Buddha Rathnaya බුද්ධ රත්නය

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බලයෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නොවන ගුණ ඇත්තාවු මහොත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවිය ඇතුරෙන් සියල්ලටම උසස් පදවිය බුද්ධ පදවිය යි. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර පරිත්‍යාග, භාර්යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග, යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට මිස සැමටම කළ හැකි වැඩක් නොවන බැවින් ලෝකයෙහි බුදු කෙනෙකු පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.
බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය පුද්ගලයෙකි. උන්වහන්සේගේ ගුණ තබා ශරීරය ද ප්‍රමාණ කළ නොහේ කොපමණ උස කෙනෙකුට වුව ද උන්වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකිය.
ලෝකයෙහි සැමටම වඩා සෝබන තැනැත්තාද උන් වහන්සේමය. මිනිස්ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ස්වභාවයෙන් උන්වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙක්ද නැත. උන්වහන්සේගේ ශරීරය රන්වන්ය. ඔපනැගූ රන් කඳක් සේ දිළිසෙන්නේය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේය.
සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේගේ සිත අති පාරිශුද්ධය. කරුණාවෙන් තෙත්ය. තමන් වහන්සේගේ පුත්‍ර වූ රහල් කුමරුන් කෙරෙහි මෙන්ම දේවදත්ත ආදී සතුරන් කෙරෙහි ද උන් වහන්සේ ගේ මහා කරුණාව නොවෙනස්ව පවත්නේය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසිම පුද්ගලයෙකු කෙරෙහි ද උන්වහන්සේගේ ඇල්මක් නැත. දේවදත්ත ආදී සතුරන් කෙරෙහි උන්වහන්සේගේ වෛරයක් නැත. උන්වහන්සේ සතුරු මිතුරු සැම දෙනාටම යහපතක්ම කරන සේක.

උන්වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාල මුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවවසට කොතරම් දුර තිබෙන දෙයක් වුවද කොතරම් සියුම් දෙයක් වුවද පෙනෙන්නේය. උන්වහන්සේගේ දිව කණට ඉතා දුර ශබ්ද හා පියවි කනට නොඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගතිගුණ පෙනෙන්නේය. මැරෙන්නන් උපදින තැන් පෙනෙන්නේය. ඒ ඉපදීම් වලට හේතුවන පින් පව් පෙනෙන්නේය.

උන්වහන්සේගේ ඉර්දි ඉතා ආශ්චර්යවත්ය. උන්වහන්සේට දිය ගිනි සුළං ආදී ඕනෑම දෙයක් සිතින්ම මැවිය හැකිය. කැමති වෙසක් මවා ගත හැකිය. පොළවෙහි මෙන්ම අහස්හිද සියලු ඉරියව් පැවැත්විය හැකිය. ජලයෙහි ද පොළොවෙහි ද සියලු ඉරියව් පැවැත්විය හැකිය.වක්කළ අතක් දිගු කරන්නන් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකිය. නොපෙනී ද විසිය හැකිය.

උන්වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්යවත්ය. දහම් දෙසන්නා වූ උන්වහන්සේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාටම නොවෙනස්ව පෙනෙන්නේය. උන්වහන්සේ විසින් එකම භාෂාවකින් කරන දේශනය අසල සෑම දෙනාටම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේය. උන්වහන්සේගේ කටහඬ ඉතා මිහිරිය. මිනිස් හඬට බිය වී පලා යන වන සතුන් ද උන්වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසාගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්යනාදයකුදු නැත. උන්වහන්සේගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතටද නොපැතිරෙන්නේය. බණ අසන අය ලොව පුරා සිටියත්, සැමටම ඇසෙන්නේය. උන්වහන්සේ යමක් ප්‍රකාශ කළේ නම් එය එසේමය. උන්වහන්සේට වැරදීම් නැත.

නිහතමානි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පෝසත් දුප්පත්කම් ගැන නොසලකන සේක. උන්වහන්සේ කෝෂලාදී න්රේන්ද්‍රයන් ගේ මාළිගා වන්ට මෙන්ම කරුණක් ඇතිවී නම් රොඩී කුප්පායම ටද වඩිනා සේක. උන්වහන්සේ වැඳුම් පිඳුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර වූ සේක

ලොව්තුරා බුදුන්ගේ දක්ෂිණාර්හ භාවය

අරහං යන පදයෙන් විශේෂ කොට කියන ලෙව්තුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්භ භාවය, පසේ බුදුවරුන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ දක්ෂිණාර්භ භාවයට බොහෝ උසස් ය. එය දක්ඛිණෙය්‍ය යන වචනයෙන් නො කියා අරහං යි විශේෂ වචනයකින් කියන්නේ ඒ නිසා ය. ඒ අරහං ගුණය සාමාන්‍ය මනුෂ්‍ය දිව්‍ය සම්පත් පමණක් නොව පුජා සත්කාර කරනුවන්ට ලොව්තුරා බුදුබව පසේ බුදුබව අග්‍රශ්‍රාවක බව මහා ශ්‍රාවක බව මහරහත් බව බුද්ධශ්‍රාවකයන් අතර ඒ ඒ කරුණෙන් අග්‍ර බව යන මේවා ද ලබා දිමට සමත් ය.

ලොවුතුරා බුදුබව ලැබිමට නම් ජිවමාන ලොවුතුරා බුදුකෙනෙකුට පුජා සත්කාර කොට ජිවමාන බුදු කෙනෙකුන් හමුවේම ඒ උත්තම තත්ත්වය පැතිය යුතු ය. බුදුන් පිරිනිවීමෙන් පසු චෛත්‍යයන් සමිපයේ හෝ බෝධී සමිපයේ හෝ බුද්ධ ප්‍රතිමා සමිපයේ හෝ ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන් හමුවේ හෝ පතා බුදුබව නො ලද හැකි ය.

‘සචෙ ජිවමානක බුද්ධස්සෙ’ව සන්තිකෙ පත්ථෙති පත්ථනා සමිජ්ඣති, පරිබ්බුතෙ භගවති චෙතිය සත්තිකෙ වා බොධිරුක්ඛමූලේ වා පටිමාය වා පච්චේකබුද්ධ බුද්ධසාවකානං වා සන්තිකෙ පත්ථනා න සමිජ්ඣති.’

(බුද්ධවංසට්ඨකථා 75)

චෛත්‍යදින්ට පුජා පවත්වා ලොවුතුරා බුදුබව පැතිම නිෂ්ඵලය යි ද නො කිය යුතු ය. ඒ පින් ද ලොව්තුරා බුදුබව ලැබිමට උපනි:ශ්‍රාය වේ. ඉහත දැක්වු පාඨයෙන් දක්වන්නේ ලොව්තුරා බුදුවරුන් හමුවේ ප්‍රර්ථනාවක් නැතිව චෛත්‍යදියෙහි පුජා පවත්වා කරන ප්‍රාර්ථනාවෙන් ම බුදුබව නොලද හැකි බව ය. ජිවමාන ලොව්තුරා බුදුකෙනෙකුන්ට පූජාවක් කොට බුදුබව පතා නියත විවරණය ලබාගත් පින්වතාට ඔහු කරන සියලුම පින් ලොවුතුරා බුදුබව ලැබිමට උපනි:ශ්‍රාය වේ.

සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනු පිණිස මඩගොහොරුවක හෙව තමන්ගේ ශරිරය ඒ දණ්ඩක් කොට පුදා ඒ බුදුරදුන් හමුවෙහි ලොවුතුරා බුදුබව පැතුහ. ලොවුතුරා බුදුකෙනෙකුන් හමුවේහි වුව ද බුදුබව පතන සෑම දෙනාටම ප්‍රර්ථනාව සිදුවන්නේ නොවේ. එය සිදුවන්නේ කරුණු අටක් සම්පුර්ණ වුවහොත් ය. සුමේධ පණ්ඩිතයන්ට එදා ඒ කරුණු අට සමපුර්ණව තිබුණ. එබැවින් එතුමාගේ ඒ පුජාව ඒකාන්තයෙන්ම ලොවුතුරා බුදුබව ලබා දිමට සමත් පිනක් විය. ලොවුතුරා බුදුවරයෝ යමකු තමන් වහන්සේ ඉදිරියේ බුදුබව පතා සිටියහොත් ඔහුට එය සිදුවන්නේ දැ යි අනාගතංශඥානයෙන් බලා වදාරා ඉදින් සිදුවන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන සේක. සුමේධ තාපසයන්ගේ ප්‍රාර්ථනාව සිදුවන බව දුටු දිවකුරු බුදුරජාණන් වහන්සේ:-

‘පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං

අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ – බුද්ධො ලොකෙ භවිස්සති’

(බුද්ධවංස)

යනුවෙන් බුදුබව පතා සිටින මේ තවුසා අනාගතයේහි බුදුකෙනෙක් වන්නේය යි ප්‍රකාශ කළ සේක. ලොවුතුරා බුදුකෙනෙකුන් විසින් එය ප්‍රකාශ කිරිමට, විවරණ දිමය යි කියනු ලැබේ. ලොවුතුරා බුදු කෙනෙකුගෙන් විවරණ ලැබු මතු ඒකාන්තයෙන් බුදුවන්නා වු උත්තම පුද්ගලයෝ බෝධිසත්ව නම් වෙති. බෝධිසත්ව යන වචනය තේරුම් කර ඇත්තේ මෙසේ ය.

‘බොධිති ඤාණං, බොධියා සත්තො බොධිසත්තො, ඤාණා වා පඤ්ඤා වා පණ්ඩිතො ති අත්ථො, පුරිමබුද්ධානං හි පාදමුලෙ අභිනීහාරතො පට්ඨාය පණ්ඩිතො’ ව සො සත්තො න අන්ධබාලොති බොධිසත්තො, යතා වා උදකතො උග්ගන්ත්වා ඨීතං පරිපාකගතං පදුමං සූරියරස්මි සම්ඵස්සේන අවස්සං බුජ්ඣස්සතී ති බුජ්ඣනක පදුමන්ති වුච්චති, එවං බුද්ධානං සන්තිකේ ඛ්‍යාකරණස්ස ලද්ධත්තා අවස්සං අනන්තරායෙන පාරමියො පූරෙත්වා බුජ්ඣස්සතීති බුජ්ඣනක සන්තොති පි බොධිසත්තො.’

(සංයුත්තනිකායට්ඨ කථා දු. භා. 16)

මේ අටුවා පාඨයෙන් කියවෙන්නේ ද ලොවුතුරා බුදුකෙනෙකුන්ගෙන් නියත විවරණය ලබා ඇති මතු ඒකාන්තයෙන් පෙරුම් පුරා බුදුවන බව ලබන තැනැත්තා බෝධිසත්ව නම් වන බව ය. බෝධිසත්ත, බෝසත් යන මේ අත්‍යුත්තම නාමය සම්බෝධියට පැමිණිමෙහි නියත බවක් නැති සාමාන්‍ය පුද්ගලයකුට ආරූඪ කිරීමත්, ඒ නම සාමන්‍ය පුද්ගලයන් විසින් තමාට ආරූඪකර ගැනිමත් ඒ උත්තම නාමයත් කිලිටි කිරිමත් නොවේ දැයි සිතා බැලිය යුතු ය.

පසේ බුදුවරුන් හමුවෙහි රහතුන් හමුවෙහි ප්‍රාර්ථනා කොට ද පසේ බුදුබව ලැබිය හැකි බව කියා තිබේ. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බව බුදු පසේබුදු, රහතන් හමුවේ ප්‍රාර්ථනා නොකළද ජිවිත පරිත්‍යගයෙන් ක්‍රියා කිරිමය, බලවත් ඕනෑකමය යන මේ දෙක ඇති කල්හි ලැබිය හැකි බව කියා තිබේ. එහෙත් අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන්ගේ චරිත කථා වලින් පෙනෙන්නේ උන්වහන්සේලා ද ලොව්තුරා බුදුවරුන්ට පුජා සත්කාර කොට ලොව්තුරා බුදුවරුන් හමුවේ ප්‍රර්ථනා කොට ඒ තත්ත්වවලට පැමිණි බව ය.

නව අරහාදී බුදු ගුණ

01 අරහං ගුණය

අථිකථා ටීකාවන් හි ‘අරහං’ යන වචනය නොයෙක් ආකාරයට විභාග කොට එහි නොයෙක් අර්ථ දක්වා තිබේ. ‘අරහං’ යන වචනයෙහි සාමාන්‍ය තේරුම සුදුසු තැනැත්තාය යනු යි. තථාගතයන් වහන්සේ කෙරෙහි නොයෙක් සුදුසුකම් ඇත්තේ ය. මේ අරහං ගුණ කථාවෙහි දි ඒ සෑම සුදුසුකමක්ම අදහස් කරනු නොලැබේ. මෙතන්හි අදහස් කරන සුදුසු බව නම් දක්ෂිණාව පිළිගැනිමටත් පිළිගැන්විමටත් සුදුසු බවය. ථතාගතයන් වහන්සේ දක්ෂිණාව පිළිගැන්විමට ද සුදුසු වන්නාහ.

දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයේ දී ලෞකික වූ ද ලෝකෝත්තර වු ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පුජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දිමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනිමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පුජා කරන්නවුන් ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දිමට සමාර්ථ ය. ප්‍රත්‍ය පුජා කළවුන්ට ඵල ලබාදිම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පුජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රර්ථනා සිඬියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ ‘අරහං’ නම් වේ. ප්‍රර්ථනා සිඬියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිනම් ඒ ගුණය අරහං ගුණය ය.

දක්ෂිණාව මහත්ඵල කිරිමේ ශක්තිය බුදුරදුන්ට පමණක් නොව සංඝරත්නයට ද ඇත්තේ ය. සංඝ ගුණ පාඨයේ ‘දක්ඛිණෙය්‍ය’ යන පදයෙන් දැක්වෙන්නේ ඒ ගුණය යි. ‘දක්ඛිණෙය්‍ය’ යන පදයේ තේරුම දක්ෂිණාව පිළිගැනීමට සුදුසු යනු යි. සකළ ක්ලේශ ප්‍රහාණයෙන් පාරිශුද්ධත්වයට පැමිණ සිටින රහතන් වහන්සේ අග්ග දක්ඛිණෙය්‍ය නම් වෙති. පසේ බුදුවරුන් හා ලොවුතුරා බුදුවරුන් ද අර්හත්වයට පැමිණීමෙන් සකළ ක්ලේශයන් ප්‍රහාණය කර ශුද්ධත්වයට පැමිණ සිටින පුද්ගලයන් වන බැවින් උන්වහන්සේලා ද අග්ගදක්ඛිණෙය්‍යයෝම ය. එහෙත් ශ්‍රාවක වු රහතුන්ගේ දක්ෂිණාර්හ භාවයට වඩා උන්වහන්සේලා ගේ දක්ෂිණාර්හභාවය උසස් ය. අරහං යන වචනයෙන් කියවෙන්නේ ලොව්තුරා බුදුවරුන්ගේ දක්ඛිණෙය්‍ය භාවය ය. දක්ඛිණෙය්‍ය භාවය ඇත ද රහතුන් සඳහා ඒ වචනය නොයොදනු ලැබේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් ශ්‍රාවක සංඝයාගෙන් අන්‍ය වු උපාසකෝපාසිකාදින්ට දන් දීමේහි ද ඵල ඇත්තේ වි නමුත් ඔවුන් සඳහා දක්ඛිණෙය්‍ය යන වචනය ව්‍යවහාර කරනු නො ලැබේ. මාපියෝ ද දූ දරුවන් විසින් පිදිය යුත්තෝ ය. ඔවුන් සඳහා සංඝගුණපාඨයෙහි එන ‘ආහුණ්‍යෙය’ යන පදය යොදා තිබේ. එහි තේරුම දුර සිට වුවද ගෙන ගොස් පිදිය යුත්තෝ ය යනු යි.

‘අරහං – දක්ඛිණෙය්‍ය’ යන පද වලින් කියැවෙන දක්ෂිණාර්භ පුද්ගලයාගේ තත්ත්වය වේලාම සුත්‍රයෙහි එන පරිදි සැලකිය යුතුයි. අතීතයෙහි අප මහා බෝසත්තුමා වේලාම නම් බමුණෙක් විය. වේලාම බ්‍රහ්මණ මහා දානයක් දිණ. හෙතෙම රිදි බඩු රිදි මිල පිරවූ රන් තැටි ද, රන් බඩු රන් කාසි පිරවූ රීදී තැටි ද, සත්රුවන් පිරවූ ලෝහො තැටි ද, රන් අබරණ රන් කොඩි රන් දන් වැල් වලින් සැරසු ඇතුන් ද, සිංහ සම්, දිවි සම්, ව්‍යාග්‍ර සම් කම්බිවලින් සරසන ලද්දා වූ ස්වර්ණාලංකාර ස්වර්ණද්ධිවජ සහිත වූ රන් දැල් සහිත වු රථයන් ද, කිරිදෙනුන් ද, කිරි ගන්නා රිදි බඳුන් ද මිණිකොඬවලින් සැරසු කණ්‍යාවන් ද, කොට්ට, ඇතිරිලි, උඩුවියන් සහිත ඇඳන් ද, අගනා පිළිමිටි ද සුවාසූ දහස බැගින් දුන්නේ ය. ප්‍රමාණයක් නැති තරමටම බොහෝ ආහාරපාන ද දුන්නේ ය. වේලාම බ්‍රහ්මණ දන් දුන් කාලය අබුඬෝත්පාද කාලයක බැවින් ඒ දානය මහත් ඵල කිරිමට සමාර්ථ වන එක ප්‍රතිග්‍රාහකයකුදු නො සිටියේ ය. එබැවින් තථාගතයන් වහන්සේ :-

‘යං ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො එකං දිටිඨීසම්පන්නං භොජෙය්‍ය, ඉදින් තතො මහප්ඵලතරං’

යනාදින් අනේපිඬු මහා සිටානන්හට දක්ෂිණාර්භයන්ගේ තතු පහදා වදාරණ සේක්: සත්හවුරුදු සත්මස් සත්දිනක් මුළුල්ලේහි වේලාම බ්‍රහ්මණ විසින් දෙන ලද දානයට වඩා එක් සකෘදාගාමි පුදුගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, සකෘදාගාමින් සියයකට දෙන දනට වඩා එක් අනාගාමි පුදුගලයකුට දෙන දානය මහත් ඵල වන බවද, අනාගාමින් සියයකට දෙන දානයට වඩා එක් රහත් නමකට දෙන දානය මහත් ඵල වන බවද, රහතුන් සියයකට දෙන දානයට වඩා එක් පසේ බුදුවරයකුට දෙන දානය මහත් ඵල වන බවද, පසේ බුදුවරුන් සියයකට දෙන දානයට වඩා එක් ලොව්තුරා බුදුකෙනෙකුට දෙන දානය මහත් ඵල වන බවද වදාළා සේක. වේලාම සුත්‍රයෙහි එන මේ දාන විභාගෙය අනුව සෝවාන් සකෘදාගාමි අනාගාමි, අරහත්, ප්‍රත්‍යෙක සම්බුද්ධ සම්‍යක්සම්බුද්ධ යන පුද්ගලයන් පිළිවලින් එක් එක් පුද්ගලයන්ට වඩා එක් එක් පුද්ගලයකු සිය සිය ගුණයෙන් වැඩි දක්ෂිණාර්භභාවය ඇතියවුන් බව කිය යුතු ය. ලොව්තුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්භභාවය දැක්විම සඳහා ‘අරහං’ යන ගුණ පදය භාවිත කරනු ලැබේ. සෙස්සන් සඳහා දක්ඛිණෙය්‍ය, අග්ගදක්ඛිණෙය්‍ය යන ගුණ පද ව්‍යවහාර කරනු ලැබේ.

