Loka Daatuwa ලෝක ධාතුව

ලෝකයේ මුල

යමක් ඇති නම් එහි මුලක් හෙවත් පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යායයෙහි පිහිටා ඇතැම්හු ලෝකයේ හා සත්ත්වයාගේ මුල සොයන්නට ගොස් නොයෙක් මිථ්‍යා අදහස් ඇති කර ගත්හ. තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන් ද ඇති වීමෙන් සංසාරය නො සිඳී පවතිනවා මිස හි මුලක් නොලැබිය හැකි බව දැන වඳාළ සේක’. ‘අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති’ යනුවෙන් ‘මහණෙනි, සංසාරය නොදන්නා ලද අග ඇතියක, එහි පෙර කොන නොපෙනේ ය’යි තථාගතයන් වහන්සේ වඳාළහ. සංසාරයේ පටන් ගැනීම, මුල් කොන නො පෙනේය‘යි තථාගතයන් වහන්සේ වඳාළේ ඇත්තා වූ සංසාරයේ මුල් කොන උන්වහන්සේට නොපෙනෙ නිසා නොව එහි පටන් ගැනීමක් නැති නිසාය.

යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නො වේ. ආකාශය ඇති බව සියල්ලෝ ම පිළිගනිති. එහෙත් එහි පටන් ගැනීමක් නැත. පටන් ගැනීමක් ඇති වන්නට නම් ආකාශය නො තුබු කාලයක් තිබිය යුතුය. එබදු කාලයක් නොවිය හැකි ය. ආකාශය දීර්ඝ කාලයක් හිස් ව තිබි පසු ව එය තුළ ලෝක ධාතු හා සත්ත්වයන් ඇතිවීමට හේතුවක් නැත. මේ ආකාශයේ මුලින් කිසිවක් නො තුබුණා නම් සැම කල්හි ම එය ඒ සැටියෙන් ම තිබිය යුතු ය. ආකාශය තුළ ලෝක ධාතූන් ඇත්තේ සත්ත්වයන් ඇත්තේ ඒවා ද ආකාශය සේම ආකාශය තුළ තුබු නිසා ය. යම් සේ අහසේ පටන් ගැනීමක් නො ලැබිය හැකි ද එමෙන් ආකාශය තුළ පවත්නා සත්ත්ව සංස්ථාරයන් පිළිබඳ පටන් ගැනීමක් නැති බව කිය යුතු ය. පටන් ගැනීමක් නැති ලෝකය ඉතා පරණ වුව ද එහි සෑම කල්හි ම අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරී නැවත ඉපද අලුත් බවක් ද ඇත්තේ ය. උපන් සත්ත්වයෝ මැරි නැවත ඉපද අලුත් වෙති. ලෝකයෙහි ඇති අනික් සියල්ල ද නැසී නැසී නැවත නැවත අලුත් දේ පහළ වේ. මහපොළෝ ආදි ලෝකධාතූහු ද කලකට විනාශ වී ගොස් නැවත අලුතෙන් පහළ වෙති. අලුතෙන් ඇතිවන සියල්ල ම පුරාණ වස්තූන්ගේ විකෘති ලෙස කිව ද වරද නැත, පරණ දේ නිසා පුරාණ ධාතූන් නිසා ඇතිවන අලුත් දේය කිව ද වරද නැත.

ලෝකයේ පෞරාණිකත්වය අනමතග්ගසංයුත්තයේ එන සූත්‍ර දේශනා අනුව කිව යුතුය. කල්පය වනාහි වර්ෂ ගණනාවෙන් ප්‍රමාණ කළ නොහෙන අතිදීර්ඝ කාලයෙකි. දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරදුන් වෙත පැමිණ ‘පින්වත් ගෞතමයන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප කෙතෙක් වන්නාහුදැ’යි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ ‘බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝය, ඒවා මෙපමණ සියගණනක්ය කියා හෝ මෙපමණ දහස් ගනණෙක ලක්ෂගණනෙක කියා හෝ ප්‍රමාණ කිරීමට නුපුළුවනැ’යි වඳාළ සේක. ‘උපමාවකින් එය දැක්විය හැකිදැ’යි බ්‍රාහ්මණයා අසූ කල්හි ‘බ්‍රාහ්මණය, මේ ගංගානදිය පටන්ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතරතුර ඇති වැලිකැට ගණන ප්‍රමාණ කළ නො හෙන්නාක් මෙන් අතීත කල්ප ගණන ප්‍රමාණ නො කළ හැකි බව වඳාරා, සංසාරය නො දන්නා ලද අග ඇතියක් හෙවත් පටන් ගැනීමක් නැතියක් බව වඳාළ සේක.

