Bhawana භාවනා

03 භාවනාව

භාවනාමය කුශලය වනාහි කුශලයන් අතුරෙන් අග්‍ර‍ වූ කුශලය ය. දාන ශීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍ර‍ධාන මාර්ගය ද භාවනාව ම ය. යන 

මේ සත් තිස් බෝධිපාක්ෂික 

ධර්මයන් වැඩීම ය යනු ද භාවනාව ම ය. භාවනාවෙහි

01සතර සතිපට්ඨාන
02 සතර සම්ය්‍යයක් ප‍්‍රධාන වීර්යය
03 සතර සෘද්ධිපාද
04 පඤ්චේන්ද්‍රිය
05 පඤ්ච බලය
06 සප්ත බෝධ්‍යඞ්ගය
07 ආර්‍ය්‍යාෂ්ඨාංගික මාර්ගය

 යෙදෙන කල්හි බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති. අන් ක්‍ර‍මයකින් ඒ ධර්මයෝ නො වැඩෙති. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය කියා අන් කළ යුත්තක් නැත.

සමථ භාවනාව ය, විදර්ශනා භාවනාව යයි භාවනාව දෙවැදෑරුම් වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීම ය. විදර්ශනා භාවනාව යනු ප්‍ර‍ඥාව දියුණු කිරීම ය. සමාධිය යනු සිතට නොයෙක් අරමුණුවල විසිරෙන්නට නො දී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයෙකි. එහි බලයෙන් සිත එකඟ වේ. සමාධිය ඇති කර ගැනීම පහසු නො වේ. එය කර ගත හැකි වන්නේ ඉතා ඕනෑ කමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාට ය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑ කමක් නැති ව එය ගැන දැනීමකු දු නැති ව භාවනා කරමි යි කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධිය නො වැඩේ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීර්යයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍ර‍මානුකූල ව භාවනාවෙහි යෙදිය යුතු ය. කලාතුරකින් දිනක පමණක් භාවනාවෙහි යෙදීමෙන් ද සමාධිය නො ලැබිය හැකි ය. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුව ද ක්‍ර‍මානුකූලව භාවනාවෙහි යෙදෙන තැනැත්තාට ය. සමාධිය වැඩෙත් වැඩෙත් ම සිත භාවනාරම්මණයෙහි තැබීම පහසු වේ. සමාධිය සමග ම සිත ද, ශ්‍ර‍ද්ධා ප්‍ර‍ඥාදීහු ද වැඩෙති. සිත කිළිටි කරන්නා වූ දුබල කරන්නා වූ නීවරණයෝ අනුක්‍ර‍මයෙන් තුනී වෙති. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තා හට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇති වේ. අන්‍යයන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල බැවින් අන්‍යයෝ ඔහුට තරමක් අවනත වෙති. ඔහුගේ බසට අන්‍යයෝ කීකරු වෙති. ඔහුගේ අදහස් ද සිදු වන්නට පටන් ගනී. ඔහුට සිතීමෙන් ම තමාගේ ශරීරයෙහි ඇති වන ඇතැම් ආබාධ පහසුකර ගත හැකි, සුව කර ගත හැකි ශක්තියක් ලැබේ. මේ චිත්ත බලය යම් කෙනකුට ඇති නම්, එය ඔහුගේ මෙලොව දියුණුවට ද උපයෝගී කර ගත හැකි ය. සමාධිය වැඩී දියුණු වීමෙන් රූපාවචර අරූපාවචර ධ්‍යානයෝ උපදිති. ඒවා තව දුරටත් ක්‍ර‍මානුකූල ව දියුණු කර ගත හැකි වුවහොත් අභිඥා බලය ඇති වේ. එයින් අහසින් යාම ආදි පුදුම දේ කළ හැකි ය.

භාවනාව වියදමක් නැති ව කාහටත් කරගත හැකි උසස් පින්කමෙකි. රැකී රක්ෂා කරන්නවුන්ට ඒවා කරමින් ම භාවනා කළ හැකි ය. රෑ නිදන්නට සූදානම් වන කල්හි නින්ද යන තුරු භාවනා කළ හැකි ය. ඉර උදාවන තෙක් නො නිදා කල් ඇති ව නැගිට එළිය වැටෙන තුරු භාවනා කළ හැකි ය. ඒ වේලාව භාවනා කිරීමට ඉතා ම හොඳ වේලාවකි. බොහෝ යෝගාවචරයන් රහත් වන්නේ ද, බුදුවරු බුදු වන්නේ ද ඒ වේලාවේ ය. ගමනක් යන තැනැත්තාට යෙමින් ම භාවනා කළ හැකි ය. වෙළෙන්දාට බඩු ගැනීමට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට යන තෙක් භාවනා කළ හැකි ය. කම්කරුවාට කම්හලට යන එන අතර භාවනා කළ හැකි ය. දිනපතා භාවනාවට නියම කර ගෙන තිබෙන කාලය හැර අවකාශ ලැබෙන අවස්ථාවල දී ද භාවනා කරන්නට පුරුදු කර ගත යුතු ය. අත් නො හැර භාවනා කරගෙන යන පින්වතාට එහි ඵලය මෙලොව දී ම දක්නට ලැබෙනවා ඇත.
නානාරම්මණයෙහි වික්ෂිප්ත ව දීර්ඝ කාලයක් පැවැත්තා වූ සිත ඉක්මණින් ම එක අරමුණක තැබිය හැකි තැනට නො පැමිණ විය හැකි ය. එයට කලක් ගත වේ. එයට වීර්‍ය්‍ය කරන කල්හි සිත කය දෙක ම වෙහෙසට පත් වේ. ඒ උත්සාහය කරන කල්හි ශරීරයේ ඇතැම් සියුම් කොටස් ගෙවෙන්නේ ය. එයින් ශරීරය දුබල විය හැකි ය. හිසේ රෝග ඇස් රෝග කන් රෝග ළයේ රෝග කුස තුළ වාත රෝග තුනටියේ වාත රෝග ඇති විය හැකි ය. ඒ නිසා භාවනාව කරන තැනැත්තා ඉක්මන් නො විය යුතු ය. පටන් ගැනීමේදී එක් වරකට පැය කාල බාගය යනාදීන් භාවනා කොට වැඩි වේලාවක් භාවනා කළ හැකි වන්නට ක්‍ර‍මයෙන් පුරුදු කර ගත යුතු ය. පටන් ගැනීමේ දී ම දවස මුළුල්ලේ ම භාවනා කරන්නට ගියහොත් සමහර විට උමතු ද විය හැකි ය. යම්කිසි ආබාධයක් භාවනාව නිසා ඇති වුවහොත් එය සුවවන තුරු ටික දිනකට භාවනා කිරීම නැවැත්විය යුතු ය.

තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරා ගනු පිණිස භාවනා සතළිසක් බුදුසමයෙහි ඇත ද, ඒ සියල්ල මෙ බඳු පොතකින් විස්තර කළ නො හෙන බැවින් බොහෝ දෙනාට සුදුසු වන්නා වූ ද, සාමාන්‍යයෙන් සැමට ම සුදුසු ය යි කිය යුතු වූ ද, පහසුවෙන් කළ හැකි වූ ද භාවනා ක්‍ර‍ම සතරක් පමණක් මෙහි විස්තර කරනු ලැබේ.

බුද්ධානුස්මෘති භාවනාව

බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය. බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ.

01 අරහං
02 සම්මා සම්බුද්ධෝ
03 විජ්ජාචරණ සම්පන්නෝ
04 සුගතො
05 ලෝකවිදූ
06 අනුත්තරෝ පුරිස ධම්ම සාරථි
07 සත්ථා දෙවමනුස්සානං
08 බුද්ධෝ
09 භගවා

යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.

මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි.” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය.
බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි අවයවයන් වෙන වෙන ම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම් වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ පර්‍ය්‍යඞ්කයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතුය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ ක්‍ර‍මය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍ය ය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්‍ය්‍යඞ්කය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍ර‍මයට හිඳ ගත යුතුය.
පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යඞ්කයෙන් හිඳ ගත් බව මහා ප්‍ර‍ජාපතී ගෝතමි අපදානයෙහි එන :
“සා තාහි සහ ගන්ත්වාන – භික්ඛුනූපස්සයං සකං
අඩ්ඪපල්ලඞ්ක මාභුජ්ජ – නිසීදි පරමාසනෙ.”
යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්‍ය්‍යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ පර්‍ය්‍යංකයෙන් හිඳ ගත නොහෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලයට අඩු නො වන කාලායක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කල්හි අනෙකක් ගැන නො සිතනු. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු.

බුද්ධානුස්මෘති භාවනාවේ අනුසස්

බුද්ධානුස්මෘති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ. එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවත් පුද්ගලයෙක් වේ. එ බැවින් බුද්ධානුස්මෘතිය වඩනා පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දකු විසින් පැමිණිය හැකි දියුණුවට ද ගිහියෙක් නම් ගිහියකු විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නො නැමෙයි. හදිසියෙන් මරණය සිදුවීමක් වතහොත් ඒ අවස්ථාවේ දී ඔහුට බුදුන් සිහි වේ. එයින් හේ මරණින් මතු ස්වර්ගයට මතු ස්වර්ගයට පැමිණෙන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට එ සමයෙහි රාග් ද්වේෂ මෝහයෝ නූපදිති. ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයාහට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරකයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයාහට ප්‍රීතිය ඇතිවේ. ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සන්සිඳෙති. එයින් ඔහුට සුඛය ඇති වේ. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ. කල් යෑමෙන් ඔහුට විතර්කාදි ධ්‍යානාංගයෝ එක් වර ම පහළ වන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින් ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිණාදියෙහි මෙන් ධ්‍යානයෝ නූපදිති. බුද්ධානුස්මෘති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු බැවින් ද ශ්‍ර‍ද්ධාදි ඉන්ද්‍රියයන් දියුණු තියුණු වන බැවින් ද බුද්ධානුස්මෘතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මර්ග පල ලබා නිවන් දැකිය හැකි වන්නේ ය. බුද්ධානුස්මෘතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝ ය.
බුදු ගුණ සිහි කොට බුදුන් වහන්සේ කෙරෙහි එක් වරක් සිත පහදවා ගැනීම ම මරණින් මතු දෙව් ලොව ඉපදීමට හේතුවන පිනකි. “මට්ටකුණ්ඩලී” ආදි බොහෝ දෙනකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ. යමෙක් භාවනා කිරීම් වශයෙන් නැවත නැවත බුදු ගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත් පත් වීම ගැන කියනුම කිම? එබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා!

