Dasabalaghanaya දශබලඥානය

‘දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’

මෙසේ මහාසීහනාද සුත්‍රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. ක්ෂත්‍රිය පිරිස ය, බ්‍රාහ්මණ පිරිස ය, ගෘහපති පිරිසය. ශ්‍රමණ පිරිස ය, චාතුර්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිසය, මාර පිරිස ය, බ්‍රහ්ම පිරිසය යන අට පිරිසෙහි අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වු උත්තම ධර්‍මචක්‍රය පවත්වන සේක.

01 පළමුවන තථාගත බලය

ස්ථානාස්ථාන දන්නා නුවණ.

‘ඉධ සාරිපුත්ත තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති.’

(මහාසීහනාද සුත්ත)
මේ පාඨයෙහි ඨාන යන වචනයෙන් දක්වන්නේ ඒ ඒ කරුණු සිදුවීමේ ඒ ඒ දෙය ඇති වීමේ හේතුව ය. අට්ඨාන යන වචනයෙන් දැක්වෙන්නේ හේතු නොවන දෙය ය.

තථාගතයන් වහන්සේ ඒ ඒ දෙය සිදුවීමේ හේතු ද නිවරදි ලෙස දන්නාහ. එසේ ම අහේතු ද නිවරදි ලෙස දන්නාහ. ඒ හේතු අහේතු දෙක ඇති සැටියට ම නො වරදවා දන්නා නුවණ පළමුවන තථාගත බලය ය. ඒ බලයෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි අග්‍රස්ථානයට පැමිණ සිටින්නාහ. අටපිරිස මැද සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහ.

මේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු විසින් කිසි සංස්කාරයක් නිත්‍යය කියා ද සුඛය කියා ද ආත්මය කියාද වරදවා සිතා ගැනීමට කරුණක් නැති බව දන්නා සේක. පෘථග්ජනයකු විසින් නම් එසේ වරදවා සිතා ගැනීමට කරුණු ඇති බව දන්නා සේක. සෝවාන් පුද්ගලයෙකු විසින් මව මැරීමට පියා මැරීමට රහතුන් මැරීමට නපුරු සිතින් තථාගත ශරීරයෙහි ලේ මතුකිරීමට සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයකු විසින් එසේ කිරීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලයකු විසින් භාවාන්තරයේ දී වුව ද බුදුරදුන් හැර අන්‍යයකු තමාගේ ශාස්තෲවරයා සැටියට පිළිගැනිමට කරුණක් නැති බව දන්නාහ. පෘථග්ජනයන්ට වනාහි අන්‍යයන් තමන්ගේ ශාස්තෘවරයා සැටියට පිළිගැනීමට කරුණු ඇති බව දන්නාහ. සෝවාන් පුද්ගලකුට සසර අටවන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත්, එක් ලෝකධාතුවක එකවර ලොවුතුරා බුදුවරයන් දෙනමක් පහළවීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනකු පහළවීමට හේතු නැති බවත්, ස්ත්‍රිත්වයෙහි සිට ලොවුතුරා බුදු විය හැකි වීමට චක්‍රවර්ති රජ විය හැකිවීමට, ශක්‍රන්‍වය කළ හැකි වීමට මාරත්වය කළ හැකි වීමට බ්‍රහ්මත්වය කළ හැකි වීමට හේතුවක් නැති බවත් දන්නා සේක. කායදුශ්චරිත වාක්දුශ්චරිත මනෝදුශ්චරිත යන මේවායින් ඉෂ්ඨ විපාක ලැබිමට කරුණක් නැති බවත්, කායසුචරිත වාක්සුචරිත මනෝසුචරිත යන මේවායින් අනිෂ්ටවිපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාහ. මෙසේ සියල්ල පිළිබඳව හේතු අහේතු දන්නාහ.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

02 දෙවන තථාගත බලය.

කාලත්‍රයවර්තී වු කර්‍මසමාදානයන්ගේ විපාක දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදනානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත, තථාගතෝ අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගත බලං යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහා සීහනාද සුත්ත)
අතීතානාගත වර්තමාන යන කාලත්‍රයෙහි වු කූශලාකුශලකර්මයන්ගේ විපාක තත්ත්වාකාරයෙන් දන්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයෙන් දැක්වේ. කර්මවිපාක තත්ත්වය ඉතාම ගැඹුරු කරුණෙකි. එය බුදුවරුන්ට මිස ශ්‍රාවකයනට අවිශය කරුණකි. ශ්‍රාවකයන්ට දත හැක්කේ කර්මවිපාකයෙන් සුළු කොටසක් පමණෙකි. තමතමන්ට දත හැකි ප්‍රමාණයෙන් කර්මවිපාක තත්ත්වය දැන ගැනීමට ශ්‍රාවකයන් විසින් ද උත්සහ කළ යුතුය. එය සර්වාකාරයෙන් ම දැනගන්නට උත්සහ කළ හොත් සිතන්නට ගිය හොත් ඉන් ශ්‍රාවකයා අමාරුවට පත් වෙනව මිස ඔහුට අන් පලක් නො ලැබේ.

එහෙයින්:-
‘කම්මවිපාකො භික්ඛවේ, අචින්තෙය්‍යො න චින්තිතබ්බො, යං චිනිතෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’

(අංගුත්තර 288)
යනුවෙන් ‘මහණෙනි, කර්මවිපාකය නො සිතිය යුත්තකි. නො සිතිය යුතු ය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ය’ යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

තථාගතයන් වහන්සේගේ කර්මවිපාකඥානය වු දෙවන තථාගතබලය අභිධර්මපිටකයේ විභංගප්‍රකරණයේ ඤාණවිභංගයේ මෙසේ සොළොස් ආකාරයකින් විස්තර කර තිබේ.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ගතිසම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නො හැකි ව ඇත් ඇතම් පාපකර්මයෝ ඇතහ යනු එහි තේරුමය.

ගති යනු ආත්මභාවයට නමෙකි. කුශලකර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්මභාවයෝ ගතිසම්පත්තිය ය. කුශලකර්මයකින් යහපත් ආත්මභාවයක් ලද කල්හි බෙහෙවින් කුශලකර්මයෝ ම විපාක දෙති. අතීතයෙහි කළ බොහෝ අකුශලකර්ම ඇතියවුට ඒ ආත්මභාවයේ දී ඒවා විපාක නො දෙති. ගතිසම්පත්තිය ඒවායේ විපාක දීම වළක්වයි.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපාධිසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

උපධිසම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා විපාක නො දෙන ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ යනු එහි තේරුම ය.

උපධිසම්පත්තිය යනු හොදීන් වැඩුණු අංගප්‍රත්‍යංග ඇති ශීතෝෂ්ණාදියට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරන ශෝභන ශරීරය ය. අතීතයෙහි කළ බොහෝ අකුශල කර්මයන් ඇතියකු විසින් යම්කිසි කුශලයකින් උපධිසම්පත්තිය ලද මොත් රූපශෝභාව නිසා ඔහුට ගිය ගිය තැන සැළකිලි ලැබේ. උපධිසම්පත්තිය ඇති තිරිසන් සතාද බොහෝ සැප ලබති. ඇතැම් තිරිසනුන් දුප්පත් ඇතැම් මිනිසුන්ට ද වඩා සැප ලබන්නේ උපධිසම්පත්තිය නිසා ය. උපධිසම්පත්තිය ඇති තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය බැවින් ඔහුට බොහෝ දෙනාගෙන් සැළකිලි ලැබෙන බැවින් සාගින්නේ සිටවන පාපකර්මය ඔහු සාගින්නෙන් සිටවීමට සමත් නොවේ. හොද ඇඳුම් පැළදුම් නැති කොට, කිළිටි වැරහිලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැතිකිරිමට සමත් නොවේ. වාසස්ථානයක් නැති කරන කර්මය ඔහුට වාසස්ථානයක් නැතිකිරිමට සමත් නොවේ. මෙසේ උපධිසම්පත්තිය නිසා බොහෝ අතීත අකුශලකර්මයෝ තමන්ගේ විපාකය ඇති කිරිමට නො සමත් වෙති.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

කාලසම්පත්තිය වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නො දෙන්නා වූ ඇතැම් කර්මයෝ ඇතහ යනු එහි තේරුම ය.

හොඳ රජුන් ඇති හොඳ ආණ්ඩු ඇති, කලට වැසි ලැබෙන – පමණට වැසි ලැබෙන කාලය සම්පත්ති කාලය ය. සම්පත්තිකාලයේ කාහටත් පහසුවෙන් ජීවත් විය හැකි ය. සත්ත්වයන් සාගින්නෙන් පෙළන පිපාසාවෙන් පෙළන රෝග වලින් පෙළන තවත් නොයෙක් අයුරින් සත්වයන් පෙළන අකුශල කර්මයන්ට කාලසම්පත්තියේ දී සත්වයන් පෙළිමට ඉඩ නො ලැබේ. තමන්ගේ විපාක දානයට කාලසම්පත්තිය බාධා කරන බැවින් ඇතැමුන්ගේ බොහෝ අකුශලකර්මයෝ විපාක නො දි පවතිත්.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්ති පතිබාළ්හානි න විපච්චන්ති.

ප්‍රයෝගසම්පත්තියෙන් බාධිත බැවින් විපාක නො දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇතහ. ප්‍රණවධාදි අකුශල ක්‍රියාවලින් වැළකීම, සුචරිතය පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කීරීම, ගොවිකම් අත්කම් ආදියෙහි යෙදීම, අන්‍යයන් හා හොදීන් විසීම ප්‍රයෝගසම්පත්තිය ය. එහි අනික් පැත්ත ප්‍රයෝගවිපත්තිය ය. ඇතැමකුට බොහෝ අතීත පාපකර්මයන් ඇත ද එයින් බොහෝවක් ප්‍රයෝගසම්පත්තිය ඇති ව සිටිනා කල්හි විපාක දීමට සමත් නො වන්නාහ.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ගතිවිපත්තිය නිසා විපාක ගෙන දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. අපායගතිය ගතිවිපත්තිය ය. යම්කිසි අකුශලයකින් අපායෙහි උපත හොත් ගතිසම්පත්තිය නිසා විපාක දීමට අසමත් ව තුබු අකුශලකර්මයෝ ගතිවිපත්තියේ දී විපාක දෙන්නට පටන් ගන්නාහ. ඉතා දුබල වූ ද අකුශලකර්මයට ගතිවිපත්තියේ දී විපාක දීමට අවකාශ ලැබේ. ගතිවිපත්තියට වරක් පැමිණියා වූ සත්වයාහට ඔහු නැවත නැවත වරින් වර දිගට ම තිරිසන් බවින් ප්‍රේත බවට ද ප්‍රේතලෝකයෙන් නරකයට ද නරකයෙන් නැවත තිරිසන් බවට ද ප්‍රේතබවට ද පමුණුවමින් දිර්ඝකාලයක් අකුශලකර්මයෝ විපාක දෙන්නාහ. ඉතා දිර්ඝකාලයකින් මිස නැවත ඔහුට සුගතියට එන්නට ඉඩ නො ලැබෙන්නේ ය.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති.

උපධිවිපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. ශරීරය අශෝභන විම හා අංග විකල වීම උපධිවිපත්තිය ය. ඇතැමුන්ට උපධි විපත්තිය උත්පත්තියෙන් ම හිමි වේ. ඇතැම්හු උත්පත්තියෙන් උපධිසම්පත්තිය ලබා පසු කාලයේ රෝගයන් හා අන්තරායයන් නිසා උපධිපත්තියට පැමිණෙති. උපාධිවිපත්තියෙහි පිහිටි විරූපී පුද්ගලයා ජනයාට අප්‍රිය ය. සහෝදර සහෝදරියන්ට මවු පියන්ට වුව ද එතරම් ප්‍රිය නැත. මා පියෝ ද උපධි සම්පත්තිය ඇති දරුවාට වඩා සලකති. එය නැති දරුවාට වැඩි සැලකිල්ලක් නො කරති. ගිය ගිය තැනදි විරූපී පුද්ගලයා කොන් කරති. ඒ නිසා උපධිසම්පත්තියේ දී විපාකදීමට නො සමත් දුබල අකුශලකර්මයෝ ද මේ අවස්ථාවේ දී ඔහුට විපාක දෙති.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාල විපත්තිං ආගම්ම විපච්චන්ති.

කාල විපත්තිය නිසා විපාක දෙන්නා වූ ඇතැම් පාපකර්මයෝ ඇත්තාහ. නපුරු රජුන් ඇති නපුරු ආණ්ඩු ඇති, නපුරු මිනිසුන් ඇති, කලට වැසි නො ලැබෙන ගොවිතැන් පාළු වන රෝග බහුල ආහාර දුබල කාලය විපත්තිකාලය ය. කාලවිපත්තියේ දී මනුෂ්‍යයාට නිතර ම පැමිණෙන්නේ දුක් කරදර ය. ඒ දුක් කරදර පැමිණිම කාලසම්පත්තියේදී විපාක දීමට නො සමත් ම තුබු දුබල පාපකර්මයන් විපාක දීමට පටන් ගැනීම ය.

අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයෝගවිපත්තිං ආගම්ම විපච්චන්ති.

ප්‍රයෝගවිපත්තිය නිසා විපාක දෙන ඇතැම් පාප කර්මයෝ ඇතහ. බේබදුකම, සල්ලාලකම, සූදූව, පමණට වඩා උඬඟු වීම, අසල්වැසියන් විරුද්ධ කර ගැනීම, නො සැළකිල්ලෙන කටයුතු කිරිම හා තවත් නොයෙක් පව්කම් කිරිම ප්‍රයෝගවිපත්තිය ය. ඒ නිසා ඇතැමුන්ට නින්ඳා ලබන්නට පහර කන්නට නඩුවලට අසු විමට රෝග වලට ගොදුරු වීමට රැකියාවෙන් පහ වීමට සුදු වේ. සමහර විට ඔවුන්ගේ ධනය ද සතුරෝ පැහැර ගනිති. සමහර විනාශ කර දමති. එසේ දුක් කරදර අලාභ හානි වීම ප්‍රයෝගසම්පත්තියේ දී විපාක නො දිය හැකිව තුබු පාපකර්මයන් ප්‍රයෝගවිපත්තියේ දී විපාක දීම.

අත්ථෙකච්චානි පාපකානි කළ්‍යාණානි ගතිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

ගති විපත්තිය නිසා විපාක නො දෙන්නා වූ ඇතැම් කුශල කර්මයෝ ඇතහ. ඇතැම්හූ බොහෝ පින්කම් කරති. එසේ පින්කළ අයගෙන් ඇතමෙක් මරණාසන්නයේ දී දූ දරුවන්ට හෝ ගේ දොර වතු පිටිවලට හෝ සඟවා ඇති යම්කිසි වස්තුවකට හෝ ආශාවෙන් සිට ප්‍රේත ව හෝ තිරිසන්ව හෝ උපදිති. ප්‍රේත ගතිය තිරශ්චීන ගතිය කුශලයන්ට විපාක දීමට තැනක් නො වන බැවින් ගතිවිපත්තියෙන් ඒ කුශලයෝ විපාක නො දෙති. තිරශ්චීන ප්‍රේතගති දෙක්හි ස්වල්ප වශයෙන් කුශලයන්ට විපාක දීමට අවකාශ ඇත. නිරයගතියට හෝ අසුර ගතියට පැමිණිය හොත් එහිදී කුශලයන් හට විපාක දීමට තැනක් ඇත්තේ ම නැති බව කිය යුතු ය.

අත්ථෙකච්චානි කළ්‍යාණානි කම්මසමාදානානි උපධිවිපත්ති පතිබළ්හානි න විපච්චන්ති

උපධි විපත්තියෙන් බාධා වීම නිසා විපාක නොදෙන්නා වූ ඇතැම් කුශලකර්මයෝ ඇතහ. බොහෝ පින් ඇත්තා වූ කෙනකු යම්කිසි පාපකර්මයකින් ප්‍රේතයකු සේ විරූපව උපත හොත් ඉපදීමෙන් පසු සුදුකබර ආදි රෝගයකින් හෝ විරූප වුව හොත් අනතුරකින් අංගවිකලත්වයට හෝ පැමිණිය හොත් ඔහුට උපාධිසම්පත්තියේ දී විපාක දිය හැකි කුශල කර්මයෝ විපාක නොදෙති. උපධි විපත්තිය නිසා බිරියක් ලැබිමට පින් ඇති තැනැත්තා බිරියක් නොලබයි. සැමියකු ලැබිමට පින් ඇති කත සැමියකු නො ලබයි. උසස් තනතුරු ලැබීමට පින් ඇත්තා තනතුරු නො ලබයි. පැවිද්ද ලැබීමට පින් ඇත්තා පැවිද්ද නො ලබයි. එයට නිදසුනක් වශයෙන් විහඬිග අටුවාවෙහි මේ කථාව දක්වා තිබේ.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

03 තුන්වන තථාගත බලය

සර්වත්‍රගාමිනී ප්‍රතිපත් දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහාසීහනාද සුත්ත)

‘තථාගතයන් වහන්සේ සත්ත්වයන් සුගති දුර්ගති භවවලට පැමිණෙන්නා වු ද, අර්හත්ව ආදි තත්ත්වවලට පැමිණෙන්නා වූද පිළිවෙත් සර්වාකාරයෙන් දන්නා සේක ඒ දැනීම තථාගතයන් වහන්සේගේ එක් තථාගත බලයෙකි. ඒ බලය නිසා තථාගතයන් වහන්සේ ලෝකයේ උච්චස්ථානයට පැමිණ ඇත්තාහ. පිරිස්වල සිංහනාදය පවත්වන්නාහ. බ්‍රහ්මචක්‍රය පවත් වන්නාහ’ යනු ඒ පාඨයේ තේරුම ය.

සසර සැරිසරනා සත්ත්වයන් ඒ ඒ සුගති දුර්ගති භවවලට පැමිණෙන්නේ ඔවුන් කළ කර්මයන් අනුව ය. එක් එක් කර්මයකින් ලැබෙන විපාකය සැමටම ඒකාකාරයකින් ම ලැබෙන්නේ නො වේ. ප්‍රාණඝාතාදි එක් එක් කර්මයකින් අනේකාකාර විපාක ලැබෙන්නේ ය. දානාදි එක් එක් කුශලකර්මයකින් ලැබෙන විපාක ද අනේකාකාර වන්නේ ය. ගමක මිනිසුන් එක් ව සැම දෙනාගෙම ප්‍රයෝජනය පිණිස සතකු මැරූ කල්හි සැම දෙනාටම වෙනසක් නැතිව ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ. සෑම දෙනාට ම ප්‍රාණඝාත චේතනාව ඇතිවේ. ඔවුනට එක සතා මැරීමේ විපාකය ලැබෙන්නේ එක් එක් තැනැත්තාට වෙනස් වෙනස් ආකාරවලිනි. ඒ සතා මැරීමට එකෙක් තමාගේ ඕනෑකමින්ම ද අනිකෙක් අනුන් කතා කරන නිසා නො කැමෙත්තෙන් ද එයට සහභාගි වේ. අනිකෙක් කැමැත්තෙන් සහභාගි වේ. තවත් එකෙක් විනෝදය පිණිස එයට සහභාගි වේ. එයින් එකම සතා මැරිමේදි පාපකර්මය ඒ ඒ පුද්ගලයාට වෙනස් වෙනස්ව ඇතිවේ. එබැවින් එක් වී එක් සතෙකු මැරීමේ පාපයෙන් එයට සහභාගි වූවන් අතුරෙන් එකෙක් මහානරකයෙහි උපදී. එකෙක් කුඩානරකයක උපදී. එකෙක් ප්‍රේත ව උපදී. එකෙක් අසුරකායයෙහි උපදී. එකෙක් තිරිසන් අපායෙහි උපදි. තිරිසන් අපායෙහි උපදනා කල්හි ද එකෙක් බලු ව උපදී. එකෙක් කපුටු ව උපදී. එකෙක් බළල් ව උපදී. ගව ව උපදී. මෙසේ එක ම සතකු මැරීමේ පාපය අනේකාකාරයෙන් විපාක දෙන්නේ ය. තථාගතයන් වහන්සේ ඒ සියල්ල සර්වාකාරයෙන් දන්නා සේක. ගමක මිනිසුන් එකතුව දානයක් දුන් කල්හි සැමදෙනාටම ඇතිවුයේ දානය අරමුණ කරන කුශල චේතනාවකි. එහෙත් ඒ කර්මයෙන් ඇතමෙක් මිනිස් ලොව උසස් පවුල් වල උපදිති. මධ්‍යම පවුල් වලත්, ඇතමෙක් පහත් පවුල්වලත් උපදිති. ඇතමෙක් චාතුර්මහාරාජිකයෙහි ද, ඇතමෙක් තාවතිංසයෙහි ද, ඇතමෙක් යාමයෙහි ද, ඇතමෙක් තුෂිතයෙහි ද, ඇතමෙක් නිර්මාණරතියෙහි ද, ඇතමෙක් පරනිර්මිත වශවර්තියෙහි ද උපදිති. ඒ සියල්ල තථාගතයන් වහන්සේ දන්නා සේක. කර්මවලින් ඇතමෙක් ප්‍රතිසන්ධි දානය කෙරෙති. ඇතමෙක් ප්‍රවෘත්තිවිපාක පමණක් දෙති. ඇතමෙක් කිසිවිපාකයක් නො දෙති. ඒ සියල්ල ද තථාගතයන් වහන්සේ දන්නා සේක.

