Dasa Punyak Kriya දස පුන්‍යක ක්‍රියා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබලධරස්ස චතුවේසාරජ්ජ විශාරදස්ස සබ්බසත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්ධස්ස !!!
භාග්යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම සහිත වූ දසබලධාරී වූ චතුර්වෛශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්සාමි වූ තථාගත වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි !!!

දශ පුන්‍යක්‍රියා

01 දානය   –   පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය

02 සීලය    –    පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම

03 භාවනාව    –    සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම

04 අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම

05 වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම

06 ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම

07 පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම

08 ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම

09 ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම

10 දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම

01 දානය

පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.

ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ

02 සීලය

සිල් සමාදන් වීම

සිල් සමාදන් වීමය යන්නෙහි තේරුම ආරක්ෂා කරනු සඳහා ශීලය පිළිගැනීම ය. එය සමාදන් වන කල්හි භික්ෂූන් වහන්සේ කෙනකු ලවා සික පද කියවා ගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමියි කියා භික්ෂූන් වහන්සේ කියවන පරිදි සික පද කීයේ ද රක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැති ව කියන්නා ශීලයෙහි නො පිහිටන්නේ ය. ශීලය නො පිළිගත් බැවින්, සිල්සමාදන් වීමට භික්ෂුවක් නැති කල්හි සිල් සමාදන් කරවන්නට දත් අනෙකකුගෙන් ද සමාදන් විය හැකිය. තෙමේ ම සික පද කියා සමාදන් වූවාට වරදෙක් නැත. සික පද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන්වහන්සේ විසින් පනවන ලද මෙනම් ශීලය සමාදන් වෙමියි අධිෂ්ඨාන කර ගත යුතු ය. ඉන්පසු ඉටා ගත් කාලය මුළුල්ලෙහි ආරක්ෂා කළ යුතුය. යම්කිසි වරදක් සිදුවී ශීලය බිඳුන හොත් නැවත සමාදන් විය යුතුය. නො බිඳුන හොත් නැවත සමාදන් වීමට වුවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ.

03 භාවනාව

භාවනාමය කුශලය වනාහි කුශලයන් අතුරෙන් අග්‍ර‍ වූ කුශලය ය. දාන ශීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍ර‍ධාන මාර්ගය ද භාවනාව ම ය. සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍ර‍ධාන ය, සතර සෘද්ධිපාද ය, පඤ්චේන්ද්‍රිය ය, පඤ්ච බලය ය, සප්ත බෝධ්‍යඞ්ගය ය, ආර්‍ය්‍යාෂ්ඨාංගික මාර්ගය ය යන මේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම ය යනු ද භාවනාව ම ය. භාවනාවෙහි යෙදෙන කල්හි බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති. අන් ක්‍ර‍මයකින් ඒ ධර්මයෝ නො වැඩෙති. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය කියා අන් කළ යුත්තක් නැත.
සමථ භාවනාව ය, විදර්ශනා භාවනාව යයි භාවනාව දෙවැදෑරුම් වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීම ය. විදර්ශනා භාවනාව යනු ප්‍ර‍ඥාව දියුණු කිරීම ය. සමාධිය යනු සිතට නොයෙක් අරමුණුවල විසිරෙන්නට නො දී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයෙකි. එහි බලයෙන් සිත එකඟ වේ. සමාධිය ඇති කර ගැනීම පහසු නො වේ. එය කර ගත හැකි වන්නේ ඉතා ඕනෑ කමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාට ය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑ කමක් නැති ව එය ගැන දැනීමකු දු නැති ව භාවනා කරමි යි කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධිය නො වැඩේ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීර්යයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍ර‍මානුකූල ව භාවනාවෙහි යෙදිය යුතු ය. කලාතුරකින් දිනක පමණක් භාවනාවෙහි යෙදීමෙන් ද සමාධිය නො ලැබිය හැකි ය. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුව ද ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදෙන තැනැත්තාට ය. සමාධිය වැඩෙත් වැඩෙත් ම සිත භාවනාරම්මණයෙහි තැබීම පහසු වේ. සමාධිය සමග ම සිත ද, ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥාදීහු ද වැඩෙති. සිත කිළිටි කරන්නා වූ දුබල කරන්නා වූ නීවරණයෝ අනුක්‍ර‍මයෙන් තුනී වෙති. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තා හට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇති වේ. අන්‍යයන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල බැවින් අන්‍යයෝ ඔහුට තරමක් අවනත වෙති. ඔහුගේ බසට අන්‍යයෝ කීකරු වෙති. ඔහුගේ අදහස් ද සිදු වන්නට පටන් ගනී. ඔහුට සිතීමෙන් ම තමාගේ ශරීරයෙහි ඇති වන ඇතැම් ආබාධ පහසුකර ගත හැකි, සුව කර ගත හැකි ශක්තියක් ලැබේ. මේ චිත්ත බලය යම් කෙනකුට ඇති නම්, එය ඔහුගේ මෙලොව දියුණුවට ද උපයෝගී කර ගත හැකි ය. සමාධිය වැඩී දියුණු වීමෙන් රූපාවචර අරූපාවචර ධ්‍යානයෝ උපදිති. ඒවා තව දුරටත් ක්‍ර‍මානුකූල ව දියුණු කර ගත හැකි වුවහොත් අභිඥා බලය ඇති වේ. එයින් අහසින් යාම ආදි පුදුම දේ කළ හැකි ය. තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරා ගනු පිණිස භාවනා සතළිසක් බුදුසමයෙහි ඇත ද, ඒ සියල්ල මෙ බඳු පොතකින් විස්තර කළ නො හෙන බැවින් බොහෝ දෙනාට සුදුසු වන්නා වූ ද, සාමාන්‍යයෙන් සැමට ම සුදුසු ය යි කිය යුතු වූ ද, පහසුවෙන් කළ හැකි වූ ද භාවනා ක්‍ර‍ම සතරක් පමණක් මෙහි විස්තර කරනු ලැබේ.

04 අපචායනය

ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතු මහබෝ පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතු ය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මා පියන් විසින් ද ගරු කළ යුතු ය.
ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම ය යි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍ර‍වල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පා වහන්, හිස් වැසුම්, කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍ර‍මයෝ ය

05 වෙය්‍යාවච්චය

බුද්ධාදි රත්නත්‍ර‍යට ද, මාපියන්ට හා ගුරුන්ට ද, මහල්ලන්ට හා රෝගීන්ට ද ආගන්තුකයන්ට හා අන්‍ය සුදුස්සන්ට ද වතාවත් කිරීම වෙය්‍යාවච්ච කුශලය ය. විහාර ගෙවල්, විහාරමලු, දාගැප්මලු, මලසුන් ගෙවල්, බෝමලු, දහම්හල්, සංඝාවාස, සංඝාරාම, ජනයා ගමන් කරන මාර්ග යන මේවා පවිත්‍ර‍ කිරීම, ඒවායේ කැඩුම් බිඳුම් සකස් කිරීම, සුණු ගෑම,මැටි ගෑම, භික්ෂූන් වහන්සේලාට දැහැටි උණු පැන් සිසිල් පැන් සපයා දීම, පඬු සපයා දීම, සිවුරු සෝදා දීම, පඬු පොවා දීම, පාත්‍ර‍ සෝදා දීම, සංඝාරාමවල මල්පල හටගන්නා ගස් වැල් රෝපණය කිරීම, මාපියන්ට හා ගුරුන්ට උණු පැන් සිසිල් පැන් ආදිය සැපයීම, ඔවුන් නෑවීම, ඔවුන්ගේ අත් පා මිරිකා දීම, රෝගීන්ට කැඳ බත් බෙහෙත් ආදිය සපයා දීම, ඔවුන්ගේ ශරීර වස්ත්‍ර‍ වාසස්ථාන පවිත්‍ර‍ කර දීම, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස වැව් ළිං පොකුණු විශ්‍රාම ශාලා මාර්ග තැනීම,ඒවා පිළිදැගුම් කිරීම, මහජනයාගේ ප්‍රයෝජනය පිණිස මල් පල හටගන්නා ගස් වැල් රෝපණය කිරීම යනාදි පින් සලකා කය වෙහෙසා කරන ක්‍රියා සියල්ල ම වෙය්‍යාවච්ච කුශලයට අයත් වේ.

06 ප්‍රාප්ති දානය (පින් දීම)

තමා විසින් කළ පින අනුන්ට අනුමෝදන් කරවීම හෙවත් අයිති කිරීම ප්‍රාප්තිදාන නම් වේ. ආහාර පාන වස්ත්‍රාදිය දීම පිනක් වන්නාක් මෙන් ම තමා කළ පින අනුන්ට දීම ද පිනකි. පින වනාහි අන්‍ය වස්තුවක් මෙන් අතින් අතට දිය හැකි දෙයක් නොවේ. එය දිය යුත්තේ තමාගේ පින අනුමෝදන් වන්නට ය, පිළිගන්නටය යි වචනයෙන් කීමෙනි. තමා විසින් කළ පිනක් එක් සත්ත්වයකුට දෙන කල්හි මාගේ පින අසවල් නම ඇත්තා අනුමෝදන් වේවා කියා හෝ මාගේ පින අසවලාට හිමිවේවා අයිති වේවා කියා හෝ ඇසෙන සේ කිව යුතු ය. සත්ත්ව සමූහයකට පින් දෙන කල්හි මාගේ නෑයෝ මේ පින අනුමෝදන් වෙත්වා: ලබත්වා යනාදීන් පින් දෙන සත්ත්ව සමූහයේ නම කියා පින් දීම කළයුතු ය. එක් පහනකින් තවත් කොතෙක් පහන් දල්වා ගත්තේ ද එහි ගින්නට එයින් මඳ හානියකුදු නොවන්නාක් මෙන් කොතෙක් දෙනාට පින් දුන ද කොතෙක් වාර ගණනක් පින් දුන ද කළ තැනැත්තාගේ පිනට එයින් හානියක් නොවේ.

07 පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම)

පින් අනුමෝදන් වීම

අනුන් අනුමෝදන් කරවන, දෙන පින් සතුටින් පිළිගැනීම පින් අනුමෝදන් වීම ය. පත්තානුමෝදනා යනු ද එයට නමෙකි. පින් කැමති සත්පුරුෂයෝ ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට දන් දී පින් සිදු කර ගනිති. එයින් ඔවුන්ගේ කීර්තිය ද පැතිර යයි. ප්‍ර‍තිග්‍රාහකයෝ ද ඒ පින්වතුන්ගේ ප්‍ර‍ත්‍යය ලබා සැපවත් වෙති. පර සම්පත්තිය නො ඉවසන ස්වභාවය වූ ඊර්ෂ්‍යාව සත්ත්වයන් තුළ දීර්ඝ කාලයක පටන් පැවත එන පාපයෙකි. ඒ නිසා සෑම දෙනාට ම දන් දෙන සත්පුරුෂයන්ට වන පුණ්‍යලාභය ගැන හා ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ප්‍ර‍ත්‍යය ලාභය ගැන ද සතුටු විය නො හැකි ය. එබැවින් ඊර්‍ෂ්‍යා ඇතියෝ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ම නින්දා කරති. පින් අනුමෝදන් නො වෙති. ප්‍ර‍තිග්‍රාහකයන්ට වන ලාභය ගැන අසත්පුරුෂයෝ තුළ වඩාත් ඊර්‍ෂ්‍යාව ඇති වේ. එබැවින් ඔවුහු වඩාත් ප්‍ර‍තිග්‍රාහකයන්ට නින්දා කෙරෙති. ලාභය වැළැක්වීමට තැත් කෙරෙති. පින් අනුමෝදන් වීම වනාහි ඊර්‍ෂ්‍යාවට ප්‍ර‍තිපක්ෂ පුණ්‍ය කර්මයෙකි. එ බැවින් එය ලැබිය හැක්කේ දායක ප්‍ර‍තිග්‍රාහක දෙපක්ෂයට ඊර්‍ෂ්‍යා නො කරන්නා වූ සත්පුරුෂයන්ට පමණකි. යම් කිසිවකු පිනක් කොට අනුමෝදන් කරවන කල්හි ඊර්‍ෂ්‍යා විරහිත පිරිසිදු සිතින් එය අනුමෝදන් විය හැකි සත්පුරුෂයාට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. අනුන් පිනක් කරනු දකින අසන කල්හි පින් නුදුන්නේ ද ඒ පින අනුමෝදන් විය හැකිය. කෙනකු භික්ෂූන්ට දන් දෙනු දුටු කල්හි “මේ සත්පුරුෂයා දන් දී පින් සිදු කර ගන්නේ ය. මොහු නිසා භික්ෂූන් වහන්සේ ද සුවපත් වන්නාහ. මොහු ද පින් සිදුකර ගනී වා, භික්ෂූන් වහන්සේ ද මොහු නිසා සුවපත් වෙත්වා”යි සිතන තැනැත්තා හට පින් අනුමෝදන් වීමේ කුශලය ලැබේ. පින් අනුමෝදන් වීමෙන් වන්නා වූ කුශලය අනුමෝදන් වන කුශලයාගේ කුඩා මහත්කමේ සැටියට ද අනුමෝදන් වන තැනැත්තා කෙරෙහි ඒ අවස්ථාවේ දී ඇති වන ශ්‍ර‍ද්ධාදි ධර්මයන්ගේ සැටියට ද කුඩා මහත් වේ. එහි විපාකය පරදත්තුපජීවික ප්‍රේතයන්ට හා ඇතැම් භූතයන්ට එකෙණෙහි ම ලැබේ. සෙස්සන් සුදුසු අවස්ථාවල දී ලැබේ.

08 ධම්ම ශ්‍රවණය

ධර්ම ශ්‍ර‍වණය

තථාගතයන් වහන්සේ විසින් දේශිත අපාදුක් ගිනි නිවන, සසර දුක් දුරලන, සග මොක් මඟ හෙළි කරන සුපරිශුද්ධ ධර්මය ආදර ගෞරවයෙන් ඇසීම ධර්ම ශ්‍ර‍වණ කුශලය ය. මෙකල ඇතැම් බෞද්ධයෝ බණ ඇසීම නැටුම් බැලීමක් සේ විනෝද ක්‍රියාවක් කරගෙන සිටිති. ඔවුහු මහ හඬින් හෝ මිහිරි හඬින් හෝ දේශනය කළහොත් හොඳ බණකැ යි කියති. කෙනකුට ගර්හා කරමින් කෙනකුට පසසමින් සිනාසිය හැකි විහිළු කථා කියමින් දහම් දෙසුව හොත් බොහොම හොඳ බණකැයි කියති. ස්තුතිවලින් තොර වූ ගර්හාවලින් තොර වූ විසුළු කථාවලින් තොර වූ ශුද්ධ බුද්ධ ධර්මය දෙසුව හොත් එයට නින්දා කරති. බෞද්ධයන් මේ තත්ත්වයට වැටී සිටීම සංවේග ජනකය. තථාගතයන් වහන්සේ ධර්මය රාගය පිණිස නො ව විරාගය පිණිස දෙසන ලද්දකි. එබැවින් එයින් නැටුම් බැලීමකින් මෙන් විනේාදයක් ලබන්නට නො සිතා ඉතා ගෞරවයෙන් එය ශ්‍ර‍වණය කළ යුතු ය. විනෝදය පිණිස දහම් අසනවාට වඩා නො ඇසීම ම යහපති. ඇතමෙක් දේශකයාගේ සමත්කම මනිනු පිණිස ද ඇතමෙක් ඇද පලුදු සොයනු පිණිස ද දහම් දෙසති. ඒ ද නො මැනවි. බණ අසන කල්හි යම්කිසි දෙයක් දැන ගැනීමේ අදහසින් අවවාදයක් අනුශාසනයක් ලබා ගැනීමේ අදහසින් ම එය ඇසිය යුතු ය. ඇතමෙක් උසස් ය යි සම්මත කෙනකුගෙන් මිස සාමාන්‍ය කෙනකු දහම් දෙසන කල්හි අසන්නට නො කැමති වෙති. එ ද නො මැනවි. බුදුන් වහන්සේ ද තමන් වහන්සේගෙන් ශ්‍රාවකයන්ගේ දහම් දෙසුම් ගෞරවයෙන් ඇසූ සේක. නුවණින් අගතැන් පත් සැරියුත් මහරහතන් වහන්සේ සාමනේර නමකගේ අනුශාසනය ගෞරවයෙන් පිළිගත් සේක. කරුණු එසේ හෙයින් දේශකයාගේ උස් මිටි කම් නො බලා කවරකු විසින් වුව දෙසන දහම ගෞරවයෙන් ඇසිය යුතු ය.

09 ධර්ම දේශනය

ධර්ම දේශනය

ලාභ කීර්ති ප්‍ර‍ශංසා ගැන අපේක්ෂාවක් නැති ව සත්ත්වයන් කෙරෙහි කරුණාව පෙරදැරි කොට ඔවුන් දුකින් මිදවීමේ අදහසින් සත්ත්වයන් සැපතට පැමිණවීමේ අදහසින් තථාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම ධර්ම දේශනා කුශලය ය. දහම් දෙසීම සැමට ම කළ හැකි පහසු කාර්‍ය්‍යයක් නො වේ.
එක් දවසක් ආයුෂ්මත් උදායි ස්ථවිරයන් මහ ගිහි පිරිසක් පිරිවරා ගෙන ඔවුනට දහම් දෙසනු දැක ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව තථාගතයන් වහන්සේට සැල කළ සේක. එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
‘න ඛො ආනන්ද, සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද, ධම්මං දෙසෙන්තෙන පඤ්චධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමේ පඤ්ච? ආනුපුබ්බි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. පරියාය දස්සාවි කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, න ආමිසන්තරො කථං කථොස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො, අත්තානං ච පරං ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. න ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො”.
තේරුම:
ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නොවේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නාහු විසින් කරුණු පසක් තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය. කවර කරුණු පසෙක් ද යත්, අනුපිළිවෙළින් කතාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. ඒ ඒ අර්ථයට සෑහෙන කරුණු දක්වා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අනුකම්පා නිසා කරන කථාවක් කරන්නෙමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආමිෂයක් බලාපොරොත්තු නොවන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතු ය. අත්තුක්කංසන පරවම්භනාදියෙන් තමාගේ හා මෙරමාගේ ගුණ නො නසන කථාවක් කරමි යි මෙරමා හට දහම් දෙසිය යුතුය. ආනන්දය, මෙරමා හට දහම් දෙසීම පහසු නො වේ. ආනන්දය, මෙරමා හට දහම් දෙසන්නහු විසින් මේ කරුණු පස තමා කෙරෙහි ඇති කර ගෙන මෙරමා හට දහම් දෙසිය යුතුය යනු යි.

10 දිට්ඨිජ්ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිදු කිරීම

පින් පව් ඇත, පින් පව්වල විපාක ඇත, මරණින් පසු නැවත ඉපදීමක් ඇත. සත්ත්වයෝ කර්මානුරූප පරිදි සුවදුක් ලබන්නාහ යනාදීන් සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම දිට්ඨිජ්ජුකම්ම නම් වූ දස වන කුශලය ය.
බෞද්ධ නාමයෙන් සිටින සැම දෙනම සාමාන්‍යයෙන් කර්මය කර්ම ඵලය පිළිගන්නවුන් වුව ද ශුද්ධ සම්‍යග් දෘෂ්ටිය ඇත්තෝ නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් දෘෂ්ට මඞ්ගලාදිය සාර වශයෙන් ගෙන කර්මය සැහැල්ලු කොට සලකති. ඇතමෙක් වර්තමාන කර්ම හා සැප දුක් ලැබීමට ඇති කර්මයේ අන්‍ය හේතූන් ද හැර සියල්ල ම අතීත කුශලාකුශල කර්ම බලයෙන් ම වෙතැයි පමණ ඉක්මවා කර්ම හා කර්ම ඵලය පිළිගනිති. ඇතමෙක් ඇතැම් පුණ්‍යකර්ම පාප කර්ම වශයෙන් ද ඇතමෙක් ඇතැම් පාපකර්ම පුණ්‍යකර්ම වශයෙන් ද වරදවා ගනිති. ඇතමෙක් ඇතැම් අල්ප සාවද්‍ය කර්ම මහා සාවද්‍ය කර්ම වශයෙන් ද, ඇතැම් මහා සාවද්‍ය කර්ම අල්ප සාවද්‍ය කර්ම වශයෙන් ද වරදවා ගෙන සිටිති. එබඳු හැඟීම් ඇතියවුන්ගේ සම්‍යග් දෘෂ්ටිය අපරිශුද්ධ ය. ඔවුන් විසින් ධර්ම ශ්‍ර‍වණ ධර්ම සාකච්ඡා ආදියෙන් දෘෂ්ටිය ශුද්ධ කර ගත යුතු ය.
සම්‍යග්දෘෂ්ටිය අනේකාකාර වුව ද මේ පුණ්‍යක්‍රියා වස්තු විෂයෙහි ගනු ලබන්නේ කර්මස්වකතා සම්‍යග් දෘෂ්ටිය ය. එය –
“කම්මස්සකා සබ්බෙ සත්තා, කම්ම දායාදා, කම්ම යොනි, කම්මබන්ධු, කම්මපටිසරණා, යං කම්මං කරිස්සන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සන්ති” යි.
තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදී. “සකල සත්ත්වයෝ කර්මය හිමි කොට ඇත්තෝ ය. කර්මය උරුම කොට ඇත්තෝ ය, කර්මය සැප දුක් ලැබීමේ හේතුව කොට ඇත්තෝ ය. කර්මය නෑ කොට ඇත්තෝ ය. කර්මය පිහිට කොට ඇත්තෝ ය. මනා වූ හෝ නො මනා වූ හෝ යම් කර්මයක් කෙරෙත් නම් සත්ත්වයෝ එය උරුමය කොට ඇත්තාහු වන්නාහු ය.” යනු එහි තේරුම ය.
මේ කර්මස්වකතා සම්‍යක්දෘෂ්ටිය ඇතැම් සූත්‍ර‍වල දී කරුණු දශයක් සම්බන්ධ කොට “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකත දුක්කතානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි අයං ලොකො, සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති” යි වදාරා තිබේ. එහි තේරුම මිථ්‍යා දෘෂ්ටි කර්මය විස්තර කිරීමේ දී ඉහත දක්වන ලද දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියට අනුව තේරුම් ගත හැකි ය.

සම්‍යග් දෘෂ්ටියේ අනුසස්

සත්ත්වයනට සැප සම්පත් ලැබිය හැක්කේ පින් කිරීමෙනි. මිථ්‍යාදෘෂ්ටිය පින් කිරීමට මහත් බාධකයකි. පිනට සත්ත්වයාගේ සිත නැමෙනුයේ සම්‍යග් දෘෂ්ටිය නිසා ය. එ බැවින් එය සියලු පින්වලට මූලය ද ප්‍ර‍තිෂ්ඨාව ද වේ. එය ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමු වන අංගය කොට වදාරා තිබෙනුයේ ද එහෙයිනි. සම්‍යග් දෘෂ්ටියේ අගය දක්වා වදාළ දේශනා බොහෝ ය. ඉන් කීපයක් මෙසේ ය.

“නාහං භික්ඛවෙ, අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි, සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්‍යො භාවාය වෙපුල්ලාය සංවත්තන්ති”.
මහණෙනි, මේ සම්‍යග් දෘෂ්ටිය සේ නූපන් කුශලයන් ඉපදීමට හා උපන් කුශලයන් වැඩීමට ද හේතු වන අන් එක ම ධර්මයකුදු මම නො දකිමි. සම්‍යග් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහු ය. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු එහි අදහස ය.

“නාහං භික්ඛවෙ, අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යථෙවං සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. යථයිදං භික්ඛවෙ, සම්මා දිට්ඨි, සම්මා දිට්ඨියා භික්ඛවෙ සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති”.
“මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය සේ සත්ත්වයනට සුගතියෙහි ඉපදීමට හේතු වන අන් එක් ධර්මයකුදු නො දක්නෙමි. මහණෙනි, සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත ව සත්ත්වයෝ මරණින් මතු සුගතිය වූ ස්වර්ගයෙහි උපදනාහු ය” යනු එහි අදහස ය.

සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ, පුරිස පුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථා දිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං යඤ්ච මනො කම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච පත්ථනා -යො ච පණිධි – යෙ ච සංඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.”
“මහණෙනි, සම්‍යග් දෘෂ්ටිකයා විසින් ස්වකීය දෘෂ්ටියේ සැටියට යම් කාය කර්මයක් යම් වාක් කර්මයක් යම් මනඃකර්මයක් සම්පූර්ණ කරන ලද ද ගන්නා ලද ද, යම් ප්‍රාර්ථනයක් කරන ලද ද, යම් සංස්කාරයක් රැස් කරන ලද ද ඒ සියල්ල ඔහුට ඉෂ්ට භාවය පිණිස මනෝඥ භාවය පිණිස මනාප භාවය පිණිස හිත පිණිස සැප පිණිස පවත්නාහුය” යනු එහි අදහස ය.

මේ කර්මස්වකතා සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා දන් දී සිල් රැක භාවනා කොට සැපතින් සැපතට පැමිණෙමින් රහත්ව ද පසේ බුදුව ද ලොවුතුරා බුදු ව ද නිවන් දුටුවන්ගේ පරිච්ඡේදයක් නැත්තේ ය. දුකින් මිදෙනු කැමති, සැපතට පැමිණෙනු කැමති සියල්ලෝ ම ධර්ම ශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටා සම්‍යග්දෘෂ්ටිය පිරිසිදු කර ගෙන නිවන් සැපත අත් පත් කර ගනිත් වා!
මේ පින් දශය අතුරෙන් දාන ශීල භාවනා යන තුන ප්‍ර‍ධාන වේ. ඉතිරි සත ඒවාට ඇතුළත් වේ. එබැවින් පින් දක්වන සමහර තැන්වල දාන ශීල භාවනා තුන පමණක් දක්වා තිබේ. පින් තුනක් කියන තැන්වල දී පත්තිදාන, පත්තානුමෝදනා දෙක දානයට ද අපචායන වෙය්‍යාවච්ච දෙක ශීලයට ද ඉතිරි පින් තුන භාවනාවට ද සංග්‍ර‍හ කරනු ලැබේ.
ධර්මානුශාසනා
“මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති”
තේරුම :
“මහණෙනි, පිනට බිය නොවව්. මහණෙනි, පිනය යනු ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය මනාප වූ සැපයට නමෙකි.”
ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති
භීය්‍යො නන්දති සුග්ගතිං ගතො”
තේරුම :
පින් කළ තැනැත්තේ මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොව ම සතුටු වේ. මා විසින් පින් කරන ලද්දේය යි සතුටු වේ. සුගතියට ගියේ වඩාත් සතුටු වේ.”

ආජීවාෂ්ටමක සීලය /ආජීව අෂ්ටමක සීලය

ආජීවාෂ්ටමක සීලය

  1. පාණාතිපාතා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  2. අදින්නාදානා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  3. කාමේසු මිච්ඡාචාරා වෙරමණි සික්ඛාපදං සමාදියාමි 

  4. මුසාවාදා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  5. පිසුණාවාචා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  6. ඵරුසාවාචා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  7. සම්පප්ඵලාපා වෙරමණි සික්ඛාපදං සමාදියාමි

  8. මිච්ඡා ආජීවා වෙරමණි සික්ඛාපදං සමාදියාමි