Dhatun Wahanseela ධාතූන් වහන්සේලා

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

සම්ම සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා ශාරීරික ධාතු, පාරිභෝගික ධාතු, උද්දේසික ධාතු ලෙස කොටස් තුනක ට බෙදිය හැක. ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය. පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය. සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ. උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි. මෙහි විස්තර කරනු ලබන්නේ ශාරීරික ධාතු හා පාරිභෝගික ධාතු පිළිබදව මූලික කරුණු ස්වල්පයකි.

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්ථාන

මහියංගන චෛත්‍ය – කේෂ ධාතු,ග්‍රීවා ධාතු
ථූපාරාමය – දකුණු අකු ධාතුව
සේල චෛත්‍ය – ඌර්ණ රෝම ධාතුව
සේරුවාවිල චෙත්‍ය්‍ය – ලලාට ධාතුව,කේෂ ධාතු
රුවන් වැලි මහා සෑය – කුඩා ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් පමණ
දළදා මාලාගාව – වම් දන්ත ධාතුව
ගිරිගඩු සෑය – කේෂ ධාතු
සිඵමිණ මහා සෑය (තව්තිසා දෙව් ලොව) – දළදා වහන්සේ නමක්
සඵමිණි සෑය (බඹ ලොව) – වම් අකු ධාතුව
සෝමාවතිය – දකුණු දළදා වහන්සේ

ශාරීරික ධාතු

ශාරීරික ධාතු යනු බුදු රදුන්ගේ ශ්‍රී ශරීරයේ කෙස්, දත්, අස්ථි ආදී කොටස් ය

01 ලලාට ධාතූන් වහන්සේ
02 අකු ධාතූන් වහන්සේලා දෙනම
03 ධාඨා ධාතූන් වන්සේලා සතර නම (සතර දළදාවන්)
04 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
04 කේශ ධාතූන් වහන්සේලා
05 නඛ (නිය) ධාතූන් වහන්සේලා
06 ඌර්ණ රෝම ධාතූන් වහන්සේ
07 භින්න ධාතූන් වහන්සේලා

පාරිභෝගික ධාතු

 පාරිභෝගික ධාතු යනු බුදුරජාණන් වහන්සේ විසින් පාරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍ර, සිවුරු ආදී වස්තූන් ය සිරිපා සටහන් ද මෙයට ම අයත් වේ

08 ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ
09 සිරිපා සටහන්
10 පටී ධාතූන් වහන්සේ
11 ජලසාටිකා ධාතූන් වහන්සේ
12 පාත්‍රා ධාතූන් වහන්සේ

උද්දේසික ධාතු

උද්දේසික ධාතු යනු බුදු රජාණන් වහන්සේ උදෙසා කරන ලද්දා වූ බුද්ධ ප්‍රතිමාදියයි

සර්වඥ ධාතූන් වහන්සේලා

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම.

බුද්ධත්වයට පත්වන උතුමන් වහන්සේ නමක ගේ පරිනිර්වාණයන් තුනක් පවතී. පළමුවැන්න නම් ක්ලේශ පරිනිර්වාණය යි. එය බුද්ධත්වය ට පත්වන අවස්ථාවේ දී සිදු වේ. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. දෙවැන්න නම් ස්කන්ධ පරිනිර්වාණය යි. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. තෙවැන්න නම් ධාතු පරිනිර්වාණය යි. එය අප ගෞතම බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තිය අනුව අනාගතයේ සිදු වේ.

මෙ හි දී කිව යුතු තව ත් කරුණක් ඇත. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා ආදාහනයෙන් පසු විසිරිය යුතු ආකාරය උන්වහන්සේලා ගේ ම අධිෂ්ඨානය අනුව සිදු වේ. අප ගෞතම බුදුරදුන් ගේ ශාසනය දඹදිවෙන් බැහැර රටවලට එ තරම් ව්‍යාප්ත නො වී පැවතුනු බැවින් උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරීම සඳහා අධිෂ්ඨාන කරන ලදී. ඒ අනුව ධාතුන් වහන්සේලා ලෝකයේ විවිධ ප්‍රදේශයන් හි අද ට ද, පුද සත්කාර ලබමින් පවතී.

ප්‍රධාන වශයෙන් ලලාට ධාතුව, දෙඅකු ධාතු, ග්‍රීවා ධාතුව, කේශ ධාතූන් වහන්සේලා, ඌර්ණ රෝම ධාතූන් වහන්සේ හා සතර දන්ත ධාතූන් වහන්සේලා ද, කඩ සහල් ඇට හා මුං පියලි ප්‍රමාණයෙන් ධාතු කොටස් ද ඉතිරිව තිබුණි. ලලාට ධාතුව, දෙඅකු ධාතු, ග්‍රීවා ධාතුව හා සතර දන්ත ධාතූන් වහන්සේලා කුඩා කොටස්වලට නො බෙදී පැවතුනු අතර අනෙක් සියලු ම කොටස් ඉහත සඳහන් කල පරිදි කුඩා ප්‍රමාණයෙන් විසිරී පැවතුනි. විසිරුණු ධාතුන් ගේ ප්‍රමාණ හා වර්ණ ගැන මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කතාවේද සඳහන් ව ඇත. බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු රන්වන් පැහැයට හුරු ය. කඩසහල් තරමේ ධාතු මුතු පැහැති ය. අබ ඇට තරමේ ධාතු සමන් කැකුළු පැහැති ය.

සර්වඥ ධාතූන් වහන්සේලා රජවරු අතර බෙදී ගිය ආකාරය.

