Daanaya දානය

01 දානය

ආමිෂ දාන – අභය දාන – ධර්ම දාන

පූජා වශයෙන් හෝ අනුග්‍ර‍හ වශයෙන් හෝ තමා අයත් වස්තුවක් පරහට පරිත්‍යාග කිරීම දානය යි. දෙන වස්තුව ය, දීම ය යන දෙකට ම දාන යන වචනය ව්‍යවහාර කරනු ලැබේ. දානමය කුශලය වනුයේ දෙන වස්තුව නො ව, දීමය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දීම සිදු කරන්නා වූ චේතනාව ය. ත්‍යාග යනු ද දක්ෂිණා යනු ද යාග යනු ද එයට ව්‍යවහාර කරන්නා වූ නාමයෝ ය.

දීම සාමාන්‍යයෙන් එකක් වුව ද දානය ය, පූජාව ය යන මොවුන් ගේ වශයෙන් දෙවැදෑරුම් වේ. ගුණයෙන් තමා හා සම වූ ද තමාට හීන වූ ද තැනැත්තන් හට අනුග්‍ර‍හ වශයෙන් දීම දාන නම් වේ. ගුණයෙන් තමාට උසස් වූ බුද්ධාදි උත්තමයන් වහන්සේලාට දීම පූජා නම් වේ. දාන, පූජා දෙකට අයත් නොවන්නා වූ කුලිය දීම අඹුදරුවන්ට දීම යනාදිය පුණ්‍ය සංඛ්‍යාවට නො ගනු ලැබේ.

 

ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ

ආමිෂ දානය, අභයදානය, ධර්මදානය යි ද දානය ත්‍රිවිධ වේ. එයින් ආමිෂ දානය යනු ආහාරපාන වස්ත්‍රාදිය දීමය. අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීම ය. විපතින් ගලවා ගැනීම ය. මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ ය. තමා විසින් පස් පවින් වැළකීම ද මහත් වූ අභයදාන පසක් වන බව:

“ඉධ භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති අවෙරං දෙති අබ්‍යාපජ්ජං දෙති, අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාපජ්ජං දත්වා, අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ජස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඨමං දානං මහා දානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති න සංකීයිස්සති අප්පතිකුඩ්ඪං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි” යනාදීන් අංගුත්තර නිකායෙහි දක්වා තිබේ.

ලාභ කීර්ති ප්‍ර‍ශංසාදිය ගැන අපේක්ෂාවක් නැතිව කරුණාධ්‍යාංශයෙන් පින්පව් හඳුන්වා දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානය ය. සත්ත්වයන් නිවන් මගට පමුණුවනු සඳහා ආර්‍ය්‍යසත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය ය. ධර්මකථිකයන් ලවා ධර්මය කියවීම ද, බණ නො අසන්නන් ලවා බණ ඇස්වීම ද, බණ පොත් පත් ලියවීම හා මුද්‍ර‍ණය කරවීම ද, බණ පොත් මිලට ගෙන පූජා කිරීම ද, ධර්මය ඉගෙන ගන්නවුන්ට පොත පත සපයා දීම ද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මය උගන්වන ගුරුවරයනට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීම ද, පොත් ගුල් දහම් හල් කරවීම ද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වුවත් කිරීම ද ධර්ම දානය ම වන්නේ ය.

දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර‍ දානය වේ. යමකුට සක්වළ ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩ සිටින්නා වූ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයෙකි. ඒ අතිවිශාල ආමිෂ දානයට වඩා එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දානය ම උතුම් වේ. ඒ මහා චීවර දානය, එක් ගාථාවකින් දහම් දෙසීමේ කුශලයෙන් සොළොස් වෙනි කලාව තරම්වත් නො වටිනා බව දක්වා තිබේ. තවද සක්වළ පුරා වැඩ සිටින බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පාත්‍රා පුරා දෙන මහා ආහාර දානයට ද, එසේ ම පාත්‍ර‍ පුරා දෙන මහා ග්ලානප්‍ර‍ත්‍යය දානයට ද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයට ද වඩා, ජේතවනාරාමය සඳහා අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට ද වඩා, සතර පද ගාථාවකින් පවත්වන ධර්මදානය ම උතුම් බව දක්වා තිබේ. කුමක් හෙයින් ද යත්? එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසා ම දෙන බැවිනි. මේ සත්ත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ සැන්දක් පවා පිනට නො දෙන්නාහු ය. එ බැවින් සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ.

සබ්බදානං ධම්මදානං ජිනාති

සබ්බ රසං ධම්මරසො ජිනාති

සබ්බං රතිං ධම්මරතිං ජිනාති

තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”

ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්මරතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය සකල දුඃඛය දිනන්නේ ය.

(බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහනාහිමි)

පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462  පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062

දන් දෙන පුද්ගලයාගේ සිත කුමන ආකාරයෙන් තිබිය යුතුද ?

ත්‍රිහේතුක කුශලයක් වුව ද පූර්වාපර චේතනා යහපත් නො වූ කල්හි දුබල වීමෙන් අල්ප විපාක ඇතියක් වන්නේ ය.

“පුබ්බෙව දානා සුමනො – දදං චිත්තාය පසාදයෙ

දත්වා වත්තමනො හොති – එසා යඤ්ඤස්ස සම්පදා”

“දන් දීමට පෙරාතුව ම දානය සම්බන්ධයෙන් සතුටු සිත් ඇත්තේ ව්නේ ය. දෙන කල්හි ද සිත පහදවා ගන්නේ ය. දීමෙන් පසු ද සතුටු සිත් ඇත්තේ වන්නේ ය. මේ කරුණු තුන දානයාගේ සම්පත්තිය වන්නේ ය.

