Dharma Shrawanaya ධම්ම ශ්‍රවණය

08 ධම්ම ශ්‍රවණය

ධර්ම ශ්‍ර‍වණය

තථාගතයන් වහන්සේ විසින් දේශිත අපාදුක් ගිනි නිවන, සසර දුක් දුරලන, සග මොක් මඟ හෙළි කරන සුපරිශුද්ධ ධර්මය ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍ර‍වණ කුශලය ය. මෙකල ඇතැම් බෞද්ධයෝ බණ ඇසීම නැටුම් බැලීමක් සේ විනෝද ක්‍රියාවක් කරගෙන සිටිති. ඔවුහු මහ හඬින් හෝ මිහිරි හඬින් හෝ දේශනය කළහොත් හොඳ බණකැ යි කියති. කෙනකුට ගර්හා කරමින් කෙනකුට පසසමින් සිනාසිය හැකි විහිළු කථා කියමින් දහම් දෙසුව හොත් බොහොම හොඳ බණකැයි කියති. ස්තුතිවලින් තොර වූ ගර්හාවලින් තොර වූ විසුළු කථාවලින් තොර වූ ශුද්ධ බුද්ධ ධර්මය දෙසුව හොත් එයට නින්දා කරති. බෞද්ධයන් මේ තත්ත්වයට වැටී සිටීම සංවේග ජනකය. තථාගතයන් වහන්සේ ධර්මය රාගය පිණිස නො ව විරාගය පිණිස දෙසන ලද්දකි. එබැවින් එයින් නැටුම් බැලීමකින් මෙන් විනේාදයක් ලබන්නට නො සිතා ඉතා ගෞරවයෙන් එය ශ්‍ර‍වණය කළ යුතු ය. විනෝදය පිණිස දහම් අසනවාට වඩා නො ඇසීම ම යහපති. ඇතමෙක් දේශකයාගේ සමත්කම මනිනු පිණිස ද ඇතමෙක් ඇද පලුදු සොයනු පිණිස ද දහම් දෙසති. ඒ ද නො මැනවි. බණ අසන කල්හි යම්කිසි දෙයක් දැන ගැනීමේ අදහසින් අවවාදයක් අනුශාසනයක් ලබා ගැනීමේ අදහසින් ම එය ඇසිය යුතු ය. ඇතමෙක් උසස් ය යි සම්මත කෙනකුගෙන් මිස සාමාන්‍ය කෙනකු දහම් දෙසන කල්හි අසන්නට නො කැමති වෙති. එ ද නො මැනවි. බුදුන් වහන්සේ ද තමන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ගේ දහම් දෙසුම් ගෞරවයෙන් ඇසූ සේක. නුවණින් අගතැන් පත් සැරියුත් මහරහතන් වහන්සේ සාමනේර නමකගේ අනුශාසනය ගෞරවයෙන් පිළිගත් සේක. කරුණු එසේ හෙයින් දේශකයාගේ උස් මිටි කම් නො බලා කවරකු විසින් වුව දෙසන දහම ගෞරවයෙන් ඇසිය යුතු ය

පැරණි සැදැහැතියන් ගෞරවයෙන් බණ ඇසූ සැටි

මේ ලක්දිව අනුරාධපුරයේ කාල බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ විසින් කළු තිඹිරි ගස යට කාලකාරාම සූත්‍රයෙන් රාත්‍රිය මුළුල්ලෙහි දෙසූ ධර්මය සැදැහැතිස් රජතුමා බණ අසන පිරිසෙන් පිටත අඳුරේ සිට ගෙන සිටි පිය නො සොලවා රාත්‍රිය මුළුල්ලේ ම ගෞරවයෙන් ඇසී ය.
ගවරවාල අඞ්ගණයෙහි එක්තරා පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ කෙනෙක් රාත්‍රියේ පිරිසෙන් පිටත සිට බණ අසන්නාහු සර්පයකු විසින් දෂ්ට කරන ලදහ. උන් වහන්සේ තමන්ට වූ විපත කිසිවකුට නො දන්වා බණ හමාර කරන තුරු බණ ඇසූහ.
අත දරුවා ද ගෙන සිතුල්පව් විහාරයට ගොස් දරුවා ගසක් මුල නිදි කරවා බණ ඇසූ ස්ත්‍රියක් දරුවා සර්පයකු විසින් දෂ්ට කර යනු දැක ද ඒ බව කිසිවකුට නො දන්වා ගෞරවයෙන් රාත්‍රිය මුළුල්ලෙහි ම බණ ඇසුවා ය.
මාගම තිස්ස මහා විහාරයේ විසූ තරුණ භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙස්සන්තර ජාතකය ඇසීමට පයින් ම නව යොදුන් මඟ ගෙවා දිගා වැවට ගිය හ.
උල්ලභ කෝල කණ්ණික නැමති ගම ස්ත්‍රියක බණ අසනු පිණිස එක් දිනකින් ම පස් යොදුන් මඟ ගෙවා පයින් ම ගමන් කොට රාත්‍රිය මුළුල්ලේ ම බණ ඇසුවා ය