සර්වඥ ධාතුන් ලබාගැනීම සඳහා රජවරුන් අතර ආරවුලක් ඇතිවුණි. අවිහිංසාවාදී බුදුරදුන්ගේ ධාතුන් වෙනුවෙන් යුද්ධ කිරීම නොගැළපෙන බව පවසමින් ද්‍රෝණ බමුණා ධාතු බෙදා දෙන්නට ඉදිරිපත් විය. තරමින් විශාල ප්‍රමාණයේ ධාතු නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ද ධාතු ද නැළි පසකි. කුඩා ප්‍රමාණයේ ධාතු නැළි සයකි. මුළු ධාතු ප්‍රමාණය මගධ නැළියෙන් නැළි දහසයකි. ද්‍රෝණ වශයෙන් ගත් කල්හි ද්‍රෝණ අටකි.

ද්‍රෝණ බමුණා විවිධ ජනපදවලින් පැමිණි රජවරුන් අතර ධාතු නැලි අටක් බෙදුවේය. දළදා වහන්සේලා සිව්නම ද්‍රෝණ බමුණා සඟවා ගත්ත ද, බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තියෙන් ඒවා නිසි ස්ථානයන් කරා වැඩවීම සිදු විය. රජවරු ප්‍රදේශවල දාගැබ් තැනූහ. රාම ග්‍රාමයේ කෝලිය රජුන් තැනූ දාගැබ සේදී යාම නිසා එහි තිබූ සර්වඥ ධාතු නාගයන්ට ලැබුණි. අනුරපුර රුවන්වැලි සෑයෙහි තැන්පත් කිරීමට සෝණුත්තර තෙරණුවන් රැගෙන ආවේ නා රජුන් භාරයේ තිබුණ එම සර්වඥ ධාතු ද්‍රෝණය යි. සුමන සාමණේරයන් ථූපාරාමයේ තැන්පත් කිරීමට සක් දෙවිඳුගෙන් අකු ධාතුව ලබාගත් බව මහාවංසයේ දැක්වේ. ලලාට ධාතුව පැවැතියේ මලල රජදරුවන් සතුව යි. සේරුවාවිල හෝ තිස්සමහාරාම චෛත්‍යයෙහි ලලාට ධාතුව තිබෙන බව විශ්වාස කෙරේ. සෝමාවතී චෛත්‍යයෙහි දකුණු දළදාව තැන්පත් කර තිබේ.

පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අනාගතයේ දී අන්‍ය තීර්ථකයින් අතින් ධාතුන් වහන්සේලාට අනතුරු සිදු විය හැකි බව දැක අජාසත්ත මහ රජු වෙත එළැඹ” මහ රජතුමනි, මේ වන විට ශාස්තෲන් වහන්සේ ගේ ධාතු බොහොමයක් ස්ථාන කිහිපයක ම නිදන් ගත ව පවතී. එය ඒ තරම් සුදුසු නැත. අනාගතයේ දී තීර්ථකයින් ගෙන් ධාතු ස්තුපයන්ට හානි සිදුවිය හැකි යි. මහ රජතුමනි, ඒ නිසා සියලු ධාතු එක්තැන් කර එක් ධාතු නිධානයක් කළයුතු ය” යි කී හ.

මෙය ඇසූ අජාසත්ත මහ රජු සතුටු වී “ස්වාමීනි,, මම ධාතු නිදන් කර මහා ස්තූපයක් කරවන්නෙමි. ඒත් ස්වාමීනි, බෙදා දුන් ධාතු නැවත ලබා ගන්නේ කෙසේ දැ?”යි ඇසීය.”මහ රජතුමනි, ඔබ ඒ ගැන වෙහෙස නොවන්න. ධාතු ගෙන ඒම අපට භාර යි. ඔබතුමා සෑය බඳින්නැ” යි මහා කාශ්‍යප මහ තෙරණුවෝ කීහ. මෙසේ කී මහා කාශ්‍යප මහ තෙරණුවෝ” මේ රාම ග්‍රාමයේ ධාතු ස්තූපයේ ඇති ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අනතුරක් නොවෙයි. නාගයින් ආරක්ෂා කරන මේ ධාතු ද්‍රෝණය අනාගතයේ දී ශ්‍රී ලංකාද්වීපයේ දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන මහා ස්තූපයේ පිහිටන්නේ ය.

එබැවින් අනෙක් ස්තූපයන්ගෙන් ධාතු ගත යුතු ය” යි සිතූ හ. එ සේ සිතා රාම ග්‍රාමයේ ධාතු ස්තූපය හැර රජගහ නුවර ය, විශාලා මහනුවර ය, කිඹුල්වත් නුවර ය, අල්ලකප්පරට ය, වේඨදීපක නුවර ය, පාවා නුවර ය, කුසිනාරා නුවර ය යන මේ මහා නුවරවල් සතෙහි වූ ධාතු ස්තූප විවෘත කරවා වන්දනා කිරීමට ධාතු ස්වල්පයක් තබා ඉතිරි සියලු ධාතු ගෙන්වා ගත්හ.