දක්ෂිණාර්භභාවයේ හේතුව ලෙස දක්වා ඇත්තේ කෙලෙස් කෙරෙන් පවිත්‍ර බව ය. කෙලෙස් තනි කර ගෙන සිටින්නෝ ද දක්ෂිණාර්භයෝ ය. සකල ක්ලේශයන් ප්‍රහාණය කොට සම්පූර්ණයෙන්ම කෙළෙසුන්ගෙන් පවිත්‍රව සිටින රහත්හු අග්‍රදක්ෂිණාර්භයෝ ය. ලොව්තුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේ පාරිශුද්ධියට රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොව්තුරා බුදුහු අග්‍රදක්ෂිණාර්භයන්ට වැඩි දක්ෂිණාර්භයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්භ භාවය යි. තණ, වල්පැලෑටි, ගල් බොරළු නැති කුඹුරක වී වපුළ ගොවියාට එයින් මහත් අස්වැන්නක් ලැබෙන්නාක් මෙන් කෙළෙසුන්ගෙන් පවිත්‍ර සන්නාතියක් ඇති පුද්ගලයකුට දුන් කල්හි එයින් දායකයාට බොහෝ ඵල ලැබෙන බව උසස් ඵල ලැබෙන බව කියනු ලැබේ. ප්‍රතිග්‍රාහකයාගේ ශුද්ධත්වය නිසා දායකයාට වඩා ඵල ලැබෙය යන මේ කරුණු තේරුම් ගැනිමට දුෂ්කර, ඔප්පු කිරිමට දුෂ්කර ගැඹුරු කරුණකි. මෙබඳු කරුණු වලදි ශ්‍රාද්ධාවම පිටකර ගත යුතු ය. අතිතයේ ඇතැම් සැදැවතුන් සමාන්‍ය කෙනෙකු විසින් දිය නොහෙන, දීමට අතිශයින් දුෂ්කර දානයන් තිබේ. එවැනි දුෂ්කර දානයන් කාන්තාවන් විසිනි. එබඳු දුෂ්කර දිමනාවක් කළ බොහෝ දෙනෙකුන් ලක්දිව විසු බව කථාපුවත් වලින් පෙනේ. එසේ දෙන දුෂ්කර දානයන් පෘථග්ජන භාවයෙහි සිට පිළිගැනිමයි, වැළදීම නුසුදුසු යයි සලකා ඇතැම් භික්ෂුන් ජිවිත පරිත්‍යගයෙන් වෙර වඩා සව් කෙලෙසුන් නසා රහත් වූ බව දැක්වෙන කථා ප්‍රවෘත්තීන් ගණනක් ම අපේ බණ පොත්වල සඳහන් වී ඇත්තේ ය.

අරහං යන වචනයේ නොයෙක් තේරුම්

වචන වලින් ඇතැම් වචනයකට ඇත්තේ එක් තේරුමකි. ඇතැම් වචන වලට තේරුම් දෙක තුන සතර පහ ඇත්තේ ය. ඇතැම් වචනයකට බොහෝ තේරුම් ඇත්තේ ය. අරහං යන වචනය බොහෝ තේරුම් ඇති වචනයෙකි. මෙතෙකින් විස්තර කරන ලද්දේ අරහං යන වචනයේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසු ය යන තේරුම ය. බුද්ධගුණයන් අතුරෙන් දක්ෂිණාව පිළිගැනීමට සුදුසු බව වු ගුණය ලෝකයාට ඉතා ප්‍රයෝජනවත් ගුණයක් වේ. ඒ නිසා දක්ෂිණාව පිළිගැනිමට සුදුසු ය යන මේ තේරුම අරහං යන වචනයේ ප්‍රධාන තේරුම යන සැටියට කිය යුතුය.

“අනුත්තරං ධම්මචක්කඤ්ච ආණාචක්කඤ්ච පවත්තෙතුං අරහතී ති අරහා” යි විග්‍රහ කොට “අනුත්තර වු ධම්මචක්‍රය හා ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසු ය යන අථීයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතැ’යි ආචාර්යවරයෝ පවසති. මේ ක්‍රමය විශුඬිමාර්‍ගාදියෙහි දක්වා නැත. එසේ අථීය ගන්නා කල්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති අනුත්තර ධර්ම චක්‍රය හා අඥාචක්‍රය පැවැත්විය හැකි ශක්තිය ද අරහං ගුණය වේ.

අරහං ගුණයේ බලමහිමය

තථාගතයන් වහන්සේ අරහං ගුණය විශාලවා පමණක් නොව මහත් වු ආනුභාවයකින් ද යුක්ත ය. එබැවින් වයසින් හෝ අන්කිසි ගුණයකින් හෝ තමා වැඩිය කියා ලෝකයෙහි කිසිම පුද්ගලයකුට බුදුරදුන්ගෙන් වැඳුම් නොලැබිය හැකිය. දිනක් තථාගතයන් වහන්සේ වේරඤ්ජාවෙහි වැඩ වෙසෙන කල්හි උන්වහන්සේගේ කීර්තිය අසා වේරඤ්ජ නම් බ්‍රහ්මණයා උන්වහන්සේ දක්නට පැමිණ පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳ මෙසේ කීය. ‘පින්වත් ගෞතමයන් රාජ පරම්පරා ගණනක් ආයු ගෙවා ඇති මහළු බ්‍රහ්මණයන්ට වදින්නේ හෝ දැක හුනස්නෙන් නැගිටින්නේ හෝ අසුනක් දෙන්නේ හෝ නැතය’ යි මා අසා තිබේ පින්වත් ගෞතමයාණෙනි, මා අසා තිබු කරුණ එසේම ය’ , එකල්හි තථාගතයන් වහන්සේ,

‘නාහං තං බ්‍රහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමණ බ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය, යං හි බ්‍රහ්මණ තථාගතො අභිවාදෙය්‍ය වා පච්චුට්ඨෙය්‍ය වා ආසනෙන වා නිමන්තෙය්‍ය මුඬාපිස්ස විපතෙය්‍යාති.’

(අංගුත්තර අට්ඨකනිපාත 20)
යනුවෙන් ‘බ්‍රහ්මණය, මා විසින් වැඳිමට හෝ හුනස්නෙන් නැගිටිමට හෝ අසුනක් දිමට හෝ සුදුසු ශ්‍රමණයකු හෝ බ්‍රහ්මණයකු හෝ දෙවියකු බ්‍රහ්මයකු හෝ අනිකකු නො දකිමි, බ්‍රහ්මණය, යමකුට මා විසින් වැන්දේ හෝ අසුනෙන් නැඟිටියේ හෝ අසුනක් දුන්නේ හෝ වේ නම්, තැරියෙන් ගිලිහි තල් ගෙඩියක් වැටෙන්නාක් මෙන් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේ ය’ යි වදාළ සේක. එසේ වීම තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයයි.

බුදුරදුන්ට ඒ අරහං ගුණය ඇතිවූයේ සවාසනා සකළක්ලේශ ප්‍රහාණයෙන් අර්හත්වයට පැමිණ ලොවුතුරා බුදුබව ලැබිමෙනි. බෝධිසත්ත්ව කාලයේ දී ද ඒ අරහං ගුණයේ බීජය උන්වහන්සේට තිබිණ. නියම අරහං ගුණය නොව ඒ ගුණ බීජය ද මහානුභාව සම්පන්නය. සිඬාථී කුමාරයන් උන්වහන්සේ මව් කුසින් බිහිව දිශාවලෝකනය කළ කල්හි ඒ බිළිදාට සෑම දිශාවක හුන් මනුෂ්‍යදිව්‍ය බ්‍රහ්මණයෝ සුවඳමල් ආදිය පුදා ‘ඔබට වැඩි කෙනෙකු තබා ඔබ හා සම කෙනෙකු ද නැතය’ යි කීය. එකල්හි උන්වහන්සේ උතුර බලා සත් පියවරක් ගමන් කොට “ අග්ගොහමස්මි ලෝකස්ස සෙට්ඨොහමස්මි ලෝකස්ස ජෙට්ඨොහමස්මි ලෝකස්ස’ යි සිංහනාද කළහ. ශූඬෝදන මහාරාජාදි ගෘහස්ථයන් විසින් වඳින පුදන මහානුභාව සම්පන්න කාලදේවල තාපසයෝ උන්වහන්සේට වැන්දාහ. දරුවන් විසින් මව් පියන් වැඳිය යුතු වුව ද ශූඬෝදන රජතුමා බෝසතාණන්ටම වැන්දේ ය. ඒ බීජ අවස්ථාවෙහිවූ අරහං ගුණයේ ආනුභාවය ය.

ලෝකයෙහි අන් කිසිවකුට නො ලැබෙන පරිදි අප්‍රමාණ චීවරාදි ප්‍රත්‍යයන් ලැබිම ද තථාගතයන් වහන්සේ ගේ අරහං ගුණයේ ආනුභාවයෙකි. ජිවමාන කාලයේ දි උන්වහන්සේට කෝටි සංඛ්‍යාත ධන වියදමින් අනාථපිණ්ඩිකාදි සැදැහැවත්හු විහාරාරාම කරවා පුජා කළහ. ගඟක් ගලා යන්නාක් මෙන් අපමණ අහාරපාන වස්ත්‍රාදින් උන්වහන්සේ කරා ගලා එන්නට විය. මිනිසුන් පමණක් නොව දේව බ්‍රාහ්මාදීහූද උන්වහන්සේට අපමණ පුජා පැවැත් වූහ. පිරිනිවිමෙන් පසු ද අද දක්වාමත් උන්වහන්සේට අපමණ පුජාසත්කාර ලැබෙන්නේ ය. පිරිනිවි වර්ෂ දෙදහස් පන්සියයක්ට අධික කාලයක් ගතවි ඇති අද ද උන්වහන්සේට ලැබෙන පූජා ඉතා බොහෝ ය. නොයෙක් රටවල වෙසෙන නානා ජාතික බෞද්ධ ජනයා විසින් විහාර වල හා තමන්ගේ නිවස් වල ද එක්දිනක බුදුරජාණන් වහන්සේ උදෙසා පුජා කරන ගිලන්පස මල් ආහාරපාන රාශීයක් එක්තැන් කළහොත් තරමක කන්දක් පමණ වනු ඇත. උන්වහන්සේ උදෙසා එක් දිනක දැල්වෙන පහන් ද ඉතා බොහෝ ය. වෙසක් පුණුපොහෝ දින ආදි විශේෂ දින වලදි ලැබෙන පුජාව සාමාන්‍ය දින වලට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් අධික වන්නේය. අනාගතයේ දීර්ඝකාලයක් මෙසේම උන්වහන්සේට අපමණ පුද පුජා ලැබෙනු ඇත.

වැඩි විස්තර සදහා පිවිසෙන්න      https://pitaka.lk/books/suvisi-gunaya/3.html

02 සම්මා සම්බුද්ධ ගුණය

කිසිතැනක වැරදීමක් නැති පරිදි නො පැහැදිලි බවක් නැතිව අත්ලෙහි ඇති දෙයක් සේ ඉතා පැහැදිලි ලෙස අනිකකුගෙන් උගෙනීමක් හෝ උපදෙස් ගැනීමක් නො කොට තමන් විසින්ම අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් නොවු ද සියල්ල දැන වදාල බැවින් තථාගතයන් වහන්සේ සම්මාසම්බුද්ධ නම් වෙති.

බුද්ධ යන වචනයෙන් දත් කෙනෙකු කියවේ. දතුවන් අතර අනුන්ගෙන් උගෙන අනුන්ගෙන් උපදෙස් ගෙන යම් යම් දේ දැනගත්තෝ ද වෙති. ස්වශක්තියෙන්ම දැන ගත්තෝ ද වෙති. අනුන්ගෙන් අසා දත් තැනැත්තේ බුද්ධ නම් වෙයි. එහෙත් සම්බුද්ධ නො වෙයි. අනුන්ගේ උපකාරයක් නැතිව ස්වශක්තියෙන් දතුවෝ සම්බුද්ධ නම් වෙති. සම්බුද්ධ යන නාමය ලැබෙන්නේ පසේබුදුවරුන්ට හා ලොවුතුරා බුදුවරුන්ට පමණකි. සම්බුද්ධ වුව ද පසේබුදුහු සියල්ල නො දනිති, ලොවුතුරා බුදුහු සියල්ලම දනිති. වැරදීමක් නැතිවම දනිති, අපැහැදිලිකමක් නැතිව පැහැදිලි ලෙසම දනිති. එබැවින් ලොවුතුරා බුදුහු සම්මාසම්බුද්ධ නම් වෙති. සම්මාසම්බුද්ධ යන වචනය අභිධර්ම පිටකයේ පුග්ගලපඤ්ඤත්ති පකරණයෙහි මෙසේ විස්තර වේ.

‘කතමො ච පුග්ගලෝ සම්මාසම්බුඬො? ඉධෙකච්චො පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ක්‍ධති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුඬො’

(සම්මාසම්බුද්ධ නම් කවරදැයි විවරණය කරන මේ පාඨය එහි ඇති වචන පටිපාටිය අනුව තේරුම් කිරීමට දුෂ්කර පාඨයෙකි.) “යම් පුද්ගලයෙක් අනිකකු ගෙන් නො අසා ස්වශක්තියෙන්ම ස්ඛන්ධාදි ධර්ම විෂයෙහි චතුස්සත්‍යය දැන ගනීද, කිසිවක් ඉතිරි නොවන පරිදි සියල්ල පිළිබඳව ම සත්‍යය දැනගැනීම් වශයෙන් සර්‍වඥත්වය ට පැමිණේද, බලයන්හි වශීභාවය ලබා ද ඒ පුද්ගල තෙමේ සම්‍යක් සම්බුද්ධ නම් වේය.” යනු එහි අදහසය.

අප බෝධිසත්ත්වයන් වහන්සේ අතීත බුදුසසුන්වල පැවිදිව ත්‍රිපිටක ධර්මය උගෙන ශමථවිදර්‍ශනා භාවනාවන්හි යෙදී ඇති බැවින් පෙර ජාතිවල ඒ ධර්ම අසා ඇත. එහෙත් බුදු වන ජාතියෙදී උන්වහන්සේ විසින් චතුස්සත්‍ය යන වචන මාත්‍රය පවා අනිකුගෙන් අසා නැත. අතිදීර්ඝකාලයක් පිරූ පාරමිතා කුශලබලයෙන් කිසිවෙකුගෙන් නො අසා ඒ ධර්ම උන්වහන්සේට අවබෝධ කළ හැකි විය. කිසිදු අඩුවක් නැතිව සියල්ල පිළිබඳවම සත්‍යයන් අවබෝධ කර ගැනීමෙන් තථාගතයන් වහන්සේ සර්‍වඥ වු සේක. සර්‍වඥතාඥාණය ලැබෙනු සමගම දශබල ඥානයෝද උන්වහන්සේට ඇති වූහ. සර්‍වඥතාඥාණ දශබලඥානයන් ලැබීමෙන් ලොවුතුරා බුදුබව සම්පූර්ණ වේ. ඉන්පසු බුද්ධත්වය සඳහා කළ යුත්තක් නැත. ලොවුතුරාබුදුවරුන් පසේ බුදුවරුන් හැර සෙස්සන්ට අනුන්ගෙන් නො අසා චතුස්සත්‍යන් දත හැකි නොවන්නේ ඒවා ඉතා ගැඹූරු නිසා ය. සම්මා සම්බුද්ධගුණය විස්තර කරන මෙතන්හි තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ ඒ චතුස්සත්‍යය සැකෙවින් වුව ද දැක්විය යුතු බැවින් තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්මදේශනය වන ධර්මචක්‍රප්‍රවර්තන සුත්‍රය ඇසුරු කොට චතුස්සත්‍යය සැකෙවින් දක්වනු ලැබේ.