බණ ඇසීමේ අනුසස්

කෙනකුට යහපත් කෙනකු වීමට ඇත්තා වූ උසස් ම හේතුව බුද්ධ ධර්මය ඇසීම ය. මනුෂ්‍යයෝ ධර්මයෙන් ඈත් ඈත් වූ පමණට ගුණ හීනයෝ වෙති. ධර්මය ඇසුරු කළ කළ පමණට ගුණවත් වෙති. ශිල්පශාස්ත්‍ර‍ කොතෙක් දැන සිටියත් කොතෙක් ධනය තිබුණත් නෑයන් මිතුරන් කොතෙක් සිටියත් ගුණයෙන් හීන තැනැත්තේ සුවඳින් තොර වූ කෑල මල සේ නො වටනා පුද්ගලයෙකි. විරූප වුවත් දිළිඳු වුවත් ශිල්ප ශාස්ත්‍ර‍ නො දනිතත් ගුණවතා පූජ්‍ය පුද්ගලයෙකි. සැවැත්නුවර වීථිවල කසළ ඉවත් කරන්නකු වූ සුනීත ගුණවතකු වීම නිසා රජුන් විසින් පවා පුදනු ලබන්නෙක් විය. ගෞරවයෙන් බණ අසණ තැනැත්තේ ක්‍ර‍මයෙන් පව් නො කරන පින් කරන ගුණවතෙක් වේ. එය දහම් ඇසීමේ එක් අනුසසකි.

“පඤ්චිමේ භික්ඛවෙ ආනිසංසා ධම්මසවණෙ, කතමේ පඤ්ච? අස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කංඛං විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ධම්ම සවණෙ”

යනුවෙන් නො ඇසූ දෑ අසන්නට ලැබීම ය, ඇසූ දෑ පිරිසිදු වීමය, සැක දුරුවීමය, දෘෂ්ටිය සෘජුවීමය, සිත පැහැදීම ය යන අනුසස් පස දහම් ඇසීමෙන් ලැබෙන පව ප්‍ර‍කාශිත ය.

“සද්ධම්ම දෙසනා කාලෙ – සාධු සාධූති භාසතො

මුඛතො නිබ්බන්ති ගන්ධො – උප්පලංව යථොදකෙ”

යනුවෙන් දහම් දෙසන කල සාධුකාර දෙන පින්වතාගේ මුඛයෙන් මානෙල් මල් සුවඳ ඇති වන බව කථා වස්තුවත් සමඟ මනෝරථ පූරණි නම් වූ අංගුත්තර අටුවාවේ දක්වා තිබේ.

චම්පා නුවර ගග්ගරා නම් පොකුණෙහි විසූ මැඩියෙක් කිසි ම තේරුමක් නැති ව දහම් දෙසන හඬ පමණක් අසා දෙව් ලොව උපන් බව විමාන වත්ථු ප්‍ර‍කරණයෙහි දක්වා තිබේ. ලක්දිව කුඹල් තිස් පව්වෙහි විසූ පන්සියයක් පමණ කිරි වවුලන් තේරුම් නොමැතිව සතුටු සිතින් දහම් හදාරන හඬ අසා ඒ පිනෙන් මිනිස් ලොව උපන් බව ද, තලගුරු වෙහෙර ධම්මදින්න තෙරුන් වහන්සේගෙන් දහම් හදාරන හඬ සතුටින් ඇසූ කණ ගැරඬියකු ඒ පිනින් මිනිස් ලොව ඇමති කුලයෙහි උපන් බව ද දක්වා තිබේ. බණ ඇසීමේ කුශල බලයෙන්න දෙව්මිනිස් සැප ලැබූවන්ගේ ගණනක් නැත. බණ අසා සෝවාන් ආදි සතර මඟ සතර ඵලයට පැමිණ නිවන් දුටුවන්ගේ ගණනක් ද නැත්තේ ය. එබැවින් සකල සම්පත් ලබා දෙන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය අත්‍යාදර ගෞරවයෙන් අසත්වා.