මෙසේ ධාතු ලබා ගත් මහා කාශ්‍යප මහ තෙරණුවෝ අජාසත්ත මහ රජු සමඟින් රජගහ නුවර එක්තරා ස්ථානයක් වෙත එළැඹ “ මහ රජතුමනි, මෙතැන ධාතු නිධානය කළයුතු ය”යි කියා ඒ ස්ථානයෙහි මහ රජු ලවා ඉතා රහසිගත ව ස්තූපයක් කොට ධාතු එහි නිදන් කළහ. ධාතු නිදන් කර මල්, පහන්, සුවඳ දුම් පුදා “ මේ ස්තූපය තුළ ඇති මල් පර නොවේවා ! පහන් නොනිවේවා ! සුවඳ නොවැනසේවා !” යි කියා අදිටන් කළ සේක.
එ සේ කොට “අනාගතයේ දී “පියදස්සී” නම් රජ කුමාරයෙක් මේ මුළු ජම්බුද්වීපය ම එක්සේසත් කොට “ධර්මාශෝක” නමින් රජ බවට පත් වන්නේය. ඒ රජු මේ ස්තූපයේ ඇති සර්වඥයන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේලා ගෙන දඹදිව පුරා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදුසසුන බබුළුවන්නේය. “යන දැන්වීම රන්පතක ලියවා එහි තැන්පත් කළ සේක. මේ අතර සක්දෙවි රජු ගේ නියෝගයෙන් දෙව්ලොව නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ධාතු ස්තූපයේ ආරක්ෂාවට “වාළසංඝාටි “ නම් වූ යන්ත්‍රය මැව්වේ ය.

පසු කලෙක ජම්බුද්වීප චක්‍රවර්තී ධර්මාශෝක මහ රජතුමා එක් මහ තෙරුන් වහන්සේ නමක ගේ මඟ පෙන්වීමෙන් මේ මහා සෑය හඳුනා ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා වාළසංඝාටි යන්ත්‍රය බිඳුවා ස්තූපය විවෘත කර රන්පතේ සඳහන් කර තිබූ පාඨය දැක “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මා දැක ඇතැ” යි කියා සතුටු වී ධාතු ගෙන දඹදිව හා ඒ අවට ප්‍රදේශවල ධාතු නිදන් කරමින් අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේ ය.

ලක්දිව ධාතු පෙළහර

ලක්දිව ථූපාරාමය තැනීමේ දී මිහිඳු මහ රහතන් වහන්සේ සුමන සාමණේරයන් ලවා ධර්මාශෝක රජු වෙතින් බුදුරජාණන් වහන්සේ දන් වැළඳූ පාත්‍රයත් එම පාත්‍ර ධාතුව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා ත් ගෙන්වා ගත් බව මහාවංශයේ දැක්වේ. ඒ ධාතු අශෝක රජු තමන්ට වන්දනා කිරීමට තබා ගත් ධාතුවලින් කොටසකි. දේවානම්පියතිස්ස රජු ධර්මාශෝක රජු ලබාදුන් ඒ ධාතුන් වහන්සේලා නිදන් කර ලක්දිව යොදුනෙන් යොදුන ස්තූප තැනුවේ ය.

රාම ග්‍රාම ස්තූපයේ සර්වඥ ධාතු ද්‍රෝණයක් තැන්පත් කර තිබුණි. මේ ස්තූපය තනා තිබුණේ ගං ඉවුරට ඉතා සමීපව ය. මේ නිසා වැඩි කල් යෑමට පෙර ගඟේ සැඩ පහරට හසු වූ ධාතු ස්තූපය ගං ඉවුරත් සමඟින්ම කඩා ගෙන ගඟට වැටුණි. ධාතු සහිත කරඬුව ගඟ දිගේ මහ මුහුදට ගසා ගෙන ගියේය. මාඤ්ජෙරික නාලොවේ නාගයෝ රැස් විහිදෙමින් තිබූ ධාතු කරඬුව දැක මාඤ්ඡෙරික නාග භවනට ගොස් මහා කෙළ නම් වූ නාරජුට මේ බව දැන්වූහ. මෙය ඇසූ නාරජු බොහෝ නාගයින් පිරිවරා ගෙන එතැනට ගොස් ධාතුන් වහන්සේලාට පුද සත්කාර කොට ධාතු කරඬුව හිස මත තබා ගෙන නාග භවනට ගොස් වටිනා රන් රිදී මුතු මැණික්වලින් ධාතු ගෙයක් තනවා ධාතු කරඬුව එහි තැන්පත් කර දැඩි සේ ආරක්ෂාව සලස්වා සැම කල්හි පුද සත්කාර කළේය.

දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය නිම කර වූ කල්හි මහ රහතන් වහන්සේලා ගේ උපදෙස් පරිදි සෝණුත්තර නම් වූ ෂඩ් අභිඥාලාභී සොළොස් හැවිරිදි සාමණේරයන් වහන්සේ නාලොවට වැඩම කර මහා කෙළ නාරජු සතුව පැවති සර්වඥයන් වහන්සේ ගේ ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෙන නාගයින් ගේ දැඩි විරෝධය තිබිය දී ම පෙරළා වැඩම කළහ. දුටුගැමුණු මහ රජතුමා සෝණූත්තර සාමණේරයන් වහන්සේ නාලොවින් ගෙනා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීමට සූදානම් විය.

එ කල් හි බුදුරදුන් ගේ අදිටනකට අනුව කරඬුව විවෘත වී සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී බුදුරුව මවා යමා මහා පෙළහර දැක්වූහ. දුටුගැමුණු මහ රජතුමා ඒ සර්වඥ ධාතු ද්‍රෝණය රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භය තුළ තැන්පත් කළේය. එකල්හි මහත් වූ භූමිකම්පාවක් ඇති විය. තව බොහෝ අසිරිමත් දේවල් ද සිදුවිය.