ජනසමූහයක් විදර්‍ශනා වඩනා කල්හි ඔවුන් විදර්‍ශනා කරන සැටියෙන් මොහු මේ විදර්‍ශනා කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙන්නේ ය. මොහු අනාගාමී. ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු සකෘදාගාමී ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු සෝවාන් ඵලයට පමණක් පැමිණෙන්නේ ය. මොහු මාර්ගයකට ඵලයකට නොපැමිණෙන්නේ ය. මොහු ලක්ෂණාරම්මණ විදර්‍ශනාවෙන් නවතින්නේය. මොහු ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු නාමරූපපරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු අරූප පරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහු රූපපරිග්‍රහණයෙන් නවතින්නේ ය. මොහුට කිසි ඥානයක් ලැබිය නො හෙන්නේ ය යි තථාගතයන් වහන්සේ දන්නා සේක.

බොහෝ දෙනකුන් කිසුණු පිරියම් කරන කල්හි මොහු පරිකර්මභාවනා මාත්‍රයෙන් නවතින්නේ ය. නිමිත්ත නො ලබන්නේ ය. මොහු නිමිත්ත ලබන්නේය. එහෙත් අර්පණාව නුපදවන්නේ ය. මොහු ධ්‍යානය පාදක කොට විදසුන් වඩා අර්හත්වයට පැමිණෙන්නේ ය යි තථාගතයන් වහන්සේ දන්නා සේක. මෙසේ සත්ත්වයන් ඒ ඒ භවවලට හා අර්හත්වාදි තත්ත්වලට පැමිණෙන ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේ නිවරදි ලෙසට දන්නාහ. ඒ නුවණ සබ්බත්ථගාමිනීපටිපදාඤාණ නම් වු තුන්වන තථාගත බලය ය.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

04 සිවුවන තථාගත බලය.

අනේකධාතු නානාධාතු ලෝක දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක ධාතු නානාධාතු ලොකං යාථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතො අනෙකධාතු නානා ධාතුලෝකං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’.

අනේකධාතු නානාධාතු ලෝකය තත්ත්වාකාරයෙන් දන්නා ඤාණය එක් එක් තථාගත බලයක් බව මෙයින් දක්වන ලදී. සම්පූර්ණයෙන්ම නැති වන බැවින් ද මඳින් මද කොටස් වශයෙන් දිරී බිඳී පලුදු වන බැවින් ද ස්කන්ධධාත්වායතනයෝ ලෝක නම් වෙති. තමතමන්ගේ ස්වභාවයෙන් ඇත්තා වු සියල්ල ධාතු නම් වේති. රූපය පෙනෙන ස්භාවයෙන් ඇති බැවින් රූප ධාතු නම් වේ. ශබ්දය ඇසෙන ස්භාවයෙන් ඇති බැවින් ශබ්දධාතු නම් වේ. ගන්ධය නාසයට දැනෙන ස්භාවයෙන් ඇති බැවින් ඝ්‍රාණධාතු නම් වේ. මෙසේ ඒ ඒ ස්වභාවයෙන් ඇති සියල්ල ධාතු නම් වේ. ලෝකයෙහි චක්ඛුධාතු සෝතධාතු යනාදි වශයෙන් ද කාමධාතු ව්‍යාපාදධාතු යනාදි වශයෙන්ද බොහෝ ධාතු ඇත්තේය. ලක්ෂණවලින් එක් ධාතුවක් අනික් ධාතුවකට වෙනස් බැවින් ධාතුහු අනේකප්‍රකාර වන්නාහ. බොහෝ ධාතු ඇති බැවින් ද ලක්ෂන වශයෙන් අනේප්‍රකාර ධාතු ඇති බැවින් ද ලෝකය අනේකධාතු නානාධාතු ලෝක නම් වේ. අනේකධාතු නානාධාතු ලෝකය දන්නා නුවණ විස්තර කිරීමේදී පඤ්චස්කන්ධය, ආයතන දොළස, ධාතු අටලොස යන මේ ධර්ම විස්තර කළ යුතුය.

මේ ඥානය ඇත්තා වු තථාගතයන් වහන්සේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය නිවැරදි ලෙස ද සර්වසම්පූර්ණ ලෙස ද දන්නාහ. එක් එක් ස්කන්ධයක අනේකප්‍රකාර විශේෂවිභාග ද නිවැරදි ලෙස සම්පුර්ණයෙන් දන්නා සේක. ආයතන දොළොස දන්නා සේක. දශායතනයක් කාමාවචර ය, ආයතන දෙකක් චාතුර්භූමක ය යනාදීන් ඒවායේ නානත්ව ද දන්නා සේක. මේ චක්ඛුධාතුවය මේ රූප ධාතුවය යනාදීන් වෙන් වෙන් වශයෙන් ධාතු අටළොස දන්නා සේක. එහි ධාතු සොළොසක් කාමාවචර ය, ධාතු දෙකක් චාතුර්භූමකය යනාදීන් ඒවායේ විශේෂ විභාග ද දන්නා සේක. තථාගතයන් වහන්සේ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය පමණක් නොව අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානාත්වය ද දන්නා සේක.

පසේබුදුවරුන් හා අග්‍රශ්‍රාවකයෝ උපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය එක්තරා ප්‍රමාණයකින් දනිති. අනුපාදින්නක සංස්කාර ලෝකයේ නානත්වය නො දනිති. ලොවුතුරා බුදුවරු වනාහි මේ මේ ධාතුන්ගේ උත්සන්නත්වය නිසා, මේ මේ ධාතුන්ගේ හීනත්වය නිසා මේ ගසෙහි කඳ සුදු ය, මේ ගසෙහි කඳ කළුය, මේ ගසෙහි කඳ මට්ටම්ය, මේ ගසෙහි කඳ රළුය, මේ ගසෙහි පොතු තුනී ය. මේ ගසෙහි පොතු ඝනය. මේ ගසෙහි මැද හරය ඇත. මේ ගසෙහි හරය ඇත්තේ පිටත ය, මේ ගසෙහි කොළ වටය. මේ ගසෙහි කොළ දිගය. මේ ගසෙහි කොළ මහත්ය. මේ ගසෙහි කොළ කුඩා ය, මේ ගසේ මල් සුදු ය, මේ ගසේ මල් රතුය, මේ ගසේ ගෙඩි මිහිරිය, මේ ගසේ ගෙඩි තිත්ත ය, මේ ගසේ ගෙඩි ඇඹුල්ය, මේ ගසේ ගෙඩි කසටය, මේ ගසෙහි කටු ඇත, මේ ගසෙහි කටු නැත යනාදීන් අනුපාදින්නක සංස්කාර ලෝකයේ තතු සර්වාකාරයෙන් දන්නාහ. මෙය ශ්‍රාවකයනට අසාධාරණ ඥානයකි.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

05 පස්වන තථාගත බලය

සත්ත්වයන්ගේ නානාධිමුක්තිකත්ව දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

අධිමුක්ති යනු අදහස ය. එය සත්ත්වයන් තුළ පවත්නා, තෙරුම් ගැනීමට දුෂ්කර වු අනුශය ධාතුවකි. සමහර විට ඒ ඒ පුද්ගලයෝම ද අනුශය වශයෙන් යටපත් වී පවත්නා තමන්ගේ අදහස් නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සෑම දෙනාගේ ම අදහස් නිවරදි ලෙස දැනගනිති. ඒ අන්‍යයන්ගේ අදහස් දැනගන්නා වු ඥානය පස්වන තථාගත බලය බව ඉහත දැක් වු පාඨයෙන දැක් වේ.

සත්ත්වයෝ නොයෙක් අදහස් ඇත්තෝය. සමහරු අනුන්ට දුක්දෙන අදහස් ඇත්තෝ ය, ඇතැම්හු සතුන් මරණ අදහස් ඇත්තෝ ය, ඇතැම්හු සොරකම් කරන අදහස් ඇත්තෝ ය, ඇතැම්හු අනුන් අයත් දෑ විනාශ කරන අනුන්ට අලාභ කරන අදහස් ඇත්තෝ ය. ඇතැමුහු අනුන්ගේ දියුණුව වළක්වන අදහස් ඇත්තෝ ය. ඇතැමුහු කාමය වරදවා හැසිරෙන අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන්ගේ සැපයට බාධා කිරීමේ අදහස් ඇත්තෝය. ඇතැම්හු අනුන් රුවටීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු සුරාපානය කිරීමේ අදහස් ඇත්තෝ ය. ඇතැම්හු අන්‍යන් ඔවුනොවුන් හා බිඳවන අදහස් ඇත්තෝ ය. ඇතැම්මු තුමුම උසස්ය. සෙස්සෝ පහත් ය, ඔවුන් තමන්ට ගරු කළ යුතුය යන අදහස ඇත්තෝ ය. ඇතැම්හු මතු ඉපදීමක් නැතය යන මිථ්‍යාධ්‍යාෂය ඇත්තෝ ය. ඇතැම්හු සත්ත්වයා ක්‍රමයෙන් උසස් වනු මිස පහත් තත්වයකට පැමිණෙන්නේ නැතය යන මිථ්‍යා අදහස් ඇත්තෝය. ඇතැම්හු සුචරිතයෙන් මතු යහපතක් නැත ය යන අදහස ඇත්තෝ ය. මේ ආදි අදහස් ලාමක අදහස් ය. ලාමක අදහස් ඇත්තෝ හීනාධිමුක්තික නම් වෙති.