වැඩි විස්තර සදහා පිවිසෙන්න        https://pitaka.lk/books/suvisi-gunaya/4.html

03 විජ්ජාචරණසම්පන්න ගුණය

තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගේ යුක්ත වන සේක. ඒ විද්‍යාචරණසම්පත්තිය එක් බුද්ධගුණයෙකි. ඒ ඒ දෙය ඒ ඒ කරුණ නිවරදි ලෙස දන්නා නුවණ විද්‍යා නම් වේ. ලෝකයෙහි අනේක විද්‍යා ඇත්තේ ය. එයින් මේ බුද්ධගුණ කථාවෙහි ගනු ලබන්නේ ආර්‍ය්‍යවිද්‍යාව ය. එනම්, සාමාන්‍ය ජනයාට විෂය නො වන බුද්ධා දී ආර්‍ය්‍යයන්ට හා ඇතැම් උත්තම පුද්ගලයන්ට පමණක් විෂයවන චතුස්සත්‍යාදිය ඇති සැටියට දැන ගන්නා ඥානය ය. චතුරාර්‍ය්‍ය සත්‍යයන් පැහැදිලි කොට කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කොට නිවන් රසය මතුකර දෙන අර්හත් මාර්ගඥානය ප්‍රධාන ආර්‍ය්‍යවිද්‍යාව ය. එය ඇති කර ගැනිමට උපකාර වන ඥානයන් ද ආර්‍ය්‍යවිද්‍යා වශයෙන් ගතයුතු බැවින් ඒවා ද ගෙන ඇතැම් සූත්‍රයක විද්‍යා තුනක් ද, ඇතැම් සුත්‍රයක විද්‍යා අටක් ද දක්වා තිබේ.

චරණ යනු පාදයට නමෙකි. ආර්‍ය්‍යවිද්‍යාව ලැබිමට හා නිවන් ලැබීමට උපකාර වන ශීලාදී ගුණධර්ම සමූහය නිර්වාණය කරා යාමට පයක් වන බැවින් ඒවාට චරණය යි කියනු ලැබේ. ත්‍රිශික්ෂාවෙන් ශීල සමාධි දෙක චරණයට අයත් ය. ප්‍රඥාව විද්‍යාව ය.

විද්‍යා-චරණ දෙකින් පළමුවෙන් සම්පාදනය කළ යුත්තේ චරණය ය. චරණයේ නො පිහිටා, චරණය නැතිව විද්‍යාව නො ලැබිය හැකිය. ප්‍රතිපත්තික්‍රමය අනුව කියත හොත් “චරණ විජ්ජා සම්පන්නො” යි චරණය මුලට තබා කියයුතු ය. විද්‍යාව මුලට තබා “විජ්ජාචරණසම්පන්නො” යි කියා තිබෙන්නේ කීමේ පහසුව සඳහා ය. ද්වන්දසමාසයේ අකුර අඩු පදය මුලට යොදා ගැනීම භාෂා රීතීය ය.

විජ්ජාචරණසම්පන්න ගුණය බුද්ධගුණයක් වශයෙන් කියා ඇතත් එය ශ්‍රාවකයන්ට ද සාධාරණ ගුණයෙකි. සියලූ ම ආර්‍ය්‍යශ්‍රාවකයන්ට ඒ ඒ ප්‍රමාණයෙන් විද්‍යාචරණසම්පත්තිය ඇත්තේ ය. එහෙත් ශ්‍රාවකයන්ගේ විජ්ජාචරණසම්පත්තිය ට වඩා බුදුවරුන්ගේ විජ්ජාචරණසම්පත්තිය බොහෝ උසස් ය. දීපඬ්කර බුදුරදුන්ගේ කාලයේ පටන් බුදුවිම දක්වා සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි බෝසතාණන් විසින් සම්පාදනය කළ පාරමිතා කුශලස්කන්ධය බුදුරදුන්ගේ චරණය ය. එබඳු චරණසම්පත්තියක් ශ්‍රාවකයනට නැත ඒ මහත් වූ චරණසම්පත්තියෙන් ලද තථාගතයන් වහන්සේගේ විද්‍යාසම්පත්තියට ද ශ්‍රාවකයන්ගේ විද්‍යාචරණසම්පත්තියට බොහෝ උසස් ය. තථාගතයන් වහන්සේගේ විද්‍යාචරණසම්පත්තිය විශේෂයෙන් මතු වී පෙනෙන ගුණයක් වී ඇති බැවින් නවගුණ පාඨයට “විජ්ජාචරණ සම්පන්නො” යන පදය එකතු කර ඇත්තේ ය.

අර්හන්මාර්ග සංඛ්‍යාත ආර්‍ය්‍ය විද්‍යාව නො ලබා, කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කොට, නිවනට නො පැමිණිය හැකිය. පූර්වභාග ප්‍රතිපත්තිය වූ චරණ සම්පත්තියෙන් තොරව ඒ විද්‍යාව නොලැබිය හැකිය. එබැවින් නිවනට පැමිණ දුක් කෙළවර කරනු කැමති සැම දෙනා විසින් ම විද්‍යාචරණ සම්පාදනය කළ යුතුම ය. අර්හත්වය සඳහා පෙරුම් පුරන කාලයේදී ම විද්‍යා පක්ෂයට අයත් පාරමිතාවන් හා චරණ පක්ෂයට අයත් පාරමිතාවන් පිරිය යුතුය. චරණ පක්‍ෂයට අයත් පාරමිතා නම් දානය-ශිලය හා සමාධි භාවනාවය. විද්‍යා පක්‍ෂයට අයත් පාරමිතා නම් ස්කන්ධාදි ධර්ම විභාග උගෙනීම හා විදර්ශනා කිරිම ය. චරණ පක්‍ෂයට අයත් පාරමිතා පමණක් ඇතියවුන්ට ලොවුතුරා බුදු කෙනෙකුන් හමුව දහම් අසන්නට ලැබුණේ වී නමුත් අතීතයෙහි සම්පාදනය කළ විද්‍යා බීජය නැති බැවින් මඟපල නො ලැබෙන්නේ ය. බුදුන් දැක දහම් අසා මඟපල ලබා නිවන් දැකිමට නො සමත් වූවෝ ද ඉතා බොහෝ ය. අතීතයෙහි ස්කන්ධාදි ධර්ම උගෙන විදර්ශනා වඩා විද්‍යා බීජය සම්පාදනය කර ගෙන ඇති සත්පුරුෂයන්ට බුදු කෙනෙකුන්ගෙන් දහම් අසන්නට ලැබුණු විට ලෙහෙසියෙන් ම මඟ-පල ලැබෙන්නේ ය.

වැඩි විස්තර සදහා පිවිසෙන්න      https://pitaka.lk/books/suvisi-gunaya/5.html

04 සුගත ගුණය

බොහෝ ජනයා මෙන්, අන්‍ය ශාස්තෲවරයන් මෙන් නො මඟ නොගොස් යහපත් මඟ ගිය හෙයින් ද, එමඟින් නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දර ස්ථානයට පැමිණ වදාළ හෙයින් ද, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වන සේක.

ලෝකයෙහි ඇතමෙක් කාමයන්ගේ ආදීනවයන් සලකා ගත නොහී පඤ්චකාමය ම ලොව ඇති උසස් දෙය වශයෙන් වරදවා ගෙන, මනුෂ්‍යයාට කරන්නට ඇති උසස් දෙය හැකි පමණ පස්කම් සැප විඳීම යයි වරදවා ගෙන කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත අමාර්ගයෙහි ගමන් කොට අපායට පැමිණෙන්නාහ.

ඇතැමෙක් සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ පෙර කළ කර්මවල විපාක වශයෙන්ම යයි වරඳවා ගෙන තපසින් පුරාණ කර්ම ගෙවා අභිනව කර්ම නොකර හැරීමෙන් කර්මයන් ක්ෂය කොට දුකින් මිදිය හැකිය, දුක් කෙළවර කළ හැකිය යි ද, ඇතැමෙක් සැපයෙන් සැපය නො ලැබිය හැකිය. සැපය ලැබිය යුත්තේ දුකින් ම ය යි වරදවා ගෙන දැඩි තපස්කම් වලට බැස වස්ත්‍ර වර්ජන, ආහාර වර්ජන, වාසස්ථාන වර්ජන කරමින් කයට දැඩි දුක් දෙති. ගෝව්‍රත කුක්කූරව්‍රතාදි ව්‍රතයන් පිරීමෙන් ද කයට දැඩි දුක් දෙති. ඔවුහු ආත්මක්ලමථානුයෝග නම් වූ අමාර්ගයෙහි යන්නෝය. ඔවුහු ඒ අමාර්ගයේ ගමන් ගෙන දුකින් දුකටම පත් වන්නාහ. තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝග. අත්තක්ලමථානුයෝග යන දෙමඟ ම නො ගෙන මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත මාර්ගයෙහි ගමන් කරන බැවින් සුගත නම් වන සේක.

ලෝකයෙහි ඇතැමෙක් පින් පව් කරමින් සුවදූක් විඳිමින් ජාතියෙන් ජාතියට යන, නොනැසෙන ආත්මයක් ඇතය යි ශාශ්වත දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කරති. ඇතැමෙක් සත්ත්ව ශරිරයෙහි මරණින් ඔබ තවත් තැනකට යන කිසිවක් නැත. ගස් වැල් මැරෙන්නාක් මෙන් සත්ත්වයෝ ද මැරෙන්නාහ. මළ සත්ත්වයා නැවත උපතක් නො ලබන්නේ ය යි උච්ජේද දෘෂ්ටිය ගෙන අමාර්ගයෙහි ගමන් කොට අපාගත වෙති.

තථාගතයන් වහන්සේ පරම ගම්භීර ප්‍රතීත්‍ය සමුද්පාද ධර්මය අවබෝධ කර ශාශ්වතෝච්ජේද දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ගද්වය හැර මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත සුමාර්ගයේ ගමන් කළ සේක. ඒ මගින් නිවනට පැමිණ වදාළ සේක. එබැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වන සේක.

බුදුන් කල විසු පූරණකස්සප නමැති ශාස්තෲවරයා “මැරීම් – සොරකම් – බොරුකීම් ආදි නපුරුකම් කොපමණ කළත් ඒවායින් වන පවක් නැත. දීම් – සිල් රැකීම් ආදියෙන් වන පිනකුත් නැතය” යන දෘෂ්ටිය ගෙන නොමග ගියේය.

මක්ඛලීගෝසාල නම් ශාස්තෲවරයා “සත්ත්වයන්ගේ සංක්ලේශයට හේතුවක් ද නැත, විශුද්ධියට හේතුවක් ද නැත, පින් කරන්නෝ ය, පව් කරන්නෝ ය, පණ්ඩිතයෝ ය, බාලයෝ ය යන සෑම දෙනාම සංසාර ස්වභාවය අනුව ඒ ඒ ජාතිවල ඉපද සුවදුක් විඳ දුක් කෙළවර කරන්නාහ, ප්‍රතිපත්තියකින් එය වෙනස් නොවන්නේ ය’ යන දෘෂ්ටිය ගෙන නො මඟ ගියේ ය.

අජිත කේසකම්බල නමැති ශාස්තෲවරයා ‘සූකෘත දුෂ්කෘත කර්මවලින් වන විපාකයක් නැත, මේ සත්ත්වයා සතර මහා භූතයන්ගෙන් සැදුණේය. මළ පසු ඔහුගේ ශරීරයේ පෘථිවිධාතුව පෘථිවිධාතුවටම එකතු වන්නේ ය, අපෝධාතුව අපෝධාතුවටම එකතු වන්නේ ය, තේජෝධාතුව තේජෝධාතුවට ම එකතු වන්නේ ය, වායෝ ධාතුව වායෝ ධාතුවට ම එකතු වන්නේ ය, ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ, දානය මෝඩයන්ගේ වැඩකි. බාලයෝ ද පණ්ඩිතයෝ ද යන සැම දෙනාම මරණින් කෙළවර වන්නාහ, නැවත උපදින්නෙක් නැත’ යන උච්ජේද දෘෂ්ටිය ගෙන නොමඟ ගියේය.

පකුධකච්චායන නම් ශාස්තෲවරයා ‘පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛය, දුක්ඛය, ජීවය කියා සප්තකාය කෙනෙක් ඇත්තාහ. ඔවුහු ස්ථීරයහ, ඔවුහු කිසිවකු විසින් මවන ලද්දාහු නොවෙති, කිසිවකු විසින් මැවිය හැක්කෝ ද නොවෙති, ඔවුහු ඔවුනොවුන්ට හිංසා කරන්නෝද නොවෙති, එකෙක් අනිකෙකුට සැපදුක් ඇති කිරීමට නො සමත්ය. මරන්නෙක් හෝ මරවන්නෙක් නැත, තියුණු කඩුවකින් හිස සිඳින කල්හි සප්තකායයන් අතරට කඩුව යනු මිස, මරන එකෙක් හෝ මැරෙන එකෙක් නැත, යන මිථ්‍යාදෘෂ්ටිය ගෙන නොමඟ ගියේය.

නිගණ්ඨනාතපුත්ත නම් ශාස්තෲවරයා ‘චාතුයාමසංවරයක පිහිටිය යුතුය’ යන දෘෂ්ටිය ගෙන සිසිල් දිය ද සත්ත්වයෙකැයි සලකමින් සිසිල් දින පීමෙන් වැළකිම් ආදියෙන් නො මඟ ගියේය.

සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත නම් ශාස්තෲවරයා ‘පරලොවක් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත, නැවත උපදනා සත්ත්වයන් ඇත්තේ ද නැත, නැත්තේ ද නැත’ යනාදි අමරාවික්ෂේප දෘෂ්ටිය ගෙන නො මඟ ගියේය.

බොහෝ ශාස්තෲවරයන් තමන් ද නොමඟ යෙමින් සෙස්සන් ද නොමඟ යැවූ අතර සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ ද සුමඟ යෙමින් අපමණ දෙවි මිනිසුන් ද ඒ සුන්දර මාර්ගයෙන් අමෘතමහා නිර්වාණ සංඛ්‍යාත පරමසුන්දරස්ථානයට යැවූ සේක.

වැඩි විස්තර සදහා පිවිසෙන්න    https://pitaka.lk/books/suvisi-gunaya/6.html

05 ලෝකවිදු ගුණය

ලෝකය ඉතා විශාලය. එයින් අප දන්නා ඉතා සුළු කොටසකි. නොදන්නා හරිය ම ඉතා බොහෝ ය. ලෝකයෙන් අප දන්නා හරිය දිය බිඳක් පමණ ය. නොදන්නා හරිය මහසයුර පමණය යි කිවද උපමාව හරි නැත. අප දන්නා හරිය එක් වැලිකැටයක් පමණය, නොදන්නා හරිය පොළොවේ වැලිකැට පමණය යි කිව ද උපමාව වැරදි ය. අප දන්නා හරිය නියපිටට ගත් පස් ටිකක් තරම ය, නො දන්නා හරිය පොළොවේ පස් පමණයයි කිව ද උපමාව හරි නැත. ලෝකයෙන් අප දන්නා නොදන්නා ප්‍රමාණ දැක්විමට උපමාවකුදු නැත. භාග්‍යවත් අර්හත් සම්‍යක් ‘සම්බුද්ධයන් වහන්සේ සකල ලෝකය සර්වාකාරයෙන් දැන වඳළ සේක. එබැවින් උන්වහන්සේ ලෝකවිදු නම් වන සේක.

සියල්ල දත් බව කියැවෙන සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දත් බව ද කියැ වේ. ලෝකය සම්මාසම්බුද්ධ පදයෙන් කියැවෙන සියල්ලට අයත් දෙයකි. එසේ තිබියදී මේ නවගුණපාඨයට ලෝකවිදු යනු ඇතුළත් කළේ කුමකටද? යන පැනය මෙහිදී මතුවෙයි. එහෙත් අටුවා ටිකාවල, පැරණි බණ පොත් වල ඒ ප්‍රශ්න විසඳා තිබෙනු නො දක්නා ලදී. එය පිළිබඳ අප අදහස මෙසේ ය.

ලෝකයෙහි සෙස්සන් ඒ ඒ දේ දැන ගන්නේ උගෙන ගන්නේ ගුරුන්ගෙනි. සම්මාසම්බුද්ධ යන පදයෙන් ලෝකය දන්නා බව කියැවෙන නුමුත් එය අසන්නහුයේ සිතට වඩා මතු වී දැනෙන්නේ තථාගතයන් වහනසේ දත් දෙය නොව උන්වහන්සේ ගුරුන් ඇසුරු නො කොට ස්වශක්තියෙන් දත්බව හා නිවැරදි ලෙස දත්බව ය. සෑම සත්ත්වයෙක් ම ලෝකයට අයත් ය, ලෝකයෙන් කොටසක්ය. එහෙත් සත්ත්වයෝ ලෝකය ගැන හා තමන් ගැන නො දනිති. තමන් ඇති වූයේ කෙසේ ද? තමන්ගේ අනාගතය කෙසේ ද? මරණින් පසු තමන්ට වන්නේ කුමක් ද? යන මේ කරුණු දැනගැනීමේ ආශාව බොහෝ දෙකනුන්ට ඇත්තේ ය. එබැවින් ලෝකවිදු යන ගුණය ඇසූ කල්හි ඔවුනට තථාගතයන් වහන්සේ ඇසුරු කිරීමේ ආශාව, උන් වහන්සේගේ දේශනා ඇසීමේ ආශාව ඇති වේ. එබැවින් මේ බුදුගුණ පාඨයට ලෝකවිදු යන පදය ඇතුළත් කරන ලදැ යි සිතමු.

ලෝකවිදු ගුණය විස්තර කළ යුත්තේ ලෝකය යනු කුමක් ද? ලෝකය සෑදී තිබෙන්නේ කුමකින්ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? ලෝකය කොතෙක් පරණ ද? ලෝකයේ විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද කවරහූද? යන මේ ප්‍රශ්න විසඳීමෙනි. ඉදිරියට මේ ප්‍රශ්න බුද්ධ දේශනය අනුව විසඳනු ලැබේ.

ලෝකය යි කියනුයේ සත්ත්වයන් වශයෙන් හා අසත්ත්ව වස්තු වශයෙන් ද, ධාතු වශයෙන් ද, ගුණ වශයෙන් ද, ඇත්තා වූ සියල්ලට ය.