පූර්ව චේතනාව

දානමය කුශලය උසස් පරිද්දෙන් ඵල දානය කරන්නක් වීමට පූර්ව චේතනාව ය පූර්ව චේතනාව යනු දාන වස්තු සැපයීම් පිළියෙළ කිරීම් ආදි වශයෙන් දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ගේ අතට පත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනා රාශිය ය. පූර්ව චේතනාව යහපත් වීමට පළමුවෙන් කළ යුතු වැඩ කරන කරවන කල්හි මතු සම්පත් ලැබීමට අනුගාමික නිධානයක් කරමිය කියා හෝ මරණින් හැර යන්නට සිදුවන ධනය ගෙන යෑමට පිළියෙළ කරමිය කියා හෝ, අසාර වූ ධනයෙන් ගත හැකි සාරය ගනිමිය කියා හෝ, සසරට පිහිටක් කර ගනිමිය කියා හෝ සසරින් එතරවීමට උපායක් කරමිය කියා හෝ, බුද්ධාදි උත්තමයන් ගිය මඟ යෙමියි කියා හෝ සලකා අත්තුක්කංසන පරවම්භනාදි ලාමක අදහස්වලින් තොරව ක්‍රියා කළ යුතු ය. 

මුඤ්චන චේතනාව

මුඤ්චන චේතනාව යනු දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනමන්නා වූ හෙවත් ප්‍ර‍තිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාව ය. මුඤ්චන චේතනාව යහපත් වනු පිණිස දාන වස්තුව ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනැමීමේ දී ද එසේ ම සලකා පිරිනැමිය යුතු ය.

අපර චේතනාව

අපර චේතනාව යහපත් වනු පිණිස මාගෙන් මෙතෙක් වියදම් වූයේය යනාදිය සලකා නොසතුටක් ඇති කර නො ගෙන සසරට පිහිටක් කර ගතිමිය යනාදීන් ඒ ගැන සතුට නැවත නැවත ඇති කර ගත යුතු ය.

දායකයෝ

මේ නියායෙන් අන්‍ය දාන වස්තු සම්බන්ධයෙන් ද දායක භේදය කිය යුතුය. විපාක ලැබෙන කල්හි දාන දාසයාට හීන විපාක ද දාන සහායයාට මධ්‍යම විපාක ද දානපතිට ශ්‍රේෂ්ඨ විපාක ද ලැබෙන්නේ ය.

01 දානදාස

තමා රසවත් ඕජාවත් ආහාරයන් වළඳමින් දන් දෙන කල්හි නො මනා නො වටනා ආහාරයන් දෙන්නේ දානදාස නමි.තමා වටනා වස්ත්‍ර‍ හඳිමින් නො මනා නො වටනා වස්ත්‍ර‍ දෙන්නේ දානදාස ය.

02 දානසහාය

තමා වළඳන සැටියට දන් දෙන්නේ දානසහාය නමි, තමා හඳන වස්ත්‍ර‍ වැනි ඒවා දෙන්නේ දාන සහාය ය.

03 දානපතිය

තමා වළඳන ආහාරයට වඩා යහපත් ආහාර දන් දෙන්නේ දානපති නමි.තමා හඳින වස්ත්‍ර‍යන්ට වඩා සුන්දර වස්ත්‍ර‍ දෙන්නේ දානපති ය.

01 අවර්ෂී

වස්නට මෙන් ගර්ජනා කර නො වස්නා වලාවක් සේ දෙන්නට කථා කිරීමෙන් ම නවත්නා තැනැත්තේ අවර්ෂි නමි

02 ප්‍රදේශ වර්ෂී

 සමහර තැනකට පමණක් වස්නා වළාවක් මෙන් එක් තැනකට දෙතැනකට පමණක් දෙන තැනැත්තේ ප්‍රදේශ වර්ෂි නමි

03 සර්වත්‍ර‍ වර්ෂීය

මුළු රටට ම වස්නා මහ වලාවක් මෙන් නිකාය භේද කුල භේද රට භේද නෑ කම් මිතුරුකම් නො සලකා සැමට ම දෙන තැනැත්තේ සර්වත්‍ර‍ වර්ෂි නමි.

දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය

වස්තු සම්පත්තිය ය, ප්‍ර‍ත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය

මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහතාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නො වේ.

දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාල සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍ර‍හයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍ර‍කට ය.

වස්තු සම්පත්තිය ය

වස්තු සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය

මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.

ප්‍ර‍ත්‍යය සම්පත්තිය

ප්‍ර‍ත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය

චේතනා සම්පත්තිය

චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය

ගුණාතිරේක සම්පත්තිය

ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය

ත්‍රිවිධ දාන සම්පත්තිය

දන් දීම කුඹුරු වැපිරීමක් වැනි ය. කුඹුරක් වැපිරීමෙන් බොහෝ ඵල ලැබෙන්නේ කුඹුරය, වපුරන වියය, ගොවියා ය යන තුන ම යහපත් වූ කල්හි ය. දන්දීමේ දී ප්‍ර‍තිග්‍රාහකයා කුඹුර වැනි ය. දෙන්නා වූ වස්තුව වපුරන විය වැනිය. දායකයා ගොවියා වැනි ය. හොඳ කුඹුරක හොඳ වියක් හොඳ ගොවියකු විසින් වපුල හොත් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන්, යහපත් කුඹර වැනි වූ ගුණවත් ප්‍ර‍තිග්‍රාහකයකු හට, යහපත් විය වැනි වූ ධර්මයෙන් උපයා ගත් වස්තුවක් කුඹුරු වැඩ හොඳින් දත් අනලස ගොවියකු වැනි වූ කම්පල හා ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ දැන ගැනීමට සමර්ථ වූ ද චේතනාත්‍ර‍ය පිරිසිදු කර ගැනීමට සමර්ථ වූ ද දායකයකු විසින් දෙන ලදුයේ නම් එයින් බොහෝ අනුසස් ඇත්තා වූ මහත් වූ කුශලයක් ලැබෙන්නේ ය. කුඹුරු වැපිරීම ගැන කියන ලද කරුණු තුනෙන් එකක් මුත් නො මනා වුවහොත් එයින් ලැබෙන ඵලය හීන වන්නාක් මෙන් දන් දීම සම්බන්ධයෙන් කී කරුණු තුනෙන් එකකුදු හීන වුව හොත් පුණ්‍ය ඵලය ද හීන වේ. හීනවීමය යි කියනුයේ කිසිම ඵලයක් නො ලැබී යාම නොව, ඵල අඩුවීම ය. හොඳ ම ප්‍ර‍තිග්‍රාහකයකු සොයා ගෙන දන් දීම යහපති. එබැවින්:

