Dharma Rathnaya ධර්ම රත්නය

සතර මාර්ගය ,සතර ඵල, නිර්වාණයයන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්ම රත්නයයි.

එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතරය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය ,අනාගාමී ඵලය ,අර්හත් ඵලය යන සතරය. ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම්කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්ය කොට ,තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගය ලැබීමෙන් ලැබෙන උසස් සුවයයි.
පිටකත්‍රය යනු විනය පිටකය ,සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුනය.
එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැනවූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහයය. එය පාරාජික පාළියය, පාචිත්තිය පාළි යය,මාහා වර්ග පාලියය , චූල වර්ග පාලියය ,පරිවාර පාළිය යයි ප්‍රකරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.
සූත්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයෙහි ඒ ඒ පුද්ගලයන්ට දේශනා කළා වූ, සාමාන්‍ය දේශනා සමූහයය. එය සූත්‍රය සූත්‍ර පිටකය දීඝ නිකායය, මජ්ඣිම නිකායය, සංයුත්ත නිකායය, අංගුත්තර නිකායය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ. එහි දීඝ නිකාය සූත්‍ර සුතිසකින් හා බණවර සිව් සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර එකසිය දෙපනසකින් හා බනවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්තය. අංගුත්තර නිකායේ සූත්‍ර නවදහස් හත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් කින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍රන්ථ සමූහයකි. ඛුද්දක පාලිය, ධම්ම පදය, උදානය, ඉතිවුත්තක, සුත්ත නිපාතය, විමාන වස්තු පාලිය, පේතවත්ථු පාලිය, ථේර ගාථා පාලිය, ථේරී ගාථා පාලිය, ජාතක පාලිය, නිද්දේස පාළිය, පටිසම්භිදාමග්ගය, අපදානය, බුද්ධවංශය, චරියාපිටකය යන මේ ප්‍රකරණ පසළොස ඛුද්දක නිකාය සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව් ලොව වස් තුන් මස මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය අභිධර්ම පිටකය ධම්ම සංගනී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කථා පකරණය, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය, කථාවත්ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය, අභිධර්ම පිටකයෙහි ප්‍රකරණ සතෙකි එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසකි

ධර්ම රත්නය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන් ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එ බැවින් ධර්මයට පුදනු කැමතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය. ධර්මය ලියා තිබෙන්නා වූ ද මුද්‍ර‍ණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකිය. ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය. ධර්මාචාර්‍ය්‍යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය, ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලී ය යන ආදිය යි.

ධර්‍ම රත්නය

ධම්ම යනු පිටකත්‍රයෙහි ඉතා සුලභ දහස් ගණන් තැන්වල දක්නට ලැබන වචනයකි. එහි අනේකාර්ථ ඇත්තේ ය. බොහෝ අර්ථ ඇත්තේ ය. ධම්ම පදය දුටු කල්හි සැම තැනදී ම එක් අර්ථයක්ම නො ගෙන තැනට සුදුසු අර්ථය ගත යුතු ය. මෙහි අප විසින් විස්තර කරන්නට යන්නේ “ධම්මං සරණං ගච්ඡාමි” යන වැකියෙහි ධම්ම යන වචනයේ අර්ථය ය. ඒ වචනයෙන් කියැවෙන්නේ පර්‍ය්‍යාප්ති ධර්මය හා නව ලොකෝත්තර ධර්මය ද යන සත්ත්වයනට පිහිට වන දස වැදෑරුම් ධර්මය ය.