නැතියන්ට දෙන අදහස, පිදිය යුත්තන්ට පුදන අදහස, පව්කම් නො කරන අදහස, මාපියන්ට ගුරුන්ට වැඩිමහල්ලන්ට ගරු කරන සලකන අදහස, බණ කියන අදහස, බණ අසන අදහස, දහම පිළිගන්නා අදහස, සිල් රකින අදහස, කාමයන්ගෙන් වෙන්වන අදහස, වැඩිහිටියන්ගේ අවවාදයට නැමෙන අදහස, භාවනා කරන අදහස යනාදි යහපත් අදහස් ඇත්තෝ ප්‍රණීතාධිමුක්තික නම් වෙති. කල්‍යාණාධිමුක්තික නමුදු වෙති. අධිමුක්ති අනුව පුද්ගලයන් සංසන්දනය වීම ඔවුනොවුන් එකතු වීම මිත්‍ර වීම තථාගතයන් වහන්සේ දන්නාහ. එකතු වී සිටින දෙදෙනෙක් එකතු වී සිටින්නේ කිනම් කරුණකින්ද යන බව ඔවුහු නො දනිති. අධිමුක්ති අනුව ඔවුන් එකතු වී ඉන්නා බව තථාගතයන් වහන්සේ දන්නාහ. එසේ දන්නා බැවින්

‘සෙය්‍යථාපි භික්ඛවෙ, ගූථො ගූථෙන සංසන්දති සමෙති. මුත්තං මුත්තෙන සංසන්දති, සමෙති, ඛෙළො ඛෙළෙන සංසන්දති සමෙති, පුබ්බො පුබ්බෙන සංසන්දති සමෙති, ලොහිතං ලොහිතෙන සංසන්දති, සමෙති. එවමෙව ඛො භික්ඛවේ, ධාතුසො සත්තා සංසන්දෙන්ති, සමෙන්ති. හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දෙති සමෙන්ති, අතීතම්පි භික්ඛවේ, අඬානං ධාතුසො ව සත්තා සංසන්දිංසු, සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ව සත්තා සංසන්දිස්සන්ති, සමෙස්සන්ති, හීනාධිමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති. සමෙස්සන්ති. එතරහි’පි ඛො භික්ඛවේ පච්චුප්පන්නං අද්ධානං ධාතුසො ව සත්තා සංසන්දන්ති, සමෙන්ති. හීනාධීමුත්තිකා හීනාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති, සමෙන්ති.’

(ධාතුසංයුත්ත 249 )

යනුවෙන් ‘මහණෙනි, යම්සේ අසූචිය අසූචිය හා සංසන්දනය වේ ද සම වේ ද මුත්‍රය මුත්‍රය හා සංසන්දනය වේ ද සම වේද කෙළ කෙළ හා සංසන්දනය වේ ද සම වේ ද සැරව සැරව හා සන්නසන්දනය වේද සම වේ ද, ලේ ලේ හා සංසන්දනය වේ ද සම වේ ද මහණෙනි, එමෙන් ධාතුන්ගේ සැටියට ම සත්ත්වයෝ සංසන්දනය වෙති. සම වෙති. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වෙති. සම වෙති. මහණෙනි, අතීතකාලයෙහි ද ධාතුන් අනුව ම සත්ත්වයෝ සංසන්දනය වූහ. සම වූහ. හීනාධිමුක්තිකයෝ හීනාධීමුක්තිකයන් හා සංසන්සනය වූහ. සමවූහ. මහණෙනි, අනාගත කාලයෙහි ද ධාතුන් අනුවම සත්වයෝ සංසන්දනය වන්නාහ. සම වන්නාහ. හීනාධිමුක්තිකයෝ හීනාධීමුක්තිකයන් හා සංසන්සනය වන්නාහ. සම වන්නාහ. මහණෙනි, මේ වර්තමාන කාලයෙහි ද ධාතුන් අනුවම සත්ත්වයෝ සංසන්දනය වෙති. සමවෙති. හීනාධිමුක්තිකයෝ හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වෙති. සම වෙති’ යි වදාළහ.

‘සෙය්‍යථාපි භික්ඛවෙ, ඛීරං ඛිරෙන සංසන්දති සමෙති, තෙලං තෙලෙන සංසන්දති, සමෙති. සප්පි සප්පිනා සංසන්දති, සමෙති. මධු මධුනා සංසන්දති, සමෙති. ඵාණීතං ඵාණිතෙන සංසන්දති, සමෙති. එවමෙව ඛො භික්ඛවේ, ධාතුසො’ ව සත්තා සංසන්දන්ති, සමෙන්ති. කළ්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සංසන්දන්ති, සමෙන්ති, අතීතම්පි භික්ඛවෙ අද්ධානං ධාතුසො’ ව සත්තා සංසන්දිංසු, සමින්සු. කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිංසු, සමිංසු. අනාගතම්පි භික්ඛවෙ, අද්ධානං ධාතුසො’ ව සත්තා සංසන්දිස්සන්ති, සමෙස්සන්ති. කළ්‍යාණාධිමුත්තිකා කළ්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දිස්සන්ති. සමෙස්සන්ති. එතරහි’ පි ඛො භික්ඛවෙ පච්චුප්පන්නා අද්ධානං ධාතුසො’ ව සංසන්දන්ති, සමෙන්ති කල්‍යාණාධිමුත්තිකා කල්‍යාණාධිමුත්තිකෙහි සද්ධිං සංසන්දන්ති සමෙන්ති.’

(ධාතුසංයුත්ත 249)

යනුවෙන් ‘කිරි කිරි හා ද, තෙල් තෙල් හා ද, ගිතෙල් ගිතෙල් හා ද, මී මී හා ද, පැණි පැණි හා ද, සංසන්දනය වන්නාක් මෙන් ධාතුන් අනුව සත්ත්වයෝ ඔවුනොවුන් සංසන්දනය වන්නාහ. සම වන්නාහ. කල්‍යාණාධිමුක්තිකයෝ කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සම වන්නාහ. අතීතයෙහි දඅනාගතයෙහි ද වර්තමානයෙහි ද සත්ත්වයෝ ධාතුන් අනුව ම සංසන්දනය වන්නාහ. සම වන්නාහ. කල්‍යාණාධිමුක්තිකයෝ කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන්නාහ. සම වන්නාහ’ යි වදාළ සේක.

ධාතුන් අනුව සත්ත්වයන් සංසන්දනය වීම ගැන තථාගතයන් වහන්සේ විසින් දක්වා ඇති සාධකයන් මෙසේය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වෙසෙන සේක. එසමහෙහි සැරියුත් මාහිමියෝ බොහෝ භික්ෂුන් සමග තථාගතයන් වහන්සේට නුදුරු තැනක සක්මන් කෙරෙති. මුගලන් මහ තෙරණුවෝ ද බොහෝ භික්ෂුන් හා භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක සක්මන් කරති. මහකසුප් තෙරණුවෝ ද, අනුරුදු තෙරණුවෝ ද, පුණ්ණ තෙරණුවෝ ද, උපාලි තෙරණුවෝ ද ආනන්ද තෙරණුවෝද දෙව්දත් තෙරණුවෝ ද බොහෝ බොහෝ භික්ෂූන් සමග භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන් වල සක්මන් කෙරෙති.

තථාගතයන් වහන්සේ ඒ සක්මන් කරන භික්ෂූන් දෙස බලා වදාරා සමීපයෙහි සිටි භික්ෂූන් අමතා සැරියුත් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහු මහාප්‍රාඥයෝය යි ද, මුගලන් මහතෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහූ සෘද්ධි ඇත්තෝ යයි ද, මහ කසුප් තෙරුන් වහන්සේ සහ සක්මන් කරන සියලූ භික්ෂුහු ධුතවාදීහු යයිද අනුරුදු තෙරුන් වහන්සේ සහ සක්මන කරන සියලූ හික්ෂුහු දිවැස් ඇත්තෝ ය යි ද, පුණ්ණ තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහු ධර්මකථීකයෝය යි ද, උපාලි තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂුහු විනයධරයෝ යි ද, ආනන්ද තෙරුන් වහන්සේ හා සක්මන් කරන සියලූ භික්ෂූහු බහුශ්‍රැතයෝ ය යි ද, දෙව්දත් තෙරුන් හා සක්මන් කරන සියලූ භික්ෂුහු පාපේච්ඡයෝය යි ද වදාරා, ධාතුන් අනුව සත්ත්වයන් සංසන්දනය වන බව හා හීනාධිමුක්තිකයන් හීනාධිමුක්තිකයන් හා සංසන්දනය වන බව ද, කල්‍යාණාධිමුක්තිකයන් කල්‍යාණාධිමුක්තිකයන් හා සංසන්දනය වන බව ද වදාළ සේක.

(ධාතුසංයුත්ත 248)

සැරියුත් මහ තෙරුන් වහන්සේ මහාප්‍රාඥ බැවින් මහාප්‍රාඥයෝ උන් වහන්සේට එකතු වෙති. මුගලන් මහතෙරුන් වහන්සේ ඝෘඬිමත් බැවින් සෘඬි ඇත්තෝ උන් වහන්සේට එකතු වෙති. මහකසුප් තෙරුන් වහන්සේ ධූතවාදී බැවින් ධූතවාදීහු උන්වහන්සේට එකතු වෙති. සෙස්සන් ගේ එකතු වීම ද එසේ සමාන කම්වලින් ම විය. සමාන අදහස් ඇතියන් එකතු වන බවට සාධක වශයෙන් විභංග අටුවාවෙහි මේ කථාව දක්වා තිබේ.

ත්‍රිපිටක චූලාහය තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාව සඳහා භික්ෂූන් පන්සීයයක් සමඟ වඩනා කල්හි මිනිසුන් එක් ගමකට වැඩම කරන ලෙස ආරාධනා කළෝය. උන්වහන්සේ පිරිස සමඟ එහි වැඩම කළහ. සමීප විහාරයෙහි භික්ෂුහු ද එහි වැඩම කළහ. චූලාභය තෙරුන් වහන්සේගේ පිරිසෙහි නො සරුප් පැවතුම් ඇති එක් භික්ෂුවක් විය. සමීප විහාරයේ ද එබඳුම භික්ෂුවක් විය. ඒ දෙනම අතර කලින් කිසි හැඳිනිමක් සම්බන්ධකමක් නො තිබිණි. එහෙත් ඒ දෙනම ඔවුනොවුන් දුටු සැටියේම මිත්‍ර වී සිනාසෙමින් කථා කරමින් සිටියහ. තෙරුන් වහන්සේ ඔවුන් දැක ‘සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැන ගෙනම ධාතුසංයුත්තය වදාළහ’ යි කීහ. මෙසේ සත්ත්වයන්ගේ අධිමුත්ති දැන තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයාට ගැලපෙන පරිදි දහම් දෙසන්නාහ සෙස්සන්ට එසේ නො කළ හැකි ය.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

06 සවන තථාගත බලය

සත්වයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියන් දියුණු වුණු නුවුණු බව දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති, යම්’ පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.’

මෙයින් දැක්වෙන්නේ අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් මෝරා ඇති බව හා නැති බව දැනෙන්නා වු ඉන්ද්‍රිය පරෝපරියත්තඤාණය එක් තථාගත බලයක් බව ය. ඉන්ද්‍රියන් මෝරා ඇති බව හෝ නැති බව හෝ ඒ ඒ සත්වයෝ නො දනිති. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන් ගේ ඉන්ද්‍රිය තත්ත්වය සලකා බලා ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක. එසේ දැන කරන ධර්ම දේශනය සර්වාකාරයෙන්ම සාර්ථක වේ. පුද්ගල තත්ත්වය නො දැන දහම් දෙසන්නවුන් ගේ දේශනා සාර්ථක වන්නේ කලාතුරකිනි. විඟඬ්ගපාළියෙහි මේ ඥානය විස්තර කර ඇත්තේ:-

‘ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුචිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.’