මේ තරම් විශාල සර්වඥ ධාතු ප්‍රමාණයක් වැඩ සිටින ලෝකයේ එක ම ස්ථානය දුටුගැමුණු මහ රජතුමා ඉදිකළ ලක්දිවට අලංකාරයක් වූ රුවන්වැලි මහා සෑරදුන් ය. එබැවින් මේ ස්තූපයට “මහා ස්තූපය” යනුවෙන් කියනු ලැබේ. රුවන්වැලි මහා සෑයට මුල්ගල් තැබීමේ මහා පුණ්‍යෙීත්සවය සඳහා ඉන්දියාවෙන් පමණක් නොව පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉරානය, ඉරාකය, ඇලෙක්සැන්ඩ්‍රියාව යන බොහෝ දුර ඈත පිහිටි රටවල්වලින් ද ලක්ෂ ගණන් මහ රහතුන් වැඩම කර ඇත. රුවන්වැලි මහා සෑයේ තැන්පත් කිරීමට නාලොවින් ධාතු ගෙනා අයුරු ත් මහා සෑය තැනූ අයුරුත් මහාවංශයේ මෙන් ම ථූපවංශයේ ද විස්තර වශයෙන් දැක්වේ.

අනුරාධපුර මිරිසවැටි මහා සෑය තුළ සර්වඥ ධාතු තැන්පත් කර ඇති දුටුගැමුණු මහ රජතුමාගේ ජයකොන්තය (කුන්තායුධය) නිදන් කර ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මිරිසවැටි මහා සෑය පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර පන්සියයක් මහ රහතුන් සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

වළගම්බා මහ රජු කර වූ අභයගිරි මහා ස්තූපය තුළ ද සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් තැන්පත් කර ඇත. ජනප්‍රවාදයකට අනුව රනින් කරන ලද වෘෂභයෙකු ගේ උදරය තුළට සර්වඥ ධාතු පුරවා ධාතු සහිත ඒ වෘෂභ රූපය ස්තූපය තුළ නිදන් කර ඇත. අභයගිරි මහා ස්තූපය වන්දනා කිරීමට යොදා ගන්නා පාලි ගාථාවේ මේ බව දැක්වෙයි.

අනුරාධපුරයේ ජේතවනාරාමය, ලංකාරාමය, ඉසුරුමුනිය ආදී ස්තූප තුළ ද දකුණු පළාතේ කසාගල, මැණික් වෙහෙර, යටාල වෙහෙර, තිස්සමහාරාමය, සඳගිරිය, කතරගම කිරිවෙහෙර ආදී තවත් බොහෝ පුරාණ ස්තූපයන්හි බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්ස්ලා නිදන් කර ඇත

මූලාශ්‍ර :-
සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය, මහාවංශය, අනාගත වංශය.

01 ලලාට ධාතූන් වහන්සේ

නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට ” උණ්හීස ” යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි.
සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ ” උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය ” යනුවෙනි.

” මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න ”

ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ” මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ ” යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ ” රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ ” යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ ” ස්වාමිනී, එසේනම් ගනු මැනවැ ” යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ.
එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා ” නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ ” යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක.
මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ.
මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය.
ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.

එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත.
බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.

02 අකු ධාතූන් වහන්සේලා

අකු ධාතු දෙනම ද නොවිසිරුනු ධාතු අතරට අයත් වේ. අකු ධාතුව යනුවෙන් හදුන්වන්නේ අකු ඇටයයි. ( Clavicle/Collar bone). පාලි භාෂාවෙන් අකු ඇටයට “අක්ඛකට්ඨි” යනුවෙන් කියනු ලැබේ. සංස්කෘත භාෂාවෙන් “අක්ෂකාස්ථි” යනුවෙන් කියනු ලැබේ. වම් හා දකුණු ලෙස අකු ඇට දෙකකි.
ස්ර්ව්ඥ අකු ධාතු දෙනම ගෙන් දකුණු අකු ධාතූන් වහන්සේ මුලින්ම වැඩ සිටියේ තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයේය. පසුව මිහිදු මහ රහතන් වහන්සේ ගේ උපදෙස් පරිදි සුමන සාමණේරයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට සක් රජුගෙන් දකුණු අකු ධාතුව ලබා ගෙන ලක් දිවට පැමිණියහ.

දේවානම්පියතිස්ස මහ රජු ස්ර්වඥ දකුණු අකු ධාතුව නිධන් කර අනුරාධපුරයේ ස්ථූපයක් කලේය. මේ ස්ථූපය “ථූපාරාම මහා සෑය” ලෙස හදුන්වනු ලැබේ. ලක්දිවට බුදු දහම වැඩම කරවීමෙන් පසුව ඉදි වූ මුල්ම ස්ථූපය මෙයයි. බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී දැන් මේ ථූපාරාමය පිහිටා ඇති ස්ථානයේ ද පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ.

( එපමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ බුදුරජුන් ගේ ඩබරා ධාතුව ද කෝණාගමන බුදුරජුන් ගේ පටී ධාතුව ද කාෂ්‍යප බුදුරජුන් ගේ ජලසාටිකා ධාතුව ද තැන් පත් කර තිබුනේ දැන් මේ ථූපාරාම මහ සෑ පිහිටා ඇති ස්ථානයේම ය. )

දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාම මහ සෑයේ පිහිටුවන දිනයෙහි බුදුරදුන් ගේ අදිටනකට අනුව ධාතූන් වහන්සේ අහසට පැන නැගී යමා මහ පෙළහර දක්වා ඇත.
දෙවැනි අග්බෝ රජු සමයේ දී ථූපාරාම සෑයේ කොටසක් කඩා වැටීම නිසා දකුණු අකු ධාතූන් වහන්සේ ඉන් පිටතට වැඩම කිරීමට සිදු විය. මේ බව චූල වංශයේ දැක්වේ. එම කතා පුවත මෙසේ යි.
දිනක් ජෝතිපාල තෙරුන් වහන්සේ ථූපාරාම මහා සෑය වන්දනා කරන කල්හි සෑයෙන් භාගයක් කඩාගෙන වැටුණි. මෙයින් දුකට පත් ජෝතිපාල තෙරුන් රජතුමා කැදවා එය පෙන්වීය. රජු කඩා වැටී ඇති සෑය දැක බියට පත්ව දකුණු අකු ධාතූන් වහන්සේ පිටතට වැඩම කරවා ලෝවාමහාපායේ සුරක්ෂිතව තැන්පත් කර සෑය පිලිසකර කර වීමට කටයුතු යෙදුවේය. ඒත් ඒ කටයුතු පමා විය.
එකල්හි ථූපාරාමයේ දෙවතාවෝ ආරාමිකයන් මෙන් රජුට සිහිනන් පෙනී “සෑය තැනීමට තවත් පමා වෙනවා නම් අපි ධාතූන් වහන් සේ ගෙන වෙනත් තැනකට යමු” යි කීහ. මෙයින් බියට පත් වූ අග්බෝ රජු වහ වහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරවා ලෝවාමහාපායේ වැඩ සිටි සර්වඥ දකුණු අකු ධාතුව ගෙණ ථූපාරාම සෑයේ තැන්පත් කර එහි සියලු වැඩ කටයුතු අවසන් කරවා මහා පූජාවක් කලේය.
මෙසේ ගෞතම බුදුරජුන් ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ලක් දිව ථූපාරාම මහ සෑයේ වැඩ සිටිති. එසේ නම් වම් අකු ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ කොහි ද?
බුද්ධවංශ පාළියේ ධාතු භජනීය කතාවේ සදහන් ගාථාවන් ට අනුව ස්ර්වඥ වම් අකු ධාතූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.

03 දන්ත ධාතූන් වහන්සේලා

සතර දළදාවන් ද නොවිසිරුනු ධාතූන් අතරට අයත් වේ. “දළදා” යනුවෙන් හදුන් වන්නේ “රදනක” (Canine) නම් වූ දත් විශේෂයයි.

රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත් වලට “දාඨා” යැයි කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත් වලට වඩා මදක් උල් ය.
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවීය. එසේම දත් උස නොවීය, කෙටි නොවීය, ඇල නොවීය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සමව පිහිටා තිබුණි. දළදා සතර අනෙක් දත් වලට වඩා ඉතා සුදු පැහයෙන් යුක්ත විය.
සතර දළදවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදේ. ඒවාට “දාඨා ප්‍රභා” යයි කියනු ලැබේ. සතර දළදාවන් හොදින් දැක ගැනීමට ලැබෙන්නේ ස්ර්වඥයන් වහන්සේ සිනහ පහළ කරන අවස්ථාවන්හි දී පමණි.

ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදන අවස්තාවේ දී සගවා ගත් දළදාවන් තුන් නමට සිදුවූයේ කුමක්ද?

ධාතු බෙදන අවස්තාවේ දී දෙදෙවු ලොවට අධිපති සක්‍ දෙවු රජු බුදුරජුන්ගේ දකුණු දළදාව නොදැක “සර්වඥයන් වහන්සේගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා දැ?” යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින් ම ගෙන ජටාව තුල සගවා ගෙන සිටින බව දැක “මොහුට මේ ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේ දැ?” යි කියා බලන ලදි. එහිදී එය නොහැකි බව දැන “මොහු ගෙන් ධාතූන් වහන්සේ ගනිමි” යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන ලෙස ධාතූන් වහන්සේ ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ තබා ගෙණ තව්තිසා දෙව්ලොවට ගෙන ගොස් සිළුමිණි සෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

අනෙක් දකුණු දළදාවට සිදු වූයේ කුමක් ද?

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නම් නාරජු මහත් වූ දුකට පත්ව “අවසන් වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන වන්දනා කරන්නෙමි” සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමින මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැන්ට ගොස් එකත්පස්ව සිට ගෙන සිටියේය.
ධාතු බෙදන අවස්ථාවේ දී ද්‍රෝණ බමුණා අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන ලෙස දළදාව ඍදියෙන් ගෙන නාග භවනට ගෙන ගොස් නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.
කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නැමති තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කලහ. ගිරි අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් කලේය. එය “සෝමාවතී මහ සෑය” නම් වෙයි.

මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේදීය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීමටත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බවයි.
සෝමාවතී මහ සෑයේ වැඩ වසන දකුණු දළදා වහන්සේ බොහෝ ප්‍රාතිහර්‍යයන් සිදු කරන ධාතූන් වහන්සේ නමක් බව බොහෝ දෙනා ගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයක දී ම ධාතු ස්ථූපයෙන් දීප්තිමත් අලෝක ධාරා විහිදී ඇත. ඇතැම්විට හේවිසි ශබ්ද ඇසී ඇත. සෝමාවතී පුදබිම නොයෙක් අසිරිමත් සිදුවීම් වන මහා පින්බිමක් වශයෙන් බෞද්ධයන් අතර පමණක් නොව අබෞද්ධයන් අතර ද ප්‍රකට ය.

වම් උඩු දළදාවට සිදුවූ යේ කුමක් ද?