සියල්ල දන්නා වූ මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසරක් මුළුල්ලෙහි ඒ ඒ තැන්වලදී වදාළ සුපරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය දක්වන්නා වූ බුද්ධවචන රාශිය පර්යාප්ති ධර්ම නම් වේ. එය ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වේ. බුද්ධවචන සමුහයෙන් විනය පිටකය විනය නම් වේ. අන් බුද්ධවචන සියල්ල ධර්ම නම් වේ. තවද ඒ බුද්ධවචන රාශිය ප්‍රථම බුද්ධවචන, මධ්‍යම බුද්ධවචන, පශ්චිම බුද්ධවචන වශයෙන් ත්‍රිවිධ වේ. අප මහාබෝසතාණන් වහන්සේ වෙසක් මස පුණ්පොහෝ දිනයක සන්ධ්‍යාකාලයේ චතුරංගවීර්‍ය්‍යාධිෂ්ඨානයෙන් මහාබෝධිමූලයේ වැඩ හිඳ යුදයට පැමිණි වසවත් මරු හිරු අවර වන්නට පළමුව ම පරාජය කොට භාවනාවෙහි යෙදෙන සේක්, ඒ රාත්‍රියේ ප්‍රථමයාමයේදී පෙර විසු අත්බැව් පිළිවෙළ දැකිය හැකි පූර්වේනිවාසානුස්මෘතිඥාන උපදවා මධ්‍යමයාමයෙහි ලෝකයෙහි ඒ ඒ තැන මැරෙන උපදින සත්ත්වයන්ගේ මරණෝත්පත්ති දක්නා දිව්‍යංචක්ෂූරභිඥානය උපදවා, පශ්චිමයාමයෙහි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රතීත්‍යසමුත්පාදය සම්මර්ශනය කොට අනතුරුව ආනාපාන චතුර්ථධ්‍යානය උපදවා, විදර්ශනා කොට මඟපල පිළිවෙළින් අරුණෝද්ගමනයේදී අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලබා සියලූ බුදුරදුන්ගේ සිරිත පරිදි උදන් ඇනීම් වශයෙන්,

“අනෙකජාතිසංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරකං ගවෙසන්තො – දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨොසි – පුන ගෙහං න කාහසි

සබ්බ තෙ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං

විසංඛාර ගතං චිත්තං – තණ්හානං ඛයමජ්ක්‍ධගා”

යන දෙ ගය වදාළ සේක. ඒ ප්‍රථම බුද්ධවචනය ය. එතැන් පටන් පන්සාළිස් වසරක් ලෝවැඩ කෙරෙමින් වැඩ වදාළා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී භික්ෂුන් අමතා අන්තිමට ම වදාළ “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො, වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන වදන පශ්චිම බුද්ධවචනය ය. එදෑතුරෙහි වදාළ බුදුවදන් සියල්ල මධ්‍යමබුද්ධවචන නම් වේ.

බුදු වදන් සියල්ල විනය පිටකය, සුත්‍රපිටකය, අභිධර්‍ම පිටක යයි පිටක වශයෙන් ත්‍රිවිධ වේ. සමාන ලක්ෂණ ඇති බුද්ධ වචන සමුහයෝ පිටක නම් වෙති. ප්‍රාතිමෝක්ෂ දෙකය, විභංග දෙකය, ඛන්ධක දෙවිස්සය, පරිවාර සොළසය යන මෙය විනය පිටකය නම් වේ. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දකපාඨ – ධම්මපද – උදාන – ඉතිවුත්තක – සුත්ත නිපාත – විමානවත්ථු – පේතවත්ථු – ථෙරගාථා – ථෙරිගාථා – ජාතක – නිද්දේය – පටිසම්භිදා – අපදාන – බුද්ධ වංස – චරියාපිටක යන මොවුන්ගේ වශයෙන් පසළොස් වැදෑරුම් ඛුද්දක නිකාය යන මේ ධර්ම රාශීය සුත්‍රපිටක නම් වේ. ධම්ම සංගණී – විභංග – ධාතු කථා – පුග්ගල පඤ්ඤත්ති – කථාවත්ථු – යමක – පට්ඨාන යන ප්‍රකරණ සත අභිධර්ම පිටකය ය.

තවද පර්‍ය්‍යාප්ති ධර්මය නිකාය වශයෙන් දීඝනිකාය මජ්ක්‍ධීමනිකාය සංයුක්තනිකාය අංගුත්තරනිකාය ඛුද්දකනිකාය ය’ යි පසකට ද බෙදා තිබේ.