යනුවෙනි ‘තථාගත තෙමේ සත්ත්වයන් ගේ ආශය දනිති, අනුශය දනිති, චරිත දනිති, අධිමුක්ති දනිති. නුවණැසෙහි මඳ රාගාදි රජස් ඇත්තා වූ ද, නුවණැසෙහි බොහෝ රාගාදි රජස් ඇත්තා වූ ද, තියුණු ශ්‍රඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, නො තියුණු ශ්‍රාඬාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් ආශයාදිය ඇත්තා වු ද, නොමනා ආශයාදිය ඇත්තා වූ ද, ධර්මය තේරුම කර දීම පහසු වූ ද, ධර්මය තේරුම කර දීම අපහසු වූ ද, මඟ පල ලැබීමට භව්‍ය වු ද, මඟ පල ලැබීමට අභව්‍ය වු ද සත්ත්වයන් දනිති’ ය යනු එහි තේරුම ය. අන්‍ය සත්ත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ ආශයාදිය දන්නා නුවණ ඉන්ද්‍රියපරෝපරියත්තඤාණය බව එයින් දක්වන ලදී.

ආශය යනු වාසය කරන ස්ථානය ය. යමෙක් යම්කිසි කරුණක් මෙය මෙසේමය යි තදින් පිළිගෙන එය ම මූලකාරණය කරගෙන එහි පිහිටා කටයුතු කෙරේ නම්, ඒ කරුණත් වාසස්ථානයකට සමාන වන බැවින් එයට ද ආශයයි කියනු ලැබේ. ‘සත්තානං ආසයං පජානාති’ මෙහි ආශය නමින් කියැවෙන්නේ එබඳු කරුණු ය. මිථ්‍යාදෘෂ්ටිය හා යථාභූතඥාන නම් වු සම්‍යක්දෘෂ්ටිය එබඳු කරුණූ දෙකකි. මෙහි ආශය නමින් කියනුයේ ඒ ධර්ම දෙකය.

ලෝකයෙහි ඇතමෙක් ආත්මය නිත්‍ය දෙයකැයි ගනිති. ඇතැමෙක් ආත්මය ශරීරය සමඟම නැසෙන අනිත්‍ය දෙයකැ යි ගනිති. ඇතමෙක් ආත්මය පර්‍ය්‍යන්තයක් නැති විශාල දෙයකැයි ගනිති. ඇතෙමෙක් පර්‍ය්‍යන්ත පරිච්ජේදය ඇතියකැයි ගනිති. ඇතැමෙක් ශරිරය ආත්මය යන දෙක ම එකකැ යි ගනිති. ඇතමෙක් ශරීරය ආත්මය යන දෙක දෙකකැ යි ගනිති. ඇතමෙක් ආත්මය මරණින් පසුද ආත්මය නිරෝගීව ඇතැය යි ගනිති. ඇතැමෙක් මරණින් පසු ආත්මයක් ඉතිරි නො වෙතැයි ගනිති. ඇතමෙක් මරණින් මතු ඇතැමුන්ගේ ආත්ම ඇත, ඇතැමුන්ගේ ආත්ම නැතය යි ගනිති. ඇතැමෙක් මරණින් මතු ආත්මයක් ඇත්තේ ද නො වේ නැත්තේ ද නොවේ යයි ගනිති. මරණින් මතු ආත්මය ඇතය යි ගැනීම ශාශ්වත දෘෂ්ටි නම් වේ. ආත්මය මරණින් සිඳේය නැතිවේ ය කියා ගැනීම උච්ජේද දෘෂ්ටි නම් වේ. ශාස්වත දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ ශාශ්වත දෘෂ්ටිය මුල් කර ගෙන ය. උච්ජේද දෘෂ්ටිය ගතුවන් තමන්ගේ වැඩ කරන්නේ උච්ජේද දෘෂ්ටිය මුල් කර ගෙන ය. එබැවින් ඒ දෘෂ්ටි දෙක ඔවුනට වාසස්ථානයක් බඳු වන බැවින් ආශය නම් වේ.

ලෝකයෙහි ඇතමෙක් සත්පුරුෂාශ්‍රය ලැබ සද්ධර්මශ්‍රවණය කොට ශාශ්වතෝච්ජේද සංඛ්‍යාත දෘෂ්ටි දෙකට නො බැස අවිද්‍යා දී හේතුන්ගේ හා සංස්කාරාදි ඵලයන්ගේ වශයෙන් සංසාර ප්‍රවෘත්තිය දක්නා වු අනුලෝමිකක්ෂාන්තිය යි කියනු ලබන විදර්ශනා ඥානය ලැබ ඒ විදර්ශනා ඥානය අනුව එහි පිහිටා ක්‍රියා කෙරෙති. ඇතමෙක් යථාභූතඥාන නම් වු මාර්ගඥානය ලැබ එහි පිහිටා එයට අනුව ක්‍රියා කෙරෙති. එබැවින් විදර්ශනාඥානය හා මාර්ගඥානය ද ආශය නම් වේ. ශාශ්වතෝච්ජේද දෘෂ්ටි දෙක ලාමක සත්වයාගේ ආශය ය. අනුලෝමිකක්ෂාන්තිය හා මාර්ගඥානය ශුද්ධ සත්වයන්ගේ ආශය ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන සත්ත්වයන්ගේ ආශය දැන ඔවුනට සුදුසු පරිදි දහම් දෙසන සේක.

ශාශ්වතදෘෂ්ට්‍යාදිය ආශය කොට ඇත්තා වූ පුද්ගලයන් තුළ ඒ දෘෂ්ට්‍යාදිය නිරතුරු ව පවත්නේ නොවේ. පුද්ගලයා අන් සිතකින් අන්‍යක්‍රියාවක යෙදී ඉන්නා අවස්ථාවේදී ද තථාගතයන් වහන්සේ ඒ ඒ පුද්ගලයා ගේ ආශය දන්නා හ. එබැවින් තමන් වහන්සේ වෙත පැම්ණෙන කා හටත් ඔවුන්ගේ ආශය බලා සුදුසු සේ දසම් දෙසීම තථාගතයන් වහන්සේට කළ හැකිය. ධනය රැස් කර ගෙන අඹුදරුවන් ඇති කරගෙන පස් කම් සැප විඳිමින් එහි ඇලී ගැළී සිටින ඇතැම්හු නෛෂ්ක්‍රම්‍යගරුකයෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ඇත්තෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය යනු කාමයන් හැර දැමීමේ අදහස ය. තථාගතයන් වහන්සේ එ බව දනිති. ඒ බව දැන ඔවුනට සුදුසු ධර්මයක් දේශනය කළ කල්හි ඔවුන් කෙරෙහි යටපත් වී ඇති නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය මතු වී අවුත් මඟපල ලබති. ඇතැමෙක් පැවිදි වෙති.

තථාගතයන් වහන්සේ බුදු වු අලූත ලෝකයෙහි රහතුන් සැටඑක් නමක් ඇති වූ පසු ඒ රහතුන් ලෝකයේහි ධර්මය පැතිරවීම සඳහා පිටත් කර යවා උරුවෙල් දනවුවට වැඩම කරන සේක්, අතරමග එක් වනයක පිවිස ගසක් මුල වැඩහුන් සේක. එදින භද්‍රවර්ගික නම් කුමාරවරු තිස් දෙනෙක් ද කම් සැපයෙන් විනෝදය ලබනු රිසියෙන් ස්ත්‍රීන් ද කැඳවා ගෙන ඒ වනයට පැමිණ සිටියෝ ය. බිරියක් නැති කුමරෙකු විසින් එදා කැඳවාගෙන ආ ගණිකාවක් ඔවුන්ගේ බඩු ද ගෙන පලා ගියාය. කුමාරයෝ ඇය සොයමින් වනයෙහි ඇවිදිනාහු තථාගතයන් වහන්සේ දැක උන්වහන්සේ වෙත ගොස් ‘ස්වාමීනි, ස්ත්‍රියක් දුටුසේක් දැ’ යි විචාළහ. ‘කුමාරවරුනි, තෙපි කුමට ස්ත්‍රියක් සොයන්නහුදැ’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ස්වාමීනි, අපගේ එක් යහළුවෙක් ඔහුට බිරියක් නැති බැවින් ගණිකාවක් කැඳවා ගෙන ආවේ ය. ඕ අපගේ ප්‍රමාදයක් බලා බඩුත් ගෙන පළා ගියා ය. අප යහළුවාට උපකාර පිණිස ඇය සොයමින් ඇවිදින්නෙමු’ යි ඔවුහු කීහ. එකල්හි තථාගතයන් වහන්සේ ‘කුමාරවරුනි, තොපට ගැහැනියක සොයමින් ඇවිදිනවාට වඩා තමන් ගැන සෙවීම නරකදැ’ යි වදාළහ. ‘ස්වාමීනි අපට තමන් ගැන සෙවීම නම් වඩා හොඳය’ යි ඔවුහු කී හ. ‘එසේ නම් කුමාරවරුනි, හිඳිගනිව් තොපට දහම් දෙසමි’ යි තථාගතයන් වහන්සේ වදාළහ. ඔවුහු තථාගතයන් වහන්සේ වැඳ දහම් අසනු පිණිස හිඳගත්තෝ ය. අන් ධර්මධරයෙක් නම් කාමයෙන් මත්ව මෙසේ වනයෙහි සල්ලාල කමින් ඇවිදිමින් සිටින ඒ පිරිසිට කාමායෙන් ඈත්ව වෙසෙන උදාර අදහස් ඇතියන්ටම සුදුසු වන කෙලෙසුන්ට විරුද්ධ වන මේ ධර්මය දේශනය නො කරන්නේ ය. ඔවුන් විසින් දහම් දෙසන්නට ආරාධනා කළ ද ඔවුහු දහම් දෙසීමට සුදුසු පිරිසක් නො වෙති යි’ සිතා දහම් නො දෙසන්නාහ. තථාගතයන් වහන්සේට ඔවුන් තුළ ඇති නෛෂ්ක්‍රම්‍ය ගරුකත්වය නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය පෙනෙන බැවින් ඔවුනට දහම් දෙසූ සේක, දහම් ඇසුවා වූ ඔවුනට ඒ ධර්මය අවබෝධ වී සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත ධර්මචක්ෂුස පහළ වී සැම දෙනම තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්හ.