(අනමතග්ග සංයුක්ත)

දිනක් එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, කල්පය කොතෙක් දික් වන්නේ දැ’යි ඇසීය. ‘මහණ කල්පය ඉතා දිගය, එය මෙපමණ වර්ෂ ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමණ වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ සිය ගණනක්ය, මෙපමන වර්ෂ දහස් ගණනක්ය, මෙපමණ වර්ෂ ලක්ෂ ගණනක්ය කියා ගණනින් ප්‍රමාණ නොකළ හැකිය’ යි තථාගතයන් වහන්සේ වඳාළහ. ‘ස්වාමීනි, උපමාවක් දැක්විය හැකිදැ’යි භික්ෂුව කීය. එකල්හි තථාගතයන් වහන්සේ වඳාරන සේක් ‘මහණ, දිගු පුළුලින් යොදුන බැගින් ඇති උසින් යොදුනක් ඇති ඒකඝන මහ කළුගලක් සිය වසකට වරක් කසී සළුවකින් පිස දැමුව හොත් ඒ කළුගල කලකදී ගෙවී යන්නේ ය. එහෙත් එපමණ කලකින් කල්පය ගෙවී නොයන්නේ ය’යි වඳාළහ.

(අනමතග්ග සංයුක්ත)

ලෝකයේ විශාලත්වය මෙසේ දත යුතුය. එක් ලෝකධාතුවක හෙවත් සක්වළක භූමි එක් තිසක් ඇත්තේය. ඒ මෙසේය:- නරකය, තිරිසන්යෝනිය, ප්‍රේතවිෂය, අසුරකාය කියා අපාය භූමි සතරකි.

මනුෂ්‍ය භූමිය, චාතුර්මහාරාජික භූමිය, තාවතිංස භූමිය, යාම භූමිය, තුෂිත භූමිය, නිර්මාණරති භුමිය, පරනිර්මිත වශවර්ති භූමිය කියා කාම සුගති භුමි සතක් ඇත්තේය.

බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මයයි ප්‍රථමධ්‍යාන භුමි තුනෙකි.

පරිත්තාහ, අප්පමාණහ, ආභස්සරය යි ද්වීතිය ධ්‍යාන භූමි තුනෙකි.

පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්ණය යි තෘතියධ්‍යාන භූමි තුනෙකි.

වේහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය කියා චතුර්ථධ්‍යාන භුමි සතක් ඇත්තේය. අවිහ-අතප්ප-සුදස්ස-සුදස්සී-අකනිට්ඨ කියා සුද්ධාවාස පසෙකි. මේ භූමි සොළස රූපාවචර භුමිහු ය.

අකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යි අරූපාවචර භූමි සතරෙකි. මෙසේ භූමි එක්තිසක් වේ. සඤ්ජීව කාලසූත්‍රාදි වශයෙන් නරකය අටවැදැරුම් වේ. එක් මහානරකයක් අවට කුඩා නරක සොළොස බැගින් ද ඇත්තේ ය.