Title

මෛත්‍රී භාවනාව

අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍ර‍මයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධ්‍යානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවෙකි.
අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උත්පත්තියෙන් ම පිහිටා තිබෙන්නා වූ මේ සත්ත්වයෝ ස්වභාවයෙන් ම අනුන්ගේ යහපතට නො කැමැත්තෝ ය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නො වේ. තමන්ගේ අඹුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේ ය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගය ය. එය මෛත්‍රියට සතුරු ධර්මයෙකි. වැඩිය යුත්තක් නො ව දුරු කළ යුත්තකි. “අපේ කෙනෙක අපට හොඳ කෙනෙක” යන ඇල්ම වූ හිතවත් බව රාගය ය. අල්පමාත්‍ර‍ ඇල්මකුදු නැති ව අනුන්ගේ යහපත කැමති බව ම සැබෑ මෛත්‍රිය ය. මෛත්‍රිය යි වරදවා ගෙන තමාගේ අඹු දරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නො යනු. සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැති ව “සත්ත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා” යි කොතෙක් කීව්ත සිතුවත් එයින් ඵලයක් නො දැකිය හැකිය. මෛත්‍රිය වනාහි වඩන තැනැත්තා ය, මෙත් කරනු ලබන සත්ත්වයෝ ය, යන දෙපක්ෂයට ම ලැබෙන ඵල ඇති භාවනාවෙකි. දෙපක්ෂයට ම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියෙනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු සැටි:
“මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බ භූතේසු
මානසං භාවයේ අපරිමාණං”
යනුවෙන් මෛත්‍රී සූත්‍රයෙහි වදාරා තිබේ. “දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුව ද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්ත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදි. එක දරුවකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන් ම ඇති අවංක හිතවත් බවෙකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක් වන සත්ත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලය ය. “සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා”යි කීමෙන් හා සිතීමෙන් අන්‍යයන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන් ම එයින් අන්‍යයන්ට සුවයක් ලැබිය යුතු ම ය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරත හොත් එයින් අන්‍යයන්ට සුවයක් ලැබේ. බොහෝ සතුන් ලක් කොට කරන මෛත්‍රියෙන් ඒ සත්ත්වයනට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නො දත හැකි ය. එක් පුද්ගලයකුට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් ඒ පුද්ගලයාට ප්‍ර‍කට වන තරමට සුවයක් ලැබේ. හොඳට ම ප්‍ර‍කට ව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ට ය. යම් කිසි රෝගියකුට වැඩි වේලාවක් මෙත් වැඩුව හොත් එයින් ඔහුට ගුණ ලැබේ. සමහර රෝගියෝ එයින් ම සුව වෙති. එක් සත්ත්වයකුට මෙත් වැඩූ කල්හි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්ත්වයන්ට මෙත් කිරීමෙන් ද මෛත්‍රී චිත්ත ශක්තියේ සැටියට මඳ වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතු ය. එය එසේ ම පිළිගනෙ සත්ත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතු ය.
මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝ ය. ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝ ගෙන තමාගේ කැමැත්තේ සැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නො තේරෙන වචන එයට සුදුසු නැත.
වෛර නැත්තෝ වෙත් වා!
දොම්නස් නැත්තෝ වෙත් වා!
නිදුක් වෙත් වා!
සුවපත් වෙත් වා!
යන වචනවලින් මෙහි භාවනා ක්‍ර‍මය දක්වනු ලැබේ. පියදාස නමැත්තා හට මෙත් කරනවා නම් “පියදාස වෛර නැත්තේ වේවා. දොම්නස් නැත්තේ වේවා. නිදුක් වේවා. සුවපත් වේවා” යි මෙත් කරනු. “පියදාස වෛර නැත්තේ වේවා” යන්නෙන් අදහස් කළ යුත්තේ අන්‍යයන් නිසා පියදාසගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද, පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇත්නම් ඒවා ද නැති වී, අලුත් වෛර ද ඇති නො වී පියදාස සම්පූර්ණයෙන් වෛරයන් ගෙන් මිදුනෙක් වේවා කියා ය.
