Paanathipaatha Akusalaya ප්‍රාණාතිපාත අකුශලය

1. ප්‍රාණාතිපාත අකුශලය

සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍ර‍මයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.

“පාණෝ හවෙ පාණසඤ්ඤි – වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච – අංගා පඤ්ච වධස්සිමේ”

(1) පණ ඇති සතකු වීම
(2) පණ ඇති සතකු බව දැනීම
(3) මරණු කැමති සිත
(4) මරන්නට උපක්‍ර‍ම කිරීම
(5) ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීම

යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.

යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.

* ප්‍රාණඝාතයේ ප්‍රයෝගයෝ

“සාහත්ථිකො ආණත්තිකෝ – නිස්සග්ගියො ච ථාවරො – විජ්ජාමයො ඉද්ධිමයො – පයොගා ඡබ්බිධා මතා”
01 ස්වාහස්තික ප්‍රයෝගය

මරනු සඳහා ගැසීම්, කැපීම්, ඇනීම් ආදි සියතින් ම කරන්නා වූ ව්‍යායාම ස්වාහස්තික ප්‍රයෝග නම් වේ.

සියතින් නො මරා අනෙකකු ලවා කරවීම ආඥා ප්‍රයෝග නම් වේ

03 නිස්සර්ගික ප්‍රයෝගය

ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදි වශයෙන් යම් කිසිවක් තමා ගේ අතින් මුදා සත්ත්වයකුගේ ශරීරයට යැවීම් වශයන් කරන්නා වූ උත්සාහය නිස්සර්ගික ප්‍රයෝග නම් වේ.

උගුල් ඇටවීම, හුල් සිටවා තැබීම, තුවක්කු බැඳ තැබීම, වලවල් සාරා තැබීම යනාදිය ස්ථාවර ප්‍රයෝග නම් වේ.

05 විද්‍යාමය ප්‍රයෝගය

අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදි වූ විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම් වේ.

06 සෘද්ධිමය ප්‍රයෝගය

ඇතැම් සත්ත්වයනට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන් ම පිහිටා තිබේ. බොහෝ සෙයින් එබඳු සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන් ද, බිය ගෙන දෙන වෙස් මවා දැක්වීමෙන් ද, බිය ගන්වා මනුෂ්‍යාදි සත්ත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ සෘද්ධිය ය. එ බඳු සෘද්ධියකින් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ. මේ සයක් වූ ප්‍රයෝගයන් අතුරෙන් කවර ප්‍රයෝගයකින් වුව ද මැරුවහොත් ප්‍රාණඝාත පාපය සිදු වේ.

*ආඥා ප්‍රයෝග ගැන දත යුතු කරුණු

“වත්ථු කාලො ච ඔකාසො – ආයුධං ඉරියාපථං – කිරියා විසෙසොතිමෙ – ඡ ආණත්ති නියාමකො”
01 වස්තුව

වස්තුව යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ

 02 කාලය

කාලය යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.

03 අවකාශය

අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.

04 ආයුධය

ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍ර‍මයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.

05 ඉරියව්ව

ඉරියවුව යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.

06 ක්‍රියා විශේෂය

ක්‍රියා විශේෂය යනු මරනු සඳහා කරන උපක්‍ර‍මය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍ර‍මයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ

*ස්ථාවර ප්‍රයෝගය ගැන දත යුතු කරුණු

යම් සත්ත්වයකු මරනු පිණිස උගුල් ඇටවීම් ආදි ස්ථාවර ප්‍රයෝගයක් කරන ලද කල්හි ඒ සත්ත්වයාගේ මරණයෙන් ම ප්‍රයෝගය කළ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වේ. අන් සත්ත්වයෙක් හසු වී මළේ ද ප්‍රාණඝාත කර්මය සිදු නො වේ. නියමයක් නැති ව ඇටවූ උගුලට හසු වී කවර සත්ත්වයකු වුව ද මළ හොත් ප්‍රාණඝාත කර්මය වේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුව හොත්, ඒ වළ පවත්නා තුරු ම එහි වැටී මැරෙනා සත්ත්ව ගණනට ප්‍රාණඝාත කර්ම වළ කැණුවහුට වේ.

ප්‍රාණාතිපාත කර්මයාගේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

ප්‍රාණඝාත කර්ම සියල්ල ම එකිනෙකට සමාන වන්නේ නොවේ. මරනු ලබන සත්ත්වයන්ගේ ගුණාගුණවල සැටියට ද මැරීමට කරන උපක්‍ර‍මයන්ගේ සැටියට ද ක්ලේශයන්ගේ සැටියට ද ඒවායේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කියනු ලැබේ. මරනු ලබන සත්ත්වයා ගුණවතකු වූ කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ගුණහීනයන් මැරීම අල්පසාවද්‍ය වේ. මාපියන්ගේ හා රහතුන්ගේ ගුණ ඉතා බොහෝ ය. එබැවින් මා පියන් මැරීම හා රහතුන් මැරීම ආනන්තර්‍ය්‍ය කර්‍මය වේ. ආනන්තර්‍ය්‍ය කර්මය කල්පයක් නරකයෙහි දුක් විඳීමට හේතු වන්නකි. බුදුවරයන් වහන්සේලාගේ ජීවිත කිසිවකුට නො නැසිය හැකි බැවින් බුද්ධඝාත කර්මයක් නැත. මරනු ලබන සත්ත්වයන් ගුණයෙන් සම වූ කල්හි මහා ශරීර ඇති සත්ත්වයා මැරීම මහා සාවද්‍ය වේ. මහා ශරීර ඇති සත්ත්වයකු මැරීමට මහත් උපක්‍ර‍මයක් කළ යුතු බැවිනි. උපක්‍ර‍මය අල්ප වන බැවින් කුඩා ශරීරය ඇති සතා මැරීම අල්ප සාවද්‍ය ය. මැරීමෙහි දී ඇති වන ක්‍රෝධය මහත් වන කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ක්‍රෝධය මඳ ක්හි අල්ප සාවද්‍ය වේ. මහාසාවද්‍ය කර්මය මහා විපාක ඇත්තේ ය. අල්පසාවද්‍ය කර්මය අල්ප විපාක ඇත්තේ ය.