අංගුත්තර නිකාය තිකනිපාතයේ ද්වීතිය පණ්ණාසකයේ ආනන්දවග්ගයේ දශවන සුත්‍රයෙහි දැක්වෙන ලෝකධාතු විභාගය අනුව ලෝකයේ විශාලත්වය සැලකිය යුතුය. එක් හිරකින් එක් සඳකින් ආලෝකවත් කරන ඉහත කී එක්තිස් භුමියකින් යුක්ත වන තැන එක් ලෝකධාතුවෙකි. එබඳු ලෝකධාතු දහසක් සහ ශ්‍රී ලෝකධාතු නම් වේ. චූලනී ලෝකධාතු නමුදු වේ. චූලනිකා ලෝකධාතු දහස දහසින් ගුණ කළ කල්හි දශලක්ෂයක් වෙයි. ඒ ලෝක දශලක්ෂය ද්විසහශ්‍රී ලෝක ධාතුව නමුදු වේ. මධ්‍යම ලෝක ධාතු නමුදු වේ. දශ ලක්ෂයක් වන මධ්‍යම ලෝක ධාතුව නැවත දහසින් ගුණ කළ කල්හි කෝටි ලක්ෂයක් වෙයි. ඒ කෝටි ලක්ෂයක් සක්වල ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව නම් වෙයි. මහාසහශ්‍රී ලෝකධාතුවය නමුදු වෙයි. මේ සක්වළ හා මෙයට සමීපව පිහිටි සක්වළ නවසිය අනූනවය සහශ්‍රී ලෝකධාතුවය. එය ශ්‍රාවකයනට ද විෂය ය. සෘඬිමත් ශ්‍රාවකයන්ට ඒ සක්වළ දහසට ඇසෙන සේ කථා කළ හැකිය. ඒ සක්වල දහසෙහි ආලෝක අන්ධකාර පැතිර විය හැකිය. මේ සක්වල හා අවට පිහිටි දශලක්ෂයක් සක්වල ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවය. එය බුදුවරුන්ගේ ජාතික්ෂේත්‍රයයි ද, මහබෝසතුන්ගේ මවුකුස පිළිසිඳීම, එයින් බිහි වීම, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, දම්සක් පැවැත්වීම, ආයුසංස්කාරය හැරීම, පරිනිර්වාණය යන අවස්ථාවන්හි ඒ මධ්‍යමලෝක ධාතුව කම්පිත වන බවද අංගුත්තර අටුවාවෙහි දක්වා තිබේ. අන් බොහෝ තැන්වල දැක්වෙන්නේ මහබෝසතුන්ගේ පිළිසිඳ ගැනීම් ආදියෙහි සක්වල දසදහසක් කම්පාවෙන බවය. මේ සක්වළත් සමඟ කෝටිලක්ෂයක් සක්වළ ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥාක්ෂේත්‍රය ය. එහි ආටානාටිය පරිත්ත, ඉසිගිලි පරිත්ත, ධජග්ග පරිත්ත, බොජ්ඣංග පරිත්ත, ඛන්ධ පරිත්ත, මෝර පරිත්ත, මෙත්තරිත්ත, රතන පරිත්ත යන මේවායේ බලය පිහිටන බව කියා තිබේ. තථාගතයන් වහන්සේ ආඥා බලය ඒ සක්වල කෝටි ලක්ෂයෙහි පවත්නා බැවින් ත්‍රිසහශ්‍රී ලෝකධාතුව තථාගතයන් වහන්සේගේ ආඥා ක්ෂේත්‍රය වේ. ත්‍රිසහශ්‍රී ලෝකධාතුවෙන් ඔබ ඇති සක්වල සියල්ල තථාගතයන් වහන්සේගේ විෂය ක්ෂේත්‍රයය. එහි ප්‍රමාණයක් නැත්තේ ය. එය අනන්ත ය. ඒ සක්වල සියල්ලටම තථාගතයන් වහන්සේට ආලෝක අන්ධකාරයන් පැතිරවිය හැකි ය. සැමතැනම වෙසෙන සත්ත්වයනට ඇසෙන සේ කථා කළ හැකි ය. චක්‍රාවාළයන්ගේ බොහෝ බව දැක්වීමට අටුවාවෙහි දක්වා ඇති උපමාවක් මෙසේ ය. ‘කෝටි ලක්ෂයක් සක්වළවල බ්‍රහ්මලෝකය දක්වා පිරවීමට තරම් අබ ඇට ගෙන යම් කිසිවකු හමුවන හමුවන සක්වළට එක අබ ඇටය බැගින් හෙළමින් එක් දිශාවක් බලා ගමන් කළ හොත් අබ ඇට රාශිය ඉවර වෙනවා මිස ඒ දිශාවේ සක්වලවල් අවසන් නොවේය යනු ඒ උපමාව ය. මෙසේ අතිමහත් වූ අනන්ත වූ ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන සේක.

සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි ද ලෝකය තෙවැදැරුම් වේ. සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වේ. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නමි. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වෙති.

රූපාදීන්හි ඇලී සිටින්නෝ ය යන අර්ථයෙන් තෘෂ්ණාව සහිත ස්කන්ධයෝ සත්ත්ව නම් වෙති. ‘ලෝකීයති එත්ථ කුසලාකුසලං තබ්බිපාකොචාති ලොකො’ යි දැක්වෙන පරිදි කූශලාකුශලයන් හා විපාක ඔවුන් කෙරෙහි දැකිය හැකි බැවින් සත්ත්ව සමූහය ලෝක නම් වේ. සත්ත්වයන් හා සංස්කාරයන් එහි දැකිය හැකිය යන අර්ථයෙන් පොළොව-කඳු-ගස්-ගල් ආදිය ලෝක නම් වේ. ‘ලූජ්ජති පලූජ්ජතීති ලොකො’ යි දැක්වෙන පරිදි සම්පූර්ණයෙන් විනාශ වීම, කොටස් වශයෙන් විනාශ වී පලූදු වීම ඇති බැවින් සංස්කාර සමූහය ලෝක නම් වේ. මේ තුන් ආකාර ලෝකය දැන වඳාළ බැවින් තථාගතයන් වහන්සේ ‘ලෝකවිදු’ නම් වන සේක.

‘සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො’ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන ස්ථානයෝ ය. ප්‍රතිසන්ධි විඥානය ඇති වන්නේ සත්ත්වයන් කෙරෙහි ය. එබැවින් සත්ත්වයෝ ම විඥානස්ථීතීහු නම් වෙති.

නානත්වකාය නානත්වසඤ්ඤීහු ය, නානත්වකාය ඒකත්වසඤ්ඤීහූය, ඒකත්වකාය නානත්වසඤ්ඤීහුය, එකත්වකාය එකත්ව සඤ්ඤීහුය, අකාසානඤ්චායතනූපගයෝ ය, විඤ්ඤාණඤ්චායතනූපගයෝ ය, ආකිඤ්චඤ්ඤායතනූපයෝග ය කියා විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වයෝ සත් කොටසක් වෙති.

කයෙහි හා ප්‍රතිසන්දි සංඥාවෙහි වෙනස්විම් ඇති සත්ත්වයෝ නානත්වකාය නානනත්වසංඤී සත්ත්වයෝය. මනුෂ්‍යයෝ ය, චාතුර්මහාරාජිකාදි දිව්‍යලෝක සයෙහි දෙවියෝ ය, ඇතැම් විනිපාතිකයෝ ය යන මොවුහු නානාත්වකාය නානාත්වසංඤීහු ය.

අනන්ත චක්‍රවාළයන්හි වෙසෙන සියලූම මනුෂ්‍යයෝ වර්ණ සංස්ථානාදියෙන් එකිනෙකට වෙනස් වෙති. ඔවුන් අතර සර්වාකාරයෙන් සමාන දෙදෙනෙක් නැතහ. නිවුන් දරුවෝ ද ඔවුනොවුන් බෙහෙවින් සමාන වතුදු සර්වාකාරයෙන් සම නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝය, එබැවින් ප්‍රතිසන්ධි සංඥාවෙන් ද ඔවුහූ එකිනෙකා වෙනස් වූවෝය. එබැවින් සියලුම මනුෂ්‍යයෝ නානත්වකාය නානත්වසංඤීහූ වෙති, කාමාවචර දිව්‍යලෝක සයෙහි දෙවියෝ ද නොයෙක් පැහැ ඇත්තෝ ය. නොයෙක් සටහන් නොයෙක් ප්‍රමාණ ඇත්තෝ ය. ඔවුන්ගෙන් ඇතමෙක් ද්විහේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය, ඇතමෙක් ත්‍රිභේතුක ප්‍රතිසන්ධි ඇත්තෝ ය. එබැවින් ඔවුහු නානත්වකාය නාවත්වසංඤීහූ ය.