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අතර තුර බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතුව එම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රටට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය.
ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ථ ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි නිශ්චිතව කිව නොහැක්කේ ඒ පිලිබඳ ව වැඩි විස්තරයක් සදහන් නොවන නිසා වෙනි.

වම් යටි දළදාවට සිදුවූ යේ කුමක් ද?

දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ ගේ සිසුවෙකු වූ ඛේම මහ රහතන් වහන්සේ සර්වඥ චිත්කයේ ගිනි නිවීමටත් පෙර චිතකයෙන් යටි වම් දළදාව ගෙන කාලිංග දේශයට ගොස් එහි රජතුමාට දළදා වහන්සේ භාර දුන්හ. මුලින් ම මිසදිටුවෙකු වූ මේ රජතුමා පසුව මහ තෙරුන් නිසා බුද්ධ සාසනයෙහි පැහැදී බුදු දහම වැලඳ ගෙන මනහර මන්දිරයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කර ධාතු පූජා පැවැත්වීය. මෙසේ දළදා වහන්සේ වසර අටසියයක කාලයක් කාලිංග දේශයේ රජ දරුවන්ගේ මහා සත්කාර ලබමින් දඹදිව වැඩ සිටියහ.
පසුව එරට රජ කල ගුහසීව රජතුමා පරසතුරු උවදුරු වලින් දළදා වහන්සේ ආරක්ෂා කර ගනු රිසියෙන් හේමමාලා කුමරියට හා දන්ත කුමරුට දළදා වහන්සේ භාර දී ලක්දිවට යෑමට උපදෙස් දුන්නේය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුල සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද සමගින් නැව් නැගී ලක්දිවට පැමිණියාය. ඔවුන් පැමිණෙන විට ලක්දිව රජකම් කලේ මහසෙන් රජතුමාගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් රජතුමාය. (ක්‍රි. ව. 301-328)
හේමමාලා කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළහ. රජතුමා මහත් වූ සතුටට පත්ව අගනා කරඬුවක දළදාව තැන්පත් කර දේවානම්පියතිස්ස රජු කර වූ දම්සක්ගෙයි දළදා වහන්සේ සහිත කරඬුව වඩා හිදුවා මහත් වූ පුද සත්කාර පැවැත් වීය. එතැන් සිට සිංහල රජ දරුවන් ගේ අප්‍රමාණ ගෞරවයට හා වන්දනාවට පාත්‍ර වූ දළදා වහන්සේ මේ වන විට මහනුවර ශ්‍රී දළාදා මැදුරේ අගනා කරඬු සතක් තුල වැඩ සිටිති. දළදා වහන්සේ නොයෙක් අවස්ථාවල දි නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යයන් සිදු කර ඇත.

අනෙකුත් දන්ත ධාතූන්, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ට සිදු වූයේ කුමක් ද?

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව බුදු රජුන් ගේ අනෙකුත් දන්ත ධාතූන් ද, කේශ ධාතූන් හා ලෝම ධාතූන් ද නොයෙක් සක්වළින් පැමිණි දේවතාවෝ ගෙන ගොස් ඇත. බුදුරදුන් පිරිනිවීමට පෙර දෙවි මිනිසුන් සහිත ලෝකයාට වැද පුදා ගෙන පින් සිදු කර ගැනීමට මේ ධාතු ශේෂ වීමට අදිටන් කල බව පාළි ධාතු වංශයේ සදහන් වේ. ඊට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.
ඒත් හියුං සියං හිමියන් ඉන්දියාවේ හා අෆ්ගනිස්ථානයේ ප්‍රදේශ කිහිපයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටින බව තම දේශාටන වාර්තවේ සදහන් කර තිබේ.
එහි සදහන් කර ඇති ආකාරයට ඇෆ්ගනිස්ථානයේ බාමියන් දේශයේ එක් විහාරයක බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් හැරුණු විට පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුගේ දන්ත ධාතූවක් ද සක්විති රජ කෙනෙකුගේ දන්තයක් ද තැන්පත් කර තිබුනි. ඇෆ්ගනිස්ථාන්යේ කපීෂ දේශයේ එක් විහාරයක සිදුහත් කුමරු ගේ කිරිදතක් තැන්පත් කර තිබුණි.
ෆාහියන් හිමියන් ඛල්චා දේශයේ වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් ඇෆ්නනිස්ථානයේ නගරහාර දේශය තුල වැඩ හිදින දන්ත ධාතුවක් ගැනත් තම වාර්තාවේ සදහන් කර ඇත. ඒත් එම ධාතූන් වහන්සේලා එම ප්‍රදේශ වලට ලැබුන ආකාරය ගැන විස්තර සදහන් කර නැත.
මෙසේ ඉන්දියාවේ ත් ඇෆ්ගනිස්ථානයේත් ප්‍රදේශ කිහිපයක දන්ත ධාතු කිහිප නමක් වැඩ සිටින බව සදහන් කර තිබුණ ත් මේ වන විට එම දන්ත ධාතූන් වහසේලා කුමන ස්ථානයක වැඩ සිටිනවා දැයි කිව නොහැක.
චීනයේ එක් විහාරයක අගනා කරඬුවක් තුළ බුදුරජාණන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුවක් තැන්පත් කර තිබේ. “චීන දළදාවහන්සේ” යැයි ප්‍රකට මේ ධාතුන් වහන්සේ 1961 වසරේ දී ලංකාවට වැඩම කරවා ප්‍රදර්ශනය කර ඇත.