පියදාසගේ සිත්හි අන්‍යයන් ගැන වෛර ඇති නම් ඒ අය දකින සිහි වන අවස්ථාවල පියදාසට ඇති වන්නේ දොම්නසකි. නො සතුටකි. එසේ ම පියදාසට වෛර කරන අන්‍යයන් නිසා ද ඔහුට ඇති වන්නේ දොම්නස් ය. “පියදාස දොම්නස් නැත්තේ වේවා” යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇති විය හැකි වූ ද අන් කරුණු නිසා ඇති විය හැකි වූ ද දොම්නස්වලින් මිදී පියදාස සතුටින් වාසය කරන්නෙක් වේවා කියා ය.
සමූහයකට මෙත් කිරීමේ දී වෛර නැත්තෝ වෙත් වා යනුනේ අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයකුගේ සිත්හි අන්‍යයන් ගැන ඇති වූ ද ඇති වන්නා වූ ද ඒ එක් එක් අයකු ගැන අන්‍යයන්ගේ සිත්වල ඇති වූ ද ඇති වන්නා වූ ද වෛරවලින් ඒ සෑම දෙනාම මිදෙත් වා කියා ය.
මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචන වල වගන්තිවල අර්ථය හොඳින් තේරුම් ගෙන සිය බසින් ම භාවනා කළ යුතු ය. මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන් ම පහසුවෙන් කළ හැකි භාවනාවෙකි. එය කරන කල්හි ද්වේෂයේ හා නො ඉවසීමේ ද වෛරයේ ද ආදීනව හා මෛත්‍රියෙහි අනුසස් ද සලකා පළමු කොට තමාට ම මෛත්‍රිය කරගත යුතු ය. සෑම දෙන ම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය.
“මම වෛර නැත්තේ වෙම්වා!
දොම්නස් නැත්තේ වෙම් වා!
නිදුක් වෙම්වා!
සුවපත් වෙම්වා!” යි
කීප වාරයක් තමාට ම මෛත්‍රිය කර ගෙන, තමා මෙන් ම අන්‍යයන් ද සැපයට කැමති බව හා දුකට නො කැමති බව ද තමා කෙරෙහි මෙන් ම අන්‍ය සත්ත්වයන් කෙරෙහි ද මෛත්‍රී පතුරුවන්නට පටන් ගත යුතු ය. ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුව ඇතිව මෙත් වඩන්නවුන් විසින් පටන් ගැන්මේ දී හැමට ම මෙත් වඩන්නට නො ගොස් පහසුවෙන් මෛත්‍රිය කළ හැකලි එක් යහපත් පුද්ගලයකු තෝරා ගෙන ඒ තැනැත්තාට ම මෛත්‍රිය කළ යුතු ය. සාමාන්‍යයෙන් මෙත් වඩන්නවුන් විසින් ද එක්වරට ම සැම සතුන්ට මෙත් කරන්නට නො ගොස් සත්ත්වයන් කොටස් වලට බෙදා ගෙන මතු දැක්වෙන පරිදි මෙත් වැඩිය යුතුය.
භාවනා වාක්‍යය
මම වෛර නැත්තේ වෙම් වා, දොම්නස් නැත්තේ වෙම් වා, නිදුක් වෙම් වා, සුවපත් වෙම්වා.
මාගේ හිතවත්හු වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
මා හට මධ්‍යස්ථ සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
සකල සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, සුවපත් වෙත්වා.
ප්‍රදේශ වශයෙන් මෙත් වැඩීම
(වෛර නැත්තෝ වෙත්වා යනාදිය යොදාගත යුතු)
මේ ගෙයි වසන සකල සත්ත්වයෝ……
මේ වත්තේ (ආරාමයේ) සකල සත්ත්වයෝ…..
මේ ගමේ (නගරයේ) සකල සත්ත්වයෝ……
මේ දිවයිනේ සකල සත්ත්වයෝ…….
මේ දිවයිනෙන් ඔබ වෙසෙන සකල සත්ත්වයෝ…..
සැම තැන ම වෙසෙන සකල සත්ත්වයෝ…….
පොළොවෙහි වෙසෙන සත්ත්වයෝ…..
ජලයේ වෙසෙන සත්ත්වයෝ……
අහසේ වෙසෙන සත්ත්වයෝ…….
සකල සත්ත්වයෝ……
දිසා වශයෙන් මෙත් වැඩීම.
නැගෙනහිර දිග සකල සත්ත්වයෝ…..
දකුණු දිග සකල සත්ත්වයෝ….
බස්නාහිර දිග සකල සත්ත්වයෝ….
උතුරු දිග සකල සත්ත්වයෝ….
ගිනිකොන දිග සකල සත්ත්වයෝ….
නිරිත දිග සකල සත්ත්වයෝ….
වයඹ දිග සකල සත්ත්වයෝ….
ඊසාන දිග සකල සත්ත්වයෝ….
යට සිටින සකල සත්ත්වයෝ….
උඩ සිටින සකල සත්ත්වයෝ….
දශ දිශාවේ සිටින සකල සත්ත්වයෝ….
වෛර නැත්තෝ වෙත්වා, දොම්නස් නැත්තෝ වෙත්වා, නිදුක් වෙත් වා, සුවපත් වෙත් වා.
තම තමන්ගේ කැමැත්තේ සැටියට මෙසේ නැවත නොයෙක් ක්‍ර‍මවලට සත්ත්වයන් කොටස් කොට මෙත් වැඩිය හැකි ය. කෙසේ කළත් වරදක් නැත. නිදුක් වෙත් වා, නීරෝගී වෙත් වා, සුවපත් වෙත් වා යන වගන්ති තුනෙන් මෙත් වැඩීම ද යහපති.
මෙත් වැඩීමේ අනුසස්
මෙත් වැඩීමේ අනුසස් එකොළොසක් ඇති බව අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ මෛත්‍රී සූත්‍රයේ දක්වා තිබේ. ඒ මෙසේ ය.
ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන්දෙඩවීම් ඒ මේ අත පෙරළීම් ආදියෙන් තොර ව සැපසේ නින්ද යාම.
කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟ මැලි කැඩීම් ආදියෙන් තොර ව පද්මයක් පුබුදු වන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිබිදීම.