“විචෙය්‍ය දානං දාතබ්බං – යත්ථ දින්නං මහප්ඵලං

විචෙය්‍ය දානං දත්වාන – සග්ගං ගච්ඡන්ති දායකා”

යනු වදාරන ලදි. “යම් තැනකට දෙන දන මහත් ඵල වේ ද එතැ සොයා දන් දිය යුතුය. විමසා දන්දීම හේතු කොට දායකයෝ ස්වර්ගයට යන්නාහ.” යනු එහි තේරුමයි.

“විචෙය්‍ය දානං සුගතප්පසත්ථං

යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ

එතෙසු දින්නානි මහප්ඵලානි

බීජානි වුත්ථානි යථා සුඛෙත්තෙ”

“මේ ලෝකයෙහි යමෙක් දක්ෂිණේයයෝ වෙත් ද ඔවුන් සොයා තෝරා ගෙන දන් දීම බුදුන් වහන්සේ විසින් පසස්නා ලද්දේ ය. යම් සේ යහපත් කුඹුරක වපුළ විය බොහෝ ඵල ගෙන දෙන්නේ ද එමෙන් ම තෝරා ගත් ගුණවතුන්ට දෙන දානය බොහෝ ඵල ගෙන දෙන්නේ ය” යනු එහි තේරුම යි.

“උජ්ජංගලෙ යථා ඛෙත්තෙ – බීජං බහුකම්පි රොපිතං

න විපුලං ඵලං හොති – න පි තොසෙති කස්සකං

තථෙව දානං බහුකං – දුස්සීලෙසු පතිට්ඨිතං

න විපුලං ඵලං හොති – නපි තොසෙති දායකං”

“තද වූ බිම් ඇත්තා වූ කුඹුරෙහි බොහෝ බීජයන් රෝපණය කෙළේ ද බොහෝ ඵල ඇති වන්නේ නො වේ. ඒ ගොවිතැන ගොවියා සතුටු කර වන්නක් ද නො වේ. එමෙන් බොහෝ වූ ද දාන වස්තුව දුශ්ශීලයන් හට දෙන ලද්දේ ද මහත් ඵල ඇති කරන්නේ නොවේ. දායකයාගේ සිත සතුටු කරවන්නේ ද නොවේ.” යනු එහි තේරුම ය.

“යථා පි භද්දකේ ඛෙත්තෙ – බීජං අප්පම්පි රොපිතං

සම්මා ධාරං පවෙච්ඡන්තෙ – ඵලං තොසෙති කස්සකං

තථෙව සීලවන්තෙසු – ගුණවන්තෙසු තාදිසු

අප්පකම්පි කතං කාරං – පුඤ්ඤං හෝති මහප්ඵලං”

“යම් සේ යහපත් කුඹුරක රෝපණය කරන ලද්දා වූ මඳ වූ ද බීජ සමූහය මනාකොට වැසි වටනා කල්හි එයින් හට ගන්නා ඵලය ගොවියා සතුටු කරවන්නේ ද, එමෙන් සිල් ඇත්තා වූ ගුණවත් වූ ලාභාලාභාදියෙහි සමාන පැවතුම් ඇත්තා වූ පුද්ගලයන් කෙරෙහි කරන ලද්දා වූ මඳ වූ සත්කාරය වූ පින මහත්ඵල වේ” ය යනු එහි තේරුම යි.

විනය පර්‍ය්‍යායයෙන් හා අභිධර්ම පර්‍ය්‍යායයෙන් දානයෝ

විනය ක්‍ර‍මයෙන්

 චීවර දානය ය, පිණ්ඩපාත දානය ය, සේනාසන දානය ය, ග්ලානප්‍ර‍ත්‍යය දානය යි .

අභිධර්ම ක්‍ර‍මයෙන්

රූප දානය ය, ශබ්ද දානය ය, ගන්ධ දානය ය, රස දානය ය, ස්ප්‍ර‍ෂ්ටව්‍යය දානය ය, ධර්ම දානය යි.

වෘත්ත නිඃශ්‍රිතාදි දානත්‍ර‍ය

වෘත්තනිඃශ්‍රිත දානය

මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලබනු සඳහා දෙන දානය වෘත්ත නිඃශ්‍රිත දානය ය

විවෘත්ත නිඃශ්‍රිත දානය

සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය

උභය නිඃශ්‍රිත දානය

 ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගය ම පතා දෙන දානය උභය නිඃශ්‍රිත දානය ය

දක්ෂිණා විශුද්ධි සතර

 ප්‍ර‍තිග්‍රාහකයා නිසා නොව දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වන දානය

සිල්වත් දායකයකු විසින් දුශ්ශීල ප්‍ර‍තිග්‍රාහකයකුට දෙන දානය දායකයාගේ යහපත් බව නිසා මහත්ඵල වේ. වෙසතුරු රජතුමා හට නිර්ගුණ වූ ජූජකයාට දන් දී පොළොව පවා කම්පා කළ හැකි වූයේ ද ලොව්තුරු බුදු බව ලැබිය හැකි වූයේ ද දායකයා ගේ ගුණය නිසා දානය මහත් ඵල වන බැවිනි.