04 ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ

කොඳු ඇට පෙලේ ඉහලින්ම් ඇති අස්ථි සත ” ග්‍රෙවී කශේරුකා ” නම් වෙයි. මේවා සත එකට ගෙන ග්‍රීවාස්ථිය ලෙස ද හදුන්වයි.

බුද්ධ ශරීරය ආදාහනය කරණ කල්හි දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් ගේ සිසුවෙකු වූ ” සරභූ ” නම් මහත් ඍදි ඇති තෙරහු දැවෙන චිත්කයෙන් සූවාසූ දහසක් ධර්මස්කන්දය ස්පර්ශ කලා වූ ස්ඵටික මාණික්‍යමය මෘදංග භේරියක් (මිහිඟු බෙරයක්) වැනි වූ සර්වඥ ග්‍රීවාස්ථි ධාතුව ගෙණ අහසට පැන නැගී පන්සියයක් භික්ෂූන් ද සමගින් ලක්දිව මහියංගනයට වැඩම කළහ.

වැඩම කර සුමන සමන් දෙව් රජු බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර සත්‍ රියන් උසට කර තිබූ ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය ස්තූපයෙහි සර්වඥ ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ තබා සීවලී සහ සුමන යන මහා ඍදි ඇති සාමණේරයන් වහන්සේලා දෙනම ලවා නාලොවින් ගෙන්වා ගත් මේද වර්ණ පාෂාණයෙන් සෑය වසා දොලොස් රියන් උසට ස්තූපය කරවා කුසිනාරා නුවරට ම වැඩම කලහ.
පසු කලෙක දේවානම්පියතිස්ස මහ රජු ගේ සොහොයුරෙකු වූ උද්ධචූළාභය කුමරු මහත් ආනුභවය ඇති ඒ සෑය දැක එය වසා තිස් රියන් උසට ස්ථූපයක් කර වීය. පසුව දුටු ගැමුණු මහ රජතුමා තිස් රියන් උස ඒ සෑය වසා අසූ රියන් උසට මහ සෑයක් කරවීය

අසිරිමත් ධාතු පෙළහර. (02-කොටස)
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබීය. මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයකි.

දන්ත ධාතූන් වහන්සේලා

සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද උතුම් දන්ත ධාතුන් වහන්සේලා අද දිනයේ පවා ජීවමාන බුදුරදුන් ට කෙරෙන සියලු පුද සත්කාරයන් ලබමින් අපාරිමිත දෙව් මිනිසුන් ගේ පුජා මධ්‍යයේ වැඩවසති. අප සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී මුඛයේ දන්තයෝ සතළිසක් විය. ඒ දන්තයන් අතර සිදුරු, හිඩැස් නො වී ය. එ සේ ම දත් උස නො වී ය, කෙටි නො වී ය, ඇල නො වී ය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සම ව පිහිටා තිබුණි. මේ පිලිබඳ දීඝ නිකායේ ලක්ඛණ සුත්‍රයේ සඳහන් වේ.

එයින් දන්ත ධාතුන් වහන්සේලා සතර නමක් මනුලොව වැඩසිටියි. අනෙකුත දන්ත ධාතුන් වහන්සේලා නොයෙක් සක්වළ වැඩවාසය කරති. ශ්‍රී මුඛයේ පිහිටි රදනක දත් සතර, සතර දළදා වහන්සේ ලෙසින් මෙ ලොව වැඩවසති. එයින් දන්ත ධාතුන් වහන්සේලා දෙනමක් ම ශ්‍රී ලංකාද්වීපයේ වැඩවසති. වම් යටි දළදා වහන්සේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය තුළ ද, දකුණු දළදා වහන්සේ නමක් සෝමාවතී සෑ රදුන් තුළ ද, වැඩවාසය කරති.

දකුණු දළදා වහන්සේලා දෙනම

සෝමාවතී සෑ රදුන් තුළ වැඩවසන්නේ උඩු දළදා වහන්සේ නමක් ද, යටි දළදා වහන්සේ නමක් ද, යනවග නිශ්චිත ව ම කිව නො හැකි ය. කෙ සේ වෙතත් මෙ ම දළදා වහන්සේ ධාතු බෙදන අවස්ථාවේ ජයසේන නම් වූ නා රජෙක් විසින් නාග ලොවට ගෙන යන ලද බව ඉතිහාසයේ දැක්වේ. කාවන්තිස්ස රජ සමයෙ හි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද තෙරණුවෝ නාග භවට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කරන ලද අතර අභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදා වහන්සේ නිධන් කර ස්ථූපයක් ඉදි කළේ ය. එය “සෝමාවතී සෑය” නම් වෙයි. මේ ස්ථූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ වම් දළදාව ලක් දිවට වැඩම කිරීම ට ත් ප්‍රථම සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බව යි.

 

අනෙක් දකුණු දළදා වහන්සේ පිලිබඳ විස්තර මෙ සේ දැක්වෙයි. දෙව්ලෝවට අධිපති සක්දෙව් රජු ධාතූන් අතර බුදු රජාණන් වහන්සේ ගේ දකුණු දළදාව නො දැක්කේ ය. දළදා වහන්සේ කවරෙකු විසින් ගනු ලැබුවේ දැ යි දිවැසියන් බලන්නේ ද්‍රෝණ බමුණා ජටාව තුළ සඟවාගෙන සිටිනු දුටුවේ ය. මෙ ම දළදා වහන්සේට පුදසත්කාර කිරීමට ද්‍රෝණ බමුණාට හැකි දැ යි දිවැසින් බලන්නේ නො හැකි බව දුටුවේ ය.