සර්පයන්ට ඇතුන්ට සොරුන්ට සතුරන්ට හසුවීම් ආදි නපුරු ස්වප්න නො දැකීම.
ගෙලපැළඳි මුතු හරක් මෙන් පද්මයක් මෙන් සෑම මිනිසුන්ට ම ප්‍රියයකු වීම.
විශාක ස්ථවිරයන් මෙන් දෙවියන්ට ප්‍රියයකු වීම.
දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම.
ගින්නෙන් හා විෂයෙන් ද ආයුධවලින් ද අනතුරු නො ලැබීම.
වහා සිත සමාධියට (එකඟ බවට) පැමිණීම.
මුහුණේ පැහැය බැබළීම.
නුමුළා ව කාලක්‍රියා කරන්නට ලැබීම.
මෛත්‍රී ධ්‍යානය උපදවා ගත් තැනැත්තා හට ඒ ජාතියේ දී ම රහත් නොවිය හැකි නම් මරණින් මතු බඹලොවට යා හැකි වීම යන මේ එකොළොස මෛත්‍රියේ ආනිසංසයෝ ය.
මෙත් වඩන්නා වූ විශාඛ ස්ථවිරයන් වහන්සේ සිතුල් පව්වේ විහාරයක සාර මසක් වැස, පසු දින අන් තැනකට වන්නට සිතා රාත්‍රියේ සැතපුණු කල්හි එහි ගසක වෙසෙන දෙවියෙන් උන්වහන්සේගෙන් වෙන්වීම ගැන ශෝකයෙන් විහාරයේ පඩි පෙළ උඩ සිට හැඬුවේ ය.
මෙත් වඩමින් වනයේ විසූ සාම කුමාරයාණන් හා ඒ වනයෙහි විසූ සිංහ ව්‍යාඝ්‍රාදි චණ්ඩ මෘගයෝ ද මිතුරු ව වාසය කළෝය.
සිරිමා නමැති ගණිකාව විසින් හිස මත හෙලූ උණු තෙලින් මෙත් සිතින් විසූ උත්තරා උපාසිකාවගේ හිස නො දැවුණේ ය.
උදේන රජු විසින් සාමාවතී දේවිය ප්‍ර‍ධාන කොට ඇති පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් ම මරණු පිණිස විද යැවූ ඊය ඔවුන්ගේ මෛත්‍රී බලයෙන් පොල් කොළයක් සේ ම බිම වැටුණේ ය.
අප මහා බෝසතාණන් වහන්සේ එක් ජාතියක දී සත් වසක් මෙත් වඩා ඒ පිනෙන් සත් කපක් මිනිස් ලොවට නො පැමිණ බඹලොව විසූහ. සතිස් වරෙක සක් දෙව් රජ වූහ. වාර සියගණනක සක්විති රජ වූහ. බොහෝ ජාතිවල දඹදිව අග රජ වූහ.
“ස්‍යෙථාපි භික්ඛවේ රත්තියා පච්චූස සමයං ඔසධි තාරකා භාසතො ච තපතෙ ච විරොචති ච, එවමෙව ඛො භික්ඛයෙනි කානිචි ඔපයිකානි පඤ්ඤකිරිය වත්ථූනි සබ්බානි තානි මෙත්තාය චෙතො විමුත්තියා කලං නාග්ඝති සෝළසිං. මෙත්තායෙව තානි චෙතොවිමුත්ති භාසතෙ ච තපතෙ ච විරොචති ච”
මහ‍ණෙනි, රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඕෂධී තාරකාව යම් සේ ආලෝකවත් ව බබළා ද, මහණෙනි; එ පරිද්දෙන් (මෙත්තා චේතෝ විමුක්තිය බබළා) භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍ය ක්‍රියා වස්තූහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙත්තා චේතෝ විමුත්තියේ සොළොස්වන කලාව පමණට නො අගනාහ. මේ චේතෝ විමුත්තිය ම ඒවා ඉක්මවා ආලෝකවත් ව බබළාය යනු එහි තේරුම යි.
තව ද මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන් ම මහත්ඵල වන බව ද, මෙත් වඩන භික්ෂුවට සිව් පසයෙන් උවටැන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධය සේ මහත් වූ පුණ්‍යස්කන්ධයක් ලබන බව ද මෙත් වඩන භික්ෂුව, සිව්පසය සපයන දායකයන්ට ණය කාරයකු නො වී රහතන් වහන්සේ කෙනකු මෙන් ස්වාමිත්වයෙන් සිව්පසය වළඳන බව ද,
“අච්ඡරා සඞ්ඝාත මත්තම්පි චේ භික්ඛවෙ භික්ඛු මෙත්තං චිත්තං ආසෙවති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති සත්ථු සාසනකරො ඔවාද පටිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති කො පන වාදො යෙ නං බහුලීකරොන්ති”
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් ප්‍ර‍කාශිත ය. “මහණෙනි, යම් මහණෙක් අසුරු සැණක් පමණ කාලයෙහි මුත් මෛත්‍රී චිත්තය සේවනය කෙරේ ද, මහණෙනි, ඒ මහණ ධ්‍යානයෙන් නො හිස් ව වාසය කරන්නේ ය යි ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය පිළිපදින්නේ යයි ද, රටුන් දෙන ආහාර නොසිස් කොට වළඳන්නේ යයි ද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ මෛත්‍රිය බොහෝ කොට කෙරෙත් නම් ඔවුන් ගැන කියනු ම කවරේ ද? යනු එහි තේරුම යි.
“ඒකම්පි චෙ පාණ මදුට්ඨචිත්තො
මෙත්තායති කුසලී තෙන හොති,
සබ්බේ ච පාණෙ මනසානුකම්පි
පහුතමයයෝ පකරොති පුඤ්ඤං
ඉදින් අදුෂ්ට චිත්තයෙන් එක් සත්ත්වයකු හට ද මෙත් කෙරේ නම් එයින් පින් ඇත්තේ වේ. සකල සත්ත්වයන්ට සිතින් අනුකම්පා කරන්නා වූ (මෙත් කරන්නා වූ) ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරේ ය යනු එහි තේරුමයි.