විනිපාතිකයෝ නම්, ප්‍රේතයන්ට ද අයත් නොවන, දෙවියන්ට සේ යස ඉසුරු නැති, සෑහෙන තරමට ආහාරපාන නො ලබන, ඇඳුම් පැළඳුම් නො ලබන, චාතුර්මහාරාජිත දිව්‍යලෝකයට අයත් වන මේ මිනිස්ලොව ම හැසිරෙන දුප්පත් සත්ත්ව කොට්ඨාසයෙකි. ඔවුහු නානාවර්ණ ඇත්තෝය. නොයෙක් සටහන් ඇත්තෝ ය. ඇතැම්හු කෘෂයෝ ය. ඇතැම්හු ස්ථුලයෝ ය. ඇතැම්හු කුඩා සිරුරු ඇත්තෝ ය. ඇතැම්හු මහත් සිරුරු ඇත්තෝය. ප්‍රතිසන්ධි සංඥා වශයෙන් ඔවුන්ගෙන් ඇතමෙක් අහේතුකයෝ ය. ඇතමෙක් ද්විහේතුකයෝ ය. ඇතමෙක් ත්‍රිහේතුකයෝ ය. එබැවින් ඔවුහු ද නානත්ත්වකාය නානත්වසංඤීහූ ය, විනිපාතිකයන් දුඃඛිත සත්ත්ව කොට්ඨාසයක් වුව ද ඔවුන් අතර සිටි ඇතැම් ත්‍රිහේතුක ප්‍රතිසංධිකයෝ මඟ පල ද ලබති. උත්තරමාතා නම් විනිපාතිකාව අනුරුදු තෙරුන් වහන්සේගේ ධර්මසජ්ඣායනාවක් අසා සෝවාන් වූ බවද, පුනබ්බසුමාතා නම් විනිපාතිකාව හා ඇගේ පුත්‍රයා ද බුදුරදුන්ගේ දහම් දෙසුමකට කන් දි සෝවාන් වූ බව ද යක්ඛසංයුත්තයේ දක්වා තිබේ.

ඔවුනොවුන්ට වෙනස් කය ඇති ව එක ම ප්‍රතිසන්ධි සංඥාවක් ඇත්තෝ නානත්වකාය එකත්වසංඤීහු ය. බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත, මහා බ්‍රහ්ම යන ප්‍රථම ධ්‍යාන රූපාවචර භූමි තුනෙහි බ්‍රහ්මයන් හා සතර අපායට අයත් සත්ත්වයෝ ඔවුනොවුන්ට වෙනස් කය ඇති එකම ප්‍රතිසන්ධි සංඥාවක් ඇති සත්ත්වයෝ ය. බ්‍රහ්මපාරිසජ්‍යවාසීන්ගේ කයට මහත් කයක් හා ආලෝකයක් බ්‍රහ්මපුරෝහිත භූමි වාසින්ට ඇත්තේය. ඔවුන්ගේ කයට ද මහත් කයක් හා මහත් ආලෝකයක් මහා බ්‍රහ්ම භූමියෙහි බ්‍රහ්මයන්ට ඇත්තේය. ශරිරවලින් ඔවුනොවුන්ට වෙනස් වූ ඒ භූමිත්‍රයෙහි බ්‍රහ්මයන් සැම දෙනම පිළිසිඳ ගන්නේ ප්‍රථමධ්‍යාන විපාක සංඥාව නමැති එකම සංඥාවෙනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු ය. සතර අපායෙන් නරකයෙහි ඇතැම් සත්ත්වයන්ගේ ශරීරිය ගව් පමණ වේ. ඇතැමෙකුගේ ශරීරය අඩ යොදුන, යොදුන පමණ වේ. දේවදත්තගේ කය සිය යොදුනකි. තිරිසනුගෙන් ද ඇතැම්හු කුඩා ශරීර ඇත්තෝ ය. ඇතැම්හු මහත් ශරීර ඇත්තෝ ය. වර්ණ වශයෙන් අනේක වර්ණ ඇත්තෝ ය. අනේක සටහන් ඇත්තෝ ය. ප්‍රේතයෝ ද එසේම ය. ඇතැම් ප්‍රේතයෝ සැටරියන් පමණ කය ඇත්තෝ ය. ඇතැම්හු අසුරියන් පමණ කය ඇත්තෝ ය’ දීඝපිට්ඨික නම් සැට යොදුනක් කය ඇති ප්‍රේතයන් ද ඇති බව කියා තිබේ. ශරීරයෙන් නානාප්‍රකාර වන ඔවුන් සැම දෙනම පිළිසිඳ ගන්නේ අකුශලවිපාකාහේතුක සංඥාව නමැති එකම සංඥාවකිනි. එබැවින් ඔවුහු නානත්තකාය ඒකත්තසඤ්ඤීහු වෙති.

පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන ද්වීතීයධ්‍යාන භූමි තුනෙහි බ්‍රහ්මයෝ ශරිරයෙන් සමාන වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිසිඳ ගන්නේ ද්විතීයධ්‍යාන රූපාවචර විපාක සංඥාවෙනි. ඇතැමෙකු පිළිසිඳ ගන්නේ රූපාවචර විපාක තෘතියධ්‍යාන සංඥාවෙනි. එබැවින් ඔවුහු ඒකත්තකාය නානත්තසඤ්ඤීහු ය.

පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්ණ යන භූමි තුනෙහි බ්‍රහ්මයෝ සමාන ශරීර ඇත්තෝය. සෑම දෙනම රූපාවචර චතූර්ථධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. වේහප්ඵල භූමියෙහි බ්‍රහ්මයෝ ද සමාන ශරීර ඇත්තෝය. පඤ්චමධ්‍යාන විපාක සංඥාව වූ එකම සංඥාවකින් පිළිසිඳ ගන්නෝය. එබැවින් ඔවුහු ද ඒකත්තකාය ඒකත්තසඤ්ඤීහූය. අසංඥ භූමියෙහි ප්‍රතිසන්ධිවිඥානයක් නොලැබෙන බැවින් එහි සත්ත්වයෝ මේ විඥානස්ථිති විභාගයට නොගන්නා ලදහ. අබුද්ධෝත්පාද කාලවල තීර්ථායතනයන්හි පැවිදිව වායෝකසිණ භාවනාවෙන් චතූර්ථධ්‍යානය උපදවා එයින් නැගිට සිත පිළිකුල් කළ යුතුය. සිත නැති බවම යහපති, වධබන්ධනාදි අනේක දුක් නැතය’යි සලකන යෝගීහු’ ධී චිත්තං ධී චිත්තං යි චිත්ත විරාග භාවනාව කොට සිතක් නැති බවට කැමති ව කාලක්‍රියා කොට අසංඥ භවයෙහි රූපය පමණක් ඇතිව ඉපද කල්ප පන්සියයක් එහි අචිත්තක ශරීරයෙන් නිශ්චල ව ජීවත් වෙති. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන ශුද්ධාවාසභූමිහු අනාගාමී, අරහත් ආර්යයන්ගේ වාසස්ථානයෝ ය. අනාගාමින් හා රහත්හු ලෝකයෙහි සැම කල්හි නැතහ. ඒවායේ වෙසෙන අනාගාමී, රහතුන් පිරිනිවී ගිය පසු ලෝකයෙහි බුදු කෙනකුන් පහළ නොවුව හොත් ඒ භූමි සිස් වන්නේය. සෑම කල්හිම ඒ භූමින්හි සත්ත්වයන් නැති බැවින් ඒවා මේ විඥානස්ථිති විභාගයට නොගත යුතුයයි ද කියති. පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්න, වේහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ යන නව භූමියෙහිම බ්‍රහ්මයෝ ඒකත්වකාය එකත්වසංඤී සත්ත්වයන් වශයෙන් ගත යුත්තාහ යි ද කියති. නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප භූමියෙහි, සත්ත්වයනට ඇතය යි ද නො කිය හැකි, නැතය යි ද නො කිය හැකි ඉතා සියුම් සංඥාවක් මිස ප්‍රකට සංඥාවක් නැති බැවින් ඒ අරූපී සත්ත්වයෝ ද විඥානස්ථිති විභාගයට නො ගන්නා ලදහ. මෙ සේ සත්ත්වලෝක විභාගය දත් බැවින් තථාගතයන් වහන්සේ ලෝකවිදු නම් වන්නාහ.

