Mittya Drustiya මිථ්‍යාදෘෂ්ටිය

මරණින් මතු නැවත ඉපදීමක් නැත. පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත, දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයෝ ය කියා තැන් නැත, නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම්

(1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය.
(2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය

යන දෙකය. මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති. එයින් නාස්තික දෘෂ්ටිය ය, අහේතුක දෘෂ්ටිය ය, අක්‍රිය දෘෂ්ටිය ය යන තුන කර්මපථයෝ වෙති. විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය හා බ්‍ර‍හ්ම ජාලයෙහි දැක්වෙන දෙසැට වැදෑරුම් දෘෂ්ටීහු ද කර්මයෝ වෙති. කර්මපථයෝ නො වෙති.

මිථ්‍යාදෘෂ්ටිය

 01 නාස්තික දෘෂ්ටිය

“නත්ථි මහාරාජ! දින්නං නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරොලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා. යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති, චතුමහාභූතිකො අයං පුරිසෝ යදා කාලං කරොති පඨවි පඨවිකායං අනුපෙති අනුපගච්ඡති. ආපො ආපොකායං අනුපෙති අනුපගච්ඡති. තෙජො තෙජොකායං අනුපෙති අනුපගච්ඡති. වායො වායොකායං අනුපෙති අනුපගච්ඡති. ආකාසං ඉන්ද්‍රියානි සංකමන්ති, ආසන්දිපඤ්චමා පුරිසා මතං ආදාය ගච්ඡන්ති, යාවාළාහනා පදානි පඤ්ඤායන්ති කාපොතකානි අට්ඨිනි භවිස්සන්ති, භස්මන්තා ආහුතියො. දත්තුපපඤ්ඤත්තං යදිදං දානං, තෙසං තුච්ඡා මුසා විලාපො, යෙ කෙචි අත්ථිකවාද, වදන්ති බාලෙ ච පණ්ඩිතෙ ච කායස්ස භෙදා උච්ඡිජ්ජන්ති න හොන්ති පරම්මරණා.”

යනුවෙන් දැක්වෙන දන් දීමෙන් පලක් නැත. පූජා කිරීමෙන් පලක් නැත, පුද පඬුරු යැවීමෙන් පලක් නැත, පින් පව්වලට ඵලයක් විපාකයක් නැත, පරලොව වසන්නවුන්ගේ මෙලොව ඉපදීමක් නැත. මෙලොව වසන්නවුන්ගේ පරලොව යාමෙක් නැත, මවට කරන හොඳ නරකවලින් මතුවන ඵලයක් විපාකයක් නැත. පියාට කරන හොඳ නරකවල ඵලවිපාකයක් නැත. මළ පසු නැවත උපදනා සත්ත්වයෙක් නැත. ලෝකයෙහි යම්කිසි යහපත් ප්‍ර‍තිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින් ම ප්‍ර‍ත්‍යක්ෂ කරගෙන ප්‍ර‍කාශ කරන්නා වූ ශ්‍ර‍මණ බ්‍රාහ්මණයෙක් නොහොත් මෙලොව පරලොව දෙක ප්‍ර‍ත්‍යක්‍ෂ වශයෙන් දැනගෙන ප්‍ර‍කාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මිත ය. සත්ත්වයා මළ කල්හි ශරීරයේ පෘථිවි ධාතුව බාහිර පෘථිවි ධාතුවට එක් වන්නේ ය. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එක් වන්නේ ය. තේජෝ ධාතුව තේජෝ ධාතුවට එක් වන්නේ ය. වායෝ ධාතුව වායෝ ධාතුවට එක් වන්නේ ය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. පුරුෂයෝ සතර දෙනෙක් සොහොන දක්වා මළ සිරුර ගෙන යන්නාහ. අසවලා දායකයෙක, සිල්වතෙක, අසවලා මසුරෙක, දුශ්ශීලයෙක යනාදීන් පවත්නා ගුණපදයෝ මරණින් මතු පෙනෙන්නාහ. ඇට පරවි පියාපත් පැහැ වන්නාහ. දාන පූජාවෝ හළුවීම කෙළවර කොට ඇත්තෝ ය. දානය මෝඩයන් විසින් පනවන ලද්දකි. යමෙක් දානයෙන් ඵල ඇති බව කියත් ද ඔවුන්ගේ ඒ කීම හිස් ය. බොරු ය. නන් දෙඩවීමක් ය. බාල වූ ද පණ්ඩිත වූ ද සියල්ලෝ ම මරණින් සිඳෙන්නාහ. මතු නූපදින්නාහයි ප්‍ර‍කාශ කරන්නා වූ අජිත නම් තීර්ථකයාගේ මිථ්‍යාදෘෂ්ටිය නාස්තික දෘෂ්ටිය ය.