එ හෙයින් ධාතූන් වහන්සේ මොහුගෙන් ගනිමි යි සිතා සියුම් අතක් මවා ජටාවෙන් දකුණු දළදා වහන්සේ ගෙන රන් කරඬුව තැන්පත් කළේ ය. තැන්පත්කොට හිසමුදුනේ තබාගෙන දෙව්ලොවට ගෙනගොස් සිළුමිණි මහා සෑයේ තැන්පත් කොට පුද සත්කාර කළේ ය. මෙ සේ බුදු රජාණන් වහන්සේගේ එක් දකුණු දළදා වහන්සේ නමක් තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය තුළ වැඩ සිටිති.

වම් යටි දළදාව

 

ධර්ම සේනාධිපති සැරියුත් තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයකු වු ඛේම නම් මහ රහතන් වහන්සේ චිතකයේ ගිණි නිවිමටත් මත්තෙන් බුදු රජාණන් වහන්සේ ගේ වම් යටි දළදා වහන්සේ ගෙන ගොස් කාලිංග දේශයෙ හි රජතුමාට භාර දුන්නේ ය. මුලින් මිසදිටුවෙකු වු රජතුමා මහ තෙරුන් නිසා දහමෙ හි පැහැදී බුදු දහම වැළඳ ගත්තේ ය. මෙ තුමා ඉතා අලංකාර මන්දිරයක් තනවා ධාතූන් වහන්සේ එ හි තැන්පත් කොට ධාතු පූජා පැවැත්වි ය. මෙ සේ වසර 800 ක කාලයක් දළදා වහන්සේ කාලිංග දේශයේ රජ දරුවන්ගේ සත්කාර ලබමින් දඹදිව වැඩ සිටිය හ. පසු කාලීන ව එරට පාලනය කළ ගුහසිව රජතුමා පරසතුරු උදුරුවලින් ධාතූන් වහන්සේ ආරක්‍ෂා කර ගැනීමට හේමමාලා කුමරියට හා දන්ත කුමරුට බාර දි ලක්දිවට යාමට උපදෙස් දුන්නේ ය. හේමමාලා කුමරිය බැමිණියක ගේ වෙස් ගෙන දළදා වහන්සේ තම කෙස් කළඹ තුළ සගවා ගෙන බමුණු වෙස් ගත් දන්ත කුමරු ද, සමගින් නැව් නැගී ලක්දිවට පැමිණි අතර කුමරිය හා දන්ත කුමරු කිත්සිරිමෙවන් රජුවෙත ගොස් දළදා වහන්සේ රජු වෙත භාර කළ හ. එවක දන්ත ධාතුන් වහන්සේ ගේ භාරකාරීත්වය හිමි වූයේ අභයගිරි විහාරය ට ය. සියවස් ගණනාවකින් පසු අදදින මහනුවර ශ්‍රී දළදා මැදුරේ වම් යටි දළදාව වැඩවාසය කරනු ලබයි.

 

වම් උඩු දළදාව

ද්‍රෝණ බමුණා ධාතු බෙදන අවස්ථාවේ බුදුරජුන් ගේ වම් උඩු දළදාව වස්ත්‍ර අතරේ සගවා ගත්තේ ය. දළදාව වස්ත්‍රයේ සගවා ගත් අයුරු දුටු පෙර කරන ලද මහා පින් ඇති ගාන්ධාර දේශයෙන් පැමිණි වැසියෙක් කුසල් සිතින් යුතු ව එ ම දළදාව ගෙන ගන්ධාර වැසියන් ද සමගින් තම රට ට ගොස් චේතිය නැමති වනයේ වම් උඩු දළදාව තැන්පත් කර පුද සත්කාර පැවැත් වීය. ගන්ධාර දේශයට වැඩම කර වූ සර්වඥයන් වහන්සේගේ වම් උඩු දන්ත ධාතූන් වහන්සේ මේ වන විට කුමන ස්ථානයක වැඩ සිටිනවා දැ යි නිශ්චිත ව කිව නො හැක්කේ ඒ පිළිබඳ ව වැඩි විස්තරයක් සදහන් නො වන නිසා වෙනි.

ධාතු පිරිනිර්වානය –

බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා ( යමා මහ පෙළහර හෙවත් යමක ප්‍රාතිහාර්යය බුදුවරයෙකුට පමණක් කළ හැක්කකි.අහසට නැගී විවිධ ඉරියව් වලින් අවශ්‍ය තරම් බුදුරූප මැවිය හැකි වීමත්,එක් රෝම කූපයක් ගත් විට එයින් ගිනි කදක් හා ජල කදක් බැගින් එකවර මුලු ශරීරයෙන්ම පිටකිරීමට හැකිවීමත් මෙහි විශේෂත්වයයි)අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි .එසේම බුදුරදුන්ගේ ශ්‍රී පාද ලකුණු හතරම (සමනළ කන්දෙහිද ඇතුලුව)මෙම සිදුවීමත් සමගම මැකී යයි.එසේම මෙම සිදුවීම දැක පැහැදීමට පත්වන අය දෙව් ලොව උපත ලබන බවද සදහන්ය.මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.

(සුමඞ්ගලවිලාසිනී, පූජාවලිය, සද්ධර්මරත්නාකරය)

මෙහි සියලු තොරතුරු උපුටා ගත්තේ ලද්දේ ගයාන් චානුක විදානපතිරන මහතා විසින් බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලා පිලිබද විස්තර කරමින් රචිත “ධාතු විස්තරය” නම් වූ ග්‍රන්තයෙනි.)