කාමභවය – රූපභවය – අරූපභවය – සංඥාභවය – අසංඥාභවය – නේවාසඤ්ඤානාසඤ්ඤාභවය – ඒකවෝකාරභවය – චතුවෝකාරභවය – පඤ්චවෝකාරභවය යන නව වැදැරුම් භවන්ගේ වශයෙන් ලෝකය දැන වඳාළ හෙයින් ද, ලාභය – අලාභය – යශය – අයශය – නින්දාය – පසංසාය – සුඛය – දුඃඛය යන අෂ්ටාලෝක ධර්මය අනුව ලෝකය පරිවර්තනය වීම දැන වඳාළ හෙයින් ද , සත්ත්වයන්ගේ ආශය – අනුශය – චරිත – අධිමුක්ති දන්නා හෙයින් ද , අල්පරජස්ක – මහාරජස්ක – තීක්ෂණේන්ද්‍රීය – මෘද්වින්ද්‍රීය – ස්වාකාර – ද්වාකාර – සුවිඥාප්‍ය – දුර්විඥාප්‍ය, භව්‍යාභව්‍ය වශයෙන් සත්ත්ව ලෝක විභාග දන්නා හෙයින් ද, ස්වාභාව සමුදය නිරෝධ නිරෝධූපාය වශයෙන් ලෝකය දැන වඳාළ හෙයින් ද, තථාගතයන් ද වහන්සේ ලෝකවිදු නම් වන සේක.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය සහ ආතාපි වෙබ් අඩවිය ඇසුරෙන් බොහෝ කරුණු පළ කර ඇත.

ආතාපි වෙබ් අඩවිය http://www.aathaapi.org/
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

මනුෂ්‍ය ලොවට වඩා අතිශයින් සියුම් අවකාශයක ප්‍රේත, දිව්‍ය, බහ්ම ලෝක පිහිටා ඇත. එහි දුර මැනිය යුත්තේ එම අවකාශයට අනුවයි.
පළමු දිව්‍ය ලෝකයට මනුෂ්‍ය ලෝකයේ සැතපුම් 16 ක් දිව්‍ය ලෝකයකට යොදුන් 1 කි. එය දෙගුනයක් වීමෙන් ඉහළ ඉහළ තලවල දුර තේරුම් ගත යුතුය.මනුෂ්‍ය ලොව සැතපුම් 16 – පළමු චාතුර්මහාරාජික දෙව්ලොවට යොදුන් 1
මනුෂ්‍ය ලොව සැතපුම් 32 – තාවතිංස දෙව්ලොවට යොදුන් 2
මනුෂ්‍ය ලොව සැතපුම් 64 – යාම දෙව්ලොවට යොදුන් 4
මනුෂ්‍ය ලොව සැතපුම් 138 – තුසිත දෙව්ලොවට යොදුන් 8
මනුෂ්‍ය ලොව සැතපුම් 276 – නිම්මානරති දෙව්ලොවට යොදුන් 16
මනුෂ්‍ය ලොව සැතපුම් 552 – වසවර්ති දෙව්ලොවට යොදුන් 32
නරක අතර දුර යොදුන් 15,000 (සැතපුම් 240,000)
වසවර්ති දෙව්ලොව හා ප්‍රථම බඹ ලොව අතර දුර යොදුන් 5508000 (සැතපුම් 881280000)
අකනිඨ රූප තලය හා අරූපතලය අතර දුර යොදුන් 558000 (සැතපුම් 88128000)
මෙම දුර දිව්‍යමය පරමාණුක අවකාශය තුළ බව තේරුම් ගත යුතුය. එය මනුෂ්‍යයන්ට විෂය නොවේ.

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය සහ ආතාපි වෙබ් අඩවිය ඇසුරෙන් බොහෝ කරුණු පළ කර ඇත.
ආතාපි වෙබ් අඩවිය http://www.aathaapi.org/
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062