Title

පිළිකුල් භාවනාව

පිළිකුල් භාවනාව යනු කෙස් ලොම් ආදි කොටස් පිළිබඳ භාවනාව ය. එයට අශුභ භාවනාවය, කායගතාසති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාවය යන නම් ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අන්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේ ම භාවනාවෙකි. තථාගතයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් වර්ණනා කළා වූ ද භාවනාවෙකි. මේ බුදු සස්නෙහි ඒ භාවනාව කොට රහත් ව නිවන් දුටුවෝ ඉතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ බුද්ධ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාව ද එය ය. බඹයක් පමණ වූ මේ මිනිස් සිරුර කොටස් දෙතිසකින් යුක්ත ය.
01 කෙස් ය, ලොම් ය, නිය ය, දත් ය, සම ය,
02 මස් ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩුව ය,
03 හදවත ය, අක්මාව ය, දළබුව ය, ඇලදිව ය, පපු මසය.
04 අතුණු ය, අතුණුබහන් ය, ආහාර ය, මල ය, මොලය ය.
05 පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද තෙල ය.
06 කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුලු ය, මුත්‍ර‍ ය.
යන මේ දෙතිස ශරීරයේ කොටස් ය.
 මේ භාවනාව කරන කල්හි කොටස්වල පැහැය ය, සටහන ය, පිහිටි දිශාව ය, පිහිටි ස්ථානය ය, පර්‍ය්‍යන්ත පරිච්ඡේදය ය යන කරුණු පස හා වර්ණය ය, සටහනය, ගන්ධය ය, නිඃශ්‍රියය, අවකාශය ය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බව ද සජ්ඣායනා කරමින් භාවනා කළ යුතු ය. සජ්ඣායනා කිරීම නම් ඇසෙන සේ කීම ය. “ඉමස්මිඤ්හි පටික්කූලමනසිකාර කම්මට්ඨානෙ යොපි තෙපිටකො හොති තෙනාපි මනසිකාර කාලෙ පඨමං වාචාය සජ්ඣායො කාතබ්බො” යි මේ ප්‍ර‍තිකූල මනස්කාර කර්මස්ථානය ත්‍රිපිටකධරයකු විසින් වුව ද සජ්ඣායනා කරමින් ම භාවනා කළ යුතු බව දක්වා තිබේ. එබැවින් සිතින් මෙනෙහි කිරීම ම ප්‍ර‍මාණ වෙතැයි වරදවා නො ගත යුතු ය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍ර‍මය ඉතා දීර්ඝ බැවින් එකවර උගෙන එකට ම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග සයකට බෙදා භාවනා කිරීමට නියමිත ය. මෙහි කොටස් දෙතිස දැක්වූ තැන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කරගත යුතු ආකාරයට ය. එහි කොටස් පස බැගින් ඇති වර්ග සතරක් හා කොටස් සය බැගින් ඇති වර්ග දෙකක් ද ඇත්තේ ය.
භාවනා කිරීමේ දී පළමු වන වර්ගය අනුලෝම වශයෙන් (මුල සිට අග දක්වා කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. ප්‍ර‍තිලෝම වශයෙන් (අග පටන් මුලට කියන ක්‍ර‍මයෙන්) පස් දිනක් භාවනා කළ යුතු ය. අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දිනක් භාවනා කළ යුතු ය.
ඉක්බිති “මස්” ආදි කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතුය.
ඒ වර්ග දෙක භාවනා කිරීමට මසක් ගත වේ. දෙවන මාසයේ දී ඒ වර්ග දෙක ම එක්කොට එක් එක් ආකාරයෙන් පස් දින බැගින් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
ඉක්බිති “හදවත” ආදි කොට ඇති තුන්වන වර්ගය උගෙන කියන පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
තුන් වන මාසයේ දී පළමු භාවනා කළ වර්ග තුන ම එක්කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළයුතු ය.
ඉක්බිති “අතුණු” ආදි කොට ඇති සතර වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
සතර වන මාසයේ දී පසු කළ වර්ග සතර ම එක් කොට කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
ඉක්බිති “පිත” ආදි කොට ඇති පස් වන වර්ගය ගෙන තුන් ආකාරයෙන් දින පසළොසක් භාවනා කළ යුතු ය.
පස්වන මාසයේ දී පසු කළ වර්ග පස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
ඉක්බිති සවන කොටස උගෙන කියන ලද පරිදි පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
සවන මාසයේ දී කොටස් දෙතිස ම එක් කොට තුන් ආකාරයෙන් පසළොස් දිනක් භාවනා කළ යුතු ය.
භාවනාව සම්පූර්ණ කිරීමට පස්මස් පසළොස් දිනක් ගත වන්නේ ය. මේ කාලයේ දී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නො විය යුතු ය. මුලින් පටන් ගත්තා ම නැවතීමක් නැති ව අග දක්වා ද අගින් පටන් ගත්තා ම පැකිළීමක් නැතිව මුල දක්වා ද මෙනෙහි කළ හැකි වේ නම් භාවනාව ප්‍ර‍ගුණ වූ සැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ඣායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතු ය. කොටස් හොඳින් නො වැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් පසළොස් දිනක් සජ්ඣායනා කළ යුතු ය. ශරීරය දිශා වශයෙන් බෙදන කල්හි නාභිය (පෙකනිය) මධ්‍යස්ථානය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේ දී හෙට්ඨිම දිශාවය (යට දිගය) යි කියනුයේ නාභියෙන් යට කොටසය. උපරිම දිශාවය (උඩ දිගය) යි කියනුයේ නාභියෙන් උඩ කොටසට ය.
භාවනා වාක්‍යය
(මෙය පාඩම් කරගෙන භාවනා කරනු)
පළමු වන පසළොස් දින භාවනා ක්‍ර‍මය
01 මේ ශරීරයෙහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ හිස් කබල වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් වියැට අගක් පමණ සම තුළට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන්ගෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
ඒ කේශයෝ පැහැයෙන් ද සටහනින් ද ගඳින් ද නිඃශ්‍රයෙන් ද අවකාශයෙන් ද පිළිකුල් යහ. (මතු දක්වන කොටස්වලට ද මෙසේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ඣායනා කරනු).
02 මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල් බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම පිහිටියා වූ ශරීරය වසා සිටිනා සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල්වලින් හා උඩින් අහසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
03 මේ ශරීරයෙහි “නිය” සුදු වූ මාලු කොට බඳු සටහන් ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ, ඇඟිලි අග පිහිටියා වූ, තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයකි.
04 මේ ශරීරයේ “දත්” සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකු ඇට දෙක්හි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල්වලින් හා උඩින් අහසින් ද සරසින් ඔවුනොවුන් ගෙන් ම ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
05 මේ ශරීරයේ “සම” කළු සුදු ඈ නොයෙක් පැහැ ඇත්තා වූ, රූපයක් වසා සිටිනා සැට්ටයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
කෙස්වලින් පටන් ගෙන සම දක්වා පිළිවෙලින් සජ්ඣායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍ර‍මය ය. සමින් පටන් ගෙන කෙස් දක්වා ආපසු සජ්ඣායනා කිරීම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ඣායනා කිරීම අනුලෝම ප්‍ර‍තිලෝම ක්‍ර‍මය ය.
දෙවන පසළොස් දින භාවනා ක්‍ර‍මය
01 මේ ශරීරයේ “මස්” රත් පැහැ ඇත්තා වූ, දි බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ, දෙදිශාවෙහි ම ඇත්තා වූ තුන් සියයක් පමණ ඇටවල පිහිටියා වූ යටින් ඇටවලින් ද උඩින් සමෙන් ද සරසින් මස් පිඩුවලින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
02 මේ ශරීරයේ “නහර” සුදු වූ ගසක් වෙළා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ, කුණප කොට්ඨාසයෙකි.
03 මේ ශරීරයේ “ඇට” සුදු වූ දික් බව වට බව පැතළි බව ආදි නොයෙක් සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ මුළු සිරුරෙහි ම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුළුවලින් හා උඩින් හා සරසින් මස්වලින් හා ඔවුනොවුන්ගේ අක් මුල් වලින් වෙන්වූ කුණප කොට්ඨාසයෙකි.