 දායකයාගේ යහපත් බව නිසා නොව ප්‍ර‍තිග්‍රාහකයාගේ යහපත් බව නිසා මහත් ඵල වන දානය

දුශ්ශීලයකු විසින් සිල්වතකුට දෙන්නා වූ දානය ප්‍ර‍තිග්‍රාහකයාගේ ගුණය නිසා මහත් ඵල වේ. කැලනි ගං මෝය අසල විසූ කෙවුලෙක් “දීඝසෝම” නම් වූ සිල්වත් භික්ෂූන් වහන්සේ කෙනකුට තෙවරක් පිණ්ඩපාතය දිණ. හේ මරණාසන්නයේ දී “දීඝසෝම තෙරුන් වහන්සේට දුන් දානය මා ගලවා ගන්නේය” යි කියා කාලක්‍රියා කොට දෙව් ලොව උපන්නේ ය

 දායක ප්‍ර‍තිග්‍රාහක දෙදෙනාගේ ම නිර්ගුණත්වය නිසා මහත්ඵල නො වන දානය

දුශ්ශීලයකු විසින් දුශ්ශීලයකුට ම දෙන දානය මහත්ඵල නොවන දානය යි. වඩ්ඪමාන නම් ගම විසූ වැද්දෙක් ඥාති ප්‍රේතයකු උදෙසා දුසිල් මහණකට තෙවරක් ම දන් දිණ. ප්‍රේතයාට පින් නො ලැබිණ. තුන්වන වර දී “මගේ දානය දුශ්ශීලයෙක් පැහැර ගන්නේ ය” යි ප්‍රේතයා කෑ ගැසීය. පසුව සිල්වතකු සොයා දන් දී පින් දුන් කල්හි ප්‍රේතයාට පින් ලැබිණ.

දායක ප්‍ර‍තිග්‍රාහක දෙදෙනා ම ගුණවත්වීම නිසා ඉතා මහත් ඵල වන දානය

සිල්වතකු විසින් සිල්වතකුට ම දෙන දානය උත්තම වේ. දෙපක්ෂය ම ශුද්ධ නිසා ගුණවත් නිසා ඒ දානය විශේෂයෙන් ම මහත්ඵල වේ.

දශ දාන වස්තු

අන්නං පානං වත්ථං යානං – මාලා ගන්ධ විලෙපනං

සෙය්‍යාවසථ පදීපෙය්‍යං – දාන වස්ථු ඉමෙ දස

01 බත් මාලු කැවිලි පලතුරු ආදි ආහාර
02 තේ කෝපි කිරි ආදි බොන දෙය
03 වස්ත්‍ර‍
04 ගමනාගමනයට වුවමනා රථවාහන
05 මල්
06 සඳුන්, කපුරු ආදි සුගන්ධ වර්ග
07 ඇඟ ගල්වන ද්‍ර‍ව්‍යයෝ
08 හිඳ ගැනීමට හා නිදාගැනීමට වුවමනා ඇඳ පුටු කොට්ට මෙට්ට ආදිය 
09 ගෙවල් 
10 පහන් දැල්වීමට වුවමනා උපකරණය

මේ ගාථාවෙහි දානවස්තු දශයක් දක්වා තිබෙන්නේ ප්‍ර‍ධාන වස්තු දැක්වීමක් වශයෙනි. මත්පැන් ආදි ලොවට අනර්ථය පිණිස පවත්නා දේවල් හැර මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වූ සියල්ල ම දාන වස්තූහුය. මේ දශ දාන වස්තුව දක්වා තිබෙන්නේ ගිහි පැවිදි කාහටත් දිය යුතු වස්තු දැක්වීමක් වශයෙනි. භික්ෂූන් වහන්සේලාට දෙන කල්හි ඒවායින් කප්පිය වස්තුන් පමණක් දිය යුතු ය.

පෞද්ගලික දාන 14 තුදුස

දානය : සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය මෙය අසවල් හාමුදුරුවන්ටය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. පෞද්ගලික දාන තුදුසක් හා සාංඝික දාන සතක් දැ යි එක් විස්සක් දක්ෂිණා විභඞ්ග සූත්‍රයෙහි දක්වා තිබේ. එහි පෞද්ගලික දාන තුදුස මෙසේ ය.

01 ලොව්තුරා බුදුනට දෙන දානය,
02 පසේ බුදුනට දෙන දානය,
03 රහතුනට දෙන දානය,
04 අර්හත්ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය,
05 අනාගාමි පුද්ගලයාට දෙන දානය,
06 අනාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
07 සකෘදාගාමි පුද්ගලයාට දෙන දානය,
08 සකෘදාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
09 සෝවාන් පුද්ගලයාට දෙන දානය,
10 සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය,
11 සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධ්‍යාන ලාභීන්ට දෙන දානය,
12 සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය,
13 සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය,
14 තිරිසනුන්ට දෙන දානය

යන මේ තුදුස පෞද්ගලික දානයෝ ය. තිසරණ ගත උපාසකයෝ ය, පන්සිල් රක්නා උපාසකයෝ ය. අටසිල් නව සිල් දස සිල් රකින්නෝ ය, සාමණේර ශීලය රකින්නෝ ය, උපසම්පදා ශීලය රකින්නෝ ය යන සියල්ලෝ ම සෝවාන් ඵලය ලබනු පිණිස පිළිපන්නෝ ය. එ බැවින් ඔවුන් අතුරෙන් කවරකුට වුව ද දීම දස වන දානය වේ. එහෙත් ඔවුන්ගෙන් ගුණ වැඩි අයට දීම වඩා උසස් දානය වේ. දොළොස් වන දානයෙහි කී ශාසනයෙන් බැහැර වූ පෘථග්ජන සිල්වත්හු නම් පවින් වැළකී දැහැමින් ජීවත් වන්නා වූ අබෞද්ධයෝ ය. තෙළෙස්වන දානයෙහි කී පෘථග්ජන දුශ්ශීලයෝ නම් මසුන් මැරීම් ආදියෙන් අධර්මයෙන් ජීවත් වන අබෞද්ධයෝ ය. ප්‍රාණඝාතාදිය කරන බෞද්ධයා ද තිසරණ ගත් බැවින් දස වන දානයෙහි කී පුද්ගලයන්ට අයත් වේ.