ලෝකය සෑදී ඇත්තේ කුමකින් ද? යන බව ඉතා කොටින් කියතොත් ‘නාමරූප දෙකිනැ’යි කිය යුතු ය. නාම නම් සත්ත්වයන් තුළ ඇති වන දැනීම් විදීම් කිපීම් ඇලීම් ආදිය ය. රූප නම් මහා භූත සතර හා ඒවා නිසා පවත්නා වූ වර්ණ ගන්ධාදිය ය. ලෝකයෙහි හරය වශයෙන් ඇත්තේ පරමාර්ථ වශයෙන් ඇත්තේ ඒ නාම රූප දෙකය.

තවත් ක්‍රමයකින් කියත හොත් බුදුසමයෙහි ස්කන්ධ යන නාමය ව්‍යාවාහර කරන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේවායින් ලෝකය සෑදි ඇතැ යි කිය යුතු ය. ලෝකය විභාග කළා ම එහි ඇති දේවල් සැටියට ලැබෙන්නේ ඒ ස්කන්ධ පඤ්චකය ය.

තවත් ක්‍රමයකින් කියත හොත් ද්වාදසායතනයන්ගෙන් ලෝකය සෑදී ඇත යි කිය යුතු ය. ආයතන දොළොස නම් චක්ඛායතනය, රූපයාතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායාතනය, ඵොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය යන මොහු ය. ආයතන වශයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ආයතන දොළොස ය.

තවත් ක්‍රමයකින් කියත හොත් අටළොස් ධාතුන්ගෙන් ලෝකය නිර්මිත වී ඇතය යි කිය යුතු ය. ධාතු අටළොස නම් චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාන ධාතු, සෝතධාතු, සද්දධාතු, සෝතවිඤ්ඤාණධාතු, ඝාණධාතු, ගන්ධධාතු, ඝාණවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤධාතු, මනෝධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතු යන මොහුය. ධාතු ක්‍රමයෙන් ලෝකය විභාග කළා ම එහි හරය වශයෙන් ලැබෙන්නේ ධාතු අටලොස ය. මෙහිදී ස්කන්ධ ආයතන ධාතුන් විස්තර කළ යුතු වුවද, ග්‍රන්ථය දීර්ඝ වන බැවින් මෙහි විස්තර නොකරනු ලැබේ. ඒවා අභිධර්මය ග්‍රන්ථවලින් දත යුතුය. අප විසින් සම්පාදි අභිධර්ම මාර්ගය, විදර්ශනා භාවනා ක්‍රමය, චතුරාර්‍ය්‍ය සත්‍යය යන ග්‍රන්ථවලින් ද ඒවා පිළිබඳ දැනුමක් ලැබිය හැකිය.

ලෝකයේ ඇතිවූයේ කෙසේද? යනු ගැඹුරු පැනයෙකි. ලෝකය ඇති වීම ගැන කල්පනා කළ ඇතැම්හු ඇඳ පුටු මේස රිය ගෙවල් ආදිය කෙනකු විසින් නො සෑදුව හොත් ඉබේ ඇති නො වන්නාක් මෙන් අනේකප්‍රකාර සත්ත්වයන්ගෙන් වෘක්ෂලතාදි වස්තූන්ගෙන් යුක්තවන මේ ලෝකය කෙනකු විසින් නො සාදන ලද නම් මෙසේ ක්‍රමානුකූලව ඇති විය නො හැකි ය. ලෝකය මෙසේ ක්‍රමානුකූලව ඇති වී පවත්වන්නේ යම් කිසිවකු විසින් මෙය ඇති කරන ලද නිසාය යි සිතූහ. වඩුවකු ඇඳක් – පුටුවක් තනන්නාක් මෙන් ද්‍රව්‍ය එකතු කොට කපා කොටා ද මේ ලෝකය නො තැනිය හැකිය. මෙය තැනිය හැකි වීමට සිතීම් මාත්‍රයෙන් ඒ ඒ දෙය නිර්මාණ වීමේ බලයක් ඇති පුද්ගලයෙකු විය යුතුය යි ද සිතූහ. එ බඳු මහාබලයක් ඇතියකු මේ ලෝකයේ මිනිසුන් අතර දක්නට නැති බැවින් මැවුම්කරු අහසෙහි අන් ලොවක වෙසෙන පුද්ගලයෙකු විය යුතුය යි සිතා ගත්හ. දෙවියන් වහන්සේ ය, බ්‍රහ්මයා ය, ඊශ්වරයා ය කියා නොයෙක් නම් ඔවුහු මැවුම්කරුට තබා ගත්හ. මැවුම්කාරයකු ඇති නම් ඔහුත් ලෝකයේ කොටසක් විය යුතු බව හෝ ඔහුත් රූපාදිය ම විය යුතු බව හෝ මැවීමට කෙනෙකු සිටිය යුතු නම් මැවුම් කරු මවන්නටත් කෙනෙකු උවමනා බව හෝ ඔවුහු කල්පනා නො කළහ. ඔවුහු තමන් විසින් ම සිතින් මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිදීමටත් සැපයට පැමිණීමටත් සිතූහ. සියල්ල පිළිබඳව ම සම්මෝහය දුරු කර ගත් තථාගතයන් වහන්සේ වනාහි ලෝකය කෙනකු විසින් මැවිය හැකියක් නො වන බව දත් සේක. ලෝකය පුද්ගලයෙකු විසින් මැවිය යුත්තක් නම්, සත්ත්ව ලෝකයට අයත් වන මැවුම්කරුට ඇති විය නො හැකි බවත් දැන වඳළ සේක. බීජයෙන් ගසත් ගසින් බීජයක් ඇතිවීමෙන් ගස් පරම්පරාව නො සිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වු සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්වලෝක සංස්කාරලෝක අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වඳළ සේක. මවන්නකු නැති ව සංසාරයේ නො සිඳී පැවැත්ම සිදු වන සැටි තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වඳරා ඇත්තේය. එක් භවයක දී ඇති වන තණ්හාව නිසා මරණින් භවය සිඳී නොගොස් නැවත ද උපදී. උපන් පසු එහි ද නැවත තණ්හාව ඇති වේ. ඒ නිසා මරණින් පසු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නො සිඳී පවති. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇතිවීම් වශයෙන් නැවත ද උපදී. උපන් පසු නැවත ද කර්මය කරයි. මෙසේ කර්මය නිසා විපාක ද විපාක නිසා කර්මය ද ඇතිවීමෙන් සංසාරය නො සිඳී පවති. අවිද්‍යාදි හේතු ධර්මයන් නිසාද සංස්කාරාදි ඵල ඇතිවීම නිසා ද සංසාරය නො සිඳී පවති.

වැඩි විස්තර සදහා පිවිසෙන්න    https://pitaka.lk/books/suvisi-gunaya/7.html

06 අනුත්තර පුරිසදම්මසාරථී ගුණය

දමනය කළ යුතු පුද්ගලයන් ඉතාම ශීලාචාර වන පරිදි, ඉතා ගුණවත් වන පරිදි, ඉතා ශාන්ත වන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි දමනය කිරිමට සමත් වන බැවින් ද රජුන් විසින් හෝ ශක්‍රාදි දෙවියන් විසින් හෝ බ්‍රාහ්මණයන් විසින් හෝ දමනය කළ නොහෙන අතිචණ්ඩ අතිමානී අතිකෛරාටිකයන් වුවද දමනය කිරිමට සමත් බැවින් ද තථාගතයන් වහන්සේ ලෝකයෙහි දම්‍යයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍රවන සේක. එබැවින් උන්වහන්සේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වෙති.

ලෝකයෙහි කායබල ධනබල ඥානබල විද්‍යාබල ස්ථානබල ආදී යම්කිසි බලයකින් මත්ව ගරුකළ යුත්තන්ට ගරු නොකරමින් යටත් විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන උඬඟු පුද්ගලයෝ දමනය කළ යුත්තෝය. කායබල ධනබලාදි කිසි බලයක් නැත ද මෝඩකම නිසා අන්‍යයන් පහත් කොටත් තමන් උසස් කොටත් සිතාගෙන ගරු කළ යුත්තන් හට ගරු නොකරමින් යටත්විය යුත්තන්ට යටත් නොවෙමින් අන්‍යයයන්ට කරදර කරමින් ගුණවතුන්ට නින්දා කරමින් හැසිරෙන අවිනිත පුද්ගලයෝ ද ඇතහ. ඔවුහු ද දමනය කළ යුතු එක් පුද්ගල කොටසකි. මෝඩකම බලය කොට මෝඩකම පණ්ඩිතකම කොට ගෙන සිටින ඒ පිරිස දමනය කිරිමට ඉතා දුෂ්කර පිරිසය. එවැනි අය බුදුවරුන්ටද දමනය කිරිම ඉතා දුෂ්කරය. අවිද්‍යාවෙන් අන්ධව රාගාදි කෙලෙසුන්ට වසඟව පස්කම් සැප විඳිම ම මිනිසකුට කරන්නට ඇති උසස් දෙය සලකා ගෙන කාමයන් හි ගැලි සිටින විශාල ජනකායන් ද ලොව ඇත්තාහ. ඔවුහු ද දමනය කළ යුත්තේය.

කායබල ධනබලාදිය නිසා ප්‍රචණ්ඩව හැසිරෙන පුද්ගලයන් කෙරෙහි කායබලාදින් ම මෙහෙයවා පහර දිම ධනය පැහැර ගැනිම ධනය විනාශ කිරිම ආදියෙන් ඔවුන්ගෙන් බල බිඳ දුබල කොට නො නැඟී සිටිය හැකි තැනට පැමිණ වීමද ලෝකයෙහි අදන්තයන් දමනය කිරිමක් ලෙස සලකති. රාජාදීහූ ඒ ක්‍රමයෙන් අදන්තයන් දමනය කරති. එයින් පක්ෂයට යහපතක් වතුදු දමනය කරනු ලැබු පුද්ගලයාට වන්නේ ඉමහත් නපුරකි, දුකෙකි. පක්ෂයකට යහපත වී පක්ෂයට නපුරක් වන ඒ ක්‍රමය යහපත් නොවේ. එයින් වන්නේ වෛරයක් ඇති විමකි. එසේ දමනය කරනු ලැබු පුද්ගලයා බලය ලත් විට නැවතත් පෙර තත්වයට ම පැමිණෙන නිසා එය නියම දමනයක් ද නොවේ. තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන්නේ කාහටවත් නපුරක් නොවන පරිදිය. කායබලයෙන් හෝ ධන බලයෙන් උඬඟුව සෙස්සන්ට කරදර කරමින් හැසිරෙන්නෙක් තථාගතයන් වහන්සේ විසින් දමනය කරනු ලැබුව හොත් එයින් ඔහුට ද ඉමහත් යහපතක් සිදු වේ. සමහර විට ඔහු තමන්ගේ කාය බලයෙන් ධනබලයෙන් සෙස්සන්ට යහපත සිදු කරන්නෙක්ද වේ. එබැවින් තථාගතයන් වහන්සේගේ දමනය කිරිමේ ක්‍රමය ඉතා යහපත් වේ. තථාගතයන් වහන්සේ විසින් කොතරම් රෞද්‍ර පුද්ගලයකු වුවද දමනය කරන්නේ දඬු – මුඟුරු – අවි එසවීමක් නො කොට ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දමනය කළ ඉතා ප්‍රචණ්ඩ පුද්ගලයකු වන අංගුලිමාල තෙරණුවෝ :-

‘දණ්ඩේනෙකෙ දමයන්ති – අංකුසෙහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථෙන – අහං දන්තොම්හි තාදිනා’

(ථෙරගාථා)

යනුවෙන් ‘ඇතමෙක් දමනය කළයුත්තන් පොලූ වලින් අකුස්වලින් කසවලින් දමනය කෙරෙති. මම වනාහි බුදුරදුන් විසින් අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරන ලද්දේ වෙමි.’යි වදාළහ.

තථාගතයන් වහන්සේ විසින් කිසිදු පිඩාවක් නො කොට අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දමනය කරනු ලබන පුද්ගලයෝ අතිශයින් ම ශාන්ත වෙති. තථාගතයන් වහන්සේ චම්පානුවරගග්ගරා නම් පොකුණුතෙරෙ මහත් වු භික්ෂුන් පිරිස සමග වැඩ වෙසෙන අවස්ථාවෙහි පෙස්ස නම් වු හස්ත්‍යාචාර්‍ය්‍ය පුත්‍රයා හා කන්දරක නම් පිරිවැජියා ද උන්වහන්සේ වෙත පැමිණියා හ. ඔවුහු තථාගතයන් වහන්සේ සමිපයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ ශාන්තභාවය දැක ඉමහත් පුදුමයටත් සතුටටත් පත් වුහ. බුදුරදුන් හා පිළිසඳර කථා කොට එකත් පසෙක හිඳගත්තා වු කන්දරක පිරිවැජියා කියනුයේ පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේ භික්ෂු සංඝයා හික්මවා ඇති සැටි ඉතා පුදුමය. අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නට ඇත්තේ ද අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේ ද, දැන් පින්වත් ගෞතම වහන්සේ විසින් භික්ෂු සංඝයා හික්මවා ඇති පරිද්දෙන්ම යයි සිතමි’යි කීය. තථාගතයන් වහන්සේ එසේය කන්දරක, අතීත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන ලද්දේ ද, අනාගත බුදුවරයන් භික්ෂු සංඝයා හික්මවන්නේ ද, දැන් මා මේ භික්ෂු සංඝයා, හික්මවා ඇති පරිදිම ය’ යි වදාරා, එහි රැස්ව උන් භික්ෂුන්ගේ තත්වය ද පහදා වදාළ සේක.

ඇතුන් අසුන් ගවයන් සිංහයන් ව්‍යාඝ්‍රයන් නයින් පොළොඟුන් දමනය කිරිම පහසු ය. මනුෂ්‍යයන් දමනය කිරිම දුෂ්කර ය. තිරිසනුන් කපටිකම් නැත්තෝය. මායම් නො දක්වන්නෝ ය. සෑම කල්හි තමන්ගේ ඇතිසැටිය දක්වන්නෝ ය. ඔවුන්ගේ නපුරුකම සඟවා ගෙන හීලෑකම් දැක්වීමක් නැත. හීලෑකම සඟවාගෙන නපුරුකම් දැක්වීමක් නැත. වැඩකල හැකි ව තිබියදී බොරු බැරිකම් දැක්වීමක්, හොර ලෙඩ ගැනීමක් නැත. සඟවන කිසිවක් ඔවුන්ගේ නැත. ඔවුහු කරන සියල්ලම එලිපිට ම කරති. එබැවින් ඔවුන් හික්මවීම පහසු ය. මනුෂ්‍යයෝ ඉතා කෛරාටිකයෝ ය. මායම්කාරයෝ ය. කුහකයෝ ය. ඔවුන් එකක් කරමින් අනිකක් කියති. එකක් කියමින් අනිකක් කරති. අනිකක් සිතති. පරම පාපියකු ව සිට මහා උවසුවකුගේ-තවුසකුගේ ආකාරය දක්වති. සොරකුව සිට පරෙස්සම් කර දෙන්නෙකුගේ ආකාරය දක්වති. සතුරුකම් කරමින් මිතුරු ආකාරයක් දක්වති. දුප්පත්ව සිට පොහොසතකුගේ ආකාරය දක්වති. පොහොසත්ව සිට දුප්පත්කම් දක්වති. උගත්කම් නැතිව උගත්කම් දක්වති. ඇතුන් දමනය කරන්නෙකු වූ ද බොහෝ සේවකයන් ඇතියකු වුද පෙස්ස මිනිසුන් හා තිරිසනුන් අතර ඇති වෙනස හොදින් දනී. දමනයට දුෂ්කර මිනිසුන් රැසක් ඉතා ශාන්ත වන පරිදි දමනය කර ඇති බව දුටු පෙස්ස ඉතා පුදුමයට පැමිණ “ගහණං හෙතං භන්තෙ යදිදං මනුස්සා උත්තානකං හෙතං භන්තෙ යදිදං පසවො” යනුවෙන් “ස්වාමීනි, මේ මනුෂ්‍යයෝ කෛරාටිකයෝ ය. සිවුපාවෝ නොගැඹුරු වූවෝ ය”යි මනුෂ්‍යයෝ හා තිරිසනුන්ගේ වෙනස දක්වා “නුඹ වහන්සේ මේ මනුෂ්‍යයන්ගේ හිතාහිතය දන්නාහ’යි තථාගතයන් වහන්සේට පැවසුවේ ය.

(කන්දරක සු – ම. නි.)

මෙසේ ලෝතතු දන්නවුන් පුදුම වන අන්දමට ඉතාම ශාන්ත භාවයට පැමිණෙන ලෙස අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පුද්ගලයන් දමනය කිරිමට සමත් වන බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක.

තථාගතයන් වහන්සේ විසින් පුද්ගලයන් දමනය කරන අයුරු අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රය අනුව කිව යුතුය. දිනක් කේශී නම් අශ්ව දමකයා බුදුරදුන් වෙත එළඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තේ ය. එකල්හි තථාගතයන් වහන්සේ වාදාරන සේක්, කේශී නුඹ අශ්වයන් පුරුදු කිරිමෙහි ප්‍රසිද්ධ ය. නුඹ අශ්වයන් දමනය කරන්නේ කෙසේ දැ’යි වදාළ සේක. “ස්වාමීනි, මම මෙලෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද අශ්වයන් දමනය කරමි’යි ඔහු කීය. “කේශී, ඉදින් අශ්වයන් මෙළෙකින්ද රළුයෙන් ද ඒ දෙකින්ම ද කීකරු නොකළ හැකි වී නම් එකල්හි නුඹ කුමක් කරන්නෙහිදැ’යි තථාගතයන් වහන්සේ වදාළහ. ‘ඒ තුන් ආකාරයෙන් නොදැමිය හැකි අශ්වයන් අපගේ ඇදුරු පරපුරට අවමානයක් ඇති නොවනු පිණිස මරා දමමි’යි කේශී කීය.