(මහාවග්ග පාළි)

පැවිදිව සිටියද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය නැති කාමය ම ගරු කරන කාමාධ්‍යාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර ද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනාගන්නාහ. රූපනන්දා භික්ෂුණිය එබඳු තැනැත්තියකි. ඇය පැවිදිවුයේ ඥාතීන් පැවිදි වු නිසා ය. ඕ මාගේ වැඩිමහලූ සහෝදරයා පැවිදි ව ලොවුතුරා බුදු විය. ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය. මාගේ සැමියා ද පැවිදි විය. මව ද පැවිද විය. මෙතෙක් දෙනා පැවිදි වු කල්හි මට ගෙයි රැදී සිටීමෙන් පලක් නැතය’ සිතා භික්ෂුණි ආශ්‍රමයකට ගොස් පැවිදි වූවා ය. රූප ගරක වූ ඕ ’ තථාගතයන් වහන්සේ රූපය අනිත්‍යය, දුකය, අනාත්මය යි දහම් දෙසති’ යි භික්ෂුණින්ගෙන් අසා ‘තථාගතයන් වහන්සේ ඉදිරියට ගිය හොත් මෙතරම් ශෝභන වූ මාගේ රූපයෙහි දොස් දක්වන්නාහ’ යි බුදුන් දක්නට ද නො යන්නී ය. තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට යන්නෝ පැහැදී නොයෙක් අයුරිව් බුදුගුණ වර්ණනා කරති. රූපනන්දා භික්ෂුණිය භික්ෂුණීන් විසින් හා උපාසිකාවන් විසින් කියන බුදු ගුණ අසා ‘මොවුහු මාගේ සහෝදරයාගේ ගුණ බොහෝ කියන්නාහ. බුදුන් වහන්සේ රූපයේ දොස් කියතත් එක් දිනයකදීම එතරම් රාශියක් නො කියනු ඇත. මම ද උන්වහන්සේට නො දැනෙන ලෙස භික්ෂුණීන්ගේ මුවාවෙන් ගොස් එක් දිනක් උන්වහන්සේ දැක දහම් අසා එමි’ යි සිතා ‘මම ද අද දහම් ඇසීමට එමි’ යි භික්ෂුණීන්ට කීවා ය.

සත්ත්වයන්ගේ ශරීර පමණක් නොව සිත් ද පෙනෙන ආශය – අධිමුක්ති පෙනෙන තථාගතයන් වහන්සේට නො දැනෙන්නට නො පෙන්නට කිසිවකුට උන්වහන්සේ වෙත නො යා හැකිය. රූපනන්දා සිතනු සමඟ තථාගතයන් වහන්සේ ඇය තමන්වහන්සේ වෙත පැමිණෙන බව දැන ගත් සේක. උන්වහන්සේ ඇයට කිනම් ධර්මයක් සුදුසු වේ දැයි සිතන්නාහු කටුවකින් කටුවක් ඉවත් කරන්නාක් මෙන් රූපගරුක වූ ඇගේ රූපතණ්හාව හා රූපමදය රූපයකින්ම දුරු කිරීම සුදුසු බව දැන වදාරා ඇය පැමිණෙන කල්හි ඇගේ රූපයට වඩා සිය ගුණයක් ශෝභන වූ රූපය ඇති සර්වාලංකාරයෙන් සැරසුණු තරුණ කතක රුවක් උන්වහන්සේට පවන් සලමින් ඉන්නා ආකාරයෙන් නිර්මාණය කර තැබූහ. ඒ රුව පෙනෙන්නේ තථාගතයන් වහන්සේට හා රූපනන්දා භික්ෂුණියට පමණෙකි. රූපනන්දා තථාගතයන් වහන්සේ වෙත ගොස් වැඳ උන්වහන්සේ සමීපයේ වු ඉතිරි රුව දැක, මේ කත සමීපයේදී මගේ රුව හංසියක ඉදිරියේ කැවිඩි රුවක් වැනිය’ යි තමාගේ රූපය ඕ තොමෝ ම පහත් කොට සිතුවා ය. ඇගේ රූප මදය බොහෝ දුරට සන්සිඳී ගියේ ය. ඇගේ සිත ඒ රූපයට ඇදී ගියේය. ඕ ඒ රූපායේ අවයව සියල්ල එකිනෙක බලමින් ඒවායේ ලස්සන සිතුවා ය. තථාගතයන් වහන්සේ රූපනන්දා භික්ෂුණියගේ සිත නිර්මිත රූපයට ඇදී ඇති බව දැක දහම් දෙසමින් ම ඒ රූපය මඳින් මඳ වෙනස් කලහ. මුලින් සෙළොස් අවුරුදු වයසේ සිටින්නියක බඳු ඒ රූපය විසි අවුරුදු වයසෙහි සිටින රුවක් කළහ. ඉක්බිති දරුවෙකු ලැබූ ඉතිරියක් බවට ද, මැදිවියේ සිටින රුවක් බවට ද, කෙස් පැසුණු ඇඟ රැළි වැටුණු දත් සැලූණු – කුදු ගැසුණු සැරමිටියක් ගත් ඉතිරි රුවක් බවටද පත් කොට දැක්වූහ. ඒ වෙනස් වීම දැකීමෙන් ඇගේ රූපරාගය දුරු වී ගියේ ය. ඉක්බිති ඒ රූපය රෝගාතුර කොට දැක්වූහ. එකෙණෙහි ඒ රුව බිම ඇද වැටී මහහඩින් කොඳිරිගාමින් මලමුත්‍ර ගොඬේ ඒ මේ අත පෙරළෙන්නට විය. රූපනන්දා රූපය කෙරෙහි අතිශයින් ම කලකිරිණ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ රුව මළසිරුරක් කොට දැක්වූහ. එකෙණෙහි ම එය ඉදිමී එහි නවදොරින් ලේ සැරව හා පණු කැදලි වැගිරෙන්නට විය. බලූ කපුටු ආදීහු පැමිණ මළ සිරුර කන්නට විය. රූපනන්දා භික්ෂුණිය සියල්ල බලා සිට, ‘මේ ස්ත්‍රිය මෙතැන්හි ම ජරපත් වූවා ය. රෝගාතුර වූවා ය. මරණයට පත් වූවා ය. මාගේ මේ ශරිරයටත් එසේ ම ජරා – ව්‍යාධි – මරණ පැමිණෙන්නේ ය’ යි ආත්මභාවයේ අනිත්‍යතාව දුටුවා ය. ඇයට භවත්‍රය ගිනිගත් ගෙවල් සේ පෙනිණ. කරේ එල්ලූ කුණපයක් සේ පෙනිණ. ඇගේ සිත කර්මස්ථානාභිමුඛ විය. තථාගතයන් වහන්සේ ඇයට උපකාර වීම පිණිස:

‘ආතුරං අසූචිං පූතිං – පස්ස නන්දෙ සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං – බාලානං අභිපත්තිතං,

යථා ඉදං තථා එතං – යථා එතං තථා ඉදං

ධාතුසො පුඤ්ඤතො පස්ස – මා ලොකං පුනරාගාමි,

භවේ ජන්දං විරාජෙත්වා – උපසන්තො චරිස්සසි.’

යන ගාථා වදාළ සේක ඒ දේශනාව අනුව සිත යවා භික්ෂුණිය සෝවාන් ඵලයට පැමිණියා ය. ඉක්බිති තථාගයන් වහන්සේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස,

“අට්ඨීනං නගරං කතං – මංසලොහිතලෙපනං
යත්ථ ජරා ච මච්චූ ච – මානො මක්ඛො ච ඔහිතො”

යන ගාථාව වදාළ සේක. එය අසා රූපනන්දා භික්ෂුණිය ඉතිරි මඟපලවලට පිළිවෙළින් පැමිණ සව්කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියා ය.

(ධම්මපදට්ඨ කථා)

නපුරුකම් කරමින් සිටින්නා වු ඇතැම්හු අව්‍යාපාද ගරුකයෝ ය. කරුණාධ්‍යාශය ඇත්තෝ ය. ඔවුන් නපුරුකම් කරමින් සිටියදී ම තථාගතයන් වහන්සේ ඒ බව දන්නාහ. අංගුලිමාල මිනීමරමින් සිටියදී ම තථාගතයන් වහන්සේ ඔහු වෙත ගොස් ඔහුට දහම් දෙසුවේ උන්වහන්සේට ඔහුගේ අව්‍යාපාද ගරුකත්වය පෙනුණු නිසා ය. අනුන්ට බොහෝ උපකාර කරමින් ඉන්නා වූ ද ඇතැම්හු ව්‍යාපාද ගරුකයෝ ය. නපුරෝ ය. ඔවුන් අනුන්ට යහපත කරමින් ඉන්නා විටම තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ව්‍යාපාද ගරුක භාවය දැන ගන්නාහ. ශාන්තව සිටිය ද කිපෙන ස්වභාවය ඇති බවට වේදේභිකාගේ කථාව නිදසුනෙකි.

සැවැත් නුවර වේදේහිකා නම් ගැහැනියක් වූවා ය. ඇයට කටයුත්තෙහි දක්ෂ අනලස කාළි නම් දාසියක් වූවා ය. ‘වේදේහිකා අන් ගැහැනුන් සේ කුරිරු නැත. උඩඟු නැත. වේදේහිකා බොහොම හොඳය’ කියා ඇගේ ගුණ බොහෝ දෙනා කියන්නට වූහ. ඇගේ කීර්ති රාවය අසා කාළි සිතන්නී ‘වේදේහිකාගේ ගුණ බොහෝ දෙනා කියන්නාහ. ඇය මෙසේ ශාන්තව සිටින්නේ මා විසින් හොදට වැඩ කරන නිසා ද, නැතහොත් ඇගේ ගුණවත්කම නිසා දැ යි විමසිය යුතුය’ යි සිතා එක් දිනක් දවල් වන තුරු නිදා ගත්තා ය. එදින වේදේහිකා නො සතුටු ව බොල කාළියේ, මෙ පමණ දවල් වන තෙක් නිදා ගත්තේ තිට කුමක් වෙලා දැ යි? ඇසුවා ය. මොකොවත් වෙලා නැතැ යි කාළී කීවා ය. මේ පව්කාර දාසී කිසි කරුණක් නැතිව දවල් වන තුරු නිදාගත්තී ය’ යි වෙදේහිකා කිපී රවා බැලුවා ය.