මා පියන් මැරීම

මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ. සමහර කෙනකුට මාපිය දෙදෙනාගෙන් එකෙක් තිරිසන් විය හැකි ය. මනුෂ්‍ය ජාතික දරුවා විසින් ඒ තිරශ්චීන මව හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු නොවේ. තිරිසන් දරුවකුට මනුෂ්‍ය වූ ම හෝ පියා මැරීමෙන් ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. එයින් ඔහුට බරපතල අකුශලයක් පමණක් වේ. මනුෂ්‍යයකු විසින් නො දැන ස්වකීය මව හෝ පියා හෝ මැරුයේ ද, ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. මේ කරුණ පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය ය, චෞර චතුෂ්ක ය ය, සංග්‍රාම චතුෂ්කය ය, පලාල චතුෂ්කය ය යන චතුෂ්ක සතර දක්වා තිබේ.

යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මයක් නොවේ. මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මේ ඒලක චතුෂ්කය යි.

රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මේ චෞර චතුෂ්කය යි.

යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්‍යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්‍ය්‍ය කර්මය වේ.

ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු වේ.

දුකින් මිදවීමට මැරීම

සමහරු දුක් විඳින සතුන් දුකින් මිදවීමට ය කියා මරා දමත්. එයින් පවක් නො වෙතියි ද ඔවුහු සිතති. අවීචි මහා නරකයෙහි දුක් විඳින සත්ත්වයෝ පවා මරණයට බිය වෙති. සත්ත්වයාහට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන් දුකක් ද නැත. එ බැවින් නිදහස් කිරීමටය කියා සතකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කර දීමකි. එ බැවින් එය පාපයකි. දුකින් නිදහස් කිරීමට සතුන් මරන්නෝ අසරණ සතුන් ම මරනු මිස, කොතෙක් දුක් වින්දත් ඔවුන්ගේ මවක හෝ පියකු හෝ සහෝදරයකු හෝ දරුවකු හෝ නො මරති. ඔවුන්ගේ අදහස සාධාරණ එකක් නො වන බව එයින් ම ඔප්පු වේ. මිනිසුන්ට එසේ නො කරනවා නම් තිරිසනුන්ට පමණක් එසේ කිරීම කෙසේ යුක්තියක් වේ ද? නො වේ ම ය. කරුණා සහගත සිතින් කිසි කලෙක සත්ත්වයකු මැරිය හැකි නො වේ. දුඃඛිත සත්ත්වයන් මරන්නන් තුළ ඒ සතුන් ගැන කරුණාවක් ඇතිවන බව සත්‍යයකි. එහෙත් කරුණා සහගත සිතින් සතකු නො මැරිය හැකි ය. සත්ත්වයකු මැරිය හැක්කේ ද්වේෂ සහගත සිතකින් ම ය. ද්වේෂ සහගත සිත සැම කල්හි ම අකුශලයෙකි. මෙ බඳු අවස්ථාවල දී වධක චිත්තය ඇතිවනුයේ කරුණා මුහුණුවර ඇත්තා වූ මන්ද ද්වේෂයෙන් හා බලවත් මෝහයෙන් ද යුක්තව ය. චිත්ත චෛතසික ධර්මයන්ගේ විශේෂ විභාග හා ලක්ෂණ නො දන්නවුන්ට වැටහෙන්නේ ඒ ද්වේෂ සහගත සිත කරුණා සහගත සිතක් සේ ය. දුක් විඳින නිසා හෝ වේවා අන් කරුණක් නිසා හෝ වේවා ප්‍රාණවධයක් කිරීම අකුශලයක් ම බව දත යුතු ය.

සිය පණ නසා ගැනීම ද්වේෂ සහගත සිතින් කළ හොත් පාපයකි. එහෙත් එය දශ අකුශල කර්මපථයට අයත් වූ ප්‍රාණඝාත කර්මය නො වේ. තමාගෙන් අන්‍ය සත්ත්වයකු මැරීමෙන් ම ප්‍රාණඝාත කර්මය වේ. විනයේ සැටියට මිනිසකු මැරුවහොත් භික්ෂුව පාරාජිකාවට පැමිණේ. සිය පණ හානි කර ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකට ය. සිය පණ හානි කර ගැනීම ය, පර පණ හානි කිරීම ය යන දෙකේ මහත් වෙනසක් ඇති බව එයින් ද දත හැකි ය.

ප්‍රාණඝාත කර්මයාගේ විපාක

01 ප්‍ර‍තිසන්ධි විපාක

ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.

02 ප්‍ර‍වෘත්ති විපාක 

කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්‍ර‍තිසන්ධි විපාකය ය. වරක් ප්‍ර‍තිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍ර‍තිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්‍ර‍වෘත්ති විපාකයෝ ය.