පෞද්ගලික දානයේ විපාක

අහක දැමිය යුතු දෙයක් අහක දමනු වෙනුවට දීමත්, ප්‍ර‍යෝජනය ලබන ගවාදි සතුන්ට ඒ නිසා දීමත්, සාගින්න නිවෙන්නට ප්‍ර‍මාණ නො වන පරිද්දෙන් බත් පිඩක් දෙකක් දීමත් හැර, පින් කැමැත්තෙන් බලු කපුටු ආදි සතකුට කුස පුරා ආහාරයක් දීමෙන් ජාති සියයක දී ආයුෂය, වර්ණය ය, වර්ණය ය, සැපය ය, බලය ය, ප්‍ර‍ඥාවය යන ආනිසංසයෝ ලැබෙත්. පෘථග්ජන දුශ්ශීලයාට දන් දීමෙන් ජාති දහසක දී ද පෘථග්ජන සිල්වතාට දන් දීමෙන් ජාති ලක්ෂයකදී ද සර්වඥ ශාසනයෙන් බැහැර ධ්‍යානලාභීන්ට දන්දීමෙන් ජාති කෝටි ලක්ෂයක දී ද ආයුෂාදි සම්පත් ලැබෙන්නේ ය. සෝවාන් ඵලය පිණිස පිළිපදින තැනැත්තාගේ පටන් ගුණවත් පුද්ගලයන්ට දන් දීමෙහි ආනිසංසය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන්නේ ය.

දානය වෘත්තනිඃශ්‍රිත දානය ය, විවෘත්ත නිඃශ්‍රිත දානය ය, උභය නිඃශ්‍රිත දානය ය යි, තුන් ආකාර වේ. මනුෂ්‍ය දිව්‍ය සම්පත් ලබනු සඳහා දෙන දානය වෘත්ත නිඃශ්‍රිත දානය ය. සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් ලබනු පිණිස දෙන දානය විවෘත්ත නිඃශ්‍රිත දානය ය. ලෞකික ලෝකෝත්තර සම්පත් දෙවර්ගය ම පතා දෙන දානය උභය නිඃශ්‍රිත දානය ය. කොපමණ මහත් දානයක් වුව ද ලෞකික සම්පත් පතා දුන හොත් ඒ හේතුවෙන් ලෞකික සම්පත් ම මිස ලෝකෝත්තර සම්පත් නො ලැබෙන්නේ ය. “සචෙ වට්ට සම්පත්තිං පත්ථෙත්වා වට්ට නිස්සිත වසෙන මිච්ඡා ඨපිතං හොති, වට්ට මෙව ආහරිතුං සක්කොති, නො විවට්ටං” යන අටුවා පාඨයෙන් ඒ බව දැක්විණ. “ඉදං මේ දානං ආසවක්ඛ්‍යාවහං හොතුති එවං විවට්ටං පත්ථෙන්තෙන විවට්ට වසෙන සම්මා ඨපිතං අරහත්තම්පි පච්චෙකබොධි ඤාණම්පි සබ්බඤ්ඤුත ඤාණම්පි දාතුං සක්කොති එව” යන අටුවා පාඨයෙන් දැක්වෙන පරිදි, මාගේ මේ දානය ආශ්‍ර‍වක්ෂය සංඛ්‍යාත අර්හත්වය ගෙන දෙන්නෙක් වේ වා” යි විවෘත්තය පතන්නහු විසින් විවෘත්ත නිඃශ්‍රිත කොට මනා කොට තබන ලද්දේ එයින් අර්හත්වය ද ප්‍රත්‍යෙක බෝධිඥානය ද සර්වතාඥානය ද යන සියල්ල ම ලබා දෙන බව දත යුතුය. අර්හත්වය හෝ නිවන පතා දෙන්නවුන්ට නො පැතුයේ ද, ඒ කුශලයෙන් නිවනට පැමිණෙන තුරු දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද ලබා දෙන්නේ ය. දාන පාරමිතාව වනුයේ ද විවෘත්ත නිඃශ්‍රිත දානය ය. වෘත්ත නිඃශ්‍රිත දානය දාන පාරමිතාවට ඇතුළත් නොවේ. මෙකල දන් දෙන බොහෝ දෙනා දන් දී දිව්‍යමනුෂ්‍ය සම්පත් ලබා අන්තිමේ දී නිර්වාණ සම්පත්තිය ලැබේවා යි පතති. එසේ පතන්නවුනට නිවන් ලැබීමට බොහෝ කල් ගත වේ. එබැවින් දන් දී අනෙකක් නො පතා අර්හත්වය හෝ නිවන ලැබේවා යි පැතීම ම යහපති. පෙර පසේ බුදුවරයකුට එක දා උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගෙන් නිවන් පමණක් පැතූ තැනැත්තා විපස්සී බුදුන් වහන්සේ ගේ සස්නෙහි දී නිවනට පැමිණියේ ය. භවභෝග සම්පත් ද සමඟ නිවන් සම්පත් පැතූ සහෝදරයාට නිවනට පැමිණිය හැකි වූයේ ඊට කල්ප අනූ එකකට පසු අප බුදුන්ගේ සස්නෙහිදී ය. විස්තර දම්පියාටුවාවේ ජෝතිය සිටාණන්ගේ කථාව බලා දත යුතුය.

සාංඝික දාන සත

01 එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය
තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
02 සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.
03 භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.
04 භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.
05 මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය
කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය
06 එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.
07 එසේ නිමන්ත්‍ර‍ණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.

මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේ ය කියා නියමයක් නො කොට මාගේ දානය පිළිගැනීමට මෙ පමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවිරයන් වහන්සේට ආරාධනය කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩම කරන සේක්වා යි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍ර‍ණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන් දුන් කල්හි සවන සාංඝික දානය දුන්නේ වේ. එසේ දීමේදී “ඉමං භික්ඛං භික්ඛුසඞ්ඝස්ස දේම” යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව “සිල්වතෙක්ය ගුණවතෙක්ය” කියා සිත සතුටු කර ගෙන හෝ “දුශ්ශීලයෙක අනුපසම්පන්නයෙක” කියා සිත නො සතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නො වේ. සාංඝික වන්නට නම් පැමිණෙන භික්ෂුවගේ ගුණාගුණ නො සිතා සංඝයාට දෙන අදහසින් දිය යුතු ය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැන ම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්‍ය්‍යයෙකි. සඟින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබා ගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු සැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ ය:
පෙර සංඝාවාසයක දායකයකු වූ එක් උපාසක තුමෙක් සාංඝික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සඟින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍ර‍ණය කෙළේ ය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්ශීල භික්ෂුවකි. උපාසකතුමා ද ඒ භික්ෂුව ගැන දන්නේ ය. එහෙත් ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පා සෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින් ද පුදා ඉතා ගෞරවයෙන් දන් දිණි. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේ ය. උපාසක තැන භික්ෂුව දැක හුනස්නෙන් නො නැගීම “ගෙන යනුයි” කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසි කළේය. එය දුටු මනුෂ්‍යයෝ “මේ භික්ෂුවට දානයට පැමිණි වේලාවේ දී බුදුනට සේ ගරු බුහුමන් කොට දැන් මෙසේ කිරීමට කරුණ කවරේ දැ”යි විචාළහ. උපාසකතුමා, “මා ඒ වේලාවේ දී ගරු බුහුමන් කෙළේ මේ භික්ෂුවට නොව සංඝ රත්නයට ය”යි කී ය. සංඝ රත්නයෙන් නමක් දෙනමක් ලබා ගෙන සවෙනි සාංඝික දානය දෙන්නෝ මේ උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණාගුණ ගැන නො සලකා සංඝ ගුණය ම සලකා දන් දීම කෙරෙත්වා.

සාංඝික දානයේ අනුසස්

“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍ර‍භූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”

යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍ර‍මණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.

සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍ර‍මාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍ර‍මාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍ර‍මාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.

අසත්පුරුෂ දාන පස

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”

යනුවෙන් “අංගුත්තර නිකාය” පඤ්චක නිපාතයෙහි අසත්පුරුෂ දාන පසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

01 ප්‍ර‍තිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
02 දාන වස්තුව කෙරෙහි හා ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
03 සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
04 නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
05 මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැතිව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍ර‍තිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍ර‍තිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍ර‍තිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍ර‍තිග්‍රාහකයන්ගේ වැඩ පාළු වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍ර‍තිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවනේ කරදරයක් නැති ව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන ව කිය යුතු ය.

දන්දෙන කල්හි ඒ දෙන දානය අසත්පරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන සැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍ර‍තිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුනහොත් ය. ප්‍ර‍තිග්‍රාහකයන්ට අලාභ හානි කරදර වන සැටියට දෙන දානයක් නො දීම ද යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභ හානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍ර‍තිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත. දෙන අය විසින් බැලිය යුත්තේ බොහෝ දෙනකුට දීම ගැන නොව ප්‍ර‍තිග්‍රාහකයන්ට පහසුවක් ලාභයක් සුවයක් වන සැටියට ටික දෙනකුට වුවත් දීම ගැන ය. දන් දීමේ පරමාර්ථය අනුන්ට පහසුවක් ඇති කිරීම ය.

අසත්පුරුෂ දානයේ විපාක

අසත්පුරුෂ දානය දුන්නවුන්ට එහි විපාක වශයෙන් ඔවුන්ගේ දානය සේ ම අයහපත් වූ භව භෝග සම්පත් ලැබෙන්නේ ය. ඔවුනට සංසාරයේ දී ලැබෙන්නේ මීයන්ගෙන් වේයන්ගෙන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් මකුණන්ගෙන් හා තවත් නොයෙක් සතුන්ගෙන් කරදර ඇත්තා වූ හෝ සතුරන්ගෙන් නිතර කරදර ඇත්තා වූ හෝ තැනක් සංස්කරණය කරන කල්හි තැනක් කැඩෙන්නා වූ හෝ තැනක් සෙවෙනි කරන කල්හි තැනකින් තෙමෙන්නා වූ හෝ ගෙවල් ය. ගවාදි සතුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ජලය අඩු වැඩි කමින් හෝ කරදර බහුල වූ වතු කුඹුරු ය. අකීකරු වූ අඹුදරුවෝ ය. කරදරයක් නැති සැටියට වස්තුව ලද හොත් ඒවා බුක්ති විඳීමට ඔවුන්ගේ සිත් නො නැමේ. ඔවුහු මටසිලුටු සියුම් වස්ත්‍ර‍ ලදත් ඒවා නො හැඳ දළ රෙදි හඳිති. හොඳ ආහාර ඇතත් ඒවා අගුණ වෙති යයි සිතා නීරස නො මනා ආහාර අනුභව කරති. හොඳ යාන වාහන ඇතත් ඒවායින් යෑම අන්තරාය සහිතය යි සිතා කබල් රියවලින් යෙති. මේ අසත්පුරුෂ දානයෙන් විපාක ලැබෙන සැටි ය.