‘මාගේ ආර්‍ය්‍යායට කෝපය නැත්තේ නො වේ. මා හොඳට වැඩ කරන නිසා ඕ ඇත්තා වු කෝපය පිට නොකරන්නී ය’ යි කාළී සිතා ගත්තා ය. ඕ තොමෝ තවත් ඒ ගැන විමසන්නට සිතා පසු පසු දින තවත් දවල් වන තුරු නිදා ගත්තා ය. වේදේහිකා ‘තී මෙපමණ දවල් වන තුරු නිදා ගත්තේ තිට කුමක් වෙලා දැ’ යි ඇසුවා ය. ‘කිසිවක් වී නැත, ආර්‍ය්‍යාවෙනි’ යි කාළී කීවා ය. එදා වේදේහිකා කිපී කාළීට සැර කළා ය.

වේදේහිකා ගේ කෝපය ගැන තවත් විමසුනු පිණිස කාළී තුන්වන දිනයේ තවත් දවල් වී නැගිට්ටාය. එදින වේදේහිකා ‘කුමට මෙපමණ දවල් වන තෙක් නිදන්නී දැ’ යි කාළිගෙන් අසා ‘කිසි කරුණක් නැත’ ය යි කී කල්හි හොඳට ම කිපී දොරට දමන පොල්ල ගෙන කාළීට ගසා ඇගේ හිස පැලූවා ය.

කාළී හිසෙන් ලේ ගලමින් තිබියදී ම සමීප ගෙවලට ගොස් ‘නුඹලා හොඳය කියන වේදේහිකාගේ සැටි බලන්න. ඕ තොමෝ දවල් වී නැගිට්ටාය කියා එක දාසියක් ඇති ගෙදර වැඩ සියල්ලම තනිව කරගෙන සිටින මට පොල්ලකින් ගසා මාගේ ඔලූව පැලූවා ය’ යි කීවා ය. වේදේහිකාගේ කීර්තිය එයින් කෙළවර විය. වේදේහිකා වැනි අයගේ කෝප වන ස්වභාවය ඔවුන් ශාන්තව සිටින විට ම තථාගතයන් වහන්සේ දන්නාහ.

(කකචූපම සුත්ත)

අනුශය යන අප්‍රහීන භාවයෙන් සත්ත්වසන්නාතයෙහි පවත්නා කාමරාගාදීහු ය. කාමරාගානුශය, භවරාගානුශය, ප්‍රතිඝානුශය, මානානුශය. දෘෂ්ට්‍යානුශය, විචිකිත්සානුශය, අවිද්‍යානුශය යි අනුශය නාමයෙන් දැක්වෙන ධර්මයෝ සත්දෙනෙකි.

ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එහි බලයෙන් කාමරාගාදිය ප්‍රහාරණය නො කළ සහමුලින් නො නැසූ පුද්ගලයන්හට කාමරාගය ඇති වීමට හේතු වන සුන්දර රූපයක් මුණගැසුණු විටදී කාමරාගය උපදී. මාර්ගයෙන් කාමරාගය ප්‍රහාණය කළ අනාගාමීන්ට හා රහතුන්ට කොතරම් ශෝභන රූපයක් මුණ ගැසුණ ද කාමරාගය නූපදී. රාගයට හේතු වන ආරම්මණ ලද පෘථග්ජනයාට කාමරාගය ඇති වන්නේත් අනාගාමීන්ට හා රහතුන්ට එය ඇති නො වන්නේත් කිනම් කරුණකින් දැ යි විමසිය යුතු ය. ඉෂ්ටාරම්මණය මුණගැසීමේදී පෘථග්ජනයාට කාමරාගය ඇති වන්නේ ඔහු තුළ ඒ කාමරාගය එක්තරා සියුම් ආකාරයකින් තිබුණූ බැවිනි. අනාගාමීන්ට හා රහතුන්ට ඇති නො වන්නේ ඔවුන් තුළ එසේ පවත්නා කාමරාගයක් නැති නිසා ය. ඉෂ්ටාරම්මණය මුණ ගැසුණු විට පෘථග්ජනයාට කාමරාගය නැගී එන නිසා ඔහු තුළ කාමරාගය ඇති වන බව කියනු මිස ඔහු තුළ අසවල් තැන අසවල් ආකාරයෙන් ඒ කාමරාගය රැඳී ඇතය කියා දැක්විය හැකි ආකාරයකින් ඒ කාමරාගය නැත. නො දැක්විය හැකි ආකාරයෙන් අන්‍යන්ට තබා, ඇති පුද්ගලයාට ද, ඇති බව නො දැනෙන්නා වු ආකාරයෙන් පවත්නා ක්‍රියාකාරිත්වයක් නැති ක්ලේශයන් නිදා සිටින්නවුන් වැනි නිසා ඒවාට අනුශය යි කියනු ලැබේ. කරුණක් ලැබ උපන් කල්හි ද ඒවාට ඒ නමම කියනු ලැබේ. අනුශයිත ක්ලේශය ඉතා සියුම් ය. ඒවා සත්ත්වසන්තානයෙහි නිරතුරුවම ඇත්තේ ය. එහෙත් කුශලයට ඒවායින් බාධාවක් නැත. දන් දෙන තැනැත්තා කෙරෙහි දන් දෙන වෙලාවේදී ඒවා ඇත. භාවනා කරන තැනැත්තාට භාවනා කරන වේලාවෙහි ද ඒවා ඇත. ධ්‍යාන ලබා ධ්‍යානයට සමවැදී ඉන්නා තැනැත්තා කෙරෙහි ද ඒවා ඇත. සෝවාන් සකෘදාගාමී අනාගාමී පුද්ගලයන් කෙරෙහි ද ඇතැම් අනුශය ධර්ම ඇත. ඒවා නැත්තේ රහතුන් කෙරෙහි පමණෙකි.

ඇතැමෙන් කෙරෙහි අනුශයිත කෙලෙස් වර්ෂ බොහෝ ගණන්, වරකුදු නැඟ එන්නේ නැති ව අනුශයිතාකාරයෙන් ම පවතී. ඇතය කියා සැලකීමට කිසිම ලකුනක් නැති ඒ කෙලෙස් තමා තුළ ඇති බව ඒ පුද්ගලයෝ ද නො දනිති. එහෙත් තථාගතයන් වහන්සේ එවා දනිති. සත්පුරුෂයන් සේවනය කරන, ධර්මය සේවනය කරන, නුවණ ඇති අයට අනුශයිත කෙලෙසුන් නැගී එනවා අඩු ය. අපට ලෝභය නැත, රාගය නැත, ක්‍රෝධය නැත, අප පව් කරන්නේ නැත කියා ඒ කෙලෙස් නැගී සිටීමේ අඩුකම නිසා ඇතැම්හු තමන් ගැන රැවටෙති. සමහර විට කලාන්තරයක් නො නැඟිට සිටි ක්ලේශය නිතර නැඟී එන ක්ලේශයට වඩා නපුරු අන්දමින් නැඟී එන්නේ ය. එයට සාධක බොහෝ දැක්විය හැකි ය.

එක් කලෙක අප මහබෝසතාණෝ ධ්‍යාන උපදවා කාමරාගය යටපත් කර ගෙන සිට බඹලොව ඉපිද එහි ද බොහෝ කලක් කාමරාගය යටපත් කරගෙන සිට එයින් චුත ව මිනිස්ලොව රජ ගෙදරක උපන්හ. දිර්ඝ කාලයක සිට කාමරාගය යටපත් කරගෙන සිටින කුමරා ස්ත්‍රීන් දැකීමට පවා කැමති නො වීය. ඔහු ස්ත්‍රීන් අත නො සිටින්නේ ය. ස්ත්‍රීයක් අතට ගත හොත් කුමාරයා හඬන්නට වන්නේ ය. ඔහුට කිරි පෙවීම සඳහා කිරි මව්වරුන්ට පිරිමි වෙස් ගන්වන්නට සිදු විය. ඔහු වැඩිවිය පැමිණ පසු ද විවේකාගාරයකට වී ධ්‍යානයෙන් වාසය කළේ ය. එසේ සම්පූර්ණයෙන් ස්ත්‍රින්ගෙන් ඈත් වී සිටින කුමාරයාගේ අනුශයිත කාම රාගය රජුගේ මෙහෙයීමෙන් තරුණ නාටිකාවක් විසින් ප්‍රබෝධ කරනු ලැබී ය. ඔහුට කාමරාගය කොතරම් බලවත් ලෙස නැගී සිටියේ ද කියත හොත් කාමරාගයෙන් අන්ධ වී ‘මේ කාමරසය මා විසින් පමණක් විඳිය යුතුය, සෙස්සන්ට මේ රසය ලැබීමට ඉඩ නො දිය යුතුය’ යි ඔහු පුරුෂයන් මරන්නට පටන් ගත්තේ ය. එයින් පිය රජුට ඔහු රටෙන් පිටු වහල් කරන්නට සිදු විය. විස්තර ජාතක පොතෙන් දත හැකි ය. මහාපලෝභන ජාතකය යන නමින් මේ කථාව ජාතක පොතේ දක්වා තිබේ.

චරිතය යනුවෙන් මෙහි දැක්වෙන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් අතීතයෙහි කර ඇති පින්පව් දෙක ය. ‘කතමඤ්ච සත්තානං චරිතං? පුඤ්ඤාභිසංඛාරෝ, අපුඤ්ඤාභිසංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරෝ පරිත්තභූමකො වා මහාභූමකො වා ඉදං සත්තානං චරිතං’ යනුවෙන් ඒ බව විභංගපාළියෙහි දක්වා ඇත්තේ ය. අතීතයෙහි කළ පින් පව් දෙකොටස ම සකල සත්ත්වයනටම ඇත්තේ ය. සිටු වීමට රජ වීමට රහත් වීමට තරම් අතීතයෙහි කළ පින් ඇත්තා වූ අය සමහර විට කිසි පිනක් නැතියවුන් සේ ඉතා පහත් අන්දමින් ජිවත් වෙති. බුදුරදුන් ජීවමාන කාලයේ රජගහනුවර විසූ සුනීත නම් සැඩොලා එබඳු කෙනෙකි

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

07 සත්වන තථාගත බලය

ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’

ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත අෂ්ට විමෝක්‍ෂයන්ගේ ද සවිතර්කසවිචාර සමාධ්‍යාදි තෙවැදෑරම් සමාධීන්ගේ ද ප්‍රථමධ්‍යානසමාපත්‍යාදි නව වැදෑරුම් සමාපත්තීන්ගේ ද සංක්ලේශ – ව්‍යවදාන – ව්‍යුත්ථාන දන්නා නුවණ තථගත බලයක් බව එයින් දැක්විණ.