“ස්වාමීනි, භග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. නුඹ වහන්සේ දමනය කළ යුතු පුද්ගලයන් කෙසේ හික්මවන සේක් දැ’යි කේශී විචාළේ ය. “කේශී, මම ද දමනය කළ යුතු පුද්ගලයන් මෙළෙකින් ද හික්මවමි. රළුයෙන් ද හික්මවමි. ඒ දෙකින්ම ද හික්මවමි. මේ කායසුචරිතය ය, මේ කායසුචරිතයේ විපාකය, මේ වාක් සුචරිතය ය, මේ වාක් සුචරිතයේ විපාකය ය, මේ මනෝ සුචරිතය ය, මේ මනෝසුචරිතයේ විපාක ය, සුචරිතයේ විපාක වශයෙන් මිනිස් ලොව උපදනාහ. දෙව්ලොව උපදනාහ. මෙසේ අනුශාසනා කොට පුද්ගලයන් හික්මවීම මාගේ මෙළෙකින් හික්මවීම ය. මේ කාය දුශ්චරිතය ය. මේ කාය දුශ්චරිතයේ විපාකය ය. මේ වාක් දුශ්චරිතය ය. මේ වාක් දුෂ්චරිතයේ විපාකය ය. මේ මනෝදුශ්චරිතය ය. මේ මනෝදුශ්චරිතයේ විපාකය ය. දුශ්චරිතයෙන් නරකයෙහි උපදනාහ, තිරිසන් වන්නාහ. ප්‍රේත වන්නාහ. මෙසේ අනුශාසනය කොට හික්මවිම මාගේ රළුයෙන් හික්මවිම ය. ඒ දෙයාකාරයෙන්ම අනුශාසනය කොට හික්මවිම මාගේ මෙළෙකින් හා රළුයෙන් හික්මවීම ය’යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කේශී “ස්වාමීනි, “දමනය කළ යුත්තෙක් ඒ තුන් ආකාරයෙන් ම නොහික්මේ නම් ඔහුට නුඹ වහන්සේ කුමක් කරන සේක් දැ”යි කීය. තථාගතයන් වහන්සේ වදාරන සේක් “කේශී, දමනය කළ යුතු පුද්ගලයා ඒ තුන් ක්‍රමයන් ම නොහික්මෙන්නේ නම් මම ද ඔහු මරමි යි’යි වදාළ සේක. එකල්හි කේශී, “ස්වාමීනි, නුඹ වහන්සේට ප්‍රණඝාතය ඇකැප ය. එහෙත් නුඔ වහන්සේ මරමියි කියන සේකැ”යි කීය. සැබැව කේශී, තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතනය කැප නැත. යමෙක් මෙළෙකින් අනුශාසනා කිරිමෙන් ද තදින් අනුශාසනා කිරිමෙන් ද, ඒ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරිමෙන් ද නො හික්මේ නම් තථාගතයන් වහන්සේ ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. මගේ නුවණැති ශ්‍රවකයෝ ද ඔහු අනුශාසනා නො කළ යුත්තකු ලෙස සලකන්නා හ. කේශී, එසේ අනුශාසනා නොකළ යුත්තකු ලෙස සැලකිම මේ ආර්‍ය්‍යවිනයෙහි මරණයට පැමිණවීමය’යි වදාළ සේක. කේශී තථාගතයන් වහන්සේට ස්තුති කොට තෙරුවන් සරණ ගොස් උපාසකයෙක් වූයේ ය.

බුදුරදුන් විසින් දමනය කරන්නේ පුරුෂයන් පමණක් නො වේ. උන් වහන්සේ ස්ත්‍රීන් ද දමනය කෙරෙති. සරණ ශීලාදියෙහි පිහිටවමින් හික්මවෙති. පුරිසදම්මසාරථී යන මෙහි පුරුෂයන් පමණක් ගෙන තිබෙන්නේ “දමනය කළ යුත්තන් අතර පුරුෂයන් ප්‍රධාන නිසාය’යි කියා තිබේ. එහි පුරිස යන වචනය ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂය ම ගත හැකි පුද්ගලවාචී වචනයක් ද ලෙස සැලකිය හැකි ය. වචනය කෙසේ වුව ද තථාගතයන් වහන්සේ ස්ත්‍රී පුරුෂ සැමදෙන ම දමනය කරන බව කිය යුතු ය.

තථාගතයන් වහන්සේ ගේ පුද්ගල දමනය අංගුලිමාල, නාළාගිරි ආදි ප්‍රචණ්ඩයන් මෙල්ල කිරිම ම නො වේ. උන්වහන්සේ අතින් එවැන්නක් සිදුවන්නේ කළාතුරකිනි. උන්වහන්සේ විසින් බෙහෙවින් කරන, නිතර කරන දමනය නම්, කෙළෙසුන්ට වසඟව මෝහයෙන් මුළා ව මානයෙන් මත් ව සුසිරිතෙන් බැහැරව පව්කම්හි ද පඤ්චකාමයෙහි ද ඇලී අපාය මාර්ගයේ ගමන් ගෙන ඇති, නිවන් මඟට විරුද්ධ මාර්ගයෙහි ගමන් ගෙන ඇති සත්ත්වයන්සරණ ශීලාදීයෙහි පිහිටවා ස්වර්ගමෝක්ෂමාර්ගයන්හි ගමන් කරනවුන් කිරිම ය. අප තථාගතයන් වහන්සේ ලෝකානුකම්පාවෙන් පන්සාළිස් වසක් මුළුල්ලෙහි කළේ එය ය.

අනුන් දමනය කිරිමය, තමාගේ සිත දමනය කර ගැනීමය යන මේ දෙකින් වඩා වැදගත් වන්නේ තමාගේ සන්තානය තමාගේ සිත දමනය කර ගැනිමය. දුෂ්කර දෙයත් එය ය. එබැවින් “අත්තාහි කිර දුද්දමො” යනු වදාරන ලදි. අනුන් දමනය කිරිම සුදුසු වන්නේ තමාගේ සන්තානය – තමාගේ සිත දමනය කරගත් පුද්ගලයා ය. භාග්‍යවතුන් වහන්සේ වනාහි අතිදීර්ඝකාලයක් දානාදි පෙරුම් දහම් සපුරා ඒවායේ බලයෙන් බෝධිමූලයේ වැඩහිඳ සිත නොසන්සුන් කරන, කය වචන දෙක නො සන්සුන් කරන සකළක්ලේශයන් අර්හන්මාර්ගඥනනමැති ගින්නෙන් දවා පියා සර්වාකාරයෙන් පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ සන්තානය දමනය කර ගත් සේක. ලෝකයේ කොපමණ බලවතකු සෘඬිමතකු වුව ද දමනයට සමත් වන ඥාණබල සෘඬිබල ලබා ගත් සේක. එබැවින් උන්වහන්සේ අන්‍යයන් දමනය කිරිමට අතිශයින් සුදුසු වු සේක. ඒ භාග්‍යයවතුන් වහන්සේ ලොවුතුරා බුදුබවට පැමිණ වැඩ විසු පන්සාළිස් වස් කාලය තුළ අපමණ සත්වයන් දමනය කළහ.

උන් වහන්සේ ලොව්තුරා බුදුබවට පැමිණ සත්සතියක් ඉක්මගිය පසු සහම්පති බ්‍රාහ්මරාජයා පැමිණ “දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතෝ ධම්මං” යි දහම් දෙසුමට අරාධනා කළ පසු බරණැස ඉසිපතනයට වැඩ වඳාරා එහිදි කරන ලද ප්‍රථම ධර්ම දේශනයෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් ඇතුළු අටලොස් කෝටියක් බ්‍රහ්මයෝ ධර්මචක්ෂුස ලැබ දමිත වුහ. මේ ධර්මදේශනය කළේ ඇසළ මස පුර පසළොස්වක පොහෝ දිනයේ ය. ඉක්බිති තථාගතයන් වහන්සේ අවපෑළවිය දිනයේ ආයුෂ්මත් වප්ප ස්ථවීරයන් වහන්සේට අවවාද කොට ධර්මචක්ෂුස ලබා දී සෝවහන් ඵලයට පැමිණ වූ සේක. එසේම දෙවන දිනයෙහි භද්දිය තවුසන්ට ද තුන්වන දිනයෙහි මහානාම තවුසන්ට ද සතරවන දිනයෙහි අස්සජි තවුසන්ටද අවවාද කොට ධර්ම චක්ෂුස ලබා දී ඔවුන් දමනය කළ සේක. පුද්ගලයකුගේ දමනය අවසන් වන්නේ අර්හත්වයෙනි. කොණ්ඩඤ්ඤාදි පස්නම සෝවහන් ඵලයට පැමිණ ඒහි භික්ෂුභාවයෙන් පැවිද්ද හා උපදම්පාව ලබා ඇත ද ඉදිරියට ද හික්මවිය යුත්තෝ ය. එබැවින් තථාගතයන් වහන්සේ පක්ෂයේ පස්වන දිනයෙහි ඔවුන් පස්දෙනම එකතු කොට ඉදිරියට හික්මවනු සඳහා “රූපං හික්ඛවෙ අනත්තා රූපඤ්ච හිදං හික්ඛවෙ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය ” යනාදි අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළ සේක. ඒ දේශනය අසා පඤ්චවර්ගිය භික්ෂුහු සව්කෙළෙසුන් නසා අර්හත්වයට පැමිණියෝ ය. තථාගතයන් වහන්සේ ඒ දේශනයෙන් පඤ්චවර්ගිය භික්ෂුන් දමනය කිරිම අවසන් කළ සේක.

ඒ කාලයෙහි බරණැස බොහෝ සම්පත් ඇති යස නම් සිටු පුත්‍රයෙක් වාසය කරයි. ඔහුට ඒ ඒ සෘතුවෙහි වාසයට යෝග්‍ය ලෙස කරන ලද ප්‍රාසාද තුනක් විය. ඔහු ඒ ඒ සෘතුවෙහි ඒ ඒ ප්‍රාසාදයට වී වාසය කරයි. බුදුරදුන් ඉසිපතනයෙහි වැඩ හුන් වස්සාන කාලයේ ඔහු ද වර්ෂා කාලයට යෝග්‍ය ලෙස කරවා තුබු පහයට වී ස්ත්‍රීන් විසින් පවත්වන නෘත්‍ය ගීත වාදිතයෙන් සිත් පිනවමින් වාසය කළේ ය. එක් රාත්‍රීයක ඔහුට කලින් ම නින්ද ගියේ ය. පහය තුළ පහන් දැල්වෙද්දී ම නටමින් ගයමින් වයමින් ඔහු පිනවමින් උන් නාටිකාවෝ ද ඒ ඒ තැන වැටී නිදා ගත්හ. සිටු පුත්‍රයා කලින් නින්දෙන් අවදි විය. කලින් එහි පැවති ගැයුම් වැයුම් හඬ නො ඇසින, නැටුම් නො තිබිණ. එකල්හි ඔහුට පෙනුනේ කට හැරගෙන ද, කුණු කෙළ පෙරමින් ද, ගොරවමින් ද, කෙඳිරිගාමින් ද, තැන තැන වැටී නිදන නාටිකාවක් ඇති පහය අමුසොහොනක් සේ ය. දෙව් විමනක් සේ කලින් තිබු පහය සොහොනක් මෙන් වී තිබෙනු දුටු සිටු පුත්‍රයාගේ සිත සැලෙන්නට විය. “ලෝකයේ නො තිර තැනක, තැවී තැවී සිටින්නට වන තැනක” යන අදහස ඔහුට ඇති විය. සිදු වූ විපර්‍ය්‍යාසයෙන් කළකිරුණු සිටුපුත්‍රායාට සියනිවස බලාගෙන එහි නො සිටිය හැකි විය. ඔහුට පහයෙන් පිටවී යන්නට සිත් විය. එතෙක් කල් පස්කම් සැප විදිමින් එහිම ඇලී ගැලී සිටි සිටුපුත් නිවනක් ගැන හෝ නිවන් මඟක් ගැන නො දනි. යන්නට සිතෙන නමුත් යා යුතු තැනක් නො දනි. එහෙත් ඔහු පහයෙන් බැස, මඟට බැස නුවරින් ද පිටවී රාත්‍රීයේ තනිවම ඉසිපතනය දෙසට ගමන් කළේ ය. භාග්‍යයවතුන් වහන්සේ රාත්‍රීයේ පශ්චිම යාමයේ සක්මන් කරන සේක්, යස පුත්‍රයා දුරදි ම එනු දැක, සක්මනින් ඉවත්ව පනවා තුබු අසුනෙහි වැඩ සිටි සේක. සිටු පුත්‍රයා තථාගතයන් වහන්සේට නුදුරින් ගමන් කරමින් “උපද්දුතං වත භො උපසට්ඨං වත භො”යි උදන් ඇණී. තථාගතයන් වහන්සේ “යස, මෙහි එව, මෙහි උපද්‍රව නැත, හිඳ ගනුව, ඔබට දහම් දෙසමි’යි වදාළහ. සිටු පුත් ඉතා සතුටුව පාවහන් ගලවා තබා තථාගතයන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ දානකථාදියෙන් ඔහුට දහම් දෙසා ඔහුගේ සිත මෘදු වී පහන් වී චතුරාර්‍ය්‍යසත්‍යධර්මය තේරුම් ගත හැකි තත්වයට පැමිණි කල්හි ලොවුතුරා බුදුවරුන්ගේ සාමුක්කංසික චතුරාර්‍ය්‍යසත්‍ය දේශනාව ඔහුට ප්‍රකාශ කළ සේක. එය අසා යස සිටුපුත්හට ධර්මචක්ෂුස උපණ. සෝවහන් මාර්ගයට පැමිණියේ ය. ධර්මචක්ෂුඃ ප්‍රතිලාභයෙන් සතුටු වු සිත් ඇති යස සිටු පුත් තථාගතයන් වහන්සේ සමිපයේ ම සිටියේ ය.

පහන් වු පසු ඔහුගේ මෑණියෝ යස සිටුපුත්‍රයා වෙසෙන පහයට ගොස් ඔහු නො දැක ඉමහත් ශෝකයෙන් මහසිටු වෙත වහා ගොස් ඒ බව ඔහුට දැන්වූහ. සිටුවරයා පුත්‍රයා සොයනු පිණිස සතර දිශාවට ම අසරුවන් යවා එපමණින් සතුටුවිය නොහී තෙමේ ද පුත්‍රයාගේ පාවහන් සටහන් බල බලා පා ගමනින් ඔහු සොයා ඉසිපතනාරාමය දෙසට ගමන් කෙළේ ය. තථාගතයන් වහන්සේ දුරදීම ඔහු එනු දැක පුත්‍රයා මෙන් පියා ද දමනය කරනු පිණිස සමිපයෙහි හිදිනා යස සිටු පුත්‍රයා ඔහුට නොපෙනෙන පරිදි සෘද්ධි ප්‍රතිභාර්‍ය්‍යයක් කළ සේක. සිටුවරයා බුදුරදුන් වෙත ගොස් “ස්වාමීනි, ඔබ වහන්සේ අපගේ පුත්‍රයා දුටු සේක්දැ”යි කීය. සිටාණෙනි, මෙහි වාඩි වෙන්න, මෙහි වාඩි වී සිටියදීම ඔබට පුත්‍රයා දැකිය හැකි විය හැකිය”යි තථාගතයන් වහන්සේ වදාලහ. සිටුවරයා එහිදි ම තමාගේ පුත්‍රයා දැකිය හැකි වන බව අසීමෙන් ඉතා සතුටුව තථාගතයන් වහන්සේ වැඳ එකත් පසෙක වාඩි විය. තථාගතයන් වහන්සේ ඔහුට, යස කුලපුත්‍රයාට දෙසු පරිදි ම දහම් දෙසු සේක. ධර්මදේශනා ඇසිමෙන් සිටුවරයා සෝවාන් ඵලයට පැමිණියේ ය. සිටුපුත්‍ර තෙමේ පියාට දේශනා කළ ධර්මයට කන්දි සිට සව් කෙළෙසුන් නසා අර්හත්ඵලයට පැමිණියේ ය. ඉක්බිති ඔහු ඒහිභික්ෂු භාවයෙන් පැවිද්ද ලබා බුදු සස්නෙහි එක්තර රහත් භික්ෂුවක් විය.

ඉක්බිති තථාගතයන් වහන්සේ සිටුවරයාගේ ආරාධනාවෙන් අළුත පැවිදි වූ යස කුලපුත්‍රයා දෙවෙනි කොට ඔහුගේ නිවසට වැඩම කළ සේක. එහිදි යස පුත්‍රයාගේ මෑණියන් හා භාර්‍ය්‍යව ද බුදුරදුන් වැඳ එකත් පසෙක හිඳගත්හ. තථාගතයන් වහන්සේ ධර්ම දේශනයෙන් ඔවුන් ද දමනය කළහ. ඔවුහු දහම් අසා සෝවහන් ඵලයට පැමිණ තෙරුවන් සරණ ගොස් උපාසිකාවෝ වූහ.

ආයුෂ්මත් යස තෙරුන් වහන්සේගේ ගිහි යහළුවන් වන බරණැස් සිටු, අනුසිටුවරයන්ගේ පුත්‍රයන් වන විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති යන කුලපුත්‍රයෝ සතර දෙන යස කුලපුත්‍රයාගේ පැවිද්ද අසා උන්වහන්සේ දක්නට ගියහ. යස තෙරණුවෝ ඔවුන් බුදුරදුන් වෙත කැදවාගෙන ගොස් හදුන්වා දී ඔවුන්ට අවවාදානුශාසනා කරන ලෙස අයැද සිටිය හ. තථාගතයන් වහන්සේ දහම් දෙසුමෙන් ඔවුන් ද දමනය කළහ. ඔවුහු ද තථාගතයන් වහන්සේ වෙතින් පැවිද්ද ලබා වැඩි දුරටත් අවවාදානුශාසනා ලබා සව් කෙලෙසුන් නසා රහත් වූහ.