දීර්ඝ වූ සුත්‍රයන්ගේ සංග්‍රහය දීඝනිකාය නම් වේ. එහි ශීලස්කන්ධ වර්ගය මහාවර්ගය පාථෙය්‍ය වර්ගය යි වර්ගත්‍රයක් හා සුත්‍ර සුතිසක් ඇත්තේය.

“චතුත්තිංසෙව සුත්තන්තා – තිවග්ගො යස්ස සංගහො,
එස දීඝනිකායොති – පඨමො අනුලොමිකො”

මධ්‍යම ප්‍රමාණ සුත්‍රයන්ගේ සංග්‍රහය මජ්ක්‍ධීමනිකාය නම් වේ. එහි වර්ග පසළොසකින් සංගෘහිත සුත්‍ර එකසිය පනස් දෙකක් ඇත්තේ ය.

“දියඬ්ඪසත සුත්තන්නා – ද්වේව සුත්තානි යත්ථ සො
නිකායො මජ්ක්‍ධීමො පඤ්ච – දසවග්ගපරිග්ගහො”

දේවතා සංයුත්තාදි වශයෙන් සිටි ඕඝතරණ සුත්‍රය ආදී කොට ඇති සත් දහස් සත්සිය සැට දෙකක් සංග්‍රහය සංයුත්තනිකාය නම් වේ.

“සත්ත සුත්ත සහස්සානි – සත්තසුත්ත සතානි ච,
ද්වාසට්ඨි චෙව සුත්තන්තා – එසො සංයුත්තසංගහො

එක් ඒක අංගය අතිරේක වශයෙන් සිටියා වූ චිත්තපර්‍ය්‍යදාන සූත්‍රාදි නව දහස් පන්සිය පනස් සතක් වූ සූත5යන්ගේ සංග්‍රහය අංගුත්තර නිකාය නම් වේ.

නවසුත්ත සහස්සානි – පඤ්චසුත්ත සතානි ච,
සත්තපඤ්ඤාස සුත්තානි – සංඛා අංගුත්තරෙ අයං

දීඝනිකායාදි නිකාය සතර හැර ඉතිරි බුදු වදන් සියල්ල ඛුද්දක නිකාය නම් වේ. විනය පිටකය හා අභිධර්ම පිටකය නිකාය වශයෙන් ධර්මය බේදීමේදී ඛුද්දකනිකායට අයත් වේ.

ඨාපෙත්වා චතුරො පෙතෙ – නිකායෙ දීඝ ආදිකෙ,
තදඤ්ඤං බුද්ධ වචනං – නිකායො ඛුද්දකො මතො,”

(සමන්තපාසාදිකා)

පර්‍ය්‍යාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමුහය ධර්මස්කන්ධ වශයෙන් සුවාසු දහසක් වන්නේය. මහාසතිපට්ඨාන සූත්‍රාදි එක් අනුසන්ධියක් ඇත්තා වු සුත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. “එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුඬියා” යනාදින් සතිපට්ඨානයන් සැකෙවින් දක්වා ඒවාම විභාග කරන බැවින් සතිපට්ඨාන සුත්‍රය ඒකානුසන්ධික සුත්‍රයෙකි. අනේකානුසන්ධික සුත්‍රයන්හි අනුසන්ධික ගණන අනුව ධර්මස්කන්ධ ගණන් ගනු ලැබේ. ගාථාවන්හි ප්‍රශ්න ඇසීම එක් ධර්මස්කන්ධයක් වශයෙන් ද පිළිතුරු දීම අනික් ධර්මස්කන්ධයක් වශයෙන් ද ගණන් ගනු ලැබේ.

“කති ජින්දෙ කති ජහෙ – කති චුත්තරි භාවයෙ,
කති සංගාතිගො භික්ඛු – ඔඝතිණ්ණොති චුච්චති”

මේ ප්‍රශ්න ගාථාව එක් ධර්මස්කන්ධයෙකි.

“පඤ්ච ජින්දෙ පඤ්ච ජහෙ – පඤ්ච චුත්තරි භාවයෙ,
පඤ්ච සංගාතිගො භික්ඛු – ඔඝතිණ්ණොති චුච්චති.”