ධ්‍යානභාවනා කරන්නා වු ඇතැම්හු එය ගැන හොඳ දැනුමක් නැති බැවින් ධ්‍යානය ලබා ද තවම ධ්‍යානයක් ලැබී නැත යයි සිතති. තමන් වඩන කර්මස්ථානය නියම කර්මස්ථානයක් වුව ද අකර්මස්ථානයකැයි සිතති. ඇතමෙක් ධ්‍යාන නො ලැබ ම තමන් ධ්‍යාන ලබා ඇත ය යි සිතති. තමන් අකර්මස්ථානයක් වඩමින් එය කර්මස්ථානයකැ යි සිතති. සමහර විට භාවනාවෙහි යෙදී සිටිනා අතර ඇතැම්හු නිද්දට වැටෙති. ධ්‍යානය නො ලැබම ධ්‍යාන ලදිමුය යි සිතන්නවුන් එසේ සිතන්නේ නින්ද ධ්‍යානය යි සිතා ගැනීමෙනි. මෙකල ඇතමුන් සමාධි වීමු යි කියන්නේ ද මේ නින්දට වැටීමෙනි. තථාගතයන් වහන්සේ සෑම දෙනාගේම ධ්‍යානාදිය පිළිබඳ නියම තත්ත්වය දන්නාහ. එය සත්වන තථාගත බලය ය.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

08 අටවන තථාගතබලය

අතීත ජාති දන්නා නුවණ

“පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී එව’ මායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං තත්‍රාපාසිං ඒවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධුපපන්නොති, ඉති සාකාරං සඋද්දෙසං අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං? එකම්පි ජාතිං ද්වෙපි ජාතියෝ -පෙ – ඉතිං සාකාරං සඋද්දෙසං? අනෙකවිභිතං පුබ්බෙනිවාසං අනුස්සරති ඉදම්’ පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති-පෙ- පවත්තෙති. ”

මේ පාඨයෙන් දැක්වෙන්නේ තමන් වහන්සේගේ අතීත භව පරම්පරාව දක්නා නුවණ තථාගතයන් වහන්සේගේ එක් ඥානබලයක් බව ය. තමන් වහන්සේ අතීතයෙහි මෙබඳු නාමයකින් මේ නම් ගෝත්‍රයක් ඇති ව මෙ බඳු ආහාර පාන ඇති ව මෙ බඳු සුව දුක් ඇති ව මෙ පමණ ආයු ඇතිව විසුවෙමි ය. ඉන් චුත ව අසවල් තැන උපන්නෙමි ය. එහි මෙ බඳු ශරිරයක් විය. මෙ බඳු පැහැයක් ඇත්තේ වීමි ය. මෙ බඳු නමක් විය. අසවල් ගෝත්‍රය විය. මේ මේ දේ ආහාර කොට ගතිමි ය. මෙ බඳු සුව දුක් ලැබීමි ය. මේ පමණ ආයුෂ විය මෙසේ පිරිසිදු ලෙස ම අනේකකල්පකොටීන්හි තමන් වහන්සේ උපන් අතීත ජාතීන් භාග්‍යවතුන් වහන්සේලා දන්නා සේක.

පර්‍ය්‍යන්ත පරිච්ජේදයක් නැති ව කැමති පමණක් අතීත ජාතීන් දැකිය හැකි නුවණක් ලොවුතුරා බුදුනට ඇත්තේ ය. එක්තරා ප්‍රමාණයක්න් අතීතජාති දැකීමෙහි සමත් පුද්ගලයො ඇතහ. ඔවුන්ගෙන් ඇතමෙක් වර්තමාන ජාතියට සමීප වු අතීත ජාතිය පමණක් දකිති. ඇතමෙක් ජාති දෙක තුනක් සතරක් පසක් දකිති. ධ්‍යානාභිඥා ලබා ඇති ඇතැම් බාහිර තවුසෝ සතළිස් කපක අතීත ජාති දකිති. නාමරූප පරිච්ඡෙදයක් නැති බැවින් ඔවුන්ගේ නුවණ දුබල ය. ඒ බැවින් ඔවුහු සතළිස් කපින් ඔබ අතීතය දක්නට සමත් නො වෙති. ඔවුනට වඩා අධිකව නුවණ ඇති බැවින් තථාගතයන් වහන්සේගේ ඇතැම් ශ්‍රාවකයෝ කල්ප සියයක දහසක අතීතය දකිති. ඔවුනට වඩා නුවණැති බැවින් අසූ මහාශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක අතීතය දකිති. අග්‍ර ශ්‍රාවක දෙනම එකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අතීතය දකිති. පසේ බුදුහු කල්ප අසංඛ්‍ය දෙකක් හා ලක්ෂයක් අතීතය දකිති.

(විසුද්ධිමග්ග 307)

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

09 නවවන තථාගත බලය

සත්ත්වයනගේ ච්‍යුති උත්පත්ති දන්නා නුවණ.

‘පුන ච පරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්තමානුසකෙන සත්තේ පස්සති චවමානෙ උපපජ්ජමානේ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ යථාකම්මුපගේ සත්තෙ පජානිති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙත සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිචිඡාදිට්ඨීකා මිච්ඡාදිට්ඨීකම්ම සමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගිතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨී කම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුඬෙන අතික්කන්ත මානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෝ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථා කම්මුපගෙ සත්තෙ පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො-පෙ-බ්‍රහ්මචක්කං පවත්තෙති.’

ඒ ඒ භවයෙන් ව්‍යුත ව ඔවුන් කළ පින් පව් අනුව සත්ත්වයන් සුගති දුර්ගති දෙක්හි උපදනා හැටි තථාගතයන් වහන්සේ දක්නාහ. ඒ ඥානය නව වන තථාගතබලය යයි මේ පාඨයෙන් දැක් වේ. තථාගතයන් වහන්සේට එකිනෙකට මුහුණ ලා පිහිටි ගෙවල් දෙකක් සමීපයේ බලාසිටින්නකුට ඒ ගෙයින් මේ ගෙයටත් මෙ ගෙයින් ඒ ගෙයටත් යන එන අය පැහැදිලි ලෙස පෙනෙන්නාක් මෙන් ලෝකයෙහි ඒ ඒ සුගති දුර්ගති භව වලින් ච්‍යුත ව කර්මානුරූප ව සුගති දුර්ගති දෙක්හි උපදනා සත්තවයන් පෙනෙන බව දේවදූත සූත්‍රයෙහි ද දක්වා තිබේ.

මේ චුතූපපාතඤාණය ශ්‍රාවකයනට ද සාධාරණ ඥානයෙකි. වර්තමාන භවයේ ච්‍යුතිය පමණක් දකින අනාගතෝත්පත්තිය නො දක්තා පුද්ගලයන් සත්ත්වයා මරණික් කෙළවර වන්නේය යන උච්ජේද දෘෂ්ටිය ගන්නා බවත්, අතීතභවයේ ච්‍යුතිය නො දැක වර්‍තමානොත්පත්තිය පමණක් දක්නවුන් අලූත් සත්ත්වයෝ පහළ වෙති ය යන දෘෂ්ටිය ගන්නා බවත්, ච්‍යුති උප්පත්ති දෙක ම දැකීම දෘෂ්ටිවිශුද්ධීය පිණීස පවත්නා බවත් විශුද්ධිමාර්ගයේ කියා ඇත්තේ ය.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

10 දශවන තථාගත බලය

ආශ්‍රවක්ෂය ඥානය.

‘පුන ච පරං සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුක්තිං දිට්ඨෙ ව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ජිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්මා තථාගතො අසහං ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තෙති.’

(මහාසීහනාද සුත්ත)

තථාගතයන් වහන්සේ කාමාදි ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ආශ්‍රව රහිත වු අර්හත්ඵලසමාධිය අර්හත්ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව වර්ථමාන ආත්මභාවයේ ම අධික වූ ප්‍රඥාවෙන් තමන් වහන්සේ ම ප්‍රත්‍යක්ෂ කර ගෙන සම්පාදනය කරගෙන වාසය කරන්නාහ. එය තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් ය යන බව ඉහත දැක්වූ පාඨයෙන් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට වදාළ සේක.

දශබලඥාන සංග්‍රහ ගාථා

ඨානාඨානෙ විපාකෙ ච – මග්ගෙ සබ්බත්ථ ගාමිනා,
නානාධාතුම්භි ලොකස්මිං – අධිමුත්තිම්හි පාණිනං,
පරොපරියන්තේ ඤාණං – ඉන්ද්‍රියානඤ්ච ජන්තුනං
ක්‍ධනාදීසු ඤාණං පුබ්බෙ – නිවාසේ දිබ්බචක්ඛු ච,
ආසවක්ඛයඤාණකන්ති – දසඤාණබලං මතං

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7

තථාගත කාය බලය

තථාගතයන් වහන්සේට ඥානබල පමණක් නොව ලෝකයෙහි අන් කවරකුටවත් නැති පුදුම කායබලයක් ද ඇති බව අටුවාවල දක්වා තිබේ. ඒ මෙසේ ය:-

‘කාළාවකඤ්ච ගංගෙය්‍යං – පණ්ඩරං තබ්බ පිංගලං,
ගන්ධමංගල හෙමඤ්ච – උපොසථ ජද්දන්තිමෙ දස’

යනුවෙන් දැක්වෙන ඇත්කුල දශයක් ඇත්තේ ය. ඒ ඇත් කුල වලින් කාළාවක ඇතකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය. කාළාවකයන් දසදෙකුගේ බලය එක් ගංගෙය්‍ය ඇතකුට ඇත්තේ ය. ගංගෙය්‍යන් දසදෙනකුගේ බලය එක් පණ්ඩර ඇතකුට ඇත්තේය. පණ්ඩරයන් දසදෙනුකුගේ බලය එක් තම්බ ඇතකුට ඇත්තේ ය. තම්බයන් දස දෙනෙකුගේ බලය එක් පිංගල ඇතකුට ඇත්තේය. පිංගලයන් දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතකුට ඇත. ගන්ධයන් දෙනෙකුගේ බලය එක් මංගල ඇතකුට ඇත්තේය. මංගල ඇතුන් දස දෙනෙකුගේ බලය හේම ඇතකුට ඇත්තේය. හේමයන් දෙනෙකුගේ බලය උපෝසථ ඇතකුට ඇත. උපෝසථයන් දස දෙනකුගේ බලය ජද්දන්තකුලයේ ඇතකුට ඇත්තේ ය. ජද්දන්තයන් දසදෙනකුගේ බලය බුදුනට ඇත්තේ ය. ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ. මේ චක්‍රය අනුව කියන බුද්ධකායබලය සාමාන්‍ය ඇතුන් අනුව කියත හොත් කෝටි දහසක් ඇතුන්ගේ බලය ය. පුරුෂගණනින් කියතහොත් පුරුෂයන් කොටිදහසක බල ය.

සූවිසි මහ ගුණය  https://pitaka.lk/books/suvisi-gunaya/index.html#7