02 අහේතුක දෘෂ්ටිය

“නත්ථි මහාරාජ! හේතු නත්ථි පච්චයො සත්තානං සංකිලෙසාය. අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ථි හෙතු නත්ථි පච්චයො සත්තානං විසුද්ධියා අහෙතු අප්පච්චයා සත්ති විසුජ්ඣන්ති”

යනාදීන් දක්වන ලද “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැත. හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැති ව ම සත්ත්වයෝ කෙලෙසන්නාහ. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැත. හේතුවක් ප්‍ර‍ත්‍යයක් නැතිව ම සත්ත්වයෝ ශුද්ධ වන්නාහ. සත්ත්වයන්ට ඒ ඒ කුඩා මහත් ජාතිවල ඉපද සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍ර‍මයක් ඇත්තේ ය. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සෑම දෙන ම ඒ නියමය පරිදි පිළිවෙලින් ඒ ඒ ජාතිවල ඉපිද සැප දුක් ලබන්නා හ. දානපූජාදි පින්කමෙක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවෙළ ඉක්මවා දිව්‍යලෝකාදියෙහි ඉපද විශේෂ සැපයක් නො ලැබිය හැකි ය. නියම කාලය පැමිණෙන තුරු දුක් කෙළවර කර පරම සැපයට ද කිසිවකුට නො පැමිණිය හැකි ය. පින් කරන්නා වූ ද, නො කරන්නා වූ ද, පණ්ඩිත වූ ද, අපණ්ඩිත වූ ද සියල්ලෝ ම සුවාසූදහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසරා දුක් කෙළවර කරන්නාහ යන මක්ඛලී ගෝසාල තීර්ථකයා විසින් ප්‍ර‍කාශ කරන්නා වූ දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය ය.

03 අක්‍රිය දෘෂ්ටිය

“කරොතො ඛො මහාරාජ! කාරයතො ඡින්දතො ඡෙදාපයතො පචතො පචයතො සොචතො සොචාපයතො කිලමතො කිලමාපයතො ඵන්දතො ඵන්දාපයතො පාණාති පාතයතො අදින්නං ආදියතො සන්ධිං ඡින්දතො නිල්ලොපං හරතො එකාගාරිකං කරොතො පරිපන්ථෙ තිට්ඨතො පරදාරං ගච්ඡතො මුසා භණතො කරොතො න කරීයති පාපං”

යනාදීන් දක්වන ලද “තමා විසින් ම පව්කරන්නා හට ද, අනුන් ලවා පව් කරවන්නා හට ද, අනුන්ගේ අත් පා ආදිය සිඳින්නා වූ තැනැත්තාට ද, සිඳවන්නා වූ තැනැත්තා හට ද, ද දඬු මුගුරු ආදියෙන් අනුන් පෙලන්නා වූ තැනැත්තා හට ද, පෙළවන්නා වූ තැනැත්තා හට ද, වස්තුව පැහැරගැනීම් ආදියෙන් අනුන් ශෝක කරවන්නා හට ද, අනුන් ලවා අනුන්ට ශෝක කරවන්නා වූ තැනැත්තාට ද, ආහාර නො දීම් සිර කිරීම් ආදියෙන් අනුන් වෙහෙස වන්නා වූ තැනැත්තා හට ද, අනුන් ලවා අනුන් වෙහෙසවන්නා වූ තැනැත්තා හට ද, අනුන්ට පීඩා කිරීම් වශයෙන් තමා ද සැලෙමින් අනුන් ද සොලවන්නා වූ තැනැත්තාට ද, ප්‍රාණඝාතය කරන්නා හට ද, සොරකම් කරන්නා හට ද, ගෙවල් බිඳින්නා හට ද, ගම් විනාශ කොට වස්තුව පැහැර ගන්නා හට ද, එක් ගෙයක් වට කොට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, මඟ රැකසිට වස්තුව පැහැර ගන්නා තැනැත්තාට ද, පරදාරාවන් කරා යන්නා වූ තැනැත්තා හට ද, බොරු කියන්නා හට ද, ඕනෑකමින් ම පව් කරන්නා හට ද, සිදුවන්නා වූ පාපයක් නැත. පොළොවෙහි ඇති තාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන්නා වූ තැනැත්තා හට ද එයින් වන පාපයක් නැත. දන් දීමෙන් සිල් රැකීමෙන් සත්‍යයෙහි පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස් කිරීමෙන් වන්නා වූ පිනක් ද නැතැ’යි පූර්ණ කාශ්‍යප නම් වූ තීර්ථකයා විසින් පැවසූ දෘෂ්ටිය අක්‍රිය දෘෂ්ටිය ය.

සතර අගතිය

01 ඡන්දාගතිය
02 දෝසාගතිය
03 භයා ගතිය
04 මෝහාගතිය

යයි අගති සතරෙකි. අගතිය යනු ද එක්තරා පව් කොටසකි.

01 ඡන්දාගතිය යනු යම් කිසිවකුට ඇති ඇල්ම නිසා යුක්තිය ඉක්මවා ඔහුට වාසි වන සැටියට හා අනෙකාට අවාසි වන සැටියට ක්‍රියා කිරීම ය.
02 දෝසාගතිය යනු ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසි වන සැටියට යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය.
03 භයාගතිය යනු යම් කිසිවකුට බියෙන් ඔහුට වාසි වන සැටියට යුක්තියට පිටුපා ක්‍රියා කිරීම ය.
04 මෝහාගතිය යනු යුක්ත්‍යයුක්ති විසඳාගැනීමේ නුවණ මඳකමින් යුක්තිය ඉක්මවා ක්‍රියා කිරීම ය.
“ඡන්දා දොසා භයා මොහා – යො ධම්මං අති වත්තති
නිහීයති තස්ස යසො – කාලපක්ඛෙව චන්දිමා”

යමෙක් ඡන්දය නිසා ද, ද්වේෂය නිසා ද, භය නිසා ද, මෝහය නිසා ද යුක්තිය ඉක්මවා ක්‍රියා කෙරේ ද ඔහුගේ යසස කාලපක්ෂයේ චන්ද්‍ර‍යා පිරිහෙන්නාක් මෙන් පිරිහෙන්නේ ය” යනු අදහසයි.