මේ විසර්ජනය එක් ධර්මස්කන්ධයෙකි. අභිධර්මයෙහි එක් එක් තික දුක විභාගයක් එක් ධර්මස්කන්ධයෙකි. එක් එක් චිත්තවාර විභාගයක් එක් ධර්මස්කන්ධයෙකි.

කතමෙ ධම්මා කුසලා? තීණි කුසලමූලානි අලොභො අදොසො අමොහො තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සංඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො තං සමුට්ඨානං කායකම්මං වචීකම්මං මනොකම්මං ඉමෙ ධම්මා කුසලා, කතමෙ ධම්ම අකුසලා? තීණි අකුසලමූලානි ලොභො දෙසො මොහො තදෙකට්ඨා ච කිලෙසා තං සම්පයුත්තො වෙදනාක්ඛන්ධො -පෙ- මනොකම්මං, ඉමෙ ධම්මා අකුසලා, කතමෙ ධම්මා අව්‍යාකතා? කුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්ධො -පෙ- විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා ක්‍රියා නෙව කුසලා නාකුසලා න ච කම්ම විපාකා සබ්බඤ්ච රූපං අසංඛතා ච ධාතු ඉමෙ ධම්මා අබ්‍යාකතා.

මේ අභිධර්මයෙහි එක් ධර්මස්කන්ධයෙකි.

විනයෙහි සිකපද පිළිබඳ වස්තු ඇත්තේය, මාතිකා ඇත්තේය, පදභාජනිය ඇත්තේය, අන්තරාපන්ති ඇත්තේය, අනාපත්ති ඇත්තේය, ත්‍රිකපරිච්ඡේද ඇත්තේය, ඒ එක් කොට්ඨාසයක් එක් ධර්මස්කන්ධයෙකි. එහි වස්තු නම් ඒ ඒ සිකපද පැනවීමට නිමිත්ත වූ සුදින්නකථාදිය ය. මාතෘකා යනු “යො පන භික්ඛු භික්ඛුනං සික්ඛාසාජීවසමාපන්නො සික්ඛං අපච්චක්ඛාය’‘ යනාදි සිකපදයෝ ය. පදභාජනීය යනු සිකපදයේ වචන විස්තර කිරිමයි. අන්තරාපත්ති යනු සිකපද ඇතුළතම පනවා ඇති කුඩා සිකපදයෝ ය. අනාපත්ත යනු සිකපදය සම්බන්ධයෙන් ඇවැත් නො වීම දක්වන “අනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස උම්මත්තකස්ස ඛිත්තචිත්තස්ස වෙදනට්ඨස්ස ආදිකම්මිකස්ස” යනාදි ඇවැත් නො වීම දක්වන කොටස ය. ත්‍රිකපරිච්ඡේද යනු “දසහාතික්කන්තෙ අනික්කන්තසඤ්ඤි නිස්සග්ගියං පාචිත්තියං, දසාහාතික්කන්තෙ වෙමතිකො නිස්සග්ගියං පාචිත්තියං, දසාහාතික්කන්තෙ අනතික්කන්තසඤ්කී නිස්සග්ගියං පාචිත්තියං” යනාදි ත්‍රිකපාචිත්ති ත්‍රිකදුෂ්කෘතාදී ප්‍රභේදය දක්වන කොටස ය. මෙසේ වු ධර්මස්කන්ධ විසි එක් දහසක් විනය පිටකයෙහි ඇත්තේ ය. සුත්‍රා පිටකයෙහි ද විසි එක් දහසක් ඇත්තේ ය. අභිධර්ම පිටකය විශාලය. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසක් ඇත්තේය. මුද්‍රිත පොත් බැලූවම අභිධර්ම පිටකය කුඩා සේ පෙනෙන්නේ එය “පේයාල” යොදා කෙටිකර ඇති බැවිනි..