ඉක්බිති යස තෙරුන් වහන්සේගේ යහළුවන් වන ජනපදවැසි කුලපුත්‍රයෝ පනස් දෙනෙක් උන්වහන්සේ දක්නට පැමිණියහ. තෙරුන් වහන්සේ ඔවුන් ද තථාගතයන් වහන්සේ වෙත පමුණුවා දහම් දෙසන ලෙස අයැද සිටියහ. තථාගතයන් වහන්සේ ඔවුන්ද ධර්ම දේශනයෙන් දමනය කළහ. ඔවුහු ද පැවිදිව වැඩි දුරටත් අවවාදානුශාසනා ලබා සව් කෙළෙසුන් නසා රහත් වූහ.

තථාගතයන් වහන්සේ විසින් මෙසේ දමනය කොට රහතුන් සැට දෙනෙකුන් ලෝකයෙහි ඇති කිරිමෙන් පසු ඒ භික්ෂුන් ධර්මප්‍රචාරය සඳහා යවා උන්වහන්සේ උරුවෙල් දනව්ව බලා වැඩම කරන සේක්, අතරමඟදී ස්ත්‍රීන් ද කැටුව විනෝදය පිණිස වනයෙහි හැසිරුණ භද්‍රවර්ගීය කුමාරයන් තිස්දෙනා මුණ ගැසී ඔවුන් ද දමනය කොට පැවිදි කරවා අර්හත්වයෙහි පිහිට වූ සේක. ඔවුන්ගේ විස්තර කලින් දක්වා ඇත. තථාගතයන් වහන්සේ විසින් යස පුත්‍රායාගේ පටන් භද්‍රවර්ගිය කුමාරවරුන් දක්වා දහම් දෙසිමෙන් දමනය කොට ගිහි ගෙයින් බැහැර කරවා තමන් වහන්සේගේ සසුනට ඇතුළු කළ පුද්ගල ගණන අනූ දෙනෙක් වූහ. ඔවුන් සැම දෙනම කිසිදු අඩුවක් නැතිව රිසි සේ පස්කම් සැප විඳිමින් එහි ඇලි ගැලී සිටි ධනවත්හූ ය. තමතමන් ලබා සිටින උසස් කාමසම්පත්තිය හැර ගිහිගෙයින් නික්ම පැවිදි වන පරිදි එබදු පුද්ගලයන් දමනය කිරිම තථාගතයන් වහන්සේට මිස අනිකකුට කළ හැක්කක් නොවේ. එබැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

භද්දවග්ගිය කුමාරවරුන් දමනය කොට තථාගතයන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළ සේක. එසමයෙහි එහි උරුවෙල්කාශ්‍යපය, නදීකාශ්‍යපය, ගයාකාශ්‍යපය යි තවුසෝ තිදෙනෙක් වෙසෙති. ඔවුන්ගෙන් උරුවෙල් කාශ්‍යප තවුසන් පන්සියයකට නායකය. නදීකාශ්‍යප තවුසන් තුන්සියයකට නායකය. ගයාකාශ්‍යප තවුසන් දෙසියයකට නායකය. සවස් කාලයෙහි තථාගතයන් වහන්සේ උරුවෙල්කාශ්‍යප තවුසා වෙත එළඹ “කාශ්‍යපය, ඔබට බරක් නොවේ නම් එක් රාත්‍රීයක් මේ ගිනිහල් ගෙයි වාසය කරමි’ යි වදාළහ.“ මහමහණ, මට නම් බරක් නැත, එහි ඝෝරවිෂ ඇති නපුරු නාගරාජයෙක් වෙසෙයි. උගෙන් ඔබට නපුරක් විය හැකිය’යි උරුවෙල්කාශ්‍යප කීය. තථාගතයන් වහන්සේ දෙවනුව ද, තුන්වනුව ද, එසේ වදාළ කල්හි, උරුවෙල්කාශ්‍යප ද එසේම කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ, “කාශ්‍යපය, නාගරාජයා මට හිංසා නො කරනු ඇත. ඔබ මාහට එහි විසිමට අවකාශ දෙනු මැනව’යි වදාළහ. එකල්හි උරුවෙල් කාශ්‍යප “මහණ රිසිසේ වාසය කරනු මැනව’යි කීය. තථාගතයන් වහන්සේ ගිනිහලට පිවිස තණ අතුරා එහි වැඩහුන් සේක. කිසිවකු ඇතුළු නො වන ඔහුගේ භවනට කිසි ගරු සරුවක් නැතිව කෙනෙකු ඇතුළු වී හිදීම ගැන නාරජු කිපුණේ ය. කිපුණු නාරජු බුදුරදුන් පලවා හැරිමට විෂදුම් පිට කළේ ය. තථාගතයන් වහන්සේ ද ඔහු දමනය කරනු පිණිස දුම් හළහ. නාගයාගේ දුමෙන් බුදුනට පීඩාවක් නොවිණ. තථාගතයන් වහන්සේගේ දුමින් නාගරාජයා පෙළිණ. එයින් ඔහු තවත් කිපී ගිනි පිට කරන්නට විය. තථාගතයන් වහන්සේ ද එසේ කළහ. නාගයාගේ ගින්නෙන් තථාගතයන් වහන්සේට අපහසුවක් නැත. තථාගතයන් වහන්සේ ගේ ගින්නෙන් නාගරාජයා පෙළෙයි. දෙදෙනා ම ගිනි පිට කරන්නට වන කල්හි ගිනිහල ගිනිදළුයෙන් වැසී ගියේ ය. ගින්න දැක තවුසෝ එහි පැමිණ ගිනිගහ වටා බලා සිටිමින් “අනේ ලස්සන මහණ නාගරාජයා විසින් නසනු ලැබේය’යි ඔවුනොවුන් කථා කළෝ ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධිබලයෙන් නාරජුගේ තේජස යට කොට ඔහු දමනය කොට පාත්‍රයෙහි ලා පසු දින, “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයාය’යි උරුවෙල් කාශ්‍යපට දැක්වූහ. උරුවෙල් කාශ්‍යප නාගයා බලා “මහමහණ නයින් දමනයට සමත් වුව ද ඔහුට අපට මෙන් රහත් බවක් නම් නැතය’යි සිතී ය.

නාගදමනයෙන් පසු තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යපගේ අසපුව සමීපයේ වන ලැහැබක විසූ සේක. රාත්‍රියෙහි සතර දිගට අධිපති දෙවිවරු සතර දෙන එහි පැමිණ මහා ගිනිකඳන් සතරක් මෙන් දිළිසෙමින් සතර දිගින් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටගත්තෝ ය. උරුවේලකාශ්‍යප දෙවියන් පැමිණ සිටිනු දුටුවේ ය. ඔහු පසු දින භග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “මහමහණ, ඉකුත් රාත්‍රීයේ වනය ආලෝකමත් කරමින් ඔබ වෙත පැමිණ සිටියෝ කවරහු දැ’යි කී ය. “කාශ්‍යප, සතරවරම් දෙවිරජවරු දහම් ඇසිමට පැමිණියෝ ය’ යි තථාගතයන් වහන්සේ වදාළහ. එය අසා, “මහමහණ කරා සතරවරම් දෙවි රජුහුත් දහම් ඇසිමට පැමිණෙති. එහෙත් ඔහු අප සේ රහත් නො වෙති’ යි උරුවේල් කාශ්‍යප සිතා ගත්තේ ය.

තවත් දිනක රාත්‍රීයෙහි ඒ වනලැහැබෙහි කලින් දුටු ගිනිකඳන් වලට මහත් වූ ද, පැහැපත් වූ ද ගිනි කඳන් වැනි පුද්ගලයකු උරුවේල් කාශ්‍යප දුටුවේ ය. පසුදින ඔහු ඒ ඇවිත් සිටියේ කවරේදැ?” යි තථාගතයන් වහන්සේගෙන් විචාළේ ය. ශක්‍රදේවේන්ද්‍රයා බව වදාළ කල්හි ඔහු පෙර සේම “මහාශ්‍රමණයා කරා ශක්‍රයා පැමිණෙතත් ඔහු අප සේ රහත් නො වෙති”යි සිතා ගත්තේ ය.

තවත් දිනක රාත්‍රීයේ සහම්පති බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිටියේ ය. උරුවේලකාශ්‍යප ඔහු දැක පසුදින තථාගතයන් වහන්සේගෙන් රාත්‍රීයේ පැමිණ සිටි අමුත්තා කවරේ දැ? යි අසා තථාගතයන් වහන්සේ විසින් ඒ සහම්පති බ්‍රහ්මරාජයාය යි වදාළ කල්හි පෙරසේ ම “මහමහණ කරා බ්‍රහ්මයා පැමිණෙන නුමුත් ඔහු අප සේ රහත් නො වේ ය”යි සිතා ගත්තේ ය.

භග්‍යවතුන් වහන්සේ උරුවේල් දනව්වෙහි වැඩ වෙසෙන කාලයේ උරුවේලකාශ්‍යපයන් වෙත අඟු මගද දෙරට වැසියන් බොහෝ දෙනකුන් බොහෝ දේ ගෙන පැමිණෙන උත්සව දිනයක් ලං විය. ඒ උත්සවයට පෙර දින උරුවේලකාශ්‍යප සිතනුයේ, “සෙට මෙහි අඟු මගද දෙරට වැසි බොහෝ දෙනා පැමිණෙන්නාහ. ඉදින් සෙට මහමහණ ප්‍රාතිහාර්‍ය්‍යයක් කෙළේ නම් ඔහුට ලාභසත්කාර බොහෝ වන්නේ ය, මම ලාභයෙන් පිරිහෙන්නෙමි, සෙට දවස මහමහණ මෙහි නො ආවොත් හොඳය” යි සිතුවේ ය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන උතුරුකුරු දිවයිනට වැඩම කොට පිඬු සිඟා ගෙන අනවතප්ත විල සමීපයේ දී වළදා දහවල් කාලයෙහි එහි ම විසු සේක. උරුවේල්කාශ්‍යප පසු දින භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, “මහමහණ, ඇයි ඊයේ ඔබ නොපැමිණියේ? ඊයේ අපට බොහෝ ඛාද්‍යබෝද්‍ය ලැබිණ, අපි ඔබ සිහි කළෙමු, ඔබගේ පංගුවද තැබුවෙමු ”යි කී ය. “ඇයි කාශ්‍යප, ඔබට ඊයේ මහමහණ නො පැමිණෙතොත් හොඳය’යි සිතුනේ නොවේ දැ?”යි තථාගතයන් වහන්සේ වදාළහ. කාශ්‍යප ලැජ්ජා වී, මේ මහණ මහත් වූ ඍඬි ඇතියෙක, පර සිත් දන්නෙක, එහෙත් ඔහුට අපට මෙන් රහත් කමක් නම් නැතය’යි සිතුවේ ය. භග්‍යවතුන් වහන්සේ උරුවේලකාශ්‍යපයන් පිරිනැමු අහර වළදා ඒ වන ලැහැබෙහි ම විසු සේක.

එක් දවසක් තථාගතයන් වහන්සේට පාංසුකූලයක් ලැබුණේ ය. එය සෝදා ගැනීමට තැනක් නොවී ය. එකල්හි සක්දෙව් රජු තථාගතයන් වහන්සේගේ අදහස දැන එය සේදීම සඳහා පොකුණක් කැණ, ගලක් ද ගෙනවුත් තැබී ය. වස්ත්‍රය සෝදා වැනීමට මහ කළුගලක් ද ගෙනවුත් තැබීය. තථාගතයන් වහන්සේ හට අල්ලා ගෙන පොකුණෙන් ගොඩ වීම සඳහා සමීපයෙහි කුඹුක්ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණට නමාලී ය. පසු දින කාශ්‍යප තවුසා බුදුරදුන් වෙත එළඹ වැළඳීමේ කාලය දන්වා, “මහමහණ , කලින් මෙහි පොකුණක් නො තිබිණ, මේ ගල ද නො තිබිණ. මේ කුඹුක් අත්ත ද මෙසේ නැමී නො තිබිණ. මේ කිමෙක් දැ’යි කී ය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට ලැබුණු පාංසුකූලය සෝදන්නට ශක්‍රයා විසින් මේ පොකුණ කණින් ලඳ බවත්, ගල ගෙනැවිත් තබන ලද බවත්, කුඹුක් ගස දෙවියා අත්ත නමාලූ බවත් වදාළහ. එකල්හි උරුවේල්කාශ්‍යප ශක්‍රදේවේන්ද්‍රයාත් වැඩ කර දෙන මේ මහණ මහානුභාව ඇතියෙක, එහෙත් අපට මෙන් රහත් කමක් ඔහුට නැතය, යි සිතා ගත්තේ ය. තථාගතයන් වහන්සේ උරුවේලකාශ්‍යපගේ භෝජනය වළඳා ඒ වන ලැහැබෙහි විසු සේක.

පසු දින උරුවේලකාශ්‍යප තථාගතයන් වහන්සේ කරා ගොස් උන්වහන්සේට වැළඳීමේ කාලය යි දැන්වූ කල්හි “කාශ්‍යප, තෙපි යව, මම එමි”යි කියා ඔහු පිටත් කර භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහ දඹගස වෙත ගොස් ඒ ගසින් ගෙඩියක් ගෙන උරුවේලකාශ්‍යපට කලින්ම ගිනිහලට පැමිණ එහි වැඩ හුන් සේක. උරුවෙලකාශ්‍යප බුදුරදුන් වැඩ සිටි වන ලැහැබෙහි සිට පාගමනින් අවුත් ගිනිහල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දැක පුදුම වී “මහණ, ඔබ කිනම් මඟකින් මට පළමුව මෙහි ආයෙහි දැ?”යි කී ය. “කාශ්‍යප, මම ඔබ පිටත් කොට, යම් දඹගසක් නිසා මේ දිවයිනට දඹදිවය”යි කියත් ද? ඒ දඹගසින් ඵලයක් ද ගෙන මෙහි පැමිණ හිඳ ගතිමි. කාශ්‍යපය, මේ දඹ ඵලය මනා වර්ණයෙන් හා සුවදින් ද රසයෙන් ද යුක්ත ය. ඔබ කැමති නම් මෙය වළඳව’යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප “මහමහණ, ඔබ ගෙනා දඹඵලය ඔබ ම වළඳන්න” යයි කියා “මහමහණ මහත් ඍඬි ඇතියෙක, එහෙත් අපට මෙන් අර්හත්වයක් නම් මොහුට නැතය’යි සිතුවේ ය.

මෝඩකම ම රහත්බව ලෙස සලකා ගෙන සිටින උරුවේලකාශ්‍යප තවුසාට මෙතෙක් ප්‍රාතිහාර්‍ය්‍යය දැක්වීමෙන් ද තමා නො රහත් බව නො වැටහිණ. ඔහු දමනය කරනු වස් තථාගතයන් වහන්සේ පසු දින ඒ දඹගස සමීපයේ තිබෙන නෙල්ලී ගසින් නෙල්ලී ගෙඩි ද, ඊට පසු දින අරළු ගසින් අරළු ගෙඩි ද, ඊට පසු දින තව්තිසා දෙව්ලොව පරසතු ගසින් මල් ද ගෙනවුත් උරුවේලකාශ්‍යපට දැක්වූහ. කාශ්‍යප ඒ සෑම අවස්ථාවෙහිම “ඍඬියක් මිස තමාට මෙන් රහත් බවක් මහමහණට නැතය”යි සිතුවේ ය.

එක් දිනක් තවුසෝ පන්සිය දෙනා ගිනි පුදනු පිණිස දර පලන්නට තැත් කළහ. එක දර කැබෙල්ලකුදු නො පැලෙන්නේ ය. “මෙයත් මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයකැ”යි තවුසෝ සිතූහ. එකල්හි තථාගතයන් වහන්සේ කාශ්‍යප දර පලන්න දැයි අසා වදාළහ. “පලන්න මහමහණ ය”යි ඔහු කී ය. එකෙනෙහිම දර කොටා පන්සියය පැලී ගියේ ය. ඉක්බිති තවුසෝ ගිනි දල්වන්නට තැත් කළහ. කොතෙක් වීර්‍ය්‍ය කළ ද එක දර කැබැල්ලකට ද ගිනි නො ඇවිලෙයි. ඔවුහු “මෙයත් මහමහණහුගේ ඍඬියකැ”යි සිතුහ. තථාගතයන් වහන්සේ “ගිනි අවුලවන්න ද කාශ්‍යපය”යි වදාළහ. “එසේය මහමහණ ය”යි කාශ්‍යප කී ය. එකෙනෙහි පන්සිය තැනක ගිනි දැල්විණ. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සහ කළහ. කොතෙක් ජලය වත්කළ ද ගිනි නො නිවෙයි. “මෙය ද මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයකැ”යි තවුසෝ සිතූහ. තථාගතයන් වහන්සේ “කාශ්‍යප, ගිනි නිවන්න දැ”යි වදාළහ. “එසේය’යි කී කල්හි සැමතැන ගිනි නිවිණ. කාශ්‍යප පෙරසේ ම සිතුවේ ය.

ශීතඍතුවේ හිම වැටෙන කාලයේ එක් රාත්‍රීයක තවුසෝ නේරංජනා ගංගාවට බැස දියෙහි ගැලීම මතුවීම කරන්නට පටන් ගත්හ. ඔවුනට ගඟින් නැඟී ගිනි තැපීම සඳහා තථාගතයන් වහන්සේ ගිනිකබල් පන්සියයක් නිරිමාණය කළහ. තවුසෝ “මෙයත් මහමහණහුගේ ප්‍රාතිහාර්‍ය්‍යයක්ම ය”යි සිතුහ. උරුවේල කාශ්‍යප සිරිත් පරිදි “මහමහණ ඍඬිමතකු වුව ද අපට මෙන් ඔහුට රහත් බවක් නැතැ’යි සිතුවේ ය.