කඨින චීවර දානය

කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි. එය පෙර වස් වසා පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් පමණක් දිය හැකි දානයෙකි. වප් මස අව පෑළවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කඨිනය දිය හැකි කාලය ය. ඒ කාලයට චීවර මාසය යි ද කියනු ලැබේ. කඨින චීවරය ලැබීම නිසා පස් මගක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍ර‍තිපත්ති පසක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයකි. අන් සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම් වලින් එකකුදු නො ලැබේ. එබැවින් කඨිනය දෙන දායකයන්ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුශලයට වඩා අනුසස් ඇති කුශලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්‍යකර්මයකි.

කඨින දිය යුත්තේ මෙසේ ය: ඇසළ මස අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනයෙහි පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුළ දී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍ර‍මාණය වන අලුත් වස්ත්‍ර‍යක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදි උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් ගෙන ගොස් ඉතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම පූජා කළ යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදින ම සිවුරක් කර ගත යුතු බැවිනි. කපා මසා පඬු පොවා අවසන් කළ සිවුරක් ද කඨින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කඨිනය පුද කරත හොත් කවර වේලාවක වුව ද පූජා කළාට වරදක් නැත.

පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකි ය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකි තාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිතය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරු ද, ආහාර පාන හා බෙහෙත් වර්ග ද, ඇඳ පුටු මේස ආදි දැව භාණ්ඩ ද, ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ද, පිඟන් කෝප්ප සැලි ආදි මැටි බඳුන් ද, කුඩා සැළි, කළ, කල්දේරම් ආදි තඹ පිත්තල බඩු ද, කැති පොරෝ මන්නා පිහියා උදලු ආදි යකඩ බඩු ද, ඉදල් මුසුන් වට්ටි පෙට්ටි පෙරහන්කඩ ආදිය ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනවත් තවත් නොයෙක් දේ ද එක්කොට පිදිය හැකිය.

එක් අයෙකු පිදූ කඨින වස්ත්‍ර‍ය කපා මසා පඬු පොවා කඨිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකෙක් තවත් බොහෝ පරිවාර වස්ත්‍රාදිය සමග කඨින වස්ත්‍ර‍යක් ගෙන ආවහොත් සංඝයා විසින් එය ද පිළිගත යුතු බව –

“සචේ තස්මිං අනත්ථතෙ එව අඤ්ඤො කඨින සාටකං ආහරති. අඤ්ඤානි ච බහූනි කඨිනානිසංස වත්ථානි දෙති. යො ආනිසංසං බහුං දෙති. තස්ස සන්තකෙන අත්ථරිතබ්බං ඉතරො තථා තථා ඔවදිත්වා සඤ්ඤාපෙතබ්බො” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.

පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන

“අප්පස්මෙකෙ පවෙච්ඡන්ති – බහුනෙකෙ න දිච්ඡරෙ

අප්පස්මා දක්ඛිණා දින්නා – සහස්සෙන සමං මිතා”

ඇතැමෙක් තමාට ස්වල්ප දෙයක් ඇතුව සිට එයින් දන් දෙති. ඇතමෙක් බොහෝ වස්තුව ඇතුව ද එයින් දන් නො දෙති. යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මඳ දීමනාව පොහොසතකුගේ දහසක් දීම හා සමය යනු මෙහි අදහසයි. මෙයින් දුප්පතකු විසින් දෙන රුපියලක් වටිනා දානය පොහොසතකුගේ දහසක් වටිනා දානයට සමවන බවත්, දුප්පතා එක් භික්ෂුවකට දෙන දානය පොහොසතකු විසින් භික්ෂූන් දහසකට දෙන දානය හා සමාන බව ද ප්‍ර‍කාශිත ය. ඇතැම්හු දුප්පත් නිසා අපට නො දිය හැකි යයි දීමට පසුබට වෙති. එය අනුවණ කමකි. තමාට ඇති සැටියට බත් සැන්දක් වුවත් දිය යුතු ය. දුප්පතාට එය මහා දානයෙකි. “අසය්හ” සිටාණන් දන් දෙන තැනට යන දුගී මගී යාචකාදීන්ට දකුණු අත දිගු කොට මඟ පෙන්වූ දුප්පත් මිනිසෙක් ඒ පිනෙන දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මඟ පෙන්වූ පිනෙන් ම එපමණ ඵලයක් වූ කල්හි ස්වල්පයක් මුත් දෙන තැනැත්තකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතු ද? දුප්පත් යයි සිතා පසුබට නොවී ස්වල්පයක් වුවත් දීමට පින් කැමතියන් පුරුදු කර ගත යුතුය.

කාල දානයෝ

“පඤ්චිමානි භික්ඛවෙ, කාල දානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති, ගමිකස්ස දානං දෙති. ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යානි තානි නව සස්සානි නව ඵලානි පඨමං සීලවන්තේසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාල දානානි.”

යනුවෙන් කාල දාන පසක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීමය, ගමිකයන්ට දන් දීමය, රෝගීන්ට දන් දීමය, දුර්භික්ෂයෙහි දන් දීමය, ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මොහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්නෝ ය. ගමිකයෝ නම් යම්කිසි තැනකට යෙමින් සිටින්නෝ ය. ආගන්තුක වූ ද ගමික වූ ද ගිලන් වූ ද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටින්නෝ ය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන් ම වුවමනා අවස්ථාවෙකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දුර්භික්ෂය සැමට ම ආහාර පාන දුර්ලභ අවස්ථාවෙකි. එ බැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයෙකි. ගොවිකමකින් පළමු ලැබුණ දෙය උතුම් වස්තුවකි. එය උත්තමයනට දීම ද කාල දානයෙකි.

“කාලෙ දදන්ති සප්පඤ්ඤා – වදඤ්ඤූ වීතමච්ඡරා

කාලෙන දින්නං අරියෙසු – උජුභූතෙසු තාදිසු

විප්පසන්නමනා තස්ස – විපුලා හොති දක්ඛිණා”

මසුරු මල දුරු කළා වූ දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය වාචා චිත්ත වංකයන් ප්‍ර‍හීණ බැවින් අවංක වූ ඉෂ්ටානිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්‍ය්‍යයන් කෙරෙහි ප්‍ර‍සන්න සිත් ඇත්තා වූ යමෙක් දන් දේ ද, ඔහුගේ දානය මහත් ඵල වන්නේ ය යනු ගාථාවෙහි අදහසයි.

පින් නො වන පව් සිදු වන දාන

“පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලොකස්මිං කතමානි පඤ්ච? මජ්ජ දානං, සමජ්ජ දානං, ඉත්ථි දානං, උසභ දානං, චිත්ත කම්ම දානංති.”

යනුවෙන් විනය පරිවාර පාළියෙහි අපුණ්‍ය දාන පසක් ඇති බව දක්වා තිබේ

 මත් පැන් දීම

අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීම

පුරුෂයනට නො මනා ක්‍රියාවලට ස්ත්‍රීන් දීම

දෙනුනට ගැබ් ගැන්වීමට ගොනුන් දීම

නො දීමේ වරද හා දීමේ අනුසස්

“යස්සෙව භීතො න දදාති මච්ඡරි

තදේව දදතො භයං

ජිගච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ජරි

තමෙව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච”

තේරුම –

මසුරා යමකට බියෙන් නො දේ ද, නො දීමෙන් ඔහුට වන බිය ද එය ම ය. සා ගින්නය පිපාසාවය යන යමකට මසුරා බිය වේ ද, එය ම ඒ බාලයාට මෙලොව දී ද පරලොව දී ද (දන් නොදීම නිසා) පැමිණේ.

01 “ආදිත්තස්මිං අගාරස්මිං – යං නීහරති භාජනං
තං තස්ස හොති අත්ථාය – නො ච යං තත්ථ ඩය්හති
02 එවමාදිපිතො ලොකො – ජරාය මරණෙන ච
නීහරෙථෙව දානෙන – දින්නං හොති සුනීහතං
03 දින්නං සුඛ ඵලං හොති – නාදින්නං හොති තං තථා
චොරා හරන්ති රාජානො – අග්ගි ඩහති නස්සති
04 අථ අන්තෙන ජහති – සරීරං සපරිග්ගහං
එතදඤ්ඤාය මෙධාවි – භුඤ්ජෙථ ච දදෙථ ච”
තේරුම

01 ගෙයක් ගිනි ගත් කල්හි යම් භාජනාදියක් ඉන් බැහැර කෙළේ නම් එය ඔහුගේ ප්‍රයෝජනය පිණිස වේ. යමක් බැහැර නො කරන ලද ද එය එහි දැවෙන්නේ ය.
02 එ මෙන් ලෝකය ජරාවෙන් හා මරණයෙන් ඇවිල ගත්තේ වේ. එ බැවින් දන්දීම් වශයෙන් තමන් සතු වස්තුව දැවෙන ලෝකයෙන් බැහැර කර ගනිව්. දෙන ලද දෙය බැහැර කර
ගන්නා ලද්ද වන්නේ ය.
03 දුන් දෙය සැප විපාක ඇති කරන්නේ වේ. නො දෙන ලද්ද වැඩීමක් නො වී එහි ම නැසෙන්නේ ය. එය සොරු ද ගනිති. රජහු ද ගනිති. ගින්න ද දවයි. විනාශ ද වෙයි.
04 ඉක්බිති ඉතිරි වස්තුව සහිත වූ ශරීරය ද මරණයෙන් හැර දමන්නට සිදු වන්නේ ය. එය දැන නුවණැත්තේ වස්තුව අනුභව ද කරන්නේ ය. දීම ද කරන්නේ ය.

01 “දදං පියෝ හෝති භජන්ති නං බහුං
කිත්තිං ච පප්පොති යසොභි වඩ්ඪති
අමඞ්කුභුතො පරිසං විගාහති
විසාරදො හොති නරො අමච්ඡරි
02 තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා
විනෙය්‍ය මච්ඡෙර මං සුඛෙසනො
තේ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා
තිදිවානං සහව්‍යතං ගතා රමන්ති.”
තේරුම

01 දෙන තැනැත්තේ ලෝකයාට ප්‍රිය වේ. බොහෝ දෙනා ඔහු භජනය කරති. හේ කීර්තියට පැමිණේ. ඔහුට පිරිවර වැඩේ. හේ නිර්භීත වූයේ පිරිස් මැදට යේ. නො මසුරු මිනිස්
තෙමේ සතුටින් වෙසේ.
02 එ බැවින් සැප සොයන්නා වූ නුවණැත්තෝ මසුරු මලය දුරු කොට දන් දෙති. ඔවුහු බොහෝ කල් දෙව් ලොව සිටියාහු දෙවියන් හා එක්වීමට ගියාහු සතුටු වෙති.
“එවං චෙ භික්ඛවෙ, සත්තා ජානෙය්‍යුං දාන සංවිභාගස්ස විපාකං යථා අහං ජානාමි න අදත්වා භුඤ්ජෙය්‍යුං, න ච නෙසං මච්ඡෙර මලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය යො පි නෙසං
අස්ස චරිමෝ ආලොපො චරිමං කබලං තතො පි න අසංවිභජිත්වා භුඤ්ජෙය්‍යුං.

තේරුම

මහණෙනි, මම යම් සේ දානයාගේ විපාක දනිම් ද මේ සත්ත්වයෝ එසේ දනිත් නම් දන් නොදී තුමූ නො වළඳන්නාහ. මසුරු මලය ඔවුන්ගේ සිත, යට කරගෙන නො සිටින්නේ ය. ඔවුන්ට යම් අන්තිම බත් පිඩක් වේ නම් එයින් ද දන් දී වළඳන්නාහු ය.

(බෞද්ධයාගේ අත්පොත – රේරුකානේ චන්දවිමල මහනාහිමි)

පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462  පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062