04 මේ ශරීරයේ “ඇට මිදුළු” සුදු වූ, තම්බා හුණ පුරුක් බට පුරුක්වල ලූ වේබඩ බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හටගත්තා වූ ඇට තුළ පිහිටියා වූ ඇටවල ඇතුළු පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
05 මේ ශරීරයේ “වකුගඩුව” මඳක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹ ගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හට ගත්තා වූ ගලවළුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
තුන්වන පසළොස් දිනයේ කියන ලද වර්ග දෙක එක් කොට අනුලෝම ප්‍ර‍තිලෝම වශයෙන් පස් දින බැගින් භාවනා කරනු.
සතරවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය
01 මේ ශරීරයේ “හදවත” මඳක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුළක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුළ දෙතන අතර පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
02 මේ ශරීරයේ “අක්මාව” මඳක් රත් පැහැ ඇත්තා වූ, කොබෝලීල පතකට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර දකුණු පස පිහිටියා වූ එහි ම කෙළවරින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
03 මේ ශරීරයේ “දළබුව” සුදු පැහැ ඇත්තා වූ, වස්ත්‍ර‍යක් බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හට ගත්තා වූ, හදවත හා අක්මාව වසා සිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
04 මේ ශරීරයේ “බඩදිව” නිල් පැහැ ඇත්තා වූ, වස්සකුගේ දිව බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, හදවතට වම් පසින් පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
05 මේ ශරීරයේ “පපුමස” රතු වූ, නො සම කොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන් ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ පපුව තුළ එල්ලී තිබෙන්නා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
පෙණහල්ල යනු ද මෙයට නමෙකි. ඇතුළත පිහිටි කොටස්වල සැටි ඡායාරූපාදිය බලා තේරුම් ගත යුතු ය. පස්වන පසළොස් දිනයේ දී කෙස්වල පටන් බඩදිව තෙක් ඇති කොටස් පසළොස එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.
සවන පසළොස් දින භාවනා ක්‍ර‍මය
01 මේ ශරීරයේ “අතුනු” සුදු වූ ලේ ඔරුවක දරණ ගසා ලූ හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ ගළවළුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුළ පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
02 මේ ශරීරයේ “අතුනුබහන්” සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳ ගෙන එය අතර පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
03 මේ ශරීරයේ “නො පැසුණු ආහාරය” වැළඳූ ආහාරයේ පැහැය ම ඇත්තා වූ පෙරහනක ලිහිල් කොට බැඳි සහල් බඳු වූ මතු දිශාවෙහි ඇත්තා වූ උදරයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
04 මේ ශරීරයේ “මල” පඬු පැහැ ඇත්තා වූ හුණ පුරුකක ලූ පඬුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශයෙහි පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
05 මේ ශරීරයේ “මොළය” සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ, හිස් කබල තුළ පිහිටියා වූ එහි පර්‍ය්‍යන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
මෙය පසළොස් දිනක් භාවනා කොට සත්වන පසළොස් දිනයෙහි කෙස්හි පටන් මොළය දක්වා ඇති කොටස් සියල්ල ම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු.
අටවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය
මේ ශරීරයේ “බද්ධපිත්තය” (කෝෂයෙහි පිහිටි පිත) බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවෙහි හට ගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත් කෝෂයෙහි පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි. “අබද්ධ පිත්තය” (ශරීරයේ පැතිර සිටිනා පිත) මැළවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවෙහි ම හට ගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
01 මේ ශරීරයේ “සෙම” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ හට ගත්තා වූ උදර පටලයේ පිහිියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
02 මේ ශරීරයේ “සැරව” මඳක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙදිශාවේ ම හටගත්තා වූ ගෙඩි වණවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
03 මේ ශරීරයේ “ලේ” රතු වූ පිහිටි තැනට බඳු සටහන් ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
04 මේ ශරීරයේ “ඩහදිය” තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හටගත්තා වූ රෝම කූපයන් පුරා සිටින්නා වූ එහි ම කෙළවරවලින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
05 මේ ශරීරයේ “මේද තෙල” කහ පැහැ ඇත්තා වූ වස්ත්‍ර‍යකට බඳු සටහන ඇත්තා වූ, දෙ දිශාවෙහි ම හට ගත්තා වූ, සම් මස් දෙක අතර පිහිටියා වූ, උඩින් සමින් හා යටින් මසින් ද වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
නව වන පසළොස් දිනයේ දී කී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරනු.
දසවන පසළොස් දිනයේ භාවනා ක්‍ර‍මය
01 මේ ශරීරයේ “කඳුළු” තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශායෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
02 මේ ශරීරයේ “වුරුණු තෙල” පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හට ගත්තා වූ අතුල් පතුල් පිටි අලු පිටිපතුල් නළල නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
03 මේ ශරීරයේ “කෙළ” පෙන පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ, මතු දිශාවෙහි හටගත්තා වූ, මුව තුළ පිහිටියා වූ, එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
04 මේ ශරීරයේ “සොටු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ නාස් පුඩු පුරා සිටින්නා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
05 මේ ශරීරයේ “සඳමිඳුළු” සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙ දිශාවෙහි ම හටගත්තා වූ ඇට සන්ධිවල පිහිටියා වූ එහි ම පර්‍ය්‍යන්තයෙන් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
06 මේ ශරීරයේ “මුත්‍ර” තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිකුරු කොට තැබූ කුඩා කළයක දිය බඳු සටහන ඇත්තා වූ යටි දිශාවෙහි හටගත්තා වූ වස්ති කෝෂයෙහි පිහිටියා වූ වස්ති කෝෂයේ යටි පසින් වෙන් වූ කුණප කොට්ඨාසයෙකි.
එකොළොස් වන පසළොස් දිනයේ දී සියල්ල එක් කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස් මස් පසළොස්දිනක් භාවනාව සජ්ඣායනා කළ කල්හි එය ප්‍ර‍ගුණ වී නම්, කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ඣායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය. මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම්කිසි ඵලයක් ලැබෙන තුරු ම නො නවත්වා එය කර ගෙන යා යුතු ය. කොටස් දෙතිස ම හොඳින් නො වැටහේ නම් නො වැටහෙන කොටස් හැර දමා වැටහෙන කොටස්වල මනස්කාරය පැවැත්විය යුතු ය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානය ය. අනලස ව ක්‍ර‍මානුකූලව භාවනාව කරගෙන යන කල්හි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍ර‍තිලාභයට හා අනාගත භවයන්හි ධ්‍යාන ලැබීමට ද හේතු වන්නේ ය.

Title

විදර්ශනා භාවනාව

ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණ කෙලෙසුන් නසා නිවන් දැකිය හැකි වන භාවනාව විදර්ශනා භාවනාව ය. ශමථ භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධ්‍යාන ලබා මරණින් මතු බඹලොව ඉපදීම ය. ශමථ භාවනාවෙන් සමාධිය දියුණු කර ගත කල්හි විදසුන් වඩා මඟ පළ ලැබීම පහසු ය. සමාධිය නැති තැනැත්තාට එය අපහසු ය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට ශමථ භාවනාවක් කොට සමාධිය හා ශ්‍ර‍ද්ධාදිය දියුණු තියුණු කර ගෙන පසුව විදර්ශනා කෙරෙති. ප්‍ර‍ථමයෙන් ශමථ භාවනා කොට විදසුන් වඩා නිවන් දුටුවෝ බොහෝ වූහ. විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන් වෙන් වූ ලක්ෂණ හා අනිත්‍යාදි ලක්ෂණ තුන ද දක්නා ඥානය දියුණු කිරීම ය. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍යාදි ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යි ද කියනු ලැබේ.
අනිත්‍ය ලක්ෂණය, දුඃඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනෙකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හි ම නො පවත්නා බව ය. කලක් පැවැතී නැසෙන බව ය. දුඃඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවය ය. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය, හෙවත් කිසිවකුගේ කැමැත්ත අනුව නො පවත්නා බව ය.
පිළිකුල් භාවනාව පහසුවෙන් ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවෙකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමති පින්වතා විසින් ඉහත කී පරිදි පස් මස් පසළොස් දිනක් පිළිකුල් භාවනාව සජ්ඣායනා කර එය ප්‍ර‍ගුණ කර ගෙන ඒ ශාරීරික කොට්ඨාසයන්ගේ අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය මෙනෙහි කරන්නට පටන් ගත යුතු ය.
හිසකේ සෑම කල්හි ම නො නැසී පවත්නා දෙයක් නොව කාලයක දී වෙනසට පැමිණෙන්නා වූ ද තවත් කලෙක දී සම්පූර්ණයෙන් නැති වන්නා වූ ද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණය යි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැති කර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක් ය. පැසීම ගැලවී යෑම යන මේවා ද හිසකේ නිසා ඇතිවන දුක් ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇති කර දෙන බව හිසකෙස්වල දුඃඛ ලක්ෂණය ය. කොට කර කැපූ හිසකේ දික් නො වන ලෙසට ද, කළු හිසකේ කිසිවකුට නො පැවැත්විය හැකි ය. ස්වභාව ධර්මයේ සැටියට මිස කිසිවකු ගේ අදහසේ සැටියට හිසකෙස්වල නො පවත්නා ස්වභාවය හා දැනුමක් නැති වුව ද ඒවායේ අනාත්ම ලක්ෂණය ය. එසේ සියලු කොටස්වල ම අනිත්‍යාදි ලක්ෂණත්‍ර‍ය සලකමින් මෙසේ භාවනා කරනු.
භාවනා වාක්‍යය
මේ ශරීරයේ කේශයෝ විකාරයට පැමිණෙන බැවින් ද නැසෙන බැවින් ද අනිත්‍යයෝ ය. කෙස් හිමියාට කෙස්වලට ඇලුම් කරන්නාහට පීඩා කරන බැවින් දුඃඛයෝය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.
මේ ශරීරයේ ලෝමයේ නැසෙන බැවින් අනිත්‍යයෝ ය. හිමියාට පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකුගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය.
නිය, දත්, සම් ආදි ඉතිරි කොටස් ගැන එසේ ම වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. කොටස් සමූහය වූ සකල ශරීරය ගැන ද භාවනා කරනු. ශරීරය ගැන කරන භාවනාව රූප භාවනාව ය. ශරීරය වූ රූප සමූහයෝ හෙවත් රූපස්කන්ධයා ගේ ලක්ෂණත්‍ර‍ය වැටහුණු පසු ශරීරය හසුරුවමින් ශරීරය ඇසුරු කර ගෙන පවත්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධ සතර ද සොයා ගෙන තේරුම් ගෙන ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ පිළිබඳව ද,
මේ ශරීරය ඇසුරු කර පවත්නා වූ නාමයෝ බිඳි බිඳී යන බැවින් නොපවත්නා බැවින් අනිත්‍යයෝ ය. පීඩා කරන බැවින් දුඃඛයෝ ය. කිසිවකු ගේ වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ යයි භාවනා කරනු. නාම රූප දෙක ම එක් කොට ගෙන සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. දුඃඛයෝ ය. අනාත්මයෝ ය යි ද භාවනා කරනු.
මෙසේ භාවනා කිරීමෙන් වන්නේ ද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදුවීම පමණකි. කිසිම තේරුමක් නැති ව යම් කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමි යි කියන්නාහට ලැබෙන ඵලයක් නැත. (විදර්ශනා භාවනාව මනා කොට කරනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම පොතක් වූ “විදර්ශනා භාවනා ක්‍ර‍මය” බලා භාවනා කරත්වා.)

මරණානුස්මෘති භාවනාව

උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් සත්ත්වයෝ ද උපන් තැන පටන් නැවතීමක් නැති ව මරණය කරා ගමන් කරන්නෝ ය. නො මැරෙන ජීවිතයක් ඇති සත්ත්වයේක නැත. කවර අවස්ථාවක දී වුව ද ජීවිතය නැති විය හැකි ය. එය ඉතා දුබල දෙයකි. දුබලවූ නැසෙන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැති ව දැල්වෙන පහනක් බඳු ය. උදයේ තණ අග එල්ලෙන පිනි බිඳක් වැනි ය. දියෙහි ඇඳි ඉරක් වැනි ය. දිය බුබුළක් වැනි ය. පෙණ පිඬක් වැනි ය. මැටි බඳුනක් බඳු ය. පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙළවර වන්නාක් මෙන් ජීවිතය ද ඒකාන්තයෙන් මරණයෙන් කෙළවර වන්නේ ය. සත්ත්වයනට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්මෘති භාවනාව ය. මතු දැක්වෙන වාක්‍යය පාඩම් කර ගෙන භාවනා කරනු.
භාවනා වාක්‍යය
ජීවිතය අස්ථිර ය. මරණය නියත ය. සත්ත්වයන්ගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මම ද මැරෙන්නෙමි. මාගේ ජීවිතය ද මරණින් කෙළවර වන්නේ ය. සත්ත්වයෝ මරණය අරගෙන ම උපදින්නෝ ය. මරණය අරගෙන උපන් සත්ත්වයෝ උදා වූ තැන පටන් මොහොතකුදු නො නැවතී අස්තය කරා යන හිරු මෙන් උපන් තැන පටන් නො නැවතී මරණය කරා ගමන් කරති. මම ද මරණය ගෙන උපන්නෙමි. මම ද දිවා රෑ දෙක්හි නො නැවතී මරණය කරා ගමන් කරමි. මාගේ ජීවිතය මරණින් කෙළවර වන්නේ ය. මහා සම්මතාදි මහා සම්පත් ඇති රජ දරුවෝ ජෝතිය ජටිලාදි මහ පිනැති සිටුවරු ද වාසුදේව බලදේවාදි මහ බලැතියෝ ද මහා සෘද්ධිමත්හු ද මහා නුවණැතියෝ ද මරණ ප්‍රාප්ත වූහ. මා වැනියකුට කෙසේ ඉන් ගැලවිය හැකි ද? නො හැකි ම ය. මම ද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි.
මේ භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සිත පවට නො නැමේ. පිනට නැමේ. ඔහුට තෘෂ්ණාව ද අඩු වේ. මරණ බය ද අඩු වේ. බොහෝ සත්ත්වයෝ තමන් මැරෙන බව නො සිතා අජරාමර වූවන් සේ සිට මරණ කාලය පැමිණි කල්හි බිය පත් වී සිහි මුළාවෙන් කළුරිය කොට අපායෙහි උපදිති. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේ දී එය ගැන සෙස්සන්ට මෙන් බියක් හට නො ගන්නා බැවින් සිහි නුවණින් යුක්ත ව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වේ. ඥාතීන් ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල් දුක් වන්නේ ද මරණය සත්ත්වයාට හිමි දෙයක්බව කලින් නො මෙනෙහි කිරීම නිසා ය. මරණානුස්මෘති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එබඳු අවස්ථාවලදී ද අන්‍යයන් මෙන් දුක් නොවී සැනසී විසිය හැකි ය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පඤ්චස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි ය. තදනුසාරයෙන් දුඃඛ ලක්ෂණය හා අනාත්ම ක්ෂණය ද වටහා ගත හැකි ය. එය සතර මඟ සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ම කරුණු වන්නේ ය.