තථාගතයන් වහන්සේ එහි වෙසෙන සමයේ එක් දිනක් අකල් වැස්සක් වැස උන්වහන්සේ විසු පෙදෙස ජලයෙන් යට වී ගියේ ය. තථාගතයන් වහන්සේ එක් තැනක ජලය ඉවත් කොට වියළි දූලි නඟින්නා වූ බිම සක්මන් කරමින් උන්සේක. උරුවේලකාශ්‍යප “මහමහණ බේරා ගනිමුය’යි තවත් තවුසන් ද සමඟ ඔරුවකට නැඟී එහි ගියේ ය. ඔහු ජල මැඳ වියළි පොළොවෙහි සක්මන් කරන තථාගතයන් වහන්සේ දැක විශ්මිත වූයේ “මේ මහ මහණදැ”යි කීය. “කාශ්‍යප ඒ මම ය’ යි වදාරා තථාගතයන් වහන්සේ අහසට නැඟී ඔහුගේ යාත්‍රාවෙහි සිටි සේක. එකල්හි උරුවේල කාශ්‍යප පෙර පරිදිම “සිටිනා තැනට ජලය පවා ගලා නො එන මේ මහමහණ මහත් ඍඬි ඇතියෙක, එහෙත් ඔහු අප මෙන් රහත් නො වෙති”යි සිතුවේ ය.

එකල්හි තථාගතයන් වහන්සේ “මේ මෝඝ පුරුෂයාට සංවේගය ඇති කිරිමට මේ සුදුසු කාලය” යි සිතා “කාශ්‍යප, නුඹට ඇති රහත් කමකුත් නැත, නුඹ රහත් වීමේ මඟට පැමිණියෙක් ද නො වෙහිය. රහත් විමේ ප්‍රතිපදාවක් නුඹට නැතය”යි වදාළහ. එකල්හි උරුවේල කාශ්‍යපගේ මානය බිඳි ගොස් දමනය වී ඔහු තථාගතයන් වහන්සේගේ පාමුල වැඳ වැටී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා හට ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව ලැබේවා”යි ඇයැද සිටියේ ය. “කාශ්‍යප, නුඹ පන්සියයක් තවුසන්ට නායකයෙක, ඔබ අදහස ඔවුන්ට ද දන්වව, ඔවුහු ද කැමැත්තක් කරන්නාහ”යි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි කාශ්‍යප තම ශිෂ්‍යන් වෙත ගොස් “පින්වත්නි, මම මහමහණ වෙත පැවිදි වන්නට කැමැත්තෙමි, නුඹලා ද කැමැත්තක් කරව්” යයි කීය. “ආචාර්‍ය්‍යයෙනි, අපි කලක පටන් ම මහාශ්‍රමණයා කෙරෙහි පැහැදී සිටිමු. ඔබ මහාශ්‍රමණයා වෙත පැවිදිවන්නාහු නම් අපිත් එසේ කරමු ”යි ඔවුහු කීහ. ඉක්බිති ඔවුහු හිසකේ ද ජටා ද පිරිකර කත් ද ගිනි පුදන උපකරණ ද ගඟදියෙහි පා කර හැර භාග්‍යවතුන් වහන්සේගේ පැවිද්ද ලබා ගත්හ.

ගඟ පහළ අසපුවක තුන්සියයක් තවුසන්ට නායකව වෙසෙන උරුවේල කාශ්‍යපගේ සහෝදර තවුසා ගඟෙහි පාවී යන ද්‍රව්‍ය දැක “මාගේ සහෝදරයාට උවදුරක් පැමිණියේදෝ ”යි සිතා ඔහුගේ තතු විමසනු පිණිස ගෝලපිරිස ද සමඟ වහා එහි ගියේ ය. ගෝල පිරිසත් සමඟ උරුවෙල් කාශ්‍යප බුදුරදුන් යටතේ පැවිදිවි සිටිනු දැක “කාශ්‍යපය, කිමෙක් ද මෙය උතුම් දැ’යි ඇසීය. “ඇවැත්නි, මෙය උතුම්ය’යි උරුවේල කාශ්‍යප කීය. එකල්හි නදී කාශ්‍යප ද ඔහුගේ පිරිසක් සමඟ හිසකේ ද, ජටා ද, තවුස්පිරිකර කත් ද ගිනි පුදන උපකරන ද ගඟ දියෙහි පාකර හැර තථාගතයන් වහන්සේ වෙත එළඹ පැවිදි විය.

ගඟ අසල අසපුවක දෙසියයක් තවුසන්ට නායක ව වෙසෙන උරුවෙල් කාශ්‍යපගේ සහෝදරයකු වන ගයාකාශ්‍යප පාවී පන තවුස් පිරිකර දැක “කිමෙක් ද මෙතෙක් තවුස් පිරිකර ගඟේ පාවී යන්නේ මාගේ සොහොයුරන්ට අන්තරායක් විමෙන් දෝ’යි සිතා සිය පිරිස ද සමඟ උරුවේල කාශ්‍යප වෙත ගියේ ය. සිය පිරිස ද සමඟ උරුවෙල් කාශ්‍යප බුදුරදුන් වෙත පැවිදි වී සිටිනු දැක “එය උතුම්ද’යි අසා උරුවේල කාශ්‍යප විසින් “එසේ ය”යි කී කල්හි ඔහු ද සිය පිරිස සමඟ තථාගතයන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තේ ය.

ඉක්බිති තථාගතයන් වහන්සේ පුරාණ තාපසයන් වූ අලූත පැවිදි වු දහසකට අධික ඒ භික්ෂු පිරිස හා ගයාශීර්ෂයට වැඩම කළ සේක. දැනට එක්තරා ප්‍රමාණයකින් දමනය වී ඇති ඒ භික්ෂුන් හික්මවා අවසන් කරනු පිණිස එහි දි ඒ භික්ෂුන් අමතා “සබ්බං හික්ඛවෙ ආදිත්තං” යනාදි ආදිත්තපරියාය සූත්‍රධර්‍මය දේශනය කළේ ය. ඒ දේශනය ඇසිමෙන් සැම දෙනා වහන්සේම සව් කෙළෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියෝ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු පිරිස විසින් පිරිවරන ලදුව රජගහනුවරට වැඩම කොට බිම්සර රජු ප්‍රධාන කොට තමන් වහන්සේ වෙත පැමිණි මගධරට වැසි දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් දමනය කළ සේක.

මෙසේ තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ ජිවිත කාලයේ දී දමනය කරන ලද සත්වයෝ ඉතා බොහෝ වූහ. සැවැත්නුවර ම උන්වහන්සේ විසින් දමනය කර ලදුව ආර්‍ය්‍යශ්‍රාවකයන් වී සිටියෝ පන් කෝටියකි. ඔවුන්ගේ තුන්ලක්ෂ පස්පනස් දහසක් දෙනා අනාගාමීහු ය. නැවත එහිම ගණ්ඩබ්බ වෘක්ෂමූලයේ දී යමකප්‍රතිහාර්‍ය්‍ය දැකිවීමේ දී දමිතවුවෝ විසිකෝටියක් වූහ. මංගලසුත්‍රය, මහාරාහුලෝවාද සුත්‍රය, සමචිත්තපරියාය සූත්‍රය, පරාභව සුත්‍රය, පුරාභේද සුත්‍රය, කලහවිවාද සුත්‍රය, චූලබ්‍යුහ සූත්‍රය, මහාබ්‍යුහ සුත්‍රය, තුවටක සුත්‍රය, සාරිපුත්ත සුත්‍රය යන සුත්‍ර එක එකක් දේශනය කිරිමේ දී අප්‍රමාණ දේවතාවෝ දමිත වූහ.

රජගහනුවර තථාගතයන් වහන්සේ විසින් දමිත උපාසකෝපාසිකාවෝ තුන්ලක්ෂ පනස්දහසක් වූහ. ධනපාල සමාගමයේදි අනූකෝටියක් සත්ත්වයෝ දමිත වූහ. පාරායන සමාගමයේදී තුදුස් කෝටියක් සත්ත්වයෝ දමිත වූහ. ඉන්දසාල ගුහාවෙහි සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූ දහසක් දේවතාවෝ දමිත වූහ. ඉසිපතනයේ ප්‍රථම ධර්මදේශනය කිරීමේදී අටළොස් කෝටියක් බ්‍රහ්මයන් හා ගණන් නැති තරම් දෙවියෝ ද දමිත වූහ. තව්තිසා දෙව්ලොව අභිධර්මදේශනයේදී අසූකෝටියක් දෙවියෝ දමත වූහ. දෙව්ලොවින් බට කල්හි සංකස්ස නගරද්වාරයේදී තිස්කෝටියක් සත්ත්වයෝ දමිත වූහ.

ශාක්‍යරට කපිලවත්තුපුරයේ නිග්‍රොධාරාමයේ බුද්ධවංශ දේශනයේ දී ද මහාසමය සූත්‍ර දේශනයේදී ද අප්‍රමාණ දේවතාවෝ දමිත වුහ. සුමනමාලාකාර සමාගමය, ගරහදින්න සමාගමය, අනන්දසෙට්ඨි සමාගමය, ජම්බුකාජීවක සමාගමය, මණ්ඩුකදේවපුත්‍ර සමාගමය, මට්ටකුණ්ඩලීදේවපුත්‍ර සමාගමය, සුලසා නගර සෝභනී සමාගමය, සිරිමා නගර සෝභනී සමාගමය, පේසකාර ධීතු සමාගමය, චූලසුභද්දා සමාගමය, සාකේතබ්‍රාහ්මණ සමාගමය, ආලාහන දස්සන සමාගමය, සුනපරන්තක සමාගමය යන සමාගම් හි සූවාසු දහස බැගින් සත්වයෝ දමිත වූහ.

(මේ ගණන මිලින්දපඤ්භයෙනි.)

මෙසේ බෙහෝ සත්ත්වයන් දමනය කළ බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී නම් වෙති.

අනුත්තර පුරිසදම්මසාරථී ගුණය විස්තර කිරිමේ දී පණ්ඩිතමානයෙන් මත්ව සිටි සච්චකාදීන් දමනය කළ සැටි ද, කුලමානයෙන් මත්ව සිටි ශාක්‍යාදීන් දමනය කළ දැටි ද, ජාතිමානයෙන් මත්ව සිටි ඇතැම් බ්‍රාහ්මණයන් දමනය කළ සැටි ද, මුළාව මිසදිටු ගෙන සිටි ඇතැම් තීර්ථකයන් හා ඔවුන්ගේ ශ්‍රාවකයන් දමනය කළ සැටි ද, අංගුලිමාල – නාලාගිරි – ආලවක අති චණ්ඩයන් දමනය කළ සැටි ද, අතිසම්මූළ්හව සිටි බකබ්‍රහ්මාදීන් දමනය කළ සැටි ද, අදින්නපුබ්බක මච්ඡරියකෝසියාදී මහ මසුරන් දමනය කළ සැටි ද, තවත් දමනයට දුෂ්කර පුද්ගලයන් දමනය කළ සැටි ද විස්තර කළ යුතුය. මේ කුඩා ග්‍රන්ථයෙන් ඒවා විස්තර කළ නොහෙන බැවින් සච්චක දමනය පමණක් මෙහි දක්වනු ලැබේ.

වැඩි විස්තර සදහා පිවිසෙන්න    https://pitaka.lk/books/suvisi-gunaya/8.html

07 සත්තා දේවමනුස්සානං

මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ දෘෂ්ටධාර්මිකාර්ථයෙන් ද, සාම්පරායිකාර්ථයෙන් ද, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථයෙන් ද මනුෂ්‍ය-දේව-බ්‍රහ්මණයන්ට අනුශාසනා කරන හෙයින් ලෝකයාට ශාස්තෲ වන සේක. ඒ ඒ අයට මෙලොව යහපත පිණිස හා පරලොව යහපත පිණිස අනුශාසනය කිරිමට සමත් තවත් බොහෝ අය ඇත්තා හ. බුදුන් වහන්සේ හැර නිර්වාණය පිණිස අනුශාසනය කිරිමට සමත් අනිකෙක් නැත්තේ ය. බුද්ධශ්‍රාවකයන් විසින් ද නිර්වාණය පිණිස අනුශාසනය කරන නමුදු ඒ අනුශාසනය ඔවුන්ගේ අනුශාසනයක් නොව බුදුන් වහන්සේගේම අනුශාසනය ය. බුදුන් වහන්සේ හැර නිවන පිණිස අනුශාසනය කරන අනිකකු නැතය යි කීයේ එහෙයිනි. නොයෙක් විට තථාගතයන් වහන්සේ ඒ ඒ අයට වර්ථමාන භාවයේ යහපත පිණිස හා පරලොව යහපත පිණිස අනුශාසනය කරතත් එය අප්‍රධාන කරුණෙකි. උන් වහන්සේගේ විශේෂ අනුශාසනය නිර්වාණය පිණිස කරන අනුශාසනය ය. ජාති-ව්‍යාධි-මරණා දි දුඃඛ ස්කන්ධයෙන් මිදීම සඳහා කරන අනුශාසනය ය.

තථාගතයන් වහන්සේ විසින් නිවන් ලැබිම සඳහා කරන අනුශාසනය අසා එය අනුව පිළිවෙත් පුරා අසංඛ්‍ය ගණනක් මනුෂ්‍ය-දේව-බ්‍රහ්මයෝ නිවන් සුවය ලැබුහ. නිවන පිණිස කරන අනුශාසනය තථාගතයන් වහන්සේගේ උසස්ම ප්‍රාතිහාර්‍ය්‍යය යි. තථාගතයන් වහන්සේට හා ඇතැම් ශ්‍රාවකයන්ට නොයෙක් ප්‍රාතිහාර්‍ය්‍යය ඇති නමුත් තථාගතයන් වහන්සේ උසස් කොට සලකන්නේ අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යය ය.

තථාගතයන් වහන්සේ නාලන්දාවෙහි පාවාරිකබ්බ වනයෙහි වැඩ වෙසෙන අවස්ථාවක කේවට්ට නම් ගෘහපති පුත්‍රයෙක් උන්වහන්සේ වෙත එළඹ “ස්වාමිනි, භග්‍යවතුන් වහන්ස, මේ නාලන්දා නුවර සමෘද්ධය, බොහෝ ජනයා ඇත්තේ ය. මෙහි මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ වහන්සේ කෙරෙහි ප්‍රසන්න වුවෝ ය. ඉදින් එක් භික්ෂුවක් සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දැක්වීමෙහි යොදවන සේක් නම්, නාලන්දා වැසියෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වඩාත් පහදින්නාහ’යි සැළ කළේ ය. තථාගතයන් වහන්සේ “කේවට්ටය, මම ගිහියනට සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍ය දක්වන ලෙස භික්ෂුන් ට දහම් නො දෙසමි’යි වදාළහ. කේවට්ට ගෘහපති පුත්‍ර දෙවනුව ද තථාගතයන් වහන්සේට එසේ සැල කෙළේ ය. එකල්හි ද තථාගතයන් වහන්සේ ද ප්‍රතික්ෂේප කල සේක. තෙවනුව ද කේවට්ට ගෘහපති පුත්‍රයා ඒ කාරණය සැල කෙළේ ය. එකල්හි ද තථාගතයන් වහන්සේ ඔහුට සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය – ආදේශනප්‍රාතිහාර්‍ය්‍ය – අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යය යන ප්‍රාතිහාර්‍ය්‍යය තුන විස්තර කරමින් දහම් දෙසු සේක.

ධ්‍යාන වඩා අභිඥා ලැබ එහි බලයෙන් බොහෝ දෙනෙකුන් වීම නොයෙක් වෙස් ගැනීම් නොයෙක් රූපයන් මැවීම අහසින් යාම පොළොවෙහි මෙන් ජලයෙහි ද අහසෙහි ද ඉරියව් පැවැත්වීම යනාදිය කිරිම සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යයය. යම් කිසි භික්ෂුවක් එසේ කරන කල්හි ඒවා දැක පැහැදුණු කෙනෙකු ඒ බව සස්නෙහි නො පැහැදුණු එකකුට කිවහොත් සමහර විට ඔහු “යහළුව, ඔබ කියන දේවල් කළ හැකි ගන්ධාරි නම් විද්‍යාවක් ඇත්තේ ය. ඔබ වර්ණනා කරන භික්ෂුව ගන්ධාරි විද්‍යාව දන්නා කෙනෙකු විය හැකිය’යි කියන්නේ ය. එයින් කලින් පැහැදුණවුන්ගේ පැහැදීමත් නැතිවිය හැකිය. එබැවින් තථාගතයන් වහන්සේ සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කිරිම පිළිකුල් කරන්නා හ. එය කරන ලෙස ශ්‍රවකයන්ට අනුශාසනය නො කරන්නාහ.

අන්‍යන් සිතු දෑ කල්පනා කළ දෑ ප්‍රකාශ කිරීම ආදේශන ප්‍රාතිහාර්‍ය්‍ය නම් වේ. පරසිත් දන්නා නුවණ ලබා දී ඇති භික්ෂුනට අනුන්ගේ සිත් අනුන්ගේ කල්පනා කිය හැකි ය. භික්ෂුවක් විසින් එසේ කරනු දැක පැහැදුණු කෙනෙකු බුදුසස්නෙහි නොපහන් අයකුට ඒ බව කියුව හොත් සමර විට ඔහු විසින් “මණිකා” නම් විද්‍යාවක් ඇත. එය දත් අයට අනුන්ගේ සිත් කිය හැකිය. ඔබ වර්ණනා කරන භික්ෂුව ඒ විද්‍යාව උගත් අයකු විය හැකිය’යි කියනු ඇත. එයින් බුදු සස්නෙහි පහන් පුද්ගලයන්ගේ සිත් ද කළකිරෙන්නට පිලිවන. එබැවින් තථාගතයන් වහන්සේ ඒ ආදේශන ප්‍රාතිහාර්‍ය්‍ය ද පිළිකුල් කරන්නා හ. ඒ ප්‍රාතිහාර්‍ය්‍යය කිරිමෙහි ශ්‍රවකයන් නොයොදවන්නා හ.

“මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නො කරව්, මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නො කරව්, මේවා දුරු කරව්, මේවා වඩව්, උපදවා ගනිව්’යි අනුශාසනය කීරිම අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යයය. තථාගතයන් වහන්සේ අනුශාසන ප්‍රාතිහාර්‍ය්‍යයෙන් ලෝකයට අනුශාසනා කරන සේක. අනුශාසනයේ ඇති ප්‍රතිහාර්‍ය්‍ය නම්, එය අසා එය අනුව පිළිපදින්නවුන්ට මනුෂ්‍ය දිව්‍ය සම්පත් හා රූපාවචර අරූපාවචර ධ්‍යානයන් හා අභිඥා ද සතර මාර්ග සතරඵල නිර්වාණ යන ලෝකෝත්තර ධර්මයන් ද නොවරදවා ම ලැබිය හැකි බව ය. මෙයින් වර්ෂ දෙදහස් පන්සියයකට පෙර කරන ලද අනුශාසනයෙන් අදත් ලෝකයෙහි කෝටිසංඛ්‍යාත ජනකායක් බෞද්ධයන් වශයෙන් ජිවත් වෙති. එයම ද මහත් ප්‍රතිහාර්‍ය්‍යයෙකි. ඇතැමෙක් තථාගතයන් වහන්සේගේ අනුශාසනාව අසා ‘ගිහි ව වෙසෙමෙන් මේ අනුශාසනය අනුව පිරිසිදු ලෙස සිල් රකිමින් ජිවත් විය නො හැකි ය. ගිහිගෙය සම්‍යක් ප්‍රතිපදාවට බොහෝ බාධක ඇති අවහිර තැනක කෙලෙස් රජස් නඟිනා තැනැකැ’යි අන් කිසිම කරුණකින් නො හරනා බෙහෝ ධනය ද, ජීවිතය නිසා ද හැරිය නො හෙන භාර්‍ය්‍යාවන් හා දූ දරුවන් ද, බොහෝ නෑ මිතුරන් ද හැර බුදුසස්නෙහි පැවිදි වෙති. එයම කෙතරම් ප්‍රාතිහාර්‍ය්‍යයක් ද? එසේ පැවිදි වූවන් ගෙන් බොහෝ දෙනෙක් ඇසූ ධර්මය අනුව පිළිවෙත් පුරා අර්හත්ඵලය නැමැති උත්තම ධර්මය ලබා දුකින් මිදී නිවනට පැමිණියෝ ය.

තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය අසා නො පැවිදිව ම මඟ පල ලැබු දෙව්මිනිස්සු ද ඉතා බොහෝ ය. බුදුරදුන් පිරිනිවිමෙන් පසු ද උන් වහන්සේගේ අනුශාසනයන් අසා බොහෝ සත්වයෝ මඟපල ලබා නිවන් දුටහ. අපමණ සත්වයන් හට ජාතිජරාමරණ ආදී දුක් කෙළවර කරගත හැකි වන බව තථාගතයන් වහන්සේගේ අනුශාසනයෙහි ඇති ප්‍රාතිහාර්‍ය්‍යය ය. සෘද්ධිප්‍රාතිහාර්‍ය්‍යය දැක යමෙකු පැහැදුණ ද, එය ස්ථිර පැහැදීමක් නොවේ. තථාගතානුශාසනය අසා එය තේරුම් ගෙන යමෙක් ධර්මයෙහි නිසැක බවට පැමිණියේ නම්, ඔහුගේ බුදුසස්නෙහි පැහැදීම ස්ථීරය. එවැනි පුද්ගලයාගේ පැහැදීම ශක්‍රයා විසින් බ්‍රහ්මයා විසින් වුවද වෙනස් නො කළ හැකිය. ඒ බව ධනඤ්ජානි නම් බැමිණියගේ කථාවෙන් හා සුප්‍රබුද්ධ නම් දුගියාගේ කථාවෙන් පැහැදිලි ය.

වැඩි විස්තර සදහා පිවිසෙන්න    https://pitaka.lk/books/suvisi-gunaya/9.html

08 බුද්ධ ගුණය

සම්මාසම්බුද්ධ – බුද්ධ යන පදයෙහි අර්ථය එකිනෙකට වැඩි වෙනසක් නො මැත. ඒ පද දෙකින්ම තථාගතයන් වහන්සේ විසින් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කළ බව කියැවේ. සම්මාසම්බුද්ධ පදයෙන් පරෝපදේශ රහිතව ස්වශක්තියෙන් මැනවින් අවබෝධ කළ බව විශේෂයෙන් කියවේ. එසේ තිබියදි මේ බුද්ධගුණ පාඨයට බුද්ධ යන පදය නැවත ද ඇතුළු කර ඇත්තේ, චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමෙන් පමණක් නො නැවතී ඒ ධර්‍මය අන්‍ය සත්වයන්න්ට ද අවබෝධ කරවීම වූ ගුණය දැක්වීම සඳහා විය යුතු ය. බුද්ධ යන පදයෙන් අවබෝධ කරවීම ද කියැවේ. ධර්මය අවබෝධ කර ගත් සැම දෙනම ඒ ධර්මය අනුන්ට අවබෝධ කරවිමට සමත් නො වෙති. පසේ බුදුහු ද චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගනිති. එහෙත් ඔවුහු ඒ ධර්මය සෙස්සන්ට අවබෝධ කර විමට සමත් නො වෙති. ලොවුතුරා බුදුහු තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සෙසු දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවා බොහෝ සත්වයන් දුකින් මුදවති. බොහෝ සත්වයන් නිවනට පමුණුවති. ලොවුතුරා බුදුනට අන්‍යයන් හට චතුස්සත්‍යය අවබෝධ කරවීමෙහි ඇති සාමාර්ථ්‍යය පුරිසදම්මසාරථී සත්ථාදේවමනුස්සානං යන ගුණපද විස්තර කිරිමෙහි දි දැක්විණ. මෙතැන්හි විශේෂයෙන් විස්තර කළ යුත්තේ තමා ලත් දෙය දොර වසා ගෙන අනුභව කරන මසුරකු මෙන් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය සඟවා ගෙන ආත්මාර්ථය පමණක් බලා ගෙන සුවසේ නො සිට තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මහෝත්සාහයෙන් සෙසු දෙවිමිනිසුන්ට ද බෙදා දෙන බව ය.

“සබ්බදා සබ්බසත්තානං – හිතාය ච සුඛාය ච
උස්සුක්කො අකිලාසු ච – අහො අච්ඡරියො ජිනො”

යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ලොවුතුරා බුදුව ජිවත් වූ පන්සාලිස් වස මුළුල්ලෙහි ම දෙව්මිනිසුන්ට ධර්මය අවබෝධ කර දීමෙන් – ඔවුන් දුකින් මිදවීමෙහි – ඔවුන්ට නිවන් දැක්වීමෙහි මහෝත්සාහයෙන් යෙදුන සේක. උන් වහන්සේ ඒ ඒ දිනයන් හි ධර්මය අවබෝධ කර ගැනීමට සමත් වන්නෝ කවරහුදැ යි බලා ඔවුනට තමන් වහන්සේ අවබෝධ කර ඇති ධර්ම දේශනය කළ සේක. ධර්මය අවබෝධ කර ගැනීමට සමත් සත්වයන් දැක උන් වහන්සේ ඔවුන් කර බොහෝ දුර පා ගමනින් ම වැඩම කළ සේක. එක් වරක් යාමෙන් ධර්ම අවබෝධය කර දිය නො හෙන ඇතැම් පුද්ගලයන් කරා උන්වහන්සේ නොයෙක් වර වැඩම කොට ඔවුනට චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරවූ සේක. එක් මිසදිටු බමුණකුට ඔහු මිත්‍ර කරගෙන ධර්මය අවබෝධ කරවීම සඳහා තථාගතයන් වහන්සේ ඔහු වෙත බොහෝ වාර ගණනක් වැඩම කළ සේක. මහාකප්පින රජු හා ඔහුගේ පිරිසට දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පා සිවුරු තමන් වහන්සේ විසින් ම ගෙන එක්සිය විසියොදුන් මඟ ගෙවා එකලාව වැඩම කළ සේක. පුක්කුසාති රජු පැවිදි වී බුදුරදුන් සොයා එන කල්හි තමන් වහන්සේ විසින් ම පා සිවුරු ගෙන පන්සාලිස් යොදුන් මඟ පාගමණින්ම වැඩම කොට ඔහු හා කුම්භකාරශාලාවෙක්හි රාත්‍රිය ද ගත කල සේක. පිරිනිවන් පාන දිනයෙහි පිරිනිවන් මඤ්චකයෙහි සයනනය කරමින් සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසු සේක.

වැඩි විස්තර සදහා පිවිසෙන්න  https://pitaka.lk/books/suvisi-gunaya/10.html

09 භගවත් ගුණය

භගවා යනු ද බුදුරජාණන් වහන්සේගේ නම් අතරින් එක්තරා ප්‍රසිද්ධ නාමයෙකි. එය යම් කිසියකු විසින් තබන ලද නාමයක් නොව, බෝධිමූලයේ දී අර්හන්මාර්ගසංඛ්‍යාත විමෝක්ෂයාගේ අන්තයෙහි ලැබුණු මහාගුණස්කන්ධය අනුව සිද්ධ නාමයකි. එබැවින් මහානිද්දේසයේ පුරා භේදසුත්ත නිද්දේසයෙහි:- “විමොක්ඛන්තිකඤාණමෙතං බුද්ධානං භගවන්තානං බෝධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ත්ති යදිදං භගවාති” යනු වදාරන ලදී.

භගවා යන වචනයෙහි බොහෝ අථී ඇත්තේ ය. එය පැරණියන් විසින් අනේකාකාරයෙන් වර්ණනා කර ඇත්තා වූ ද, අනේකාකාරයෙන් වර්ණනා කළ හැකි වුව ද වචනයෙකි. අරහං ආදී ගුණ පද නවය අතුරෙන් අන් සියල්ලටම වඩා විස්තර කළයුතු කරුණු භගවා යන මේ පදය හා සම්බන්ධව ඇත්තේ ය. කුඩා ග්‍රන්ථයකින් මේ පදය සර්වාකාරයෙන් විස්තර කල නොහෙන බැවින් මෙහි සුළු විස්තර කරනු ලැබේ.

“භගවාති වචනං සෙට්ටං – භගවාති පදමුත්තමං,
ගරුගාරවයුත්තො සො – භගවා තෙන වුච්චිති”

යනුවෙන් පැරණියන් විසින් අර්ථවිවරණය කර ඇති පරිදි භගවා යනු ශ්‍රෙෂ්ඨ පුද්ගලයකු, උත්තම පුද්ගලයකු, ගරු කළ යුතු පුද්ගලයකු දැක්විම සදහා භාවිතා කරන වචනයෙකි. ලෝකයෙහි කිසිම ගුණයකින් තථාගතයන් වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙකු ද නැත. තථාගතයන් වහන්සේ ලෝකයෙහි සැමටම වඩා ශ්‍රේෂ්ඨ වන සේක. උත්තම වන සේක. සැම දෙනා විසින් ම ගරුබුහුමන් කිරිමට සුදුසු වන සේක. එබැවින් මනුෂ්‍යයෝ ද මනුෂ්‍යන් විසින් ගරු බුහුමන් කරන ශක්‍රාදි දේවතාවෝ ද බ්‍රහ්මයෝ ද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් කරති. උන්වහන්සේගේ පා වඳිති.

බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට කලින් දී තිබු ප්‍රතිඥාව අනුව ලොවුතුරා පැමිණි පසු පූරාණ ජටිල වු උරුවෙල් කාශ්‍යපාදි දහසක් රහතුන් සමග රජගහ නුවරට වැඩ වදාල සේක. බිම්බිසාර රජතුමා දෙළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් ද සමග තථාගතයන් වහන්සේ වෙත ගොස් දහම් අසා පැහැදී තෙරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණ පසු දින දානයට ද ආරාධනා කර ගියේ ය. පසු දින තථාගතයන් වහන්සේ රජගෙට වඩනා කල්හි උන් වහන්සේ දක්නට පැමිණියා වූ මහා ජනකාය නිසා මාර්ගය අවහිර විය. එකල්හි සක්දෙව්රජ තරුණ මිනිස් වෙසක් මවා ගෙන,

“දන්තො අන්තෙහි සහ පුරාණජටිලෙහි

විප්පමුත්තො විප්පමුත්තෙහි,

සිංගීනික්ඛස වණ්ණො

රාජගහං පාවිසි භගවා,”

යනාදි ගාථා සයක් ගායනා කරමින් ජනයා ඉවත් කරමින් තථාගතයන් වහන්සේ ඉදිරියේ ගමන් කළේ ය. එකල්හි බුදුගුණ ගයමින් ගමන් කරන, නුදුටුවිරූ ඒ තරුණයා දැක ඇතැම්හු දර්ශනීය වූ මේ තරුණයා කාගේදැ යි කීහ. එකල්හි සක්දෙව් රජු,

“යො ධීරො සබ්බධී දන්තො – සුඬො අප්පටිපුග්ගලො,

අරහං සුගතො ලොකෙ – තස්සාහං පරිවාරකො.”

යනුයෙන් “යම් නුවණැත්තෙක් චක්ෂුරාදි සකළ ස්ථානයන්හි දැමුණේ ද, ක්ලේශයන්ගෙන් පිරිසිදු වූයේ ද, ලෝකයෙහි අප්‍රතිපුද්ගල වුයේ ද, රහත් වුයේ ද, සුමග ගමන් කළේ ද මම ඔහුගේ මෙහෙකරුවෙක්මි” යි කීය. බොහෝ දෙවි මිනිසුන් ගරු කරන සක්දෙවිදු තථාගතයන් වහන්සේට ගරු කරන සැටි ඒ පුවතෙන් දත යුතුය.

තථාගතයන් වහන්සේ බුදුබවට පැමිණි අලූත අජපාලන්‍යග්‍රෝධ මූලයෙහි වැඩ වෙසෙන කල්හි සහම්පතී නම් බ්‍රාහ්මයා උන් වහන්සේ වෙත පැමිණ උතුරුසළුව ඒකාංශ කොට දකුණු දණ බිම ගසා දෙ අත් ඔසවා භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෙන:

“දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිභායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො.”

යනුවෙන් දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේට ආරාධනා කළේ ය. මිනිසුන් විසින් තබා දෙවියන් විසින් ද ගරුබුහුමන් කරන බ්‍රහ්මයන් බුදුරදුන්ට ගරු කරන අයුරු ඒ පුවතින් දත හැකිය.

“යස්මා ච ලොකෙ ඉස්සරිය ධම්ම යස සිරි කාම පයතනෙසු ඡසු ධම්මෙසු භගසද්දෙ පවත්තති” යනුවෙන් භග යන වචනයෙන් ඓශ්චර්‍ය්‍යය ධර්මය යශසය ශ්‍රීය කාමය ප්‍රයත්නය යන අර්ථ සය දැක්වෙන බව විශුද්ධිමාර්ගයෙහි දක්වා ඇත්තේ ය. ඒ ධර්ම සයෙන් යුක්ත වන බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක

වැඩි විස්තර සදහා පිවිසෙන්න  https://pitaka.lk/books/suvisi-gunaya/11.html

රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය.
දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා නො පිවිසිය යුතු ය. ඒ ස්ථානයන්ට වහන් පය ලා නො පිවිසිය යුතු ය. ඒ ස්ථාන අපවිත්‍ර‍ වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතු ය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත්‍ර‍ නො කළ යුතු ය. සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසලවලින් අපවිත්‍ර‍ වී තිබෙනු දුටුව හොත් පවිත්‍ර‍ කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.
පෙර මේ ලක්දිව රුහුණු රට “දීඝාවුක” නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍ර‍යක් සුළඟින් කැඩී ගොස් එක් කුඹුරකට වැටුණේ ය. ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ද ලියා තිබුණේ ය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍ර‍ය දැක එය ගෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැන ම අකුරු ලියා තිබූ කොන ඉරා දමා පොරවා ගත්තේ ය. පසු කලෙක හේ කාලක්‍රියා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙළුණු ශරීරයක් ඇති ප්‍රේතයෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේ ය. ඔහුට හිඳගන්නට ද නිදන්නට ද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකි ය. එක් දවසක් මධ්‍යම රාත්‍රියේ දී ඒ ප්‍රේතයා භික්ෂූන් වහන්සේ කෙනකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේ ය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේ “තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙම්දැයි” විචාළහ. “දීඝාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුව හොත් මේ දුකින් මිදිය හැකි ය.” යි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ පසු දින ප්‍රේතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත්‍ර‍ සොයා කොඩි පනසක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණවූහ. එ දින රාත්‍රියේ ප්‍රේතයා පැමිණ හිසින් අටඟුලක් පමණ යපටින් මිදුණනු බව තෙරුන් වහන්සේට සැල කෙළේ ය. තෙරුන් වහන්සේ දෙවන දිනයෙහි කොඩි පනසක් පුදා ප්‍රේතයාට පින් පැමිණවූහ. එයින් තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය යපටින් මිදිණ. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත්‍ර‍ සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර්ණ වූ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කථාවෙන් තේරුම් ගෙන පරෙස්සම් වෙත්වා!

අතිපූජනීය රේණුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයාගේ අත්පොත කෘතිය සහ ආතාපි වෙබ් අඩවිය ඇසුරෙන් බොහෝ කරුණු පළ කර ඇත.
ආතාපි වෙබ් අඩවිය http://www.aathaapi.org/
පොතෙහි PDF සංස්කරණය : https://tipitaka.lk/library/462
පොත් මිලදී ගැනීමට : https://www.fb.com/1358438437680062