද්දේ දුටුගැමුණු මහ රජු විසිනි. එවිට එය අසූ රියනකි. පසුව වෝහාරිකතිස්ස, ධාතුසේන, පළමුවන විමලධර්මසූරිය ආදී රජවරු අතින් මහියංගණ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව ඇත.

පරසතුරු උවදුරු හමුවේ කාලාන්තරයක් තිස්සේ වල් බිහිව තිබූ මෙම ඓතිහාසික පුදබිම නැවැතත් ක්‍රි.ව. 1951 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් විසින් සොයාගෙන කැණීම් කටයුතු සිදුකර ප්‍රතිසංස්කරණය කරන ලදී. මහියංගණ සෑයේ ධාතු ගර්භයේ සිත්තම් ඇඳ තිබූ බව ද එතුමා විසින් සොයාගෙන තිබේ.

ක්‍රි.ව. 1948 න් පසුව එවකට මහියංගණ චෛත්‍යය සංවර්ධන සමිතියක් අරඹා ඇත. මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා එහි පුරෝගාමී වූයේ ය. බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාග ලබා ගනිමින් යථෝක්ත සමිතිය මගින් එහි කටයුතු ඉදිරියට කරගෙන යන ලදී. පසුව ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ මැදිහත්වීම මත එහි සංවර්ධන කටයුතු ගෙන යන ලදී. මහියංගණ චෙත්‍යය අද පවතින තත්ත්වයට ගෙන එන ලද්දේ එහිදී ය. වර්තමානය වන විට ඉතාමත් සංවර්ධනය වූ පූජනීය භූමියක් බවට මෙම ස්ථානය පත්ව ඇත.
එබැවින් සැදැහැති බෞද්ධයෝ බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමන සිහිකරමින් මහියංගණ සෑය මෙසේ නමදිති.

“ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිතකුන්තල ග්‍රීව ධාතුං
වන්දාමි සාදු මහියංගණ ථූප රාජං”

“බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා කරනු සඳහා පළමු කොට ලක්දිව යම්තැනක වැඩ හිඳ යක්ෂයන් දමනය කළ සේක් ද, එම ස්ථානයෙහි කේශධාතු හා ග්‍රීවා ධාතු නිධන් කොට පිහිටුවන ලද මහියංගණ චෛත්‍යරාජයා වඳිමි.
ඒ අනුව ඓතිහාසික මහියංගණ පුදබිම බුදුරදුන්ගේ පා පහස ලත් පුණ්‍යභූමියක් ලෙස අද දෙස් විදෙස් රටවල ප්‍රකට ව පවතී.

බදුල්ල, බණ්ඩාරවෙල පාර
ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දිරයේ
දර්ශනපති
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි