Dasa Akusalaya දශ අකුශලය

01. ප්‍රාණාතිපාත අකුශලය

සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍ර‍මයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.

“පාණෝ හවෙ පාණසඤ්ඤි – වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච – අංගා පඤ්ච වධස්සිමේ”

01 පණ ඇති සතකු වීම
02 පණ ඇති සතකු බව දැනීම
03 මරණු කැමති සිත
04 මරන්නට උපක්‍ර‍ම කිරීම
05 ඒ උපක්‍ර‍මය නිසා මරණය සිදු වීම

යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.

යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.

02 අදත්තාදාන කර්මය

අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ.

01 අන් සතු වස්තුවක්
02 අන් සතු වස්තුවක් බව දැනීම
03 පැහැර ගනු කැමති සිතය
04 පැහැර ගැනීමට උපක්‍ර‍ම කිරීම
05 වස්තුව ගැනීම

යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ.

යම්කිසි වස්තුවක් සොර සිතින් ගත්තේ ද, එය හිමියකු නැති වස්තුවක් වේ නම් එයින් අදත්තාදාන කර්මය සිදු නො වේ. හිමියකු ඇති හිමියා විසින් නුදුන් වස්තුවක් වුව ද සොර සිතින් තොර ව හිමියා කෙරෙහි විශ්වාසයෙන් ගතුයේ ද අදත්තාදාන කර්මය නො වේ. අන්සතු වස්තුවක් තමාට අයත් ය යන හැඟීමෙන් ගතුයේ ද අදත්තාදාන පාපය නො වේ

03 කාම මිථ්‍යාචාරය

01 සේවනය නො කළ යුතු ස්ත්‍රියක හෝ පුරුෂයකු වීම
02 සේවන චිත්තය ඇති වීම
03 සේවනයට උත්සාහ කිරීම
04 සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීම

යන අංග සතර සම්පූර්ණ වීමෙන් කාම මිථ්‍යාචාර කර්මය වේ. ප්‍රයෝග විසින් වනාහි ස්වහස්තික ප්‍රයෝගයෙන් ම මෙය සිදු වේ. අනුන් ලවා ප්‍රාණඝාතය කරවීමෙහි දී කරවන්නා හට ද කර්මය සිදුවන්නාක් මෙන් මෙය අනුන් ලවා කරවීමෙන් සිදුවන කර්මයක් නො වේ. අනුන්ගේ නියෝගයකින් කළේ ද කර්මය කළ අයට මිස අණ කළ අයට හිමි නො වේ.

කාම මිථ්‍යාචාරය යනු කාමයෙහි වරදවා හැසිරීම ය. නොහොත් ලෝක චාරිත්‍ර‍යට අනුකූල නො වන පරිදි කාමයෙහි හැසිරීම ය. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිථ්‍යාචාර පාපය වේ. තමන් රක්ෂා කරන්නා වූ පුරුෂයකු සිටිය දී පරපුරුෂයන් හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්‍රීන්ට කාම මිථ්‍යාචාර පාපය වේ. හිමියන් නැති මා පියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රීන් හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිථ්‍යාචාර පාපය වේ. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාට ම පාපය වේ.

කාම මිථ්‍යාචාරයේ අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය

ශීලාදි ගුණ රහිත වූවන් හා මිථ්‍යාචාරය අල්ප සාවද්‍ය වේ. ගුණ ඇතියවුන් දූෂණය කිරීම මහා සාවද්‍ය වේ. ගුණ හීනයන් කෙරෙහි දු බලයෙන් මිථ්‍යාචාරය මහා සාවද්‍ය වේ. දෙදෙනාගේ කැමැත්ත ඇති කල්හි අල්ප සාවද්‍ය වේ. දෙදෙනාගේ ම කැමැත්ත ඇති කල්හි දු ක්ලේශයන්ගේ හා උපක්‍ර‍මයන්ගේ මෘදුත්වයෙන් අල්පසාවද්‍ය ද ක්‍රෑරත්වයෙන් මහා සාවද්‍ය ද වේ.

කාම මිථ්‍යාචාරයේ විපාක

කාම මිථ්‍යාචාර කර්මය කළාහු මෙලොව දී නින්දාවට භාජන වෙති. සමහර විට අනුන්ගෙන් පහර ලැබ මැරෙන තරම් මහ දුකට පත් වෙති. සමහර විට මරණයට ම ද පත් වෙති. සිර ගෙයි වැටීමෙන් ද මහත් දුකට පත් වෙති. මරණින් මතු ද නරකයෙහි ඉපද, සොළොස් අඟුල් දික් කටු ඇති ඉඹුල් ගස්වලට නංවනු බස්වනු ලබමින් වර්ෂ දහස් ගණන් දුක් විඳිති. නරකයෙන් මිදුණු පසු ද තිරිසන්ව සිය ගණන් ජාතිවල දී බීජෝත්පාටනාදි දුක් ලබති. මිනිස් බව ලැබූ කල්හි දු සිය ගණන් ජාතිවලදී නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නෙ මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. බොහෝ සතුරන් ඇත්තෝ වෙති. රෝගීහු වෙති.

04 මෘෂාවාදය

අනුන් මුළා කරවන අදහසින් ඇති දෙය නැත යයි ද, නැති දෙය ඇත යයි ද, වූ දෙය නො වූයේය යි ද, නො වූ දෙය වූයේය යි ද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මෘෂාවාදය නම් වේ.

මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි.

01 කියන කරුණ බොරුවක් වීම
02 අනුන් රවටන අදහස
03 ඇඟවීමේ උත්සාහය ය
04 අනෙකා කී දෙය තේරුම් ගැනීම

යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.

අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ. දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍ර‍වෘත්ති පත්‍ර‍ සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.

බොරු කීම ගැන දතයුතු කරුණු

බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව,

“එකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනො – විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං”
යනුවෙන් වදාරා තිබේ.

“සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යනු එහි තේරුමයි.

සෑම ආගමක ම පව් ලැයිස්තුවක් ඇත්තේ ය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකීම ඒ සියල්ලට ම ඇතුළත් ය. සියලු ම ශාස්තෘවරයෝ වෙනසක් නැති ව බොරු කීම පාපයක් බව ප්‍ර‍කාශ කළෝ ය. ලෝකයේ නුවණැති සියල්ලෝ ම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නා ද පිළිකුල් කරති. අප මහ බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවල දී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් විවරණ ලැබීමෙන් පසු උන් වහන්සේ නො කී බව දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බොරු කීම අන්පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන් වහන්සේ සැලකූ බව ය. බොරු කීමට බිය නොවන ලජ්ජා නො වන තැනැත්තා ගුණවතෙක් නො වේ. දිනක් තථාගතයන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරි ව තුබූ දිය ස්වල්පයක් රහල් හොරණපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණ කම ද මෙසේ ම ස්වල්පය යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පය ද ඉවත ලා රහල් හෙරණපාණන්ට දක්වා රාහුලය! බොරු කීමට ලජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ ම අහක දමන ලද්දක් වේවයි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මුනින් නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලජ්ජා නැතියහු ගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක් වේ යයි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේ ම හිස් වන්නේ ය යි වදාළ සේක. බොරු කීමෙන් නො වැළකෙන්නකු කෙතෙක් ගුණධර්ම රැකියත් ඒවායේ වටිනා කමක් නැත්තේ ය. එබැවින් සැමදෙන ම බොරු කීමෙන් වළකිත්වා! බොරු කීම පිළිකුල් කෙරෙත්වා!

මෘෂාවාදයාගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය

ක්‍රීඩා පිණිස හා නො දෙනු කැමැත්තෙන් ඇති දෙය සඟවනු පිණිස, දරුවන් නැලවීම පිණිස ද, කළ වරද සඟවනු පිණිස ද බොරු කීම අල්ප සාවද්‍ය වේ. කරමිය දෙමිය යනාදීන් අනුන් රවටනු පිණිස බොරු කීම එයට වඩා මහා සාවද්‍ය වේ. මෙරමා හට අනර්ථවන ලෙසට සාක්ෂ්‍ය වශයෙන් බොරු කීම එයට ද වඩා මහා සාවද්‍ය වේ. අනර්ථය පිණිස කියන්නා වූ බොරුවලින් සිදුවන්නා වූ අනර්ථයේ අලාභයේ ප්‍ර‍මාණයට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතු ය. රවටනු ලබන පුද්ගලයාගේ ගුණවල සැටියට ද අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතුය. බොරු කීමේ දී ඇතිවූ ක්ලේශයන් ප්‍ර‍මාණයෙන් ද අල්ප සාවද්‍ය මහා සාවද්‍යතාව කිය යුතු ය.

බොරු කීමේ විපාක

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

05 පිශුන වචනය

යම් වචනයක් කී කල්හි අසන්නා වූ තැනැත්තාට තමා ප්‍රියයකු වී අනෙකකු අප්‍රිය වේ ද ඒ වචනය පිශුන වචනය නම් වේ. තවත් ක්‍ර‍මයකින් කියතහොත් සමගියෙන් සිටින දෙදෙනකු භේද කරවීම පිණිස කියන්නා වූ වචන පිශුන වචන නම් වේ. කේලාම් කීමය යි කියනුයේ ද පිශුන වචන කීමට ය. කේලාම් කීම වූ පාපකර්මයට පිශුන වචනය යි ද පිසුනාවාචා ය යි කියනු ලැබේ. එයට අංග සතරක් ඇත්තේ ය.

01 භේද කළ යුතු අනෙකකු ඇති වීම
02 කෙනකු හා කෙනකු බිඳවන අදහස ඇති බව
03 බිඳවනු පිණිස යම්කිසිවක් කීම
04 ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම

යන කරුණු සතර සම්පූර්ණ වීමෙන් පිශු වචනය කර්මය සිදු වේ.

අනුන් බිඳවනු සඳහා කියන වචන සත්‍යය ද විය හැකිය. අසත්‍යය ද විය හැකිය. යම්කිසි සත්‍ය කාරණ්‍යක් අනුන් බිඳවීමේ අදහසක් නැති ව, කෙනකුට විය හැකි අන්තරායකින් මුදවා ගැනීම ආදි කරුණක් සඳහා කී කල්හි, එයින් කෙනකු හා කෙනකුගේ බිඳීමක් වුව ද, කී තැනැත්තා හට කේලාම් කීමේ පාපය නොවේ. සත්‍ය කරුණක් වුව ද, බිඳවන අදහසින් කියන්නහුට කේලාම් කීමේ පාපය වේ. කේලමක් කී කල්හි එයින් අනුන් අතර භේදයක් නො වී නම් එය සාමාන්‍ය කර්මයක් වේ. භේදය වී නම් කර්මපථයක් වේ.

කේලාම් කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍ය භාවය

කේලාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහීනයෝ වෙත් නම් කර්මය අල්ප සාවද්‍ය වේ. ගුණවතුන් බිඳවීම මහා සාවද්‍ය වේ. සත්‍ය කරුණක් කියා බිඳවීම අල්ප සාවද්‍ය වේ. අමුතුවෙන් බොරු ගොතා කියා බිඳවීම මහා සාවද්‍ය වේ. කේලාම් කීමට හේතු වූ ක්ලේශය්ගේ මන්ද භාවයෙන් අල්ප සාවද්‍ය වේ. ක්ලේශයන් තියුණු වූ කල්හි රෞද්‍ර‍ වූ කල්හි මහා සාවද්‍ය වේ. කේලාම් කීමේ විපාකයෝ මුසාවාදයේ විපාකයන්ට සමාන වෙති.

06 පරුෂ වචනය

අසන්නා වූ අනුන්ගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචන නම් වේ. පරුෂ වචන කීම් වශයෙන් ඇති වන්නා වූ චේතනා සංඛ්‍යාත කර්මයට ද ඒ නම ම කියනු ලැබේ. අංගු තුනක් සම්පූර්ණ වීමෙන් පරුෂ වචන කර්මය වේ.

01 ආක්‍රෝෂ කළ යුතු කෙනකු වීම
02 ක්‍රෝධ සහගත සිත් ඇති වීම
03 අනුන්ගේ සිත් රිදවන වචන කීම

යන මොහු එහි අඞ්ගයෝ ය. ආක්‍රෝෂ කොට සිත රිදවීමට කෙනකු නැති ව, සිත රිදවීමට කියන වචන තනිව කීමෙන් පරුෂ වචන කර්මය සිදු නො වේ. දුෂ්ට සිතින් තොරව පරුෂ වචන කීයේ ද පරුෂ වචන කර්මය සිදු නො වේ. එක් දරුවෙක් මව වළක්වද්දී මවට අකීකරුව වනයට යන්නට පිටත් විය. දරුවාගේ ගමන වැළැක්විය නුහුණු කල්හි මව “වනයේ දී කුළු මීදෙනන තා පස්සේ එනවා” ය යි දරුවාට ආක්‍රෝෂ කළාය. එදා වනයේ දී ඒ ළමයාට අණින්නට කුළු මීදෙනක් ලුහු බැඳ ආවාය. එ කල්හි ළමයාට මවගේ කීම සිහිවී මාගේ මව යමක් කීවා නම් එය මට නොවේවා, යමක් සිතුවා නම් එය ම මට වේවා”යි සත්‍යක්‍රියා කෙළේය. එකෙණෙහි ම මී දෙන නැවතුනාය. ඒ මවගේ කීම පරුෂ වචනයක් වුව ද ඇගේ සිත මෘදු බැවින් දරුවාට එබන්දක් වෙනවාට ඇය නො කැමති බැවින් එයින් පරුෂවචන කර්මයක් නො වේ. එසේ ම දුෂ්ට සිත නැති ව කියන කවර වචනයකින් වුවද පරුෂ වචන කර්මය සිදු නො වන බව දත යුතු ය.

ආක්‍රෝශ කිරීමේ ආකාර දශයක් විනට පිටකයේ පාචිත්තිය පාළියේ දක්වා තිබේ

01 ජාතියෙන් ආක්‍රෝශ කිරීම

පහත් යයි සම්මත ජාති ඇතියකුට අවමන් කරනු පිණිස රිදවනු පිණිස ඔහුගේ ජාතියේ නම ගෙන කතා කිරීම ද, උසස් යයි සම්මත ජාති ඇතියකුට රොඩියා පද්දා යන ආදීන් පහත් ජාතියක නාමයෙන් කථා කිරීම ද, පහත් ය යි සම්මත ජාතියක කෙනකුට අවමන් කරනු පිණිස නිලමේ රාළහාමි අප්පුහාමි යනාදීන් උසස් ජාති ඇතියන්ට කියන නාමයන් ගෙන් කථා කිරීම ද ජාතියෙන් ආක්‍රෝශ කිරීම ය.

 02 නාමයෙන් ආක්‍රෝශ කිරීම

ලෝකයෙහි ඒ ඒ පෙදෙස්වල උසස් කොට සලකන්නා වූ ද පහත් කොට සලකන්නා වූ ද නොයෙක් නම් ඇත්තේ ය. පහත් යයි සම්මත නමක් ඇතියකුට නිග්‍ර‍හ කරනු පිණිස ඒ නම ගෙන කථා කිරීම ද උසස් කොට සලකන නම් ඇතියකුට නිග්‍ර‍හ පිණිස පහත් නමක් කීම ද, පහත් ය යි සම්මත නමක් ඇතියකුට නිග්‍ර‍හ පිණිස උසස් නමක් ගෙන කථා කිරීම ද, “කරෝලියා ජුවානියා යනාදීන් නිග්‍ර‍හ පිණිස නම නරක් කොට කථා කිරීම ද නාමයෙන් ආක්‍රෝශ කිරීම ය.

03 ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීම

ගෝත්‍ර‍ යනු ඒ ඒ ජාතිවල අයට වෙන් වෙන් වූ නම්වලින් ඇත්තා වූ පරම්පරාවෝ ය. පහත් යයි සම්මත ගෝත්‍ර‍යක කෙනකුට නිග්‍ර‍හ පිණිස ඒ ගෝත්‍රයේ නම ගෙන කථා කිරීම ද උසස් යයි සම්මත ගෝත්‍ර‍යක කෙනකුට නින්දා කරනු පිණිස පහත් ගෝත්‍ර‍ නාමයක් ගෙන කථා කිරීම ද, පහත් ගෝත්‍ර‍යක් ඇතියකුට අවමන් කරනු පිණිස උසස් ගෝත්‍ර‍යක නමක් ගෙන කථා කිරීම ද ගෝත්‍රයෙන් ආක්‍රෝශ කිරීම ය.

04 කර්මයෙන් ආක්‍රෝශ කිරීම

ඒ ඒ ජනපදවල උසස් කොට සලකන කර්මාන්ත ද ඇත්තේ ය. පහත් කොට සලකන කර්මාන්ත ද ඇත්තේ ය. කසළ ඉවත් කිරීම, වැසිකිළි ශුද්ධ කිරීම ආදි හීන කර්මයක් කරන්නකුට අවමන්න කරනු පිණිස එය ගෙන කථා කිරීම ද, වෙළඳාම් ගොවිකම් ආදි උසස් කර්මාන්තයක් කරන්නකුට අපහාස පිණිස වැද්දා කෙවුලා ගහලයා යනාදීන් කථා කිරීම ද, හීන කර්මයක් කරන්නකුට අවමන් කරනු පිණිස උසස් කර්මයක් ගෙන කථා කිරීම ද කර්මයෙන් ආක්‍රෝශ කිරීම ය.

05 ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම

ඒ ඒ ජනපදවල උසස් කොට සලකන්නා වූ ද පහත් කොට සලකන්නා වූ ද ශිල්පයෝ වෙති. වළන් තැනීම, වට්ටි පෙට්ටි විවීම ආදී පහත් ය යි සම්මත ශිල්පයකින් ජීවත්වන්නකුට නින්දා කරනු පිණිස කුඹලා, කුළුපොත්තා, සම්කරුවා යනාදීන් කථා කිරීම ද, උසස් කෙනකුට අවමන් කරනු පිණිස කුඹලා, කුළුපොත්තා යනාදීන් කථා කිරීම ද, පහත් ශිල්පයකින් ජීවත්වන්නකුට අවමන් කරනු පිණිස ලියනමහත්මයා, වෙද මහත්මයා යනාදීන් කථා කිරීම ද ශිල්පයෙන් ආක්‍රෝශ කිරීම ය

06 ආබාධයෙන් ආක්‍රෝශ කිරීම

යම්කිසි ආබාධයක් ඇතියකුට නින්දා කරනු පිණිස කබරයා, පරංගියා, ලාදුරුවා, හොරිකඩයා යනාදීන් කථා කිරීම ද, එබඳු ආබාධයක් නැතියකුට නින්දා පිණිස එසේ කතා කිරීම ද ආබාධයෙන් ආක්‍රෝශ කිරීම ය.

07 ලිඞ්ගයෙන් ආක්‍රෝශ කිරීම

කල්ලා, රත්තා, සුද්දා, දිගා, මිට්ටා, තඩියා යනාදීන් ශරීරාකාරය ගෙන අනුන්ට අපහාස කිරීම ලිඞ්ගයෙන් ආක්‍රෝශ කිරීම ය.

08 ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීම

පෙරේතයා, මසුරා, සල්ලාලයා, කොටියා, යකා, ගොනා යනාදීන් අපහාස කිරීම ක්ලේශයෙන් ආක්‍රෝශ කිරීම ය

09 ආපත්තියෙන් ආක්‍රෝශ කිරීමය

කළා වූ හෝ නො කළා වූ හෝ වරදක් ගෙන අපහාස කිරීම ආපත්තියෙන් ආක්‍රෝශ කිරීම ය.

10 ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීමය

ලෝකයෙහි අනුන්ට රිදවනු පිණිස අපහාස කරනු පිණිස කියන්නා වූ නොයෙක් වචන ඇත්තේ ය. ගොනා, ඌරා, බල්ලා, බේබද්දා, සල්ලාලයා යනාදී සිත රිදවන්නා වූ යම්කිසි වචනයකින් නිග්‍ර‍හ කිරීඹ ආක්‍රෝශයෙන් ආක්‍රෝශ කිරීම ය.

යනු ඒ දශය ය. ඒ සියලු ම ආකාරයෙන් කරන ආක්‍රෝශවලින් පරුෂ වචන කීමේ පාපය වේ.

පරුෂ වචන කීමේ අල්පසාවද්‍යමහාසාවද්‍යතාව

ගුණවතුන්ට පරුෂ වචනයෙන් ආක්‍රෝශ කිරීම මහාසාවද්‍ය වේ. ගුණ හීනයන්ට ආක්‍රෝශ කිරීම අල්පසාවද්‍ය වේ. ගුණයෙන් සම වූවන්ට ආක්‍රෝශ කිරීමෙහි දී ද්වේෂය මහත් කල්හි මහාසාවද්‍ය ද, ද්වේෂය මඳ කල්හි අල්ප සාවද්‍ය ද වේ. විපාක, මෘෂාවාදයේ විපාකයන්ට සම වේ.

07 සම්ඵප්‍ර‍ලාපය

යම් කථාවක් එය කියවන්නා වූ ද, අසන්නා වූ ද, තැනැත්තන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේ ද? හුදෙක් කෙලෙස් වැඩීමටත්, යම්කිසි යහපතක් සිදුකර ගැනීමට තිබෙන කාලය නිකම් ම ගෙවී යාමටත් පමණක් හේතු වේ ද, ඒ කථාව සම්ඵප්‍ර‍ලාප නම් වේ. සම්ඵප්‍ර‍ලාප කීම් වශයෙන් ඇති වන්නා වූ අකුශල චේතනා සංඛ්‍යාත කර්මයට ද මේ කර්ම කතාවෙහි සම්ඵප්‍ර‍ලාප යන වචන ම කියනු ලැබේ.

(1) අසන කියන දෙපක්ෂයට ම වැඩක් නැති කථාවක් කියන අදහස
(2) එ බඳු කථාවක් කීමය අය අඞ්ග දෙකින් සම්ඵප්‍ර‍ලාප අකුශලය සිදු වේ.
සම්ඵප්‍ර‍ලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නෙකි. අන්‍යයන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නෙකි. එබැවින් සම්ඵප්‍ර‍ලාප කීම පාපයකි. ඇතැමුන් කාලය ගත කරනු පිණිස තැන් තැන්වලට එක් වී කරන්නා වූ නිෂ්ඵල කතාවෝ ද, අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන, බොරු සැබෑ දෙවර්ගය ම මිශ්‍ර‍ කර ගොතා තිබෙන “රාම-රාවණා” කථාව වැනි කථාවෝ ද, අල්පමාත්‍ර‍ සත්‍යකුදු නැති සාවාගේ හා නරියාගේ කථාව වැනි කථාවෝ ද සම්ඵප්‍ර‍ලාපයේ ය. යම් කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතා තිබෙන කථා අසත්‍ය වුව ද, ප්‍ර‍යෝජනයක් ඇති බැවින් සම්ඵප්‍ර‍ලාප සංඛ්‍යාවට නො ගැනේ. කියන ලද සම්ඵප්‍ර‍ලාපය අන්‍යයන් පිළිගත හොත් කර්මපථයක් වේ. කිසිවකු නො පිළිගත හොත් කර්මපථ නො වේ. සාමාන්‍යයෙන් සම්ඵප්‍ර‍ලාප කීම අල්පසාවද්‍ය වේ. නැවත නැවත වර්ණනා කර රසවත් කර කීම මහා සාවද්‍ය වේ. අසන්නවුන්ට වන්නා වූ අර්ථ හානියේ කුඩා මහත් බවේ සැටියට ද එහි අල්පසාවද්‍ය මහා සාවද්‍ය භාවය කිය යුතු ය.

08 අභිද්‍යාව

අනුන්ගේ සම්පත් දැක ඒවා තමාට වේවා යි සිතීම හෙවත් අන්සතු දෑ අයිතිකර ගැනුමට සිතීම අභිද්‍යා නම් වේ. තමාගේ භාණ්ඩ පිළිබඳ ලෝභය ද පාපයකි. පරභාණ්ඩයක් ගැන කරන්නා වූ ලෝභය, පමණ ඉක්මවා පවත්වන අධර්ම ලෝභයක් වන බැවින් එය අභිද්‍යා නම් වූ අකුශල කර්ම පථය වේ. මෙය බොහෝ සෙයින් අදත්තාදාන කාමමිථ්‍යාචාර කර්මයන්ගේ පූර්වභාගයෙහි ඇති වන්නකි. අභිද්‍යාව නිසා සොරකම් කරති. පරදාර සේවනය කරති. දූ කෙළිය ද අභිද්‍යාව නිසා කරන්නකි.

(1) අන් සතු වස්තුවක් වීමය
(2) එය අයත් කරගන්නට සිතීමය

යන අඞ්ග දෙකින් අභිද්‍යා නම් වූ අකුශල මනඃකර්මය සිදු වේ. ලෝභනීය වස්තුවක් දැක මෙය කොපමණ හොඳ ද යනාදීන් සිතූ පමණින් අභිද්‍යා කර්මය නොවේ. මා විසින් ද මෙවැන්නක් ලබා ගන්නට ඕනෑය යි සිතීමෙන් ද අභිද්‍යා කර්මය නො වේ. මෙය මට වුවහොත් හොඳය කියා හෝ මට අයිති වේවා ය කියා හෝ සිතූ කල්හි කර්මය වේ. එහි අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව හා විපාක ද අදත්තාදාන කර්මයෙහි මෙන් දත යුතු ය. දම්පියා අටුවාවේ චිත්ත වර්ග වර්ණනාවේ දැකවෙන සෝරෙය්‍ය ස්ථවිරයන් වහන්සේගේ කථාව මෙහිලා සැලකිය යුතුය.

09 ව්‍යාපාදය

අන්‍යයෝ නැසෙත්වා යි සිතීම ව්‍යාපාද නම් වේ. මෙය බොහෝ සෙයින් ඊර්ෂ්‍යාව මුල්කොට ඇතිවන පාපයකි. අනුන් මළ කල්හි ඔවුන්ගේ වස්තුව තමාට හිමිවීම ගැන බලාපොරොත්තුවෙන් අනුන් ගැන එසේ සිතන්නෝ ද වෙති. ඔවුන්ගේ ඒ ව්‍යාපාදය ලෝභය නිසා ඇතිවන්නකි. සමහරවිට තමාට කරදර කරන්නෝ නැසෙත්වායි ද සිතති. එය ද්වේෂය නිසා සිදුවන්නකි.

(1) අන්‍ය සත්ත්වයකු වීමය
(2) ඔහුගේ විනාශය සිතීමය

යන අඞ්ග දෙකින් ව්‍යාපාද කර්මය සිදු වේ. අනුන් කෙරෙහි කෝපය ඇති වූ පමණින් ම ව්‍යාපාද කර්මය සිදු නොවේ. නැසෙත්වා යි සිතූ කල්හි කර්මය සිදු වේ. එහි අල්ප සාවද්‍ය මහාසාවද්‍ය භාවය හා විපාක පරුෂ වචන කර්මයෙහි මෙන් දත යුතු ය.

10 මිථ්‍යාදෘෂ්ටිය

මරණින් මතු නැවත ඉපදීමක් නැත. පින් පව්ය කියා දෙයක් නැත, පින් පව්වලින් වන ඵලවිපාකයක් නැත, අපාය ය කියා තැනක් නැත, දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකයෝ ය කියා තැන් නැත, නිවනක් නැත යනාදීන් වරදවා දැකීම වරදවා පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය ය. මිථ්‍යාදෘෂ්ටි කර්මයට අඞ්ග දෙකකි. එනම්

(1) ගන්නා වූ ආකාරය වැරදි වීම ය.
(2) එයම සත්‍යය යි නිශ්චය කර ගැනීමය

යන දෙකය. මිථ්‍යාදෘෂ්ටීහු බොහෝ වෙති.