Pinkam Saha Anisansa පින්කම් සහ ආනිසංස

පූජා ප්‍රභේද

වස්තු පූජා ය, ස්තුති පූජා ය, ප්‍ර‍තිපත්තිය පූජාය යි පූජාව ත්‍රිවිධ වේ. ආහාරපාන වස්ත්‍ර‍ ගන්ධ දීප ධූප පුෂ්පාදියෙන් පිදීම වස්තු පූජාව ය. භක්තිමත් චිත්තයෙන් ගෞරව පෙරදැරි ව බුද්ධාදි උත්තමයන් වහන්සේලාට ගී ගැයුම් ආදියෙන් ස්තුති පිරිනැමීම ස්තුති පූජාව ය. එය සෑම ආගමක ම වාගේ ඇත්තා වූ පූජා විධියකි. එය ඉතා පුරාණයේ පටන් ම බෞද්ධයන් විසින් කරගෙන ආවා වූ ද දැනුදු කරන්නා වූ ද පින් කමක් නමුත් බොහෝ බෞද්ධයන්ට තමන් කරන ඒ දෙය ගැන දැනුමක් නැත. පැරණියන් විසින් වන්දනා ගාථා පිළියෙල කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහා ය. වන්දනා ගාථා ස්තුති ගීතිකාවෝ ය. වන්දනා වාක්‍යයෝ ද ස්තුති වාක්‍යයෝ ය. ඒවා කියා රත්නත්‍ර‍යට ස්තුති පිරිනැමීම බොහෝ අනුසස් ඇති පින් කමෙකි. වචන ස්වල්පයකින් කරන ස්තුති පූජාවෙන් ලැබෙන පිනට වඩා බොහෝ වචන, බොහෝ ගුණ කියා ස්තුති පිරිනැමීමෙන් මහත් වූ පිනක් අත්පත් වේ. ස්තුති ගීතිකා, ස්තුති වාක්‍ය වූ වන්දනා ගාථා සහ වන්දනා වාක්‍යයන් හැකි පමණ උගෙන ඒවා කියා වැඳීමෙන් වඩ වඩා පින් සිදු වේ. එය ගැන නොදත් ඇතැම්හු වන්දනා ගාථාවලට ද බොහෝ ගාථා කියා වන්දනා කිරීමට ද නින්දා කෙරෙති. එය ඔවුන්ගේ නො දැනීම පැවසීමකි. පෙර බුදුවරයන් ගේ සසුන්වල ද මේ පූජාව පැවති බව අපදාන පාළියෙන් පෙනේ.

බුද්ධ කාලයේ වැඩ සිටි මහරහතුන් වහන්සේලා අතුරෙන් එක් නමක් වූ භූත ස්ථවිරයන් වහන්සේ සිද්ධත්ථ නම් බුදුන් වහන්සේගේ කාලයේ “සේන” නම් බ්‍රාහ්මණයෙක්ව බුදුන් වහන්සේ කෙරෙහි පැහැදී “උසභං පවරං වීරං” යනාදි ගාථා සතරකින් ස්තුති කොට ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙවි මිනිස් සැප ලබා අප බුදුන් කල, සාකෙත නුවර සිටු පවුලක ඉපද වැඩිවිය පැමිණ, බුදුන් වහන්සේගෙන් දහම් අසා පැවිදි ව “අජකරණි” නම් ගං තෙර ලෙනක වෙසෙමින් මහණ දම් පුරා සව් කෙලෙසුන් නසා රහත් ව නිවන් ලැබූ සේක. උන්වහන්සේගේ ස්ත්‍රෝතය මෙසේ ය:

උසභං පවරං වීරං – මහේසිං විජිතාවිනං
සුවණ්ණවණ්ණං සම්බුද්ධං – කො දිස්වා නප්පසීදති.
හිමවා යථා අපරිමෙය්‍යා – සාගරොව දුරුත්තරො
තථෙව ඣානං බුද්ධස්ස – කො දිස්වා නප්පසීදති.
වසුධා යථා අප්පමෙය්‍යා – චිත්තාමල මටංසිකා
තථෙව සීලං බුද්ධස්ස – කො දිස්වා නප්පසීදති.
අනිලඤ්ජසො ච සම්බුද්ධො – යථා කාසො අසංඛියො,
තථෙව ඤාණං බුද්ධස්ස – කො දිස්වා නප්පසීදති.
මහ රහතන් වහන්සේලා අතුරෙන් කෙනකු වූ “සෝභිත” ස්ථවිරයන් වහන්සේ සුමේධ බුදුන් වහන්සේ ගේ කායේ දී එක්තරා තවුසකුව සිට බුදුන් වහන්සේ දැක පැහැදී ගාථා සයකින් උන් වහන්සේට ස්තුති පූජාවක් කළහ. සුමේධ බුදුන් වහන්සේ භික්ෂු සංඝයා මැද එහි අනුසස් මෙසේ ප්‍ර‍කාශ කළ සේක.

යෝ මෙ ඤාණං පකිත්තෙසි – පසන්නෝ තෙන චේතසා
තමහං කිත්තයිස්සාමි – සුණාථ මම භාසතෙ
සත්තසත්තති කප්පානි – දෙවකෛ රමිස්සති
සහස්සක්ඛත්තුං දේවින්දෝ – දෙවරජ්ජං කරිස්සති.
අනෙකසතක්ඛත්තුං – චක්කවත්ති භවිස්සති,
පදෙසරජ්ජං විපුලං – ගණනාතො අසංඛියං
දෙව භුතො මනුස්සො වා – පුඤ්ඤකම්මසමාහිතො
අනුනමන සංකප්පො – තික්ඛපඤ්ඤො භවිස්සති.
තිංසකප්ප සහස්සම්හි – ඔක්කාක කුල සම්භවො
ගොතමො නාම නාමෙන – සත්ථා ලොකෙ භවිස්සති.
අගාරා අභිනික්ඛම්ම – පබ්බජිස්සත්‍යකිඤ්චනො
ජාතියා සත්තවස්සොව – අරහත්තං ඵුසිස්සති.
තේරුම:

යමෙක් සිය සිතින් පහන් වූයේ මාගේ ඤාණයට ප්‍ර‍ශංසා කළේ ද එයින් ඔහුට වන විපාකය පවසන්නෙමි. කියන්නා වූ මාගේ සමීපයෙන් එය අසව්.
මේ තෙමේ සත් සැත්තෑවක් කල්පයන්හි දෙව්ලොව ඉපිද සතුටු වන්නේ ය. දේවරාජ වූයේ දහස් වරෙක දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
නොයෙක් සිය ගණන් වාරවල චක්‍ර‍වර්ති රජවන්නේ ය. ගණන් නැති පමණ වාරවල මහත් වූ ප්‍රදේශ රාජ්‍යයන් ලබන්නේ ය.
හෙතෙමේ දෙවි වූයේ ද මිනිස් වූයේ ද පින් කරන්නා වූ නො අඩු කල්පනා ඇත්තා වූ තියුණු නුවණැතියෙක් වන්නේ ය.
කල්ප තිස් දහසකින් මතු ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් “ගෞතම” නම් වූ ශාස්තෘ වරයෙක් ලෝකයෙහි උපදින්නේ ය.
ඒ සස්නෙහි මේ තෙමේ ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. ඉපදීමෙන් සත් අවුරුදු වයසේ ම අර්හත්වයට පැමිණෙන්නේ ය යනු ඒ ගාථාවල තේරුම ය.
“සෝභිත” ස්ථවිරයන් වහන්සේගේ බුද්ධ ස්තෝත්‍ර‍ය මෙසේ ය:

තුවං සත්ථා ච කෙතු ච – ධජො යූපො ච පාණිනං
පරායණො පතිට්ඨා ච – දීපො ච දීපමුත්තමො
තෙ පුඤ්ඤස්සනො වීරො – තාරෙසි ජනතං තුවං
නත්ථඤ්ඤො තාරකො ලොකො – තචුත්තරිතරො මුනි
සක්කා භවෙ කුසග්ගෙන – පමෙතුං සාගරුත්තමො
නත්වෙව තව සබ්බඤ්ඤූ – ඤාණං සක්කා පමෙතවේ
තුලා දණ්ඩේ ඨපෙත්වාන – මහිං සක්කා පමෙතවේ
නත්වෙව තව පඤ්ඤාය – පමාණං අත්ථි චක්ඛුමා
ආකාසො පමිතුං සක්කා – රජ්ජුයා අංගුලීහිපි
නත්වෙව තව සබ්බඤ්ඤූ සීලං සක්කා පමෙතවෙ
මහාසමුද්දෙ උදකං – ආකාසෙ ච වසුන්ධරා
පරිමෙය්‍යානි එතානි – අප්පමෙය්‍යාසි චක්ඛුමා
ආයුෂ්මත් “අධිමුත්ත” මහා රහතන් වහන්සේ ද පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී පැවිදි වසන සේක්, බික්සඟන පිරිවරා මඟ වඩනා බුදුන් වහන්සේ දැක සුවඳින් පුදා “සමුද්ධරංසි මං ලොකං” යනාදීන් ගාථා දහසකින් බුදුන් වහන්සේට ස්තුති කළහ. බුදුන් වහන්සේ ද මොහු අනාගතයෙහි කල්ප ලක්ෂයකින් මතුයෙහි “ගෞතම” බුදුන්ගේ සස්නෙහි පැවිදිව ෂඩභිඥා ඇති රහත් කෙනෙක් වන්නේ යයි වදාළ සේක. ස්තුති පූජාවේ අනුසස් කියන ලද කථා තුනෙන් දත යුතුය. විස්තර ථෙරගාථා, අපදාන වලින් දත යුතු ය.

(බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහනාහිමි)
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

කුශලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය

අලෝභය, අද්වේෂය, අමෝහය යි කුශල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු ධර්ම තුනෙකි. ඒවාට කුශල මූලයෝ යි ද කියනු ලැබේ. එහි අලෝභය යනු අන්ධකාරය නසන ආලෝකය සේ ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ලෝභයට විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයෙකි. ලෝභ නැති බව ම අලෝභය යි වරදවා නො ගත යුතු ය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයෙකි. එනම් මෛත්‍රිය යි. අමෝහය යනු ඥානය ය.

මාපියාදීන් විසින් චෛත්‍යාදියට වඳිනු දක්නා වූ මල් පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාල දරුවෝ තුමූ ද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම – කර්ම ඵලය හෝ ඒ දරුවෝ නො දනිති. ඒවා නො දත් මුත් ඔවුන්ගේ ඒ ක්‍රියාවෝ කුශලයෝ වෙති. නො දැන කරන්නා වූ ඒ කුශලයන්හි අලෝභද්වේෂ දෙක මුත් අමෝහය නො ලැබේ. එබැවින් ඒවා ද්විහේතුක කුශලයෝ ය. ද්විහේතුක කුශලය දුබල ය. විපාක දීමේ දී මඳ වූ ද දුබල වූ ද විපාකයක් ඇති කරන්නේ ය. යම් කිසිවකු කුශලයක් කරන කල්හි යටත් පිරිසෙයින් කර්ම – කර්ම ඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන් යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුශලයක් වන්නේ ය. ත්‍රිහේතුක කුශලය බලවත් ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ. මේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය සෑම කුශලයක් සම්බන්ධයෙන් ම කිය යුතු ය.

කම්පල ගැන සැලකීමක් නො කොට ලෝකාපවාදයෙන් ගැලවීම පිණිස ද, අනුන් දෙන තැන දී නො දී සිටීමට ලජ්ජාව නිසා ද, දෙන්නට කියන තැනැත්තා අමනාප වේය යන බිය නිසා ද, ගරු නම්බු ලබා ගැනීම පිණිස ද, තවත් එබඳු කරුණු නිසා ද දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුශලය ය. යම් කිසිවකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍ර‍තිග්‍රාහකයාගේ ඉල්ලීම නිසා හෝ කුල සිරිත් වශයෙන් හෝ තමාට ම දෙන්නට සිත් වීම නිසා හෝ අන් කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම – කර්ම ඵලය දක්නා ඥානය පෙරදැරි කරගෙන ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෙන දෙන්නේ වේ නම්, ඔහුට එයින් අලෝභද්වේෂා මෝහ සඞ්ඛ්‍යාත හේතුත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රිහේතුක නම් වූ දානමය කුශලය සිදු වේ. ද්විහේතුක කුශලයෙන් ද්විහේතුක හේ අහේතුක ප්‍ර‍තිසන්ධියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍ර‍තිසන්ධි ඇත්තෝ ඒ ජාතියේ ධ්‍යාන ඉපදවීමට හා සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ද අභව්‍යයෝ ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ටෞමක වශයෙන් දෙවැදෑරුම් වේ. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුශලයෙන් ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ත්‍රිහේතුකෞමක කුශලයෙන් ද්විහේතුක ප්‍ර‍තිසන්ධිය ගෙන දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධි ඇත්තා වූ ත්‍රිහේතුක පුද්ගලයෝ ම ඒ ජාතියේ දී ම නිවන් දැකීමට සුදුස්සෝ වෙති.