ධම්ම යන වචනයේ තේරුම

“අත්තානං ධාරෙන්තෙ චතුසු අපායෙසු වට්ටදුක්ඛෙසු ච අපතමානෙ කත්වා ධාරෙතීති ධම්මො” යනුවෙන් දැක්වෙන පරිදි දරන්නා වු අර්ථයන් ධර්ම නම් වේ. දැරිම නම් සතර අපායට වැටෙන්නට නොදී සංසාරදුඃඛයට වැටෙන්නට නොදී රැකිමය. පර්‍ය්‍යාප්ති ධර්මය අසා බලා සිතින් දරන්නා වු ධර්මයට අනුව පිළිවෙත් පුරන්නෝ ද ලෝකෝත්තර ධර්මයන් ප්‍රතිවේධ කලෝ ද ධර්මය දරන්නෝ ය. ධර්මය තමන් දරන්නවුන් සතර අපායටත් සංසාරදුඃඛයටත් වැටෙන්නට නොදි ආරක්ෂා කෙරේ. සත්ත්වයන් දැරිම විශේෂයෙන් කැරෙනුයේ ආර්‍ය්‍යමාර්ග නිර්වාණ යන ලෝකෝත්තර ධර්ම පසෙනි. ලෝකෝත්තර මාර්ගවලින් ඒවා ඇති කරගත් පුද්ගලයන් දුක්වලින් මිදවීම ඉහත දක්වන ලදී. ලෝකෝත්තර මාර්‍ගවලින් කෙළෙස් දුරු කර සත්ත්වයන් දුකින් මුදවන්නේ නිර්වාණ ධර්මයේ ද සහායත්වය ඇතිව ය. එබැවින් සතරමාර්‍ග නිර්වාණ යන ධර්‍ම පස කෙළින් ම සත්ත්වයන් දුකින් මුදවන ධර්‍මය යි කියනු ලැබේ. පර්‍ය්‍යාප්ති ධර්‍මයෙන් කෙරෙන්නේ සත්ත්වයා හට දුකින් මිදීමේ මාර්‍ගය දැක්වීම ය. ප්‍රතිපත්තිධර්‍මයෙන් සත්ත්වයා අපායෙන් මිදවීමත් සුගතියට පැමිණ වීමත් මාර්‍ගඵලනිර්වාණයන් ලබාදීමත් කරනු ලැබේ.

ධර්මයේ ගුණ

ස්වාක්ඛාතො භගවතා ධම්මො, සන්දිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඔපනයිකො, පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. මේ බොහෝ සුත්‍ර දේශනාවල දක්නට ලැබෙ ධර්‍මගුණ පාඨය ය. එයින් ධර්‍මයයේ ගුණ සයක් දැක්වේ. එහි තේරුම මෙසේ ය.

1. ස්වාක්ඛාතො භගවතා ධම්මො,

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මුල මැද අග යන තුන් තැන ම යහපත් වන පරිදි මනාකොට දේශනය කරන ලද්දේ ය.

2. සන්දිට්ඨිකො,

ඒ ධර්‍මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයන් වර්තමාන භාවයේදීම ප්‍රත්‍යක්ෂ වන ගුණවලින් යුක්ත වන්නේ ය.

3. අකාලිකො,

ඒ ධර්‍මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ හෙවත් ඒ ධර්‍මය ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයනට වර්‍ෂගණන් මාසගණන් ගත වීමෙන් නොව එදිනෙදා ම ලැබිය හැකි ගුණවලින් යුක්ත වන්නේ ය.

4. එහිපස්සිකො,

ධර්‍මය තෙමේ ඇවිත් මේ සසුනෙහි පිළිවෙත් පුරා බලන්නය යි අන්‍යයන්ට නිර්භිතව කිය හැකි අන්‍යයන් ඇද දැමීමට සුදුසු ගුණ ඇත්තේ ය.

5. ඕපනයිකො,

මේ ධර්‍මය තෙමේ, අන් හැම වැඩක් ම පසුව කරන්නට තබා සැම වැඩකට ම කලින් තමාගේ සිතෙහි පිහිටුවීමට සුදුසු වන්නේ ය.

6. පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි,

ධර්‍මය තෙමේ එය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට අන්තැනකින් නොව තමාගේම සිත් තුළින් ම අහෝ සැපය, අහෝ යහපත්ය කියා දැනෙන ගුණයෙන් යුක්ත වන්නේය.

ධර්‍ම රත්නය       https://pitaka.lk/books/suvisi